[මෙය President Dissanayake’s address to the nation—a commitment to global capital and Sri Lankan big business යන මැයෙන් 2024 සැප්තැම්බර් 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක බදාදා (25) සවස “ජාතිය” අමතා කල කතාව කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව ගෝලීය ප්රාග්ධනයට සහ ශ්‍රී ලංකා ධනේශ්වරයට යටත් දක්ෂිනාංශික ධනේශ්වර පාලානාධිකාරයක් වනු ඇත.
තම වැඩසටහනේ පලමු නියෝගය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු පැනවීම බව දිසානායක පැහැදිලි කලේය.
දිසානායකගේ කථාව, ආරම්භයේ සිට අවසානය දක්වාම, ජාතිය ගොඩනැගීම සඳහා 'විනයගරුක සමාජයක්' තුල තම ආන්ඩුව යටතේ වැඩ කල යුතු යැයි බලකරන සිටින ජාතිකවාදී වාග්ප්‍රහාරයක් විය.
“අප ශ්‍රී ලාංකික පුරවැසියන්” යැයි කාටත් ආඩම්බරයෙන් පැවසිය හැකි රටක් ගොඩනැගීම ජනතා විමුක්ති පෙරමුනේ අරමුන බව ප්‍රකාශ කරන අතරම, කතාව, සිංහල ස්වෝත්තමවාදී ආයාචනාවලින් සහ ඒකීය සිංහල ආධිපත්‍යය දරන ධනේශ්වර රාජ්‍යයක් තහවුරු කරන බවට වූ ප්‍රතිඥාවලින් පලිප්පුලා තිබිනි.
විශාල ජාතික කොඩි සහ ජාතිකවාදී සිංහල-බෞද්ධ උද්වේගකාරී වාතාවරනයක පසුබිමක සිට ඉදිරිපත් කරන ලද කතාව, සිංහලෙන් පමනක් විකාශනය කෙරුනේ, රට පුරා සිටින සියයට 20 කට වැඩි දෙමල කතා කරන ජනතාව නොසලකා හරිමිනි.
මහා ව්‍යාපාර සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට යලි සහතික වෙමින්, විදේශ නය හිමියන්ට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට නය ආපසු ගෙවන බවට තම සම්පූර්න කැපවීම දිසානායක විසින් අවධාරන කෙරුනි.
“වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීම ඉතා වැදගත්... ඒ සඳහා, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා.,” ඔහු ප්‍රකාශ කලේය. දිසානායක කැපවී සිටින ජාමූඅ වැඩසටහනේ මීලඟ අදියරට, රාජ්‍ය ව්‍යවසායන් මහා පරිමානයෙන් පුද්ගලීකරනය කිරීම, ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීම සහ විශාල තීරුබදු පැනවීම සහ බදු වැඩිකිරීම ඇතුලත් වේ.
ඔහුගේ තේරී පත්වීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, දිවයිනේ බලවත්ම ව්‍යාපාරික සංසදය වන ලංකා වානිජ මන්ඩලය, ජාමූඅ කප්පාදුවට කිසිදු බාධාවක් නොකිරීම ද ඇතුලු කරුනු දහයක ඉල්ලීම් ඉදිරිපත් කරමින් දිසානායකට සුබ පැතුවේය.
කොලඹ කොටස් වෙලඳපොලේ සහ ස්වෛරී බැඳුම්කර මිල සඳුදා මුලදී පහත වැටුනද, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයේදී සහ නිල ඡන්ද ප්රකාශයේදී දිසානායක සිදුකල කෙටි ව්‍යාපාරික ගැති අදහස් දැක්වීමෙන් පසුව කොටස් වෙලඳපොල එය යලිත් ඉහල ගියේය.
අඟහරුවාදා (24) ජාමූඅ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා දිසානායකට මෙසේ ලිවීය: 'ජාමූඅ සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවය ගැඹුරු කිරීමට මම බලාපොරොත්තු වෙමි...'
දිසානායක සිය කතාවේදී කියා සිටියේ, තම ආන්ඩුවේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික මැතිවරනයක් පැවැත්විය යුතු බවයි. “ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක්,” ඔහු කීවේය.
එහෙත් 'ජනතාවගේ ජනවරම' යනු, ජාමූඅ ම්ලේච්ඡ සමාජ කප්පාදු පියවර නොවේ. ඊට ප්රතිපක්ෂව, ජවිපෙට/ජජබ ට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව එසේ කලේ, පෙර නොවූ විරූ සමාජ ප්‍රහාර පනවා ඇති දේශපාලන සංස්ථාපිතයේ සියලුම සාම්ප්‍රදායික පක්ෂවලට එරෙහිව පවතින මහජන විරෝධයේ කොටසක් ලෙස ය.
2022 අප්‍රේල්-ජූලිවල මාස ගනනක් තිස්සේ ගෙනගිය මහජන විරෝධතා සහ මහා වැඩ වර්ජන දෙකකින් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් ඇද හෙලීය. ඔහු වෙනුවට බලට පැනගත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පාලනාධිකාරය යි, මෙම ව්‍යාපාරය විසින් දැන් ඡන්දයෙන් පලවා හැර ඇත්තේ.
දිසානායක හදිසි මැතිවරනයක් කැඳවීමේ සැබෑ හේතුව නම්, ඉවත්ව යන මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමනක් සිටි ජවිපෙ/ජාජබ සදහා ලද ආරම්භක සහයෝගයේ රැල්ල, ජවිපෙ යනු මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ තවත් දේශපාලන මෙවලමක් බව මහජනයාට අවබෝධ වීමට කලියෙන් පාර්ලිමේන්තු බහුතරයක් බවට පරිවර්තනය කරගැනීමට උත්සාහ කිරීමටයි.
දිසානායක සහ ජවිපෙ තම බලය තහවුරු කර ගැනීමට සහ නොවැලක්විය හැකි ලෙස පුපුරා යනු ඇති කම්කරු පන්තියේ මහජන විරෝධය තලා දැමීම ද අන්තර්ගත කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද නියෝගවල මීලඟ අදියර කරා යාමට මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටී.
දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව සැඟවුනු තර්ජනයක් කරමින් ඔහු ප්‍රකාශ කලේ, “..රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ යුතු වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබා දෙනවා... මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි..”
වෙනත් වචන වලින් කිවහොත්, දිසානායකගේ පරිපාලනය කිසිදු විසම්මුතියක් ඉවසන්නේ නැත. මෙම තර්ජනවල එල්ලය වන්නේ, වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව විරෝධතා දැක්වූ සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගත් දහස් සංඛ්‍යාත කම්කරුවන්ට එරෙහිවයි. ජවිපෙ මගින් පාලනය වන වෘත්තීය සමිති මෙම අරගල මැඩලීමේ තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල අතර, කම්කරුවන්ට කියා සිටියේ, වර්ජනය නොකර දිසානායකට ඡන්දය දිය යුතු බවත්, කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීම සහතික කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවක් පත් කර ගැනීමට සහාය විය යුතු බවත්ය.
' නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක්' ඇති කිරීම පිලිබඳ දිසානායකගේ සඳහන මේ ආලෝකයෙන් සලකා බැලිය යුතුය. නමුත් ඔහු සඳහන් කරන්නේ කුමන ආකාරයේ නීතිද?
අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු, විරුද්ධවාදීන් චෝදනාවකින් තොරව රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ නව අනුවාදයකුත්, වර්ජිත කම්කරුවන්ට දැඩි සිරදඬුවම් නියම කිරීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා පනත ඇතුලු ප්රතිගාමී නීති මාලාවකුත් පනවා ඇත. ජාමූඅ කප්පාදුවට එරෙහිව කම්කරු පන්තියේ මහජන ක්‍රියාමාර්ගවලට මුහුන දී සිටින දිසානායකගේ පාලානාධිකාරිය මෙම මර්දන නීති භාවිතා කිරීමට පසුබට නොවනු ඇත.
එහෙත් ඔහුගේ සියලු ප්‍රකාශයන් තිබියදී, දිසානායකගේ පාලන තන්ත්රය ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇති ජාමූඅ ක්‍රියාමාර්ගවලට මහජන සහයෝගයක් නොමැති අතර දෙමල මහජනතාව අතර දැඩි විරුද්ධත්වයකට නොවේ නම්, ගැඹුරු සැකයකට මුහුන දෙයි.
ඔහුගේ කතාව ආරම්භයේදීම වාගේ, දිසානායක, කිලිපොලා යන ප්‍රකාශයක් කලේය:
“මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.”
මේ, 1971 දී සහ පසුව 1988-89 දී ජවිපෙ නායකත්වය දුන් සන්නද්ධ නැගිටීම් දෙකේ දී ආන්ඩුවේ ආරක්ෂක හමුදා අතින් ඝාතනයවූ ගම්බද තරුනයින් දස දහස් ගනනට උපහාරයක් නොවේ.
ඒ වෙනුවට ඒ හසසර දැක්වීම, සිංහල ආධිපත්‍යය දරන ඒකීය රාජ්‍යයේ සමගිය මොනයම්ම හෝ ආකාරයකින් දුර්වල කිරීමට එරෙහිව කැරැල්ලකදී, අගමැති හා පසුව ජනාධිපති රනසිංහ ප්‍රේමදාස අතින් රැවටීමට ලක්ව, ශ්‍රී ලංකා රජය විසින් 1989 දී වහාම ඝාතනය කරන ලද රෝහන විජේවීර සහ අනෙකුත් ජේවීපී නායකයින්ට ය.
