ඉදිරිදර්ශන

“අපි ඒක අල්ලාගන්න යන්නේ”: ගාසා තීරය ඈඳා ගැනීමේ ට්‍රම්ප්ගේ සැලැස්ම සහ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ පුනරාගමනය

[මෙය “We’re going to take it”: Trump’s plan to annex Gaza and the return of imperialist barbarism යන මැයෙන් 2025 පෙබරවාරි 11 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 පෙබරවාරි 11 වන අඟහරුවාදා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී, ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සමඟ කතා කරමින්. [AP Photo/Alex Brandon]

අඟහරුවාදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සමඟ හමුවක් පැවැත්වූ අතර, ඉන් පසුව, ඇමරිකානු ජනාධිපතිවරයා, ගාසා තීරය බලහත්කාරයෙන් ඈඳා ගැනීමත්, එහි ජනගහනය වාර්ගික විශුද්ධිකරනයත් සඳහා වන තම අභිප්‍රාය නැවත අවධාරනය කලේය.

'අපි ගාසා තීරය අල්ලගන්නයි යන්නෙ,' ට්‍රම්ප් පැවසීය. 'අපි මිලදී ගත යුතු නැහැ. මිලදී ගැනීමට කිසිවක් නැහැ. අපි ගාසා තීරය අත්පත්කර ගන්නවා. ... අපි ඒක ගන්නයි යන්නෙ.'

මෙම සෙනසුරාදා වන විට හමාස් සංවිධානය ඉතිරිව සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් නිදහස් නොකලහොත්, “සියලු පරදු තැබීම් අහවර” බවත් “සියල්ල අවුල්වනු” ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කලේය; එය, දැනටමත් මරන සංඛ්‍යාව 70,000 ඉක්මවන ජන සංහාරයට, තවත් නොගැනිය හැකි තරම් පලස්තීනුවන් එකතු වනු ඇති බවට කල තර්ජනයකි.

ගාසා තීරයේ ජනතාව ඔවුන්ගේ භූමියෙන් ඉවත් කිරීමට අදහස් කරන්නේ කෙසේදැයි විමසූ විට ට්‍රම්ප් පිලිතුරු දුන්නේ, “දශක හා සියවස් ගනනාවක් පුරා සිදුවී ඇති වෙනත් දේවල් හා සසඳන විට, ඔවුන් ඉතා සුලු පිරිසක්” යනුවෙනි.

කාර්යාල කාමරයේ සිටි කිසිදු වාර්තා කරුවෙක් මෙම පැහැදිලි ප්‍රශ්නය ඇසුවේ නැත: මිලියන 2 ක ජනතාවක් ඔවුන්ගේ භූමියෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා සමූහ මිනීමැරුම් භාවිතා කිරීමේ පූර්වාදර්ශයක් ලෙස ජනාධිපතිවරයා සඳහන් කල “වෙනත් දේවල්” මොනවාද?

ස්වදේශික ඇමරිකානුවන් වාර්ගිකව ශුද්ධ කර දැමීම සහ ඔවුන්ගේ මව්බිම්වල සිට සැතපුම් සිය ගනනක් දුරින් පිහිටි දුගී රක්ෂිතවල ඔවුන් සංකේන්ද්‍රනය කිරීම ද? වසර 40 ක කාලයක් තුල මිලියන 100 කට අධික ජනතාවක් මරා දැමූ ඉන්දියාවේ කුරිරු බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය ද? කොංගෝ වැසියන් මිලියන 13 ක් පමනවත් මරා දැමීමට හේතු වන්නට ඇති, බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු විසින් කොංගෝවේ ජනතාව සමූල ඝාතනය කිරීම සහ අංගඡේදනය කිරීම ද?

නැතහොත් එය හොලොකෝස්ටය අතරතුර ජර්මනියෙන් සහ යුරෝපයෙන් යුදෙව්වන් මිලියන 6 ක් සමූහ වශයෙන් ගාල් කඳවුරුවලට අවතැන් කර, ක්‍රමානුකූලව සමූලඝාතනය කිරීමද?

ගාසා තීරයේ ජනතාව අවතැන් කිරීමේ ට්‍රම්ප්ගේ සