දහසක් පමන පාසල් සංවර්ධන නිලධාරීන් (පාසනි) විසින් පසුගිය දෙසැම්බර් මස 02දා කොලඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදු කල උද්ඝෝෂනයේ දී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කල බවට අභූත චෝදනා ඉදිරිපත් කරමින් තවත් පාසනි ගුරුවරයෙකු තලංගම පොලිසිය විසින් ජනවාරි 07 දා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජනවාරී 07දා තලංගම පොලීසියට භාර වූ වලස්මුල්ල, වීරකැටිය, වෑකඳවල ජනපද මහා විද්‍යාලයේ සේවයේ නිරත එච්.කේ.ජී.බී. නෙල්සන් නැමති පාසනි ගුරුවරයෙකි. නෙල්සන්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරියෙකි. වයස අවුරුදු 42 ක දෙදරු පියෙකු වන ඔහුගේ බිරිඳ මේ මස සිය තුන්වන දරුවා බිහි කිරීමට ආසන්නව සිටී.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හා ක්‍රියාකාරී කමිටු සාමුහිකය සමග අදහස් දැක් වූ පාස නිලධාරීන්ගේ තොරතුරුවලට අනුව, නෙල්සන් පොලීසියට භාර වී ඇත්තේ පසුගිය සති කිහිපය පුරා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් භටයන් ඔහුගේ පවුලේ සාමාජිකයන් බිය වද්දමින්, ඔහුගේ දෛනික කටයුතුවලට බාධාකාරී ලෙස කිහිප අවස්ථාවකදී ම ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබෙන තත්වයක් තුලයි.
එසේම, පොලීස් නිලධාරීන්ට තුවාල සිදු කර තිබෙන්නේ නෙල්සන් බවට ඒ සම්බන්ධව පොලීසිය කල විමර්ශනවලදී හඳුනා ගෙන ඇතැයි ඇතැම් ආන්ඩු ගැති මාධ්‍ය විසින් පදනම් විරහිත ප්රවෘත්ති පල කලේ ය.
තලංගම පොලිසිය විසින් නෙල්සන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු සේවය කරන පාසලේ විදුහල්පතිට ලිපියක් යොමු කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස පොලීසියට ගිය අවස්ථාවේ ඔහු අත්අඩංගුටව ගෙන තිබේ. උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කර තිබේ.
වසර 5ක් පාසල් තුල ඉගැන්වීමේ කටයුතුවල නිරත 16000 ක් පමන වන පාසල් සංවර්ධන නිලධාරීන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම වන්නේ කොන්දේසි විරහිතව ඔවුන්ව ගුරු සේවයට අන්තර්ග්රහනය කර ගුරුවරුන්ට හිමි අයිතීවාසිකම් ලබා දෙනු යන්නයි. දෙසැම්බර් මාසයේ ඔවුන් උද්ඝෝෂනයේ නිරත වූයේ 2020 වසරේ සිට බලයට පත් අනුප්‍රාප්තික ආන්ඩු පාසනි ඉල්ලීම් මුලුමනින්ම නොතකා හැර ඇති තත්වයක් තුලයි.
අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව දෙසැම්බර් 02 දා පැවති පාසනි උද්ඝෝෂනයට ප්‍රතිචාර දැක්වූයේ කිහිප සියයක පොලිසිය මෙහෙයවා විරෝධතාවය විසුරුවා හැරීම මගින් හා උද්ඝෝෂකයන් මත පෙර නොවූ විරූ කුමන්ත්රනකාරී පොලිස් දඩයමක් දියත් කරමිනි.
නීති විරෝධි ලෙස රැස්වීම, රථ වාහන ධාවනයට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම යන චෝදනා මත දෙසැම්බර් 02 දා විරෝධතාවයේ දී පාසනි සිවුදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය. ඔවුන් දෙසැම්බර් 07 දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කල අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් විසින් තුවාල සිදු කලේ ඔවුන් බවට හඳුනා ගත්තේ නැත.
එම චෝදනා යටතේ ම තවත් පාසනි තුන් දෙනෙක් දෙසැම්බර් මස 15 දා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් පැහැර ගැනීමක ආකාරයක අත්අඩංගුවට ගැනීමක් සිදු කලේ ය. ඉන් අයෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කලමුත් තුවාල සිදු කලේ ඔහු බවට හඳුනා ගත්තේ ද නැත. මෙම පාසනි සත්දෙනා ඇප මත නිදහස් කල ද ඉහත චෝදනා ඔප්පු කලහොත් සිර දඩුවම් හෝ දඩමුදල් ගෙවීමට සිදුවනු ඇත. නෙල්සන් ද සමග මෙතෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පාසනි සංඛ්‍යාව අටකි.