මෙම ෆැසිස්ට්වාදී ප්රහාරයන්හිදී ජවිපෙ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයින් ද ඇතුලුව සිය ගනනක් වාමාංශිකයින් සහ කම්කරු සංවිධාන නායකයින් ඉලක්ක කලේ ය .
ජවිපෙ කිසිවිටෙකත් එහි මිනීමරු ප්‍රහාර හෝ ඔවුන්ව පෙලඹවූ අන්ත සිංහල ස්වෝත්තමවාදය ප්‍රතික්ෂේප නොකල අතර, විජේවීරගෙන් පටන්ගෙන, ඒවාට අන දුන් අය සැමරීම පුරුද්දක් ලෙස සිදු කරයි.
දිසානායක නරුම ලෙස ප්‍රකාශ කලේ, තම පරිපාලනය “තමන්ගේ ජාතිය, ආගම, පංතිය, කුලය අනුව මේ රට වෙන් වුනු යුගය සහමුලින්ම අවසන් කර, විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස්, ස්ථිරසාර වැඩපිළිවෙල ආරම්භ කරන” බවයි. මෙම ප්‍රකාශය ව්‍යාජ යතේරෙන භාෂාවෙන් කියන්නේ නම්, මෙයින් අදහස් වන්නේ, දෙමල සහ අනෙකුත් සුලු ජාතීන්ගේ අයිතීන් මර්දනය කිරීමයි. මේ මස මුලදී, උතුරේ බහුතර දෙමල ඡන්ද ඉල්ලා සිටින අතරතුර, දෙමල ජනයා විසින්, නව ආන්ඩුවක් සඳහා දකුනේ ජනතාවගේ කැමැත්ත අවහිර නොකල යුතු බවට අනතුරු අඟවමින් දිසානායක වක්‍ර තර්ජනයක් කලේය.
' දකුනේ වෙනසක් සඳහා ජනතාව පෙලගැසී සිටියදී,ඒ වෙනසට එරෙහි වෙන්නන් බවට පත්වුනොත් කුමන මනෝභාවයක් දකුනේ ජනතාව තුල ඇතිවෙයිද කියා හිතන්න.ඒ වෙනසට එරෙහිවූවන් ලෙස, ඒ වෙනසට විරුද්ධවූවන් ලෙස යාපනය හඳුන්වනවාට ඔබ කැමතිද?උතුර හඳුන්වනවාට ඔබ කැමතිද?” ඔහු කීවේ ය.
දිසානායක ජනාධිපති ලෙස තේරී පත්වූ පසු, ඔහුගේ පලමු තීරනයක් වූයේ, චෝදනාවට ලක් වූ එක් යුද අපරාධ චෝදනාලැබූවෙකු වන සම්පත් තුයකොන්තා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීම යි. ඔහු එම තනතුර භාර ගන්නේ, තවත් චූදිත යුද අපරාධ චෝදනාලද්දෙකු වන කමල් ගුනරත්නගෙනි. 2009 අප්‍රේල් මාසයේදී, නගරබද ප්‍රදේශයක් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දෙමල ජාතිකයන් සිය ගනනක් ඝාතනය කරමින් රොකට් වෙඩි 20,000 කට ආසන්න ප්‍රමානයක් එල්ල කල හෙලිකොප්ටර් යානා තුවක්කු බලඝනයේ අංක 09 බලඝන විංග් කමාන්ඩර් වූයේ තුයකොන්තා ය.
'ජාතිය' ගොඩනැගීමට තම ආන්ඩුව සූදානම් බවට වන දිසානායකගේ වාචාල ප්‍රකාශයන්, ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට ගෙවීමට අවශ්‍ය අරමුදල් කම්කරු පන්තියෙන් හා පීඩිතයන්ගෙන් මිරිකා ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් ඔහුගේ පරිපාලනය කරන බවට මහා ව්‍යාපාරිකයන්ට දෙන පොරොන්දුවකි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියට අනතුරු අඟවන්නේ, නව තන්ත්රය විසින් ජාමූඅ ඉල්ලීම් පැනවීමට එරෙහිව පැනනගින ඊලඟ අරගල තලා දැමීමට ජවිපෙ/ජාජබ වේගයෙන් සූදානම් වන බවයි. මෙම ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමට දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
සෑම කම්හලකම, වැඩබිමකම සහ වතුකරයේ මෙන්ම අසල්වැසි ප්‍රදේශවල, සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව, ගම්බද දුගීන් අතර කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් මෙම සටන ඔබ අතට ගැනීමයි, මෙයින් අදහස් කරන්නේ.
අවශ්‍ය වන්නේ මෙම ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් වූ, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් වර්ධනය කිරීමයි. ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට ග්‍රාමීය දුගීන් ඒකරාශී කරන ගන්නා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා සටන් කල යුතු ය; ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සඳහා එවැනි සම්මේලනයක් පිලිබඳ සාකච්ඡා කල යුතුය.