ශ්‍රී ලංකා දූත පිරිස ජාමූඅ ටත්, ලෝක බැංකුවටත් කප්පාදු ප්‍රහාරය දිගටම ගෙන යනු ඇති බව පවසයි

[මෙය Sri Lankan delegation tells IMF and World Bank it will continue austerity onslaught? යන මැයෙන් 2024 ඔක්තෝබර් 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, අඟහරුවාදා (22) වොෂින්ටනයේ පැවැත්වුනු ජාමූඅ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලදී ශ්‍රී ලංකා ආන්ඩුවේ නියෝජිත පිරිසක් හමුවිය. ජාමූඅ ඩොලර් බිලියන 2.9 ක ඇප නයට අදාලව “ප්‍රතිසංස්කරන ප්‍රයත්නයන් දිගටම ගෙන යාමට බලධාරීන්ගේ කැපවීමෙන් තමන් දිරිමත් වූ” බව ජෝර්ජීවා සිය එක්ස් (ට්විටර්) ගිනුමේ අදහස් දැක්වීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (දකුනින්), මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ 2024 ඔක්තෝබර් 22 වැනි දින වොෂින්ටන්හිදී [Photo: X/KGeorgieva]

ශ්‍රී ලංකා දූත පිරිසට, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජනාධිපති දිසානායකගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයකු වන දුමින්ද හුලංගමුව යන අය ද ඇතුලත් විය. හුලංගමුව ලංකා වානිජ මන්ඩලයේ සභාපතිවරයා වන අතර, එය ආන්ඩුව ජාමූඅ වැඩපිලිවෙල සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක කල යුතු බව අවධාරනය කර ඇත.

ජනාධිපති අනුර දිසානායකගේ නව ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව ශ්‍රී ලංකාවට පැමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කන්ඩායමකට දැනට පවතින බදු ක්‍රමය දිගටම පවත්වාගෙන යන බවටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් සියලුම විධානයන්ට අනුකූලව කටයුතු කරන බවටත් මීට පෙර සහතික විය. මෙයට කම්කරුවන් මත තවදුරටත් බදු වැඩිකිරීම්, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වියදම් කප්පාදුව සහ රජය සතු ව්‍යවසාය තොග පිටින් පුද්ගලීකරනය කිරීම ඇතුලත් වේ. නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසු රජය සතු ව්‍යවසාය පුද්ගලීකරනය ගැන අවධානය යොමු කරන බව ජවිපෙ/ජාජබ තන්ත්‍රය පැවසීය.

කැබිනට් ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය විජිත හේරත් ඔක්තෝබර් 9 දා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, “ආර්ථිකයට විශාල ප්‍රශ්නවලට මුහුන දීමට සිදුවන නිසා”, ආන්ඩුව ජාමූඅ න්‍යාය පත්‍රය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට සම්බන්ධ ඒවා වෙනස් නොකරනු ඇති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, ජාමූඅ වැඩසටහන එලෙසම ක්‍රියාත්මක වනු ඇත.

ලෝක බැංකුව වැනි අනෙකුත් ජාත්‍යන්තර නය දෙන්නන්ගෙන් නය ලබා ගැනීම සහතික කර ගැනීම සඳහා ජාමූඅ ඇප නයෙහි ඊලඟ වාරිකය ජවිපෙ/ජාජබ ආන්ඩුවට දැඩි ලෙස අවශ්‍ය වේ. මේ සතියේ වොෂින්ටනයේ රැස්වීම් පැවැත්වුනේ, එහි සියලු බදු ඉහල දැමීම් සහ අවම වශයෙන් රාජ්‍ය අංශයේ රැකියා 500,000 ක් විනාශ කිරීම ඇතුලුව, පූර්ව වික්‍රමසිංහ ආන්ඩුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගවලට මුලුමනින්ම කැපවී සිටින බවට ජාමූඅ ට සහ ලෝක බැංකුවට තවදුරටත් සහතික කර ගැනීම සඳහා ය.

ජාත්‍යන්තර බැංකුකරුවන්ට දෙන මෙම පොරොන්දු, වාර්තාගත මට්ටමේ දරිද්‍රතාවයට මුහුන දෙන නමුත් නව ආන්ඩුව යම් සමාජ සහනයක් ලබා දෙන බවට ඔවුන්ගේ මැතිවරන ප්‍රකාශ වල දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකීය ජනතාව, දිසානායක තන්ත්‍රය සමග පුපුරන සුලු ගැටුමකට ගෙන එනු ඇත.

ජාමූඅ කප්පාදු ඉල්ලීම් පැටවීමට ආන්ඩුව රාජ්‍ය යාන්ත්‍රනය බලමුලු ගන්වන විට මෙම මිත්‍යාවන් බිඳ වැටෙනු ඇත. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මහා මැතිවරනයට මැදිහත් වන්නේ, දුෂ්ට සමාජ ප්‍රහාර අවසන් කිරීමට ඇති එකම මාර්ගය වන සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත සියලු ධනේශ්වර පක්ෂ හා ඒවායේ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව කම්කරුවන්, තරුනයින් හා ගම්බද ජනතාව බලමුලු ගැන්වීමට ය.

මුදල් ඇමති ද වන ජනාධිපති දිසානායක විසින් නිකුත් කරන ලද “මැතිවරනයට පෙර අයවැය තත්වය පිලිබඳ වාර්තාවකට” අනුව, ආන්ඩුවේ ආදායම මේ වසරේ මුල් මාස අට තුල රුපියල් බිලියන 2,557 දක්වා සියයට 41 කින් වැඩි වී තිබේ. මෙම වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ බදු එකතු කිරීම වන අතර එය සියයට 41 කින්, එනම් රුපියල් බිලියන 2,348 ක් දක්වා ඉහල ගොස් ඇත; මේ බර මූලික වශයෙන් දරනු ලබන්නේ කම්කරුවන් සහ දුප්පතුන් විසිනි.

කෙසේ වෙතත්, ජාමූඅ ට අවශ්‍ය වන්නේ 2025 අයවැයේ ප්‍රාථමික ශේෂය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 දක්වා ඉහල නැංවීම සඳහා ආන්ඩුවේ ආදායම වැඩි කිරීම සහ රාජ්‍ය වියදම් අඩු කිරීමයි. මෙයට 2023 දී සියයට 0.6 ට සාපේක්ෂව හතර ගුනයක වැඩිවීමක් ඇතුලත් වනු ඇත; එයින් අදහස් වන්නේ මහා විරැකියාව සහ තවත් මිලියන ගනනක් ශ්‍රී ලාංකිකයන් මංමුලා සහගත දරිද්‍රතාවයට ඇද දැමීමයි.

ආන්ඩුව වැඩි ආදායමක් ගැන පුරසාරම් දොඩන නමුත් මෙය සාක්ෂාත් කර ගෙන ඇත්තේ කෙසේද?

ජාමූඅ නියෝගවලට අනුකූලව, වික්‍රමසිංහ ආන්ඩුව එකතු කල අගය මත බද්ද (වැට්) අති විශාල ප්‍රමානයකින්, සියයට 18 දක්වා ඉහල දැමීය; එය වත්මන් පරිපාලනය තුල ද දිගටම පවතිනු ඇත. මිනිසුන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය භාන්ඩ සියල්ලටම පාහේ අදාල වන මෙම බද්ද, මසකට රුපියල් මිලියන පහ ඉක්මවන වාර්ෂික ආදායමක් සහිත කුඩා ව්‍යාපාරවලට බලපායි.

වැඩි වූ ආදායමේ තවත් අංගයක් වන්නේ ඉහල පුද්ගලික ආදායම් බද්ද (ඒපීටිඅයි) සහ රඳවා ගැනීමේ බද්ද වන අතර එය මූලික වශයෙන් බලපාන්නේ මසකට රුපියල් 100,000 කට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයන්ට සහ තම අර්ථසාධක අරමුදලේ ඉතුරුම් මත යැපෙන විශ්‍රාමිකයන්ටය. මෙම බදු ආදායම රුපියල් බිලියන 625 කට ආසන්න අගයක් දක්වා, සියයට 16 කින් ඉහල ගොස් ඇත; ජාමූඅ හි මෙම වසරේ ආන්ඩුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.

මෙම ම්ලේච්ඡ ආදායම් පියවරයන් වැඩ කරන ජනතාවට ඇති කරන ප්‍රතිවිපාක මොනවාද?

2022 සිට අධික බදු සහ අඛන්ඩ ඉහල උද්ධමනය ජනගහනයෙන් සියයට 26 ක්, එනම් හතරෙන් එකක් දරිද්‍රතාවයට ඇද දැමීමට හේතු වී තිබේ. ඔක්තෝබර් 10 වැනි දින ශ්‍රී ලංකාව පිලිබඳ ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද යාවත්කාලීනයක් වාර්තා කරන්නේ, 2024 දී “ආහාර අනාරක්ෂිතභාවය ඉහල මට්ටමක පවතින අතර දරිද්‍රතාවය දෙගුනයකට ආසන්නව” ඇති බවත් එය 2026 දක්වා පවතිනු ඇති බවත් ය.

2023 සිට ආන්ඩුවේ දත්ත වලට අනුව, හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් වීමට අවම වශයෙන් රුපියල් 103,000 ක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, මූර්ත වැටුප් අනුපාත 2022 දී සියයට 27 කින් සහ 2023 දී සියයට 23 කින් අඩු විය. බොහෝ කම්කරුවන් මසකට උපයන්නේ රුපියල් 25,000 ත් 30,000 ත් අතර පමනි; එයින් අදහස් කරන්නේ, ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දීම සඳහා, කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසකට අතිකාල වැඩ කිරීමට සහ රැකියා කිහිපයක් කිරීමට බල කෙරී ඇති බවයි.

ආන්ඩුවේ ආදායම වැඩිවීම නොතකා, හිටපු වික්‍රමසිංහ ආන්ඩුව විසින් මිලියන 1.4 කට අධික රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා කලින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රමානවත් නොවන වැටුප් වැඩිවීමක් දිසානායක විසින් අත්හිටුවා ඇත. එය 2025 ජනවාරි මස සිට ගෙවීමට නියමිතව තිබුනි.

ආන්ඩුවේ වියදම් කපා හැරීමට ජාමූඅ සහ ලෝක බැංකුවේ ඉල්ලීම්, ශ්‍රී ලංකාවට පමනක් සීමා නොවේ. ජාමූඅ සහ ලෝක බැංකු රැස්වීම් සඳහා සකස් කරන ලද රාජ්‍ය මූල්‍ය නිරීක්ෂන වාර්තාව “නය තිරසාරභාවය” කෙරෙහි අවධානය යොමු කලේ, වේගයෙන්ම වර්ධනය වන නය ඇති රටවල නය මට්ටම් ස්ථාවර කිරීම සඳහා පෙර නොවූ විරූ විශාල පරිමානයකින් ආන්ඩුවේ වියදම් කප්පාදු කිරීම අවශ්‍ය වන බව පැහැදිලි කරමිනි.

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පුලුල් ලෙස පිලිකුල් කරන ලද සාම්ප්‍රදායික පක්ෂවල විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින ජවිපෙ/ජාජබ, සැප්තැම්බර් 21 ජනාධිපතිවරනය ජයග්‍රහනය කිරීමට සමත් විය; නව ආන්ඩුව දුර්වල හා අස්ථාවර පාලන තන්ත්‍රයක් වන අතර එය ගමන් කරන්නේ, ශ්‍රී ලාංකික ජනතාව සමග දේශපාලන ගැටුමක මාවතක ය.

සියල්ලටත් වඩා, 2022 අප්‍රේල් මාසයේ දී මතු වූ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලහත්කාරයෙන් පලවා හරින ලද, මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන ව්‍යාපාරය වැන්නක් පුපුරා යාමේ අන්තරායන් පිලිබඳව එය තියුනු ලෙස දනී.

ජාමූඅ හා ලෝක බැංකුවට තම කප්පාදු ප්‍රහාර බලාත්මක කරන බවට පොරොන්දු වෙමින්, සාම්ප්‍රදායික ආන්ඩු පක්ෂ සමග ගැඹුරට මුල් බැසගත් මහජන අතෘප්තිය ගසාකෑමට උත්සාහ කරමින්, ජවිපෙ/ජාජබ මංමුලා සහගත ලෙස දිව දෙකේ කතා කියන්නේ මේ නිසාය.

ජවිපෙ/ජාජබ එහි කප්පාදු පියවරයන්ට එරෙහිව පැන නගින නොවැලැක්විය හැකි මහජන අතෘප්තිය මැඩපැවැත්වීම සඳහා පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති භාවිතා කිරීමට පසුබට නොවන බව වැඩ කරන ජනතාව තේරුම් ගත යුතුය.

කම්කරු පන්තිය තම සමාජ අයිතීන්ට දිසානායක ආන්ඩුව විසින් එල්ල කෙරෙන ප්‍රහාරයන්ට හා පොලිස්-රාජ්‍ය මර්දනය සඳහා වන සූදානමට මුහුන දීමට දේශපාලනික ව හා සංවිධානාත්මක ව සූදානම් විය යුතු ය.

සසප, සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව, සෑම කම්හලකම, වැඩබිමක, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස කම්කරුවන්ට ආරාධනා කරයි. ඒ හා සමාන කමිටු ඔවුන්ගේ ප්‍රදේශවල ග්‍රාමීය දුප්පතුන් විසින් ද පිහිටුවා ගත යුතුය. කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් (ඩීඑස්සී) ගොඩනැගීමට සසප සටන් වදියි.

සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට ගම්බද දුගීන් පෙලගස්වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ රාමුව බවට මෙම සම්මේලනය පත් විය යුතුය.

නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනය තුල සසප මැදිහත්වීම යටින් පවතින වැඩපිලිවෙල මෙයයි. සසප, කොලඹ, නුවරඑලිය සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරයි. අපගේ අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත්, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා පක්ෂයේ ව්‍යාපාරයට සහභාගී වන ලෙසත්, අනෙකුත් කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් එයට දිනා ගන්නා ලෙස සහ සසප ට බැඳීමට අයදුම් කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading