දෙමල ජාතිකවාදී පක්ෂ යුද්ධයෙන් අතුරුදහන් කල පුද්ගලයන් වෙනුවෙන් ගෙනයන උද්ඝෝෂනය අත්හැර දමයි

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීහු, තම ආදරනීයයන් සොයා දෙන ලෙස ඉල්ලා අඛන්ඩව, විවිධ සැමරුම් දිනයන්හි පවත්වන විරෝධතාවල කොටසක් ලෙස, මාර්තු 8 කාන්තා දිනයේදී තම අටවන වාර්ෂික විරෝධතාව පැවැත් වූහ. යුද්ධය අවසන් වූ මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවගල් පාලම අසල පිහිටි ගෝඨාභය නාවික කඳවුර ඉදිරිපිට දී මෙවර විරෝධතා පා ගමන පැවැත්විනි.

2025 මාර්තු 8 වන දින මුලතිව්හි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතා දක්වයි [ඡායාරූපය; ලෝසවෙඅ]

මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් කැඳවන ලද මෙම රැලියට කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ඥාතීන් සිය ගනනක් සහභාගී වූහ. ඔවුන් අතර, තම පුතුන්, දියනියන්, සැමියන්, භාර්යාවන්, දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් අහිමි වී දශක ගනනාවකට පසුවත් ඔවුන් සොයන වැඩිහිටියන් ඇතුලු සිය ගනනක් ජනයා රැලියට සහභාගී වූයේ, කලු රෙදිවලින් හිස වසාගෙන, කඳුලු සලමින් තම ඥාතීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමිනි.

'අපේ රටේ ජීවත් වීමට අපට අයිතියක් නැද්ද?' විරෝධතාකරුවෝ ඇසූහ. 'අපට ජාත්‍යන්තර විසඳුම කුමක්ද?; කොක්කුඩ්ඩුවයි මිනිස් සොහොන් ප්‍රශ්නය වසන් කරන්න එපා!; අපට සත්‍යය සහ යුක්තිය අවශ්‍යද?; අපි ශ්‍රී ලංකාව විශ්වාස කරන්නේ නැහැ, අපට ජාත්‍යන්තර පරීක්ෂනයක් අවශ්‍යයි; හමුදාවට භාර දුන් අපේ දරුවන්ට මරන සහතික නිකුත්කරයි නම් ඔවුන් මැරුවේ කවුද?' අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තර්ජනය කිරීම නවත්වන්න!' ආදී සටන් පාඨ ලියූ බැනර් ඔවුහු ප්රදර්ශනය කලහ.

පෙර ආන්ඩු මෙන් ම, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/එන්පීපී) පාලනය ද විරෝධතාකරුවන් බිය ගැන්වීමේ අරමුනින් විශාල ප්‍රමානයෙන් පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන් විරෝධතාව පැවැත්වූ ප්‍රදේශයේ යොදවා තිබුනි.

මෙම අතුරුදහන් කිරීම් සිදුවුයේ, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව 1983 ආරම්භ කර 2009 මැයි මාසය දක්වා 26 අවුරුද්දක් කොලඹ බලයට පැමිනි අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනයන ලද වර්ගවාදී යුද්ධයේ දීය. යුද්ධය ආරම්භ කෙරුනු තැන් පටන් වත්මන් ආන්ඩුව ගෙනයන ජවිපෙ ඊට සම්පුර්නයෙන්ම සහයෝගය දුන්නේය. බොහෝ දෙනෙක් අතුරුදහන් කෙරුනේ, ජනතා විමුක්ති පෙරමුනේ ද දිරිගැන්වීම මත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව 2006 දී නැවත ආරම්භ කර 2009 මැයි මාසයේ දී අවසන් වූ යුද්ධය අතරතුර කාලය තුලය.

යුද්ධය අවසානයේ හමුදාවට භාර වුනු අය, ඔවුන් සමඟ ක්‍රියාත්මක වන හමුදා සහ පැරාමිලිටරි කන්ඩායම් විසින් පැහැරගෙන යනලද අය සහ යුද්ධයෙන් පසු හමුදාව විසින් පවත්වා ගෙන යනු ලැබූ වවුනියාවේ රැඳවුම් කඳවුරුවලින් ප්‍රශ්න කිරීම සඳහායයි ඇදගෙන ගිය අය ද අතුරුදහන් කෙරුනු පුද්ගලයන්ට ඇතුලත් වෙති.

2009 මැයි 18 සහ 19 යන දිනවල යුද්ධයේ අවසන් දිනවල සියලු දේපල බිමට සමතලා කෙරුනි. යුද්ධයේ අවසන් සතිවල 40,000 කට අධික පිරිසක් මරා දමනු ලැබ ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනන් බලා තිබේ.

යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් 2025 මාර්තු 8 වන දින මුලතිව්හි පෙළපාළි යමින් [ඡායාරූපය; ලෝසවෙඅ]

මාර්තු 1 වන දින මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, වත්මන් ජවිපෙ/ ජාජබ පාලනය ද, පෙර ආන්ඩු මෙන්, තමන්ට යුක්තිය ඉටු කර නොමැති බවයි. තමන් “ජාත්‍යන්තර යුක්තිය” ඉල්ලා සිටින බව සඳහන් කරමින් දෙමල දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ආගමික නායකයින් හා විශ්ව විද්‍යාල සිසුන්ට විරෝධතාවයට සහභාගී වන ලෙස ඉල්ලා සිටියේ ය.

නමුත්, තම දේශපාලන වාසි තකා සාමාන්‍යයෙන් එවැනි විරෝධතා මත නැගී සිටින දෙමල ධනේශ්වර පක්ෂ, විශේෂයෙන් දෙමල ජාතික මහජන පෙරමුන, අනෙකුත් සංවිධාන සහ දෙමල ජාතිකවාදය ප්‍රවර්ධනය කරන යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය, මෙවර විරෝධතාකරුවන් අතහැර දමා තිබුනි. විරෝධතාවය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලඟා වන බව නිවේදනය කර තිබුනද, අපේක්ෂා කල පරිදි විශාල ජනතාවක් තමන්ට සහයෝගය දැක්වීමට නොපැමිනීම නිසා විරෝධතාකරුවෝ ව්‍යාකූල වූහ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ (සසජාතශි) අතුරුදහන් කෙරුනු පුද්ගලයන්ගේ ඥාතීන් සහ අනෙකුත් ජනයා සාධාරනත්වය ඉල්ලා කරන අරගලයට සහයෝගය දෙයි. එහෙත්, සසප සහ සසජාතශි, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් ගෙනයන 'යුක්තිය' ඉල්ලා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය ඇතුලු අධිරාජවාදී රටවලට අයාචනා කිරීමේ ක්‍රියා වලට සහයෝගය දෙන්නේ නැත.

ඊට හේතුව, කුරිරු යුධ අපරාධ කිරීමේ ඉතිහාසයක් ඇති, එමෙන්ම යුධ අපරාධවල දිගටම යෙදී සිටින එක්සත් ජනපදය ඇතුලු ආධිරාජයවාදී රටවලින් ලංකාවේ පාලකයන් සිදුකල මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු විය නොහැකි නිසාය. මේ රටවල් කොලඹ ආන්ඩු ගෙනගිය යුද්ධයට සහයෝගය දුන්ය. යුද්ධයේ අවසන් සතිවල එක්සත් ජනපදය ආදී රටවල් ලංකාවේ මානව අයිතීන් ගැන කතා කරන්නට පටන්ගත්තේ, රාජපක්ෂ ආන්ඩුව. වඩවඩාත් චීනයට ලං වීම නිසා, එරටින් දුරස්ථ වන ලෙස බල කිරීම සඳහා ය. මේ රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තුල යෝජනා ඉදිරිපත් කලේ ද තම භූ දේශපාලන උවමානාකම් ඉටු කර ගැනීමේ පියවරක් ලෙසය.

