ඉදිරිදර්ශන

රාජ්‍ය සේවකයන්ට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

[මෙය Mobilize the working class against Trump’s attack on federal workers! යන මැයෙන් 2025 පෙබරවාරි 16 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2025 පෙබරවාරි 14 වන සිකුරාදා, වොෂින්ටනයේදී, රාජ්‍ය සේවකයන්ට සහාය දක්වමින්, සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත විරෝධතාකරුවෝ රැස්ව සිටිති. [AP Photo/Mark Schiefelbein]

රාජ්‍ය සේවයේ රැකියාවලට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ හිරිහැර නැවැත්වීම සඳහා මහජන ක්‍රියාමාර්ගයක් සූදානම් කරන ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) එක්සත් ජනපදයේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය සේවකයන් , තැපැල් කම්කරුවන් සහ පුද්ගලික අංශයේ කම්කරුවන් එක්සත් කිරීමටත්, රැකියා සහ සමාජ වැඩසටහන් ආරක්ෂා කිරීම සඳහා මහජන විරෝධතා සහ අනෙකුත් ආකාරයේ සාමූහික ක්‍රියාමාර්ග සංවිධානය කිරීමටත්—වෘත්තීය සමිති නිලධාරීන් හෝ සංගත පක්ෂ දෙකෙහිම නියෝජිතයින් වැද්ද නොගන්නා—ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

නව පරිපාලනය ආරම්භ වී මාසයකටත් අඩු කාලයකදී, රාජ්‍ය සේවකයන් දහස් ගනනක් දැනටමත් ඔවුන්ගේ රැකියාවලින් දොට්ට දමා ඇත. සිකුරාදා (14), සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව සේවකයින් 5,000 කට වැඩි පිරිසක් සේවයෙන් පහ කරන බව නිවේදනය කලේ ය. සති අන්තයේ දී, ආහාර හා ඖෂධ පරිපාලනයේ රැකියා 1,300 කට ආසන්න සංඛ්‍යාවක් කපා හරින බවට වාර්තා පල විය.

මෙය ආරම්භය පමනි. මිලියන දෙකකට අධික ෆෙඩරල් ශ්‍රම බලකායේ ලක්ෂ සංඛ්‍යාත රැකියා තර්ජනයට ලක්ව ඇත. මෙම කම්කරුවන්ගෙන් සියයට 30 ක් පමන වොෂින්ටන් ඩී.සී. ප්‍රදේශයේ ජීවත් වන සහ වැඩ කරන අතර, අතිමහත් බහුතරය එක්සත් ජනපදයේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී සිටින්නවුන් ය.

මෙම කප්පාදු බරපතල ලෙස නීති විරෝධී වන අතර, සිවිල් සේවය තුල දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත දොට්ට දැමීම්වලට එරෙහි ආරක්ෂාවන් උල්ලංඝනය කරයි. ට්‍රම්ප්, ඊනියා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (ඩීඕජීඊ) හරහා බිලියනපතියෙකු සහ ෆැසිස්ට්වාදී සගයෙකු වන එලොන් මස්ක්ට මුදල් පරිපාලනයේ බලය ද ලබා දී ඇති අතර, බොත්තමක් එබීම පමනකින් මුලුමහත් ආයතන පිටින් විසුරුවා හැරීමට එය ඔහුට ඉඩ සලසා දී ඇත.

රාජ්‍ය සේවකයන් ට එරෙහි ප්‍රහාරය කම්කරු පන්තියට එරෙහි පුලුල් ප්‍රහාරයක හී තුඩක් පමනි. මිලියන ගනනකගේ ජීවනාලි වන—මෙඩිකේඩ්, ආහාර කූපන් (ආහාර මුද්දර) සහ පොදු අධ්‍යාපනය ඇතුලු—සමාජ වැඩසටහන් කප්පාදු කිරීමේ අවදානමට ලක්ව ඇත. ට්‍රම්ප්, ෆෙඩරල් ආයතන භාරව පුද්ගලයින් පත් කර ඇත්තේ, සෞඛ්‍ය හා මානව සේවා අංශයේ එන්නත්-විරෝධියෙකු වන රොබට් එෆ්. කෙනඩි සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කෝටිපති මල්ලවපොර අධිපතිනියක වන ලින්ඩා මැක්මහොන් වැනි, ඔවුන් විසින් නාමිකව මෙහෙයවන දෙපාර්තමේන්තු විනාශ කිරීම සඳහා පැහැදිලි මෙහෙවරක් දරන අය යි.

