[මෙය Tamil nationalist parties fawn over new Sri Lankan president යන මැයෙන් 2024 ඔක්තෝබර් 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පදනම් ව සිටින දෙමල ජාතිකවාදී පක්ෂ, පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරනයේදී ඉන් ජයග්‍රහනය කල අනුර කුමාර දිසානායකට සහය නොදැක්වීය. කෙසේ වෙතත්, මැතිවරනයෙන් ඉක්බිතිව, දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ ගැඹුරින් ගිලී සිටින ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නව ජනාධිපතිවරයාට මෙම පක්ෂ සියල්ලම සුබ පැතුම් ප්‍රකාශ කර ඇත.
එකිනෙකට වෙනස්, විවිධ ද්‍රවිඩ පක්ෂ මැතිවරන ව්‍යාපාරය තුල අනුගමනය කල විවිධාකාර උපක්‍රම සියල්ලේ ඉලක්කය වූයේ, කොලඹ ආන්ඩුව සමඟ ගනුදෙනු කිරීම සඳහා උපක්‍රමශීලී ලෙස ස්ථානගත වීමයි.
ඔවුන් කිසිවකුට දෙමල මහජනතාවගේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් ගැන අංශු මාත්‍රයක හෝ උනන්දුවක් නැත; ඒ වෙනුවට ඔවුන් කම්කරු පන්තියේ හා ග්‍රාමීය දුගීන්ගේ වියදමින් ධනේශ්වර දෙමල ප්රභූවේ අවශ්‍යතා ඉදිරියට ගෙන ඒම අරමුනු කර සිටී.
මැතිවරන ව්‍යාපාරය තුලදී, පැරනිතම දෙමල පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), දක්ෂිනාංශික සමගි ජන බලවේගයේ (සජබ) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දුන්නේ, ඔහුගේ පොරොන්දු ශ්‍රී ලංකාවේ දෙමල ධනේශ්වරයට වඩාත් වාසිදායක බව සලකමිනි.
දෙමල ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමල ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), ඊලාම් ජනතා විප්ලවවාදී පෙරමුන (ඊපීආර්එල්එෆ්) සහ දෙමල ජනතා ජාතික සන්ධානය (ටීපීඑන්ඒ) ඇතුලු සන්ධානය සිය පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස පී. ආරියනේන්තිරම් ඉදිරිපත් කලේය.
අවසාන වශයෙන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) වඩාත් රැඩිකල් සහ නොසැලෙන ඉරියව්වකින් පෙනී සිටිමින් මැතිවරනය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම සියලු කන්ඩායම්, තම උපක්‍රම, ජීවන තත්වයන් වැඩිදියුනු කිරීමට සහ මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමට මීලඟ ආන්ඩුවට බලපෑම් කරනු ඇතැයි යන මිත්‍යාව දෙමල ජනතාව තුල ප්‍රවර්ධනය කලහ.
කෙසේ වෙතත්, සාමාන්‍ය වැඩ කරන දෙමල ජනයාට, ජවිපෙ උමතු සිංහල ස්වෝත්තමවාදය සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වසරක 27 ක ප්රතිගාමී වාර්ගික යුද්ධයට පිටුබලය දීම හොඳින් මතක තිබේ.
2009 දී යුද්ධයේ අවසන් මාසවලදී පමනක්, ශ්‍රී ලංකා මිලිටරිය දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කලේය. තවත් දහස් ගනනක් මිලිටරි පිටුබලය ලත් ඝාතක කල්ලි විසින් “අතුරුදහන් කරන ලද” අතර 300,000 පමන දෙමල සිවිල් වැසියන් ගාල් කඳවුරුවල කොටු කර මිලිටරි පාලනය තුල රඳවා තබන ලදී.
මැතිවරන දිනයේ දී, උතුරු නැඟෙනහිර ඡන්ද දායකයන්ගෙන් සියයට 30 ක් ඡන්දය භාවිත කලේ නැත. සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිලිවෙලින් සියයට 40.7 ක් සහ 20.8 ක් ඡන්ද ලැබුනු අතර, ජවිපෙ/ජාජබ ලබාගත්තේ සියයට 11.8 ක් පමනි. පොදු අපේක්ෂක පී. ආරියනේන්ද්‍රන් සියයට 3 ක් ලබා ගනිමින් ඊටත් පසුපසින් සිටියේය.
කෙසේ වෙතත්, මැතිවරනය අවසන් වූ විගසම, විවිධ දෙමල ධනේශ්වර පක්ෂවල මුල්බැසගත් අවස්ථාවාදීන් චාටුකාර ලෙස දිසානායක වර්නනා කිරීමට පටන් ගත්හ.
අයිටීඒකේ ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන්, දිසානායකගේ “වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදයේ පිහිටෙන් තොරව ලබා ගත් ආශ්වාදජනක ජයග්‍රහනය... ” වෙනුවෙන් ඔහුට සුබ පැතීමට ඉක්මන් විය. “අපි ඔහු සමඟ සම්පුර්නයෙන්ම සිටින අතර දූෂනය මුලිනුපුටා දැමීමේ කොටස්කරුවෙකු වෙනවා.” එමෙන්ම, ඔහු “සියලු සුලු ජාතීන්ට ආන්ඩු බලය තුල සමාන ප්‍රවේශයක් අවශ්‍ය වේය යන වෙනස” සඳහා කැඳවුම් කර සිටියේය.