පොලීසිය මෙලෙස පාසනි පසුපස හඹා යන්නේ, දෙසැම්බර් 02 විරෝධතාවය තුල සැක කටයුතු ලෙස හැසිරුනු පුද්ගලයෙකු පාසනි විසින් පොලීසියට අල්ලා භාර දුන් හා එම අවස්ථාවේ දීම ඔහු හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බවට හඳුනාගත් තත්වයක් යටතේ ය.
පාසනි පහර දෙමින් තල්ලු කර පොලිස් ජීප්වලට දමා ගත් ආකාරයට හාත්පසින්ම වෙනස් ලෙස ඒ අවස්ථාවේදී පොලීසිය එම තැනැත්තා ආරක්ෂාකාරීව ගෙන යන ආකාරය ද රූපවාහිනි මාධ්‍ය තුල විකාශය විය. පාසනි වෙනුවෙන් පෙනී සිටි න්මාධ්ය හමුවේ ප්‍රකාශ කලේ එම තැනැත්තා අතේ තියුනු ආයුධයක් දක්නට ලැබූ බවයි.
ඒ අතරතුර දෙසැම්බර් 12 දා වැඩ බලන පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ එම තැනැත්තා හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් නොවන බවයි.
කෙසේ නමුත්, එම තැනැත්තා කවුද ? ඔහු විරෝධතාවය තුල ගැවසුනේ කුමක් සඳහා ද ? ඔහු නිදහස් කලේ කුමන පදනමකින් ද ? වැනි ප්‍රශ්නවලට පිලිතුරු විරෝධතාකරුවන්ට හා සමස්ත මහජනයාට නො සපයා ඔහු නිදහස් කිරීමට පොලිසීය කටයුතු කර තිබේ.
එම ප්‍රශ්න ඉතිරිව තිබිය දී පොලීසිය හා ආන්ඩු ගැති මාධ්‍ය තවත් කරනමක් ගසා, පොලිස් නිලධාරීන්ට තුවාලකල පාසනි හඳුනා ගෙන ඇති බවත් ඔහු සැඟවී සිටින බවත් ප්‍රකාශ කලේ ය. පොලිසිය එසේ ප්‍රකාශ කලේ දැන් අත්අඩංගුවට ගෙන තිබෙන නෙල්සන් පිලිබඳවයි.
ලෝසවෙඅ සමග අදහස් දැක් වූ, වලස්මුල්ල ප්‍රදේශයේ නෙල්සන් සේවය කරන පාසලට සමීප පාසනි පොලිස් දඩයම හෙලා දකිමින් ඔහු සැගවී සිටි බවට වන චෝදනා එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය. එක් පාසනි මෙසේ විස්තර කලේ ය: “සැඟවුනා කියන එක බොරු. නෙල්සන් පාසල් නිවාඩු කාලයේ සෑම රාජකාරී දිනකම සේවයට වාර්තා කලා. අවස්ථා කිහිපයකදීම සිවිල් විදිහට ආපු පොලිස් භටයන් නෙල්සන්ගේ බිරිඳගේ පවුලේ අය බිය වද්දමින්, නෙල්සන් සිටින්නේ කොහේදැයි විමසා තියෙනවා. බිරිඳගේ සහෝදරියන් පසුපස සිවිල් පොලිස් භටයන් ගමන් කරලා තියෙනවා. එක් අවස්ථාවක ගර්භනි තත්වයේ සිටින නෙල්සන්ගේ බිරිඳ වැඩ කරන පෙර පාසලට ඇවිත් අමානුෂික ලෙස සිදු කල ප්‍රශ්න කිරීමක දී ඇය සිහිසුන් වෙලා, පෙර පාසලේ එදා පැවති උත්සවයටත් බාධා වෙලා තියෙනවා“.
චෝදනා ඔප්පු නො කර, අපරාධයක් කල බවට නෙල්සන්ගේ නමත් සහිතව මාධ්‍ය වාර්තා පල කිරීම ඔහු හෙලා දුටුවේ ය. “පාසලේ දරුවොත් දැන් කියනවා සර්ව කූඩුවට දාලා කියලා. බිරිඳට දරුවා ලැබෙන්න ආසන්නව තිබියදීත් 15දා දක්වා හිරේ දැම්මා. මෙහෙම තත්වයක් මීට පෙර මම දැකලා නෑ“.
පාසනි විරෝධතාවය පහරදීම හා දැන් ගෙන යන පොලිස් දඩයම මගින් පෙන්වා තිබෙන්නේ, පැවති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ආරම්භ කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) මිලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල ඒ ආකාරයෙන් ම ඉදිරියට ගෙනයන ජවිපෙ/ජාජබ ආන්ඩුව ඊට එරෙහිව පැන නගින කවර හෝ අරගලයක් රුදුරුම ආකාරයෙන් මර්දනය කරන බවයි.
ජනවාරී 03 පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?“ යන මාතෘකාව ඔස්සේ පැවැත්වීමට තිබූ දේශනය තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගැනීම මෙම මර්දනයේ තියුනුම ප්රකාශනයකි.
රජයේ ව්‍යවසාය සිය ගනනක් පෞද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය සේවක සංඛ්‍යාව මිලියන භාගයකින් කපා දැමීම, වැට්, උපයන විට බදු වැනි දන්ඩනීය බදු තවදුරටත් ඉදිරියට ගෙන යෑම හා අධ්‍යාපන සෞඛ්‍ය වියදම් කප්පාදුව ඇතුලු ප්‍රහාර මාලාවක් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට ඇතුලත් වේ.
පාසනි ගුරු සේවයට අන්තර්ග්රහනය කිරීම, 30000 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය අංශයේ රැකියාවලට බඳවා ගැනීම වැනි ඉල්ලීම් ඍජුව ගැටන්නේ ජාමූඅ කොන්දේසි සමගයි. පාසල් ක්ෂේත්රය තුල ගත හොත් 50000 ට අධික ගුරු පුරප්පාඩු පවතී.
පාසනි එරෙහි ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පොලිස් දඩයම මේසා පරිමානව තීව්ර කෙරෙමින් තිබිය දී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නිලධරය ඒ සම්බන්ධව මුනිවත රකිමින් ආන්ඩුවේ මර්දනයට සහයෝගය දී තිබේ. ජවිපෙ ගුරු සංගමය වන ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් වත්මන් නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේ කතා කරමින්, විරෝධතාවයේ දී පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාසනි හෙලා දැක්කේ ය. ඔහු එසේ කලේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු වගවිභාගයකින් තොරව යි.
ලංකා ගුරු සංගමය, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ මෙහෙය වන ඒකාබද්ධ ගුරු සේවා සංගමය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය, දිසානායක ආන්ඩුව විසින් පාසනි ට එල්ල කර ඇති පොලිස් දඩයම සම්බන්ධව මුනිවත රකිමින් ආන්ඩුවට සහයෝගය දී තිබේ. පාසනි ගුරු සේවයට බඳවා ගැනීමට යලි තරග විභාග පැවැත්විය යුතු ය යන ආන්ඩුවේ වංචා සහගත කියාපෑම් පිටුපස මෙම සමිති ද පෙලගැසී සිටී.
ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් සහන දිනා ගත හැකිය යන මාරාන්තික මිත්‍යාව වගාදිගා කරන මෙම සමිති, ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමෙන් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා යයි පැවසූ ජවිපෙ වෘත්තීය සමිති සමග පෙල ගැසෙමින් වැටුප්, රැකියා කොන්දේසි හා නිදහස් අධ්‍යාපන අයිතිය සම්බන්ධ පසුගිය වසරේ පැන නැගි කම්කරු පන්තියේ අරගල දියකර හැරීමට වැඩ කලේ ය. පාසනි අරගලය ඉන් එකකි.
පාසනි නියෝජනය කරන සමිති නිලධරයේ වැඩපිලිවෙල මෙම සාම්ප්‍රදායික සමිති නායකයන්ගේ වැඩපිලිවෙලට වෙනස් නැත. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකට හතුරුව ඔවුන් ධනේෂ්වර පක්ෂ, සිවිල් සංවිධාන, ධනපති අධිකරනය පිටුපස ගාල් කරමින් පාසනි හුදකලා කොට ආන්ඩුවේ ප්‍රහාරයට ඔවුන් ගොදුරු කරමින් සිටී.
ජාමූඅ කප්පාදු වැඩපිලිවල පරාජය කිරීමට කම්කරු පන්තියේ ස්වාධීන හා ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමේ එල්ලයෙන් ක්‍රියාකාරී කමිටු සාමූහිකය විසින් දෙසැම්බර් මස 28 දා ලෝසවෙඅ “ශ්‍රී ලංකාවේ ගුරුවරුන් හා කම්කරුවන් පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කල යුතුයි“ යන හිසින් පල කල ප්‍රකාශ තුල අපි මෙසේ ප්‍රකාශ කලෙමු:
“කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) වෘත්තීය සමිති නිලධරයන්ගේ “බලා සිටීමේ ප්‍රතිපත්තිය” සහ කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කිරීමේ අනෙකුත් උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. කම්කරුවන් තම සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීම සඳහා, වතුකරයේ සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල සෑම සේවා ස්ථානයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හදිසි අවශ්‍යතාවයකි.
“පාසනි තම වෘත්තීය සමිති නායකයන් විසින් අනෙකුත් ධනේශ්වර පක්ෂ සහ ඊනියා සිවිල් සමාජ කන්ඩායම් වෙත කරන ආයාචනා ප්‍රතික්ෂේප කල යුතු අතර ඒ වෙනුවට තමන්ගේම ක්‍රියාකාරී කමිටු සංවිධානය කර කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරිය යුතුය“.