ට්‍රම්ප් පුද්ගලීකරනය කිරීමේ අභිප්‍රාය පෙන්නුම් කර ඇති එක්සත් ජනපද තැපැල් සේවයට එරෙහිව ද ඊට සමාන ප්‍රහාරයක් ක්‍රියාත්මක කරමින් සිටි. තැපැල් කාර්යාලවල—ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේවායේ පැවැත්ම තහවුරු කර ඇත—ඉතිරි ව ඇති ඕනෑ ම දෙයක් ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් වැනි කතිපයාධිකාරීන්ට විකුනා දමා එය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරනු ඇත.

මෙම කප්පාදු “කාර්යක්ෂමතාව” පිලිබඳ කාරනයක් බවට මස්ක් කරන ප්‍රකාශය විකාරයකි. එක්සත් ජනපද මිලිටරි කොන්ත්‍රාත්තු සහ වෝල් වීදියේ සමපේක්ෂනයෙන් රැස් කරගත් ඩොලර් බිලියන 500 කට ආසන්න ඔහුගේ ධනය, නාස්තිය සහ පරපෝෂිතභාවය පිලිබඳ නිර්වචනයයි. එහි සැබෑ අරමුන වන්නේ, පාරිසරික ආරක්ෂන, සේවා ස්ථාන ආරක්ෂන රෙගුලාසි, මහජන සෞඛ්‍ය මුලපිරීම් සහ පාරිභෝගික ආරක්ෂන ක්‍රම විසුරුවා හැරීමයි—එනම්, කම්කරු පන්තියේ සම්පූර්න හා අසීමිත සූරාකෑම සඳහා ඇති ඕනෑම සීමාවක් ඉවත් කිරීම යි. මස්ක් සහ කතිපයාධිකාරය විසින් පොදු සම්පත් කොල්ලකෑම මානව ඉතිහාසයේ විශාලතම මංකොල්ලයකි.

සති අන්තයේ පලකල X/ට්විටර් සටහනකින් ට්‍රම්ප් විසින්ම ඔහුගේ පරිපාලනයේ ඒකාධිපති ස්වභාවය පැහැදිලි කරන ලදී: “රට රැක ගැනීමට තීරන ගන්න තැනැත්තෙක් නීති උල්ලංඝනය කරන්නෙක් නොවේය.” වෙනත් වචන වලින් කිවහොත්, ට්‍රම්ප් නීතියට ඉහලින් සිටින බව ප්‍රකාශ කරමින්, ෆියුරර් ('සුපිරි පාලකයා' යන අරුත් දෙන එම වචනය, 1933 සිට 1945 දක්වා නාසි ජර්මනියේ ඒකාධිපතියා වූ ඇඩොල්ෆ් හිට්ලර් සමඟ දැඩි ලෙස සම්බන්ධ වේ) මූලධර්මය මත තම පාලනය ආදර්ශනය කරයි.

ට්‍රම්ප් ස්ථාපිත කිරීමට උත්සාහ කරන නව පාලනය යටතේ, කම්කරුවන්ට කිසිදු අයිතිවාසිකමක් නොලැබෙනු ඇත. සංක්‍රමනිකයින්ට එරෙහි ඔහුගේ ප්‍රහාර, එක්සත් ජනපද සංගත විසින් නිර්මානය කරන ලද දරිද්‍රතාවය සඳහා “විදේශීය” කම්කරුවන් බිලි ගැනීමට පමනක් නොව, නායකයාට දක්වන පෞද්ගලික පක්ෂපාතිත්වය මත රඳා පවතින පුරවැසිභාවය නැවත අර්ථ දැක්වීමට ද, සමස්ත කම්කරු පන්තිය සඳහා ම මූලික ව්‍යවස්ථාමය ආරක්ෂාවන් ඉරා දැමීමට ද සේවය කරයි.

මස්ක්ගේ පැමිනීම ඔප්පු කරන්නේ, මෙම පරිපාලනය යනු කතිපයාධිකාරයේ, කතිපයාධිකාරය විසින් සහ කතිපයාධිකාරය උදෙසා ක්‍රියාත්මක වන, ආන්ඩුවේ වඩාත්ම නිරුවත් සහ විවෘත ආකාරය බවයි.

උදක් ම හමුදාවට සහ පොලිසියට මුදල් වත් කරන ට්‍රම්ප් විසින් රජය ඌනනය කරන්නේ, ෆ්‍රෙඩ්රික් එංගල්ස්, “සන්නද්ධ මිනිස් සමූහයන්” සහ “සෑම වර්ගයක ම බන්ධනාගාර” ලෙස අර්ථ දක්වා ඇති දේට ය. සමාජ වැඩසටහන් සඳහා වන කප්පාදුව, චීනය වැනි නිල සතුරන්ට එරෙහි ව පමනක් නොව, ඊයේ “මිත්‍ර පාක්ෂිකයින්” ලෙස ලේබල් කරන ලද කැනඩාව සහ යුරෝපීය බලවතුන් වැනි රටවලට එරෙහි ව පවා දැවැන්ත නව යුද්ධ සඳහා සම්පත් නිදහස් කිරීමට පමනක් ම සේවය කරයි.

කැනඩාව, ග්‍රීන්ලන්තය සහ පැනමා ඇල ඈඳා ගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජන සහ ඔහුගේ “පලමුව ඇමරිකාව” මිලිටරිකරනය, ගෝලීය යුද්ධයට සූදානම් වීම සඳහා උතුරු ඇමරිකාව සන්නද්ධ බලකොටුවක් බවට පත් කිරීම අරමුනු කරයි.

එක්සත් ජනපද ඉතිහාසයේ බරපතලම ව්‍යවස්ථා අර්බුදය ලෙස මාධ්‍ය තුල පිලිගෙන ඇති දෙය හමුවේ, ඩිමොක්‍රටික් පක්ෂය සම්පූර්නයෙන්ම බෙලහීන ය. සිදුවන්නේ කුමක්ද යන්න මහජනතාවට පැහැදිලිව ප්‍රකාශ කිරීම පවා එය ප්‍රතික්ෂේප කරයි. මෙයට හේතුව, ඩිමොක්‍රටික් පක්ෂය ද සංගත-ඇමරිකාවේ පක්ෂයක් වන අතර පහලින් එන විරෝධයට බිය වීමයි.

වෘත්තීය සමිති මෙවලම, එහි පැත්තෙන්, බියගුලුකම සහ සම්පූර්න සහයෝගීතාවය අතර දෝලනය වේ. ට්‍රම්ප්ගේ සම-කුමන්ත්‍රනකරුවන් විසින් මෙහෙය වනු ලබන ශ්‍රේෂ්ඨාධිකරනය සහ ට්‍රම්ප්ගේ සමූහ දොට්ට දැමීම් මගින් අක්‍රිය කර ඇති ජාතික කම්කරු සබඳතා මන්ඩලය කෙරෙහි විශ්වාසය තබන ලෙස ඇමරිකානු රජයේ සේවක සම්මේලනය (ඒඑෆ්ජීඊ) සහ අනෙකුත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කම්කරුවන්ට උපදෙස් දෙයි. සමූහ දොට්ට දැමීම් සිදු කිරීමට හැකි සෑම නීතියක් ම ට්‍රම්ප්ට අමු අමුවේ උල්ලංඝනය කරද්දී වැඩ වර්ජන තහනම් කරන කාර්මික නීතිවලට කීකරු වන්නැයි ඒවා අවධාරනය කරයි.

ටීම්ස්ටර්ස්, ඉන්ටර්නැෂනල් ලෝන්ග්ෂෝරමන් ඇසෝසියේෂන් සහ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති, ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති කෙසේ හෝ ඔවුන්ගේ රැකියා බේරා ගනු ඇති බවට කම්කරුවන්ට බොරු කියමින්, ඔහුගේ වර්ගවාදී ජාතිකවාදයට විවෘතව ම සහාය දෙයි.

වසර හතලිස් හතරකට පෙර, ජනාධිපති රොනල්ඩ් රේගන් විසින්, වෘත්තීය ගුවන් ගමන් පාලක සංවිධානයේ (පැට්කෝ) වැඩ වර්ජනය කල සාමාජිකයින් 11,000 ක් සේවයෙන් පහ කර අසාදු ලේඛනගත කරන ලද අතර, එය ඇමරිකානු පාලක පන්තියේ සම්පූර්න පන්ති යුද්ධයක් කරා හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේය. ඉන් පසුව සිදු වූයේ, දශක ගනනාවක් තිස්සේ රැකියා කප්පාදු කිරීම සහ කර්මාන්තශාලා වැසීමයි; එය අද දක්වාමත් පවතී.