'යුද අපරාධ විමර්ශනයට අපට ජාත්‍යන්තර පරීක්ෂනයක් අවශ්‍යයි' යනාදී වශයෙන් අධිරාජ්‍යවාදීවාදී පාලකයන්ට කන්නලවු කිරීමට දෙමල ජනයා යොමුකලේ දෙමල ජාතිකවාදී ධනපති පක්ෂ හා විදේශ ගතව සිටින දෙමල ජනයාගේ (ඩයස්පෝරාවේ) විවිධ සංවිධානයන් ය. මෙම සංවිධාන වල නායකයන්, දෙමල සිවිල් වැසියන් මුහුනදුන් අනේකවිධ ව්‍යසනයන් ගැන කඳුලු සලන්නේ කොලඹ ආන්ඩුවට බලපෑම් දමා තමන්ට වරප්‍රසාද ලබා ගැනීම සඳහා මෙන්ම අධිරාජ්‍යවාදී රටවල පාලකයන්ට ගැතිකම් කර ආධාර ලබා ගැනීමට ය.

ගාසා තීරයේ සිදු වන කුරිරු ජන සංහාරය සහ සංක්‍රමනිකයින්ට එල්ල වූ ප්‍රහාර මගින් පෙර බයිඩන් පරිපාලනයේ සහ වත්මන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ෆැසිස්ට් ස්වභාවය තව දුරටත් හෙලිදරව් වී ඇති හෙයින්, දෙමල ජාතිකවාදී පක්ෂවලට තවදුරටත් දෙමළ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අධිරාජ්‍යවාදී බලවතුන් ඔසවා තැබීම යුක්ති සහගත කිරීම අපහසුවී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට කැප වී සිටින බව ප්‍රකාශ කර ඇති තතු තුල, දෙමල ජනතාවගේ අවශ්‍යතාවන්ට මුවා වී කොලඹට බලපෑම් කිරීමෙන් වොෂින්ටනයේ සහ නවදිල්ලියේ අවශ්‍යතාවන්ට සේවය කරන ශ්‍රී ලංකාවේ දෙමල පක්ෂවල උපාය බංකොලොත් වී ඇත.

කෙසේ වෙතත්, යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු හිටපු හමුදාපතිවරුන් සහ පොලිස් නිලධාරීන්ගෙන් සහාය ලබන දිසානායකගේ ආන්ඩුව එම රුදුරු අපරාධ අපරාධ යට ගැසීම සඳහා ක්‍රියාකරමින් සිටී. මේ සම්බන්ධයෙන් පසුගිය ආන්ඩු වලම ප්‍රතිපත්තිය ගෙනයන වත්මන් පාලනය ද ඊනියා සත්‍ය සෙවීමේ (Truth Commission) නමින් තවත් කොමිසමක් යෝජනා කර තිබේ.

ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කුරිරු කප්පාදු පියවරයන් වලට එරෙහි ව කම්කරු පන්තියේ අරගල වර්ධනය වන විට, කොලඹ පාලනය ස්ථාවර කිරීමට දෙමල ධනපති පක්ෂ දිව එයි. 2022 මහජන නැගිටීමේ දී මෙම පක්ෂ ක්‍රියාකලේ ඒ අයුරිනි. කොලඹ සිංහල ජනයා මත පාදකවී සිටින අනෙකුත් පක්ෂ මෙන්ම මෙම පක්ෂ ද, වාර්ගික හා ආගමික වෙනස්කම් ඉක්මවා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම ගැන සැමවිටම භීතියට පත්ව සිටිති.

දෙමල පක්ෂවල හා ඩයස්පෝරාවේ මෙම දුෂ්ට පිලිවෙත් ප්‍රතික්ෂේප කරන ලෙස සසප හා සසජාතශි දෙමල කම්කරුවන් හා තරුනයන් ඇතුලු මහජනයාගෙන් අපි ඉල්ලමු. සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්, දුගී මහජනතාවන් ඒකාබද්ධ කරගෙන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ අරගලයක් දියත් කල යුතුය.

මෙම අරගලයේ ඉල්ලීම් විය යුත්තේ: උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කරනු!, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!, යුද අපරාධකරුවන්ට දඬුවම් දෙනු! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු මර්දන නීති අහෝසි කරනු! යනාදියයි. මෙම ඉල්ලීම් පෙරදැරි කරගෙන, කොලඹ ධනපති පන්ති පාලනය අහෝසි කිරීමට හා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගලයකට අපි කැඳවුම් කරමු. මේ අරගලයේදී, කම්කරු පන්තිය සහ විපතට පත් දෙමල ජනයා තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුත්තේ අපරාධකාරී අධිරාජ්‍යවාදී බලයන්ගෙන් නොව ජාත්‍යන්තර කම්කරු පන්තියෙනි.

***

මාර්තු 8 දා පා ගමන දෙමල ජනයා තම දරුවන් හමුදාවට භාර දුන් වට්ටුවගල් පාලම පසු කිරීමෙන් අනතුරුව නතර විය. ලෝක සමාජවාදී වෙබ අඩවියේ වාර්තාකරුවන්ට එහි සිටි බොහෝ දෙනෙක් සිය් අදහස් පල කලහ.

විරෝධතාව සඳහා කැඳවුම් කර තිබියදීත් දෙමල පක්ෂ සහ අනෙකුත් සංවිධාන නොපැමිනීම පිලිබඳව කෝපය පල කරමින් එක් විරෝධතාකරුවෙක් පැවසුවේ, “ඔවුන් පැමිනියේ නැත්තේ ඔවුන්ට දැන් අපෙන් වැඩක් නැති නිසා. තවත් මැතිවරනයක් තිබෙනවා නම්, මෙම විරෝධතාවලදී ඔවුන් මුහුන පෙන්නල යන්න එයි.'

'අපි ජීවත් වුනේ වවුනියාවේ හමුදා පාලන ප්‍රදේශයේ,' වවුනියාව දිස්ත්‍රික්කයේ පදිංචි දුරෙයිසිංහම් කලාවතී පැවසුවා ය. 'අපේ ප්‍රදේශයේ යුද්ධයක් තිබුනේ නැහැ. නමුත් හමුදාව සුදු වෑන්වලින් ඇවිත් අපේ දරුවන් රැගෙන ගියා.' 'යුද්ධය අවසන් වී වසර 16ක් ගත වී ඇතත්, අපේ දරුවන්ට සිදු වූයේ කුමක්දැයි නොදැන අපි තවමත් දුක් විඳිනවා. අපට අපේ දරුවන් හැර වෙන මොකුත් එපා,' යයි ඇය පැවසුවා ය.

65 හැවිරිදි සංකරන් රාමේෂ්වරම් මෙසේ පැවසීය: “මගේ 17 හැවිරිදි පුතාව මුල්ලිවයික්කාල්හිදී හමුදාව විසින් රැගෙන ගියා. මම කොලඹට ගිහින් පක්ෂ නායකයින් හමුවුනා, මගේ පුතාව සොයා දෙන ලෙස ඉල්ලා සිටියත් කිසිම ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ.

'වාලෙයින්නර්මඩම් හි හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මගේ 57 හැවිරිදි බිරිඳගේ කකුලක් අහිමි වුනා, ඇගේ ඥාතීන් 11 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගියා. යුද්ධයේ අවසාන පැය කිහිපය තුළ බෝම්බ ප්‍රහාරයෙන් බේරීම සඳහා ඇය වට්ටුවගල්හි බංකරයකට ඇතුළු වීමෙන් දිවි ගලවා ගත්තත්, ඇගේ කකුල් දෙකම දනහිසට පහලින් බංකරයේ සිරවී එහි තිබූ රසායනික ද්‍රව්‍යවලින් පිලිස්සී තිබුනා. ඇය අද දක්වා සුවය ලබා නෑ.'

දෙමල දේශපාලකයන් පැමිනෙන්නේ චන්දය ගැනීමට පමනක් බවත්, ඔවුන් ගැන කතා කිරීමෙන් පලක් නොමැති බව පැවසූ, සංකරන් ජීවනෝපාය ගැටලු ද පැහැදිලි කලේය: 'ඔවුන් අපට තාවකාලික නිවසක් ලබා දුන්නා. වහලය ටකරන්. රස්නෙ කාලෙට ඒකෙ ඉන්න වෙන්න බෑ. ලිං අපිරිසිදු වී ඇති නිසා ජලය සපයන්නෙ පයිප්ප හරහා. ජල බිල පමණක් මසකට රුපියල් 3,000 කට වඩා වැඩියි. එවැනි වියදම් අපේ හුස්ම හිර කරනවා. මට මගේ පුතා සිටියා නම්, අපි මේ තත්වයට පත් වෙන්නෙ නෑ.'

70 හැවිරිදි චිත්තම්බලම් රඝුනාදන් පසුගිය වසර 16 තුළ තම 17 හැවිරිදි පුතා සොයමින් සිටියි. 'හමුදාව ඔහුව රැඳවුම් කඳවුරෙන් රැගෙන ගිය ආකාරය ගැන අපි ඇසින් දුටු සාක්ෂිකරුවන්. නමුත් අද දක්වාම අපට ඔහුව සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. අපේ දරුවන්ට සිදු වූ දේ පිලිබඳව අවංක පරීක්ෂනයක් පැවැත්විය යුතුයි.'

“‘ජාත්‍යන්තරය’ ඇවිත් ශ්‍රී ලංකා රජයට කියනවා අභ්‍යන්තර විමර්ශන යාන්ත්‍රනයක් ආරම්භ කරන්න කියලා. මේක හරියට මිනීමරුවෙකුගෙන් යුක්තිය ඉල්ලනවා වගේ. මේ අභ්‍යන්තර පරීක්ෂනය මොකක්ද? ගෝඨාභය (හිටපු ජනාධිපති) කිව්වා අතුරුදහන් වූ සියලු දෙනාම මිය ගිහින් කියලා. ඔවුන් මිය ගිය ආකාරය හෝ සිදු වූ දේ පිලිබඳ කිසිදු තොරතුරක් නැහැ. මේක මොන අභ්‍යන්තර පරීක්ෂනයක්ද? ඉතින් ජාත්‍යන්තර ප්‍රජාව කා වෙනුවෙන්ද? රජය වෙනුවෙන්! ගාසා තීරයේ සංහාරවලට සහාය දෙන ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අපට යුක්තිය ඉටු කරයි කියා කොහොම විශ්වාශ කරන්නද?

වේලුචාමි චින්තාමනී

මුලතිව්, පුදුකුඩිඉරිප්පු හි පදිංචි 60 හැවිරිදි වේලුචාමි චින්තාමනී පසුගිය වසර 16 තුලම තම 1අතුරුදහන් වූ 16 හැවිරිදි දියනිය වන රුද්‍රදේවි සොයමින් සිටින බව පැවසුවාය. 'අවසාන යුද්ධයේදී හමුදා පාලන ප්‍රදේශයේදී ඇය අතුරුදහන් වුනා. මගේ දුව අතුරුදහන් වෙනකොට අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගය සමත් වෙලා තිබුණා.'

වේලුචාමි තම ආදායම උපයා ගන්නේ කුලී වැඩ කිරීමෙනි. ඔහුට පසුගිය මාස 3 ක කාලය තුල රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. 'අපේ රැකියා අවිනිශ්චිතයි, භාන්ඩ මිල ඉහල යන අතරේ, දැන් ඉඳහිට ලැබෙන ආදායමෙන් අපි ජීවත් වෙන්නෙ කොහොමද? අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුනත්, පෙර රජයන් වගේම මේ ආන්ඩුවත් අපව රවටා තිබෙනවා. මම මැරෙන්න කලින් මගේ දුවව දකින්න කැමතියි.'