පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නව පරීක්ෂනයක් පැවැත්වීමට ජනාධිපති නියෝග කරයි

[මෙය Sri Lankan president orders new inquiry into Easter Sunday terrorist attack යන මැයෙන් 2024 ඔක්තෝබර් 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කතෝලික ඡන්ද දිනාගැනීම සඳහා ගනන් බැලීමේ ප්‍රයත්නයක් ලෙස, අලුතෙන් තේරී පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉරිදා උදෑසන මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගියේය. 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල සමග කථා කල ඔහු පුෂ්පෝපහාර දැක්වීය.

පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල කිරීම මගින්, පිරිමින්, කාන්තාවන් සහ ලමුන් 270 කට වැඩි පිරිසක් මිය ගිය අතර 500 ක් පමන තුවාල ලැබූහ. ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පමනක් 219 ක් පමන තුවාල ලබා ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක (දකුනින්) කොලඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් (මැද) සමඟ 2024 ඔක්තෝබර් 6 වන දින මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී [ඡායාරූපය: ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශය] [Photo: President’s Media Division of Sri Lanka]

කොලඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා සහ අනෙකුත් දේවස්ථානවල නායකයන් සහභාගී වූ ඉරිදා උත්සවය වේදිකාගත ව්‍යාජයක් ( a stage-managed event) වූ අතර එයට පුලුල් මාධ්‍ය ආවරනයක් ලැබිනි. මෙම උත්සවය විශේෂයෙන්ම මිලියන 1.5 කට වැඩි රටේ ක්‍රිස්තියානි ජනගහනය ඉලක්ක කර ගන්නා ලද්දක් විය.

පසුගිය මාසයේ ජනාධිපතිධුරය දිනාගැනීමෙන් පසු, නොවැම්බර් 14 දින මහ මැතිවරනයක් කැඳවූ දිසානායක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමේ මංමුලා සහගත ලෙස උත්සාහයක යෙදී සිටී. ඔහු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලයට (ජාජබ) නායකත්වය දෙයි. ජාජබ කිසි දිනක බලය හොබවා නොතිබූ අතර පෙර මැතිවරනයෙන් ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන තුනක් පමනක් හිමිකරගෙන තිබිනි.

2019 බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් බහුතරය ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවයි. මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් යටතේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආන්ඩු පරීක්ෂන සිදුකිරීමට අපොහොසත් වූ බවටත්, විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද වින්දිතයින්ගේ පවුල්වල අය චෝදනා කරති.

ඉරිදා කතා කරමින් දිසානායක මෙසේ ප්‍රකාශ කලේය: “පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන වාසි ලබාගැනීමට සිදු කරන්නට ඇති බවට සමාජය තුල පුලුල් විශ්වාසයක් පවතී.” කෙසේ වෙතත්, මෙම වාසි අත්පත් කර ගත් බවට පුලුල්ව විශ්වාස කරන ලද්දේ කවුරුන් හෝ කෙසේද යන්න පිලිබඳව කිසිවක් ඔහු සඳහන් නොකලේය.

සියලුම සාක්ෂි යොමු කෙරෙන්නේ ඉරාක සහ සිරියානු ඉස්ලාමීය රා ජ්‍යය (අයිඑස්අයිඑස්) සංවිධානය සහ එයට අනුබද්ධිත ප්‍රාදේශීය ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමක් වන ජාතික තව්හිද් ජමා ද් (ජාතජ) සංවිධානය වෙතටයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනෙකුගේ ඡායාරූප නිකුත් කල අයිඑස්අයිඑස් සංවිධානය එහි වගකීම භාර ගත්තේය.