වත්මන් අයිටීඒකේ නායක ශිවඥානම් ශ්‍රීදරන්, දිසානායකට සුබ පැතූ අතර “වාර්ගික නොවන ශ්‍රී ලංකාවක් නිර්මානය කිරීම සඳහා දේශපාලනික වශයෙන් තීක්ෂන ක්‍රියාමාර්ග ගනිමින් ඊලාම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙස” ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු සැප්තැම්බර් 30 වැනිදා නව ජනාධිපතිවරයා හමුවී ලබා දුන් ලිපිය මෙතෙක් ප්‍රසිද්ධ කොට නොමැත.
“දෙමල ජනයාගේ ස්වයං-නිර්න අයිතිය සහ ස්වෛරීභාවය පිලිගන්නේ නම් බහු-වාර්ගික පරිසරය ආරක්ෂා කල හැකි” බව පවසමින් පොදු අපේක්ෂකයා සහ ඔහුගේ සන්ධානය ද දිසානායකට සුබ පැතීය. වර්ජනයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සිය රැඩිකල් ඉරියව් අතහැර දිසානායකට මෙසේ සහතික විය: “ජනාධිපතිවරයා අපගේ ඉල්ලීම්වලට එකඟ නම්, ටීඑන්පීඑෆ් ද ඔහු සමඟ වැඩ කිරීමට සූදානම්.”
මේ සියලු පාර්ශ්වවල ඉල්ලීම්වල කේන්ද්‍රීය කාරනය නම්, උතුරු නැගෙනහිර පලාත් සභාවලට බලතල බෙදීමයි. ඇත්ත වශයෙන්ම මෙය සමාන වන්නේ, කම්කරු පන්තිය අන්‍යෝන්‍ය වශයෙන් සූරාකෑමේ දී දෙමල ප්රභූන්ට වඩා විශාල කොටසක් ලබා දෙමින්, කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග බලය බෙදාගැනීමේ වැඩපිලිවෙලකටය.
සැප්තැම්බර් 30 දා, මාවෙයි සේනාධිරාජා, අයිටීඒකේ හි ශ්‍රීතරන්, සිත්තාර්ථන් (ප්ලොට්), සෙල්වම් අඩයිකලන්තන් (ටෙලෝ), සුරේෂ් ප්‍රේමචන්දිරන් (ඊපීආර්එල්එෆ්) ඇතුලු දෙමල පක්ෂ නායකයෝ, කොලඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී, පලාත් බලතල වඩාත් වැඩි බෙදීමක් ක්‍රියාත්මක කිරීම සඳහා දිසානායකට බලපෑම් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියහ.
යාපනය පදනම් කරගත් දෙමල පුවත්පතක් වන කලෛකතීර් ට අනුව, “නව ජනාධිපතිවරයා දෙමල ජනතාවගේ ජනවාර්ගික ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිවක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැති අතර මෙම ප්රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කර නැත” යනුවෙන් දෙමල පක්ෂ නායකයෝ පැමිනිලි කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාව නිසැකවම කොලඹට බලකරන්නේ, ශ්‍රී ලංකා ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්නයෙන් ම ක්‍රියාත්මක කරන ලෙසට බව ජා ප්‍රකාශ කලේය. එය එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ඊනියා ඉන්දීය සාම සාධක හමුදා උතුරට ගෙන ආ 1987 ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසකි. පලාත් සභා ඇති කලත්, එම සංශෝධනය කිසිවිටකත් සම්පූර්නයෙන් ක්‍රියාත්මක වූයේ නැත.
දිසානායක “පැහැදිලිව කිසිවක් ප්‍රකාශ කර නැත්තේ” නම්, ඒ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයට පෙර දෙමල ඡන්දදායකයින් අනවශ්‍ය ලෙස ඈත් කර ගැනීමට ඔහුට අවශ්‍ය නොවන බැවිනි. කෙසේ වෙතත්, ජවිපෙ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ පලාත් සභාවලට බලතල බෙදීමට හැම විටම දැඩි ලෙස සතුරු විය.
1980 ගනන්වල අගභාගයේදී, ජවිපෙ, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ප්රතිගාමී දේශප්‍රේමී ව්‍යාපාරයක් දියත් කල අතර, “ඉන්දියානු අධිරාජ්‍යවාදය” හෙලා දකිමින්, ගිවිසුම ජාතිය බෙදන බව ප්‍රකාශ කලේය. එහි තුවක්කුකරුවෝ, එහි උද්ඝෝෂනයට සහාය දීම ප්‍රතික්ෂේප කල කම්කරුවන්, වෘත්තීය සමිතිකරුවන් සහ දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් ඝාතනය කරමින් ෆැසිස්ට්වාදී ප්‍රහාර එල්ල කලහ.
