හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ජනපති මරුට

[මෙය Iranian president killed in helicopter crash යන මැයෙන් 2024 මැයි 20දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

පසුගිය ඉරිදා, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් මෙන්ම තවත් නිලධාරීන් රැගත් හෙලිකොප්ටරයක් ටෙහෙරාන් අගනුවරට කිලෝමීටර් 600 ක් පමන වයඹ දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයේදී කඩා වැටුනි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි 2024 මැයි 19 ඉරිදා, ඉරාන සහ අසර්බයිජාන් දේශසීමාවේ, ක්විස් ක්වොලසි වේල්ල හෙවත් අසේරි හි කාස්ල් ඔෆ් ගර්ල් විවෘත කිරීමේ උත්සවයේදී ඔහුගේ අසේරි හි සගයා වන ඉල්හාම් අලියෙව් සමඟ රැස්වීමකට සහභාගී වෙමින්. (ඒපී මගින් ඉරාන ජනාධිපති කාර්යාලය) [AP Photo/ Det iranske presidentskapskontoret] [AP Photo/ Det iranske presidentskapskontoret]

රයිසි සහ අමීර්-අබ්දුල්ලාහියන් යන දෙදෙනාම මියගොස් ඇති බව ඉරාන පුවත් ඒජන්සි තහවුරු කලේ ය.

රයිසි සහ ඔහු කැටුව ගිය අය ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පලාතේ සිට අසල්වැසි අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ අරාස් ගඟේ මායිම අසල වේල්ලක් විවෘත කිරීමට ආපසු එමින් සිටියෝ ය. රයිසිගේ හෙලිකොප්ටරය ගමනාගමනයේ යෙදුනු හෙලිකොප්ටර තුනෙන් එකක් විය—අනෙක් දෙක ආරක්ෂිතව ආපසු පැමිනියේ ය.

රාජ්‍ය රූපවාහිනියේ අදහස් දැක්වීමේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි මෙසේ පැවසීය: “ගෞරවනීය ජනාධිපතිවරයා සහ පිරිවර රැගත් හෙලිකොප්ටර් කිහිපයකින් ආපසු යමින් සිටියා; අයහපත් කාලගුනය සහ මීදුම හේතුවෙන් එක් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබෑමට සිදුවුනා.” පවතින අයහපත් කාලගුනික තත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කන්ඩායම්වලට එම ප්‍රදේශවලට පැමිනීමට බාධා එල්ල වී තිබූ බව ඔහු සඳහන් කලේ ය.

ඉරානයේ රාජ්‍ය රූපවාහිනියට අනුව 'අනතුර' සිදු වූයේ, අසර්බයිජානයට මායිමේ පිහිටි ජොල්ෆා නගරය අසලදී ය.

අයිආර්එන්ඒ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලේ, ගවේෂන සුනඛයන් සහ ඩ්‍රෝන යානා භාවිතා කරන ගලවා ගැනීමේ කන්ඩායම් 60 කට වැඩි ප්‍රමානයක් වර්සාගන් නගරයට ආසන්න කඳුකර වනාන්තර ප්‍රදේශයකට යවා ඇති බවයි. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (අයිආර්ජීසී) සෙබලුන්, පොලිසිය සහ තවත් පිරිස් ද යවා ඇත.

රයිසිගේ මරනය දේශපාලන අර්බුදයක් අවුලුවාලිය හැකි අතර, එය රටේ ඉස්ලාමීය ධනේශ්වර පූජක තන්ත්‍රය තුල තියුනු අභ්‍යන්තර ගැටුමකට තුඩු දෙනු ඇත. ඔහු ජනාධිපති ලෙස පත් කරනු ලැබුවේ, තෝරාගත් අපේක්ෂකයින් අතලොස්සකට සීමා වූ ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැතිවරනයකදී, වාර දෙකක් සේවය කිරීමෙන් පසු ඉවත් වීමට සිදු වූ ඊනියා මධ්‍යස්ථ හසන් රවුහානි වෙනුවට ය.

ගතානුගතිකවාදියෙකු වන රයිසි, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතමයෙකු ලෙස සැලකේ. ඔහු 1989 සිට 1994 දක්වා ටෙහෙරානයේ අභිචෝදක-ජනරාල්වරයා ද 2004 සිට දශකයක් අධිකරන අධිකාරියේ නියෝජ්‍ය ප්‍රධානියා ද පසුව 2014 දී ජාතික අභිචෝදක-ජනරාල්වරයා ද විය.

ඔහුගේ තේරී පත්වීම සිදු වූයේ, රුහානි විසින් සාර්ථකව ඉස්මත්තටගත් ඒකාබද්ධ පරිපූර්න ක්‍රියාකාරී සැලැස්ම (ජේසීපීඕඒ) ලෙස හඳුන්වන, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් සමඟවූ ඉරානයේ න්‍යෂ්ටික ගිවිසුම බිඳ වැටීම මධ්‍යයේ ය. වැඩෙන දේශපාලන නොසන්සුන්තාවට හේතු වූ කොවිඩ්-19 වසංගතය සමග සංකලනය වූ එක්සත් ජනපදය ප්‍රමුඛ සම්බාධක වැඩපිලිවෙල දැඩි ආර්ථික හා සමාජ අර්බුදයක් (ඉරානය තුල) නිර්මානය කර ඇත.

සම්බාධකවල සැලකිය යුතු අංගයක් වූයේ, ඉරානයේ පැරනි ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් අපනයනය කිරීම එක්සත් ජනපදය විසින් තහනම් කිරීමයි. රයිසි සහ අනෙකුත් නිලධාරීන් පියාසර කරමින් සිටියේ, ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ නිෂ්පාදිත, මගී බෙල් 212 හෙලිකොප්ටරයක ය.

2021 මැතිවරනය, අයිආර්ජීසී සමග සමීපව පෙලගැසී සිටි දැඩි මතධාරී නැතහොත් මූලධර්මවාදී කන්ඩායම රාජ්‍ය යාන්ත්‍රනයේ සියලුම ශාඛාවන්ගේ දැඩි පාලනයෙහි ස්ථාපනය කලේ ය. රයිසි යටතේ පාලන තන්ත්‍රය, විරෝධතා හා වැඩ වර්ජන පුපුරා යාමට ප්‍රතිචාර දැක්වූයේ මරන දන්ඩනය ඇතුලු ම්ලේච්ඡ මර්දනයෙනි.

එක්සත් ජනපදය පදනම් කරගත් අත්ලාන්තික් (Atlantic) සඟරාවේ, “ඊබ්‍රහිම් රයිසිගේ මරනයෙන් පල ලබනු ඇත්තේ කවුරුන් ද?” යන සිරස්තලය යටතේ පලකල ප්‍රකාශයක, ගුවන්යානය කඩාවැටීම තහවුරු වුවහොත්, එය හදිසි අනතුරක් නොවිය හැකි බවට වක්‍රව යෝජනා කලේය. ඉරානයේ හෙලිකොප්ටර් බලඇනිය, භූමි ප්‍රදේශය සහ අයහපත් කාලගුනික තත්වයන් අනුව අනතුරක් සිදුවිය හැකි බව සඳහන් කිරීමෙන් පසුව, ලේඛකයා ප්‍රකාශ කලේ: “එසේ වුවද, අනතුර අනිවාර්යයෙන්ම සැකයෙන් වෙලී පවතිනු ඇත”; එසේම, “ප්‍රතිලාභ කාටද” යන ප්‍රශ්නය මතු කෙරෙයි.

ලිපිය, ඉරානය තුල තරඟකාරී දේශපාලන කන්ඩායම් පිලිබඳ විභාගකිරීමකට සීමා වේ. රයිසි, වෙලඳපල ප්‍රතිසංස්කරන සහ බටහිර සමග සමීප සබඳතා තහවුරුකරගත් ඊනියා මධ්‍යස්ථයින්ගේ පමනක් නොව, බොහෝ සෙයින්, දරුනු තීන්දු ගැනීමට රයිසි අසමත්වීම පිලිබඳව විවේචනය කරන දැඩි මතධාරී කන්ඩායම්වල ද විරුද්ධත්වයට මුහුනදී සිටියේ ය.

කෙසේ වෙතත්, 'ප්‍රතිලාභ කාහටද' යන ප්‍රශ්නය ද තැබිය යුත්තේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊශ්‍රායල ජන සංහාරය මගින් තෙල්දමනු ලැබ, මැද පෙරදිග පුරා වේගයෙන් තීව්‍ර වන භූ-දේශපාලන ආතතීන්ගේ සන්දර්භය තුලය. ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ එහි සහචරයින් ලෙබනනය තුල, සිරියාවේ සහ යේමනය තුල තත්‍යවසයෙන්ම මිලිටරි ගැටුමක නිරතව සිටී. ප්‍රධාන ඉලක්කය, ඉරානය සහ ටෙහෙරානය සමඟ පෙලගැසී සිටින ඕනෑම මිලීෂියාවක් (මහජන හමුදා), පක්ෂ හෝ ආන්ඩු ය.

ගාසා තීරයේ සිය ම්ලේච්ඡ යුද්ධය දියත් කරන අතරතුර, ඊශ්‍රායලය ලෙබනනය සහ සිරියාව තුල හමාස් සහ හිස්බුල්ලා මිලීෂියාවන්හි ප්‍රමුඛ සාමාජිකයින්ට පමනක් නොව ඉහල ඉරාන නිලධාරීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර ගනනාවක් සිදු කර ඇත. වඩාත්ම ප්‍රකෝපකාරී සිදුවීම වූයේ, අප්‍රේල් 1 දා දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ අයිආර්ජීසී නායකයින් තිදෙනෙකු මරා දැමීමයි.

ජාත්‍යන්තර සම්මුතියට අනුව ඉරාන භූමිකලාපය සමන්විත වන රාජ්‍ය තාන්ත්‍රික භූමියක් තුල ඉරාන නිලධාරීන් ඝාතනය කිරීම, ඉරානය සමඟ ආතතීන් අවුලුවාලීමට සහ ගැටුම් අවුලුවාලීමට සැලසුම් කරන ලද යුද ක්‍රියාවකි. මේ අවස්ථාවෙහිදී, ඉරානය අප්‍රේල් 13 දා, ඊශ්‍රායල ගුවන් තොටුපලවලට ඩ්‍රෝන, කෲස් සහ බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කරමින් ප්‍රතිචාර දැක්වූ නමුත්, ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ට ඒවායින් බොහොමයක් වෙඩි තබා බිම දැමීමට හැකි වන බව සහතික කරමින්, එම ක්‍රියාවට දින කිහිපයකට පෙර විදුලි පනිවුඩ යවා තිබුනි. සිදුවූයේ සුලු හානියකි.

පලස්තීන සරනාගතයින්ගේ නව රැල්ලක් ඇතිකරමින්, දකුනු ගාසාවේ රෆා නගරය තුල මරනය හා විනාශය සිදු කරමින් යද්දී, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පූර්න පිටුබලය ලබන ෆැසිස්ට් සියොන්වාදී තන්ත්‍රය, මීටත් වඩා ප්‍රකෝපකරන සිදුකිරීමේ ශක්‍යතාව පවතී. ඉරානය තුල කඩාකප්පල්කාරී ක්‍රියා සහ ඝාතන සිදුකිරීම ඇතුලු අවනීතිය සම්බන්ධයෙන්, එය මැද පෙරදිග පුරා කුප්‍රකට ය.

ඉරානය තුල දේශපාලන කුනාටුවෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන ලැයිස්තුවට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ද ඇතුලත් විය යුතුය.

Loading