කෙසේ වෙතත්, පිලිතුරු නොලැබුනු ප්‍රශ්න බොහොමයක් ඉතිරි වී ඇත. වැදගත්ම දෙය නම් විදේශීය බුද්ධි අංශවලින් පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් රජය සහ හමුදා සංස්ථාපිතය කිසිදු පියවරක් නොගත්තේ මන්ද? යන්නයි. ජාතජ ක්‍රියාකාරිකයෙකු වන සහරාන් හෂීම් විසින් පල්ලි ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සංවිධානය කරන බවට ඉන්දීය බුද්ධි ඒජන්සිය ප්‍රහාරයට සති දෙකකට පෙර සිය ශ්‍රී ලංකා සහචරයන්ට විශේෂයෙන් අනතුරු ඇඟවීය.

මේ පිලිබඳව දැනුවත් කෙරුනු පිරිස අතර හමුදා සහ පොලිස් ධුරාවලිය මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයා ද වූහ. කෙසේ වෙතත්, ප්‍රහාර සහ ජීවිත සිය ගනනක් අහිමි වීම වැලැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා නොලදී.

පැහැදිලිවම මතුවන ප්‍රශ්නය වන්නේ: ඇයි? පිලිතුර ද පැහැදිලි ය: දේශපාලන නායකයෝ සහ මිලිටරි-පොලිස් ඉහලම තන්ත්‍රය මුස්ලිම්-විරෝධී වර්ගවාදය ඇවිස්සීමටත්, සිරිසේන-වික්‍රමසිංහ පාලනයට එරෙහිව කම්කරු පන්තියෙන් නැගී එන විරුද්ධත්වයට එරෙහිව මිලිටරිය හා පොලීසිය බලමුලු ගැන්වීම යුක්ති සහගත කිරීමටත් සංහාරය සිදු වීමට ඉඩ හැරියහ.

බෝම්බ ප්‍රහාරවලින් පසුව, ආන්ඩුව හදිසි නීතිය පැනවූ අතර සියලු මැයි දින රැලි සහ රැස්වීම් තහනම් කලේය. මෙය මර්දනයේ සැබෑ ඉලක්කය කම්කරු පන්තිය බවට පැහැදිලි සලකුනකි. මීට අමතරව, වරෙන්තු නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීමත් දේපල අත්පත් කර ගැනීමත් ඇතුලු පොලිස් බලතල හමුදාවට ලබා දෙන ලදී.

ලෝසවෙඅ සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) එකල අනතුරු ඇඟවූයේ, ආන්ඩුවේ දරුනු කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩ වර්ජන සහ විරෝධතාවන්හි යලි පිබිදීමක් මධ්‍යයේ මෙම ගැඹුරු ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට සියලු සංස්ථාපිතයේ දේශපාලන පක්ෂවල පිටුබලය ලැබී ඇති බවයි.

කම්කරු පන්තිය බෙදීම අරමුනු කරගත්, මාධ්‍ය සමග එක්ව, ආන්ඩුව හා විපක්ෂ දේශපාලන පක්ෂ විසින් මුස්ලිම්-විරෝධී විජාතික භීතිකාව සහ ප්‍රකෝපකරනයන්ට එරෙහිව සසප උද්ඝෝෂනයක් දියත් කලේය. සංවිධානාත්මක ජාතිවාදී කන්ඩායම් අහිංසක මුස්ලිම්වරුන්ට සහ ඔවුන්ගේ දේපලවලට ප්‍රචන්ඩ ලෙස පහර දී දුසිම් ගනනකට තුවාල සිදු කලහ. අඩුම තරමින් එක් අයෙකුවත් මරා දැමිනි.

මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීමට කිසිවක් නොකල සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ ආන්ඩුව ප්‍රචන්ඩ ප්‍රහාරයට ඉදිරියට යාමට ඉඩ හැරියේය.

ඉරිදා කතෝලික ඡන්ද දිනා ගැනීම සඳහා ඉදිරිපත් වූ දිසානායක කතා කලේ ජවිපෙ/ජාජබ ඉහත සිදුවීම්වලදී අහිංසකව පැත්තකට වී සිටියාක් මෙනි. දේශපාලන වාසි තකා මෙම ප්‍රහාර ඉදිරියට ගෙන යාමට ඉඩ දී සිටියා විය හැකියයි යනුවෙන් සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කලේ රටේ දේශපාලනය මෙතරම් අන්තයකට පැමින ඇත්නම් පලමු ප්‍රමුඛතාවය විය යුත්තේ මෙම භයානක තත්ත්වය තුරන් කිරීම බවයි.

එහෙත්, එකල, දෙමල විරෝධී සහ මුස්ලිම් විරෝධී ජාතිවාදයේ දිගු ඉතිහාසයක් පැවැති ජවිපෙ/ජාජබ, කුහක වර්ගවාදී ව්‍යාපාරයට සම්බන්ධ විය. 2019 මැයි 7 වැනි දින පාර්ලිමේන්තුව අමතමින් දිසානායක සමස්ත මුස්ලිම් ප්‍රජාව හෙලා දකිමින්, සියලුම මුස්ලිම්වරුන් බෝම්බකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රචන්ඩත්වයට උසිගැන්වීමක් ලෙස ඔහු ප්‍රකාශ කලේ: “මෙම විනාශකාරී කලලරූපය වර්ධනය වන්නේ මුස්ලිම් ගර්භාෂය තුලය.”

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පැහැදිලි දේශපාලන ප්‍රතිලාභියා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොජපෙ) 2019 නොවැම්බර් ජනාධිපතිවරනයේ දී තම අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සඳහා වූ ප්‍රචාරක ව්‍යාපාරයේ දී එල්ල කෙරෙනු බෝම්බ ප්‍රහාරවලින් මතු වූ කනස්සල්ල සහ බිය ගසාකෑවේය.

හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ, 2009 බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ප්‍රතිගාමී වාර්ගික යුද්ධයේ අවසන් මාසවලදී ඔහුගේ සහෝදර ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ හිටපු ආරක්ෂක ලේකම් ලෙස සේවය කලේය. එල්ටීටීඊය තලා දැමූ විනාශකාරී මිලිටරි මෙහෙයුම් වලදී දස දහස් ගනන් දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීමට ඔවුහු ප්‍රධාන වශයෙන් වගකිව යුතු විය.

ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ “ජාතික ආරක්ෂාව” ස්ථාපිත කරන බවටත් “ත්‍රස්තවාදයට” එරෙහිව සටන් කරන බවටත් පොරොන්දු වෙමිනි. සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව තම ආන්ඩුව විසින් දියත් කරමින් පවතින ගැඹුරු ප්‍රහාරවලට එරෙහි විරෝධය අවමංගත කිරීම සඳහා ඔහු විෂඝෝර මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය දිගටම ගෙන ගියේය. කොරෝනා-19 වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ මාරාන්තික වෛරසයේ මූලාශ්‍රය මුස්ලිම් ප්‍රජාව බවට කිසිදු සාක්ෂියක් නොමැතිව ප්‍රකාශ කෙරිනි.

2023 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතා න්‍ය රූපවාහිනියේ චැනල් 4 නාලිකාව වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකා රා ජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) ප්‍රධානී සුරේෂ් සලේ පාස්කු ඉරිදා බෝම්බ කුමන්ත්‍රනය මෙහෙයවූ බවයි. ඒ වන විට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මන්ඩලයේ (ඩීඑම්අයි) සේවය කරමින් සිටි ඔහු රාජපක්ෂලාට නැවත බලයට පැමිනීම සඳහා මාවත එලිපෙහෙලි කිරීම සඳහා දැඩි අස්ථාවර වාතාවරනයක් ඇති කිරීම අරමුනු කර ගත්තේය. සලේ එම චෝදනා ප්‍රතික්ෂේප කල අතර චූදිතයන් කිහිප දෙනෙකුට නඩු පැවරිනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිලිබඳව විමර්ශනය කල අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) හිටපු ප්‍රධානී රවී සෙනෙවිරත්න නිගමනය කලේ 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අය නොමඟ යැවීමට සලේ සේවය කල ඩීඑම්අයි විසින් උත්සාහ කරනු ලැබ ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති කොමිසම 2021 දී වාර්තාවක් ඉදිරිපත් කල අතර එය හමුදාව - රාජපක්ෂට සමීප සම්බන්ධකම් පැවතු න- බෝම්බ ප්‍රහාරවලට කිසිදු සම්බන්ධයක් නොමැති බවට නිදොස් කලේය. චැනල් 4 නාලිකාවේ චෝදනා ඇතුලු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2023 සහ 2024 වසරවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ කමිටු දෙකක් පත් කරන ලදී. එම කමිටු වාර්තා කිසිවක් ප්‍රසිද්ධියට පත් නොකෙරිනි.

ප්‍රහාරයේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ බෝම්බ ප්‍රහාර සිදු කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රජයේ ඉහල පෙලේ නිලධාරීන් සිව්දෙනා - ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ බුද්ධි අංශ දෙකක ප්‍රධානීන්- වරදකරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරනය පසුගිය වසරේ මූලික අයිතිවාසිකම් නඩුවකදී තීන්දු කලේය. වින් දිතයින්ට වන්දි ගෙවීමට ඔවුන්ට නියෝග කෙරිනි.

ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරයේ දී දේශපාලන සංස්ථාපිතයේ දූෂනයට සහ අපරාධවලට එරෙහි ශූරයකු ලෙස පෙනී සිටි දිසානායකට දැන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව පෙන්වීමට අවශ්‍ය වී තිබේ. රා ජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) ප්‍රධානියා ලෙස සුරේෂ් සලේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කල පසු ඔහු ඉවත් කල දිසානායක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස විශ්‍රාමික සීඅයිඩී ප්‍රධානී රවී සෙනෙවිරත්න පත් කල බව වාර්තා කෙරිනි. “ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් මෑතක දී කරන ලද හෙලිදරව් කිරීම් ද සොයා බලමින් පවතිනවා” යයි ඔහු [දිසානායක] ප්‍රකාශ කලේය.

දිසානායක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පරීක්ෂනයක් ඉල්ලා සිටින අතර, දැනට පවතින කමිටු වාර්තා දෙකක් ප්‍රසිද්ධියේ නිකුත් කරන ලෙස කෙරුනු ඉල්ලීම් ඔහු නොසලකා හැර ඇත්තේ ඇයි? ජාජබ හරහා, ජවිපෙ විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් සමග සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර ජවිපෙ එල්.ටී.ටී.ඊ.යට එරෙහි දිග්ගැස්සුනු යුද්ධයේදී යුද අපරාධ චෝදනාවලට එරෙහිව සෑම විටම ඉහලම හමුදා නිලධාරීන් ආරක්ෂා කර ඇත. දිසානායක ආරක්ෂා කරන්නේ කාවද?

වඩාත් මූලික වශයෙන් ගත්කල, 2019 ත්‍රස්තවාදී ප්‍රහාරයන් සම්බන්ධයෙන් නව පරීක්ෂනයක් සඳහා නව ජනාධිපතිවරයාගේ කැඳවීම වින්දිතයන් කෙරෙහි ඇති අනුකම්පාවකින් හෝ යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ සැලකිල්ලකින් ජනනය වූවාක් නොවේ. ඔහුගේ නරුම මැතිවරන ගනන් බැලීම් පසෙක තබා, දිසානායක, සියල්ලටත් වඩා, මිලිටරියට සහ පොලිසියට සුදු හුනු ගෑමට අධිෂ්ඨාන කරගෙන සිටී. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කප්පාදු නියෝග ක්‍රියාවට නංවන බැවින්, වැඩකරන ජනතාවගේ විරුද්ධත්වයට එරෙහිව හමුදාව සහ පොලීසිය භාවිතා කිරීමට ඔහු පසුබට නොවනු ඇත.

පහත ලිපි ද කියවන්න:

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසුව ආන්ඩුව විෂඝෝර ජාතික හදිසි තත්ත්වයක් පනවයි

අයිඑස්අයිඑස් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කලේ ඇයි?

Loading