ඒ කාලයේ දී, පැට්කෝ ආරක්ෂා කිරීමට මහා වැඩ වර්ජනයක් සඳහා කම්කරු පන්තිය තුල මහජන සහයෝගයක් පැවතුනි—1981 සැප්තැම්බර් 19 වන දින ඇමරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාවයක් වූ, වොෂින්ටන් ඩී.සී. හි කම්කරුවන් මිලියන භාගයක් පෙලපාලි ගිය සහයෝගිතා දින (Solidarity Day) විරෝධතාවෙන් මෙය සනාථ වේ.

මෙම විභවය ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරය විසින් පාවා දෙන ලද අතර, වැඩ වර්ජනය ආරම්භ වීමටත් පෙර ම, පැට්කෝ එහි ඉරනමට ඇද දැමූහ. ඒඑෆ්එල්-සීඅයිඕ හි ප්‍රතිචාරය, වෘත්තීය සමිති නිලධරයන් කලමනාකරනයේ විවෘත නියෝජිතයන් බවට පත් කිරීමත්, කම්කරුවන්ගේ සටන්කාමී ප්‍රතිරෝධය බිඳ දැමීමට සහ ජීවන තත්වයන් ඓතිහාසික වශයෙන් පහත හෙලීමට ආන්ඩුවේ උද්ඝෝෂනයට හවුල් වීමත් සනිටුහන් කලේය.

ට්‍රම්ප්ගේ ප්‍රහාර පැට්කෝ අඟුටුමිටි කරන අතර මහජන විරෝධය නොවැලැක්විය හැකි වනු ඇත. ට්‍රම්ප් විසින් අනුගමනය කරනු ලබන තීරුබදු යුද ප්‍රතිපත්ති ආර්ථිකයට විනාශයක් ගෙන එනු ඇත; එය සමූහ දොට්ට දැමීම් සහ විරැකියාවට තුඩු දෙනු ඇති අතර, සංක්‍රමනිකයින්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ඔහුගේ ප්‍රහාර සමාජ පිපිරීමක් ඇති කරනු ඇත.

ඓතිහාසික පරිමානයෙන් ගත් කල, ට්‍රම්ප් සහ ඔහුගේ සාපේක්ෂ අතලොස්සක් වන කතිපයාධිකාරීන් සහ ෆැසිස්ට් කුමන්ත්‍රනකරුවන්, එක්සත් ජනපදයේ මිලියන 200 ක් සහ ලොව පුරා සිටින බිලියන ගනනක් කම්කරුවන්ට කිසිසේත් සැසඳිය නොහැක. නමුත් තීරනාත්මක කාරනය වන්නේ, කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහි සටන සඳහා සමාජ පදනම ලෙස බලමුලු ගැන්වීමයි.

සියල්ලටත් වඩා, එක්සත් ජනපදයේ කම්කරුවන්, ට්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන බොරු ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා සිටිය යුතුය. එලිපිට ම ධවල මන්දිරයේ පිටුබලය ලබන සමාන ආකාරයේ තම රටවල අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රනවලට එරෙහි ව සටන් කිරීමට නම් කම්කරුවෝ ඇමරිකාවේ සිදු වන දෙයට විරුද්ධ විය යුතු වෙති. ඒ සමඟම, ඇමරිකාවේ ෆැසිස්ට් ආඥාදායකත්වයක් පෘථිවියේ සෑම පුද්ගලයෙකුටම තර්ජනය කරන බැවින් ගෝලීය සමගිය අවශ්‍ය වේ.

රාජ්‍ය සේවකයන්ට එරෙහි ප්‍රහාරයට විරුද්ධ වීම සඳහා කමිටු වර්ධනය කිරීම, සංක්‍රමනිකයන් ආරක්ෂා කිරීම සඳහා අසල්වැසි සහ සේවා ස්ථාන කමිටු හරහා ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගලයට සම්බන්ධ කල යුතුය. ට්‍රම්ප්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන තර්ජන පිටුපස සිටින කතිපයාධිකාරීත්වයේ ධනය අත්පත් කර ගත යුතු අතර මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ මිලියන ගනනක් යැපෙන ප්‍රධාන සමාජ වැඩසටහන් විශාල වශයෙන් වැඩිදියුනු කිරීම සඳහා ඇමරිකාවේ යුද යාන්ත්‍රනය විසුරුවා හැරිය යුතු ය.

සංගත ප්‍රහාර හමුවේ කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා සටන් කරන ලොව පුරා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයකට, එක්සත් ජනපදයේ ඒකාධිපතිත්වයේ තර්ජනය අවසන් කිරීමට වන පුලුල් ප්‍රති-ප්‍රහාරයක ගෝලීය මර්මස්ථානයක් ලෙස සේවය කල හැකිය.