දැන් කොලඹ දේශපාලන සංස්ථාපිතය, ඉන්දියාව සහ දෙමල ජාතිකවාදී පක්ෂ මේ ඉතිහාසය, පාපිස්ස යටට අතුගාමින් සිටිති.
කෙසේ වෙතත්, ප්‍රධාන කලාපීය බලවතා වීමේ අභිලාෂයන් සමඟ, ඉන්දියාව මූලික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේ දී තමන්ගේම ආර්ථික සහ ආරක්ෂක අවශ්‍යතා ගැන සැලකිලිමත් වේ. නව දිල්ලිය සෑම විටම කොලඹ සමඟ සම්බන්ධීකරනය වන බවත්, ආයෝජන සහ ආධාර හරහා එහි සබඳතා ඉදිරියට ගෙන යන බවත් ජා කෙලින්ම පැහැදිලි කලේය. ඕනෑම ශ්‍රී ලංකා ආන්ඩුවක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සුදානම් බව පැවසූ ඔහු, චීනයට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුද ධාවනයට දිසානායකගේ සහයෝගය තහවුරු කිරීම එහි මූලික අරමුන බවට ඉඟි කලේය.
චීනයට එරෙහිව එක්සත් ජනපදය හා ඉන්දියාව සමග පෙල ගැසී සිටින දෙමල පක්ෂ නායකයෝ සියල්ලෝම, ඉන්දියානු නියෝජිතයා, “සෑම විටම චීනය සමග හෝ චීනයට සහය වෙමින් ක්‍රියා කරන” “මාක්ස්වාදී” ජවිපෙ රාක්ෂයාට බිය ගැන්වීමට උත්සාහ කලහ. තමන් වෙනස් වී ඇති බව ජවිපෙ පැවසුවද, “[ජවිපෙ] පාලකයන්ගේ අනාගත ක්‍රියාමාර්ග”, එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ, චීනයට එරෙහිව සහචරයින් සෙවීමේ හැකියාව කෙරෙහි බලපානු ඇතැයි ඔවුහු අනතුරු ඇඟවූහ.
ජවිපෙට කිසිදාක මාක්ස්වාදය සමග සම්බන්ධයක් නැති බවත්, බොහෝ කලකට පෙර එහි ව්‍යාජ සමාජවාදී වාචාලකම අතහැර දැමූ බවත් පැහැදිලි කරුනකි. එපමනක් නොව, ජනාධිපතිවරනයට පෙර, දිසානායක සහ ජවිපෙ/ජාජබ නායකයින්, චීනයට එරෙහිව සහයෝගය ලබා දීම සඳහා එක්සත් ජනපද හා ඉන්දියානු නිලධාරීන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීය.
මනුෂ්‍ය වර්ගයාට න්‍යෂ්ටික ව්‍යසනයකට තර්ජනය කරමින්, යුක්රේනය තුල රුසියාවට එරෙහිව යුද්ධ කරන විට, මැද පෙරදිග ඊශ්‍රායල ජන සංහාරයට පිටුබලය දෙන විට සහ චීනයට එරෙහිව යුද්ධයට සූදානම් වන විට, දෙමල ධනේශ්වර පක්ෂ සහ ජවිපෙ/ජාජබ විවිධ ආකාරවලින් සහ තමන්ගේම තුච්ඡ අරමුනු වෙනුවෙන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූ දේශපාලනික අවශ්‍යතාවලට සහයෝගය දක්වති.
යුද්ධයෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර දෙමල මහජනතාවගේ සමාජ අර්බුදයට ආමන්ත්රනය කිරීමට නොහැකි බව ඔප්පු කර ඇති දෙමල පක්ෂවල ප්රතිගාමී ජාතිකවාදී පිලිවෙත් ප්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය දෙමල කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් ඉල්ලා සිටී. ඔවුන් සියල්ලෝම ජනාධිපති වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක කරන ලද කප්පාදු වැඩපිලිවෙලට පිටුබලය දුන් අතර දිසානායක ජාමූඅ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන විට ද එයම කරනු ඇත.
කොලඹ සිටින ඔවුන්ගේ සගයන් මෙන්ම, දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කල සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කල 2022 මහජන නැගිටීම නිසා දෙමල පක්ෂ භීතියට පත් විය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ විසින් පාවා දෙනු ලැබූ ඒකාබද්ධ ව්‍යාපාරය, කම්කරු පන්තියේ දැවැන්ත බලය හෙලිදරව් කලේය.
යුද්ධය වැලැක්වීමේ හා අත්‍යවශ්‍ය ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ එකම මාධ්‍යය ලෙස සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා අරගලය තුල කම්කරුවන් ඒකාබද්ධ කිරීමට සසප උද්ඝෝෂනය කරයි. සිංහල ස්වෝත්තමවාදය සහ දෙමල බෙදුම්වාදය ද ඇතුලුව, සියලු ආකාරයේ ජාතිකවාදයන්ට එරෙහි එහි දිගුකාලීන දේශපාලන විරුද්ධත්වය, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලය තුල ප්‍රකාශ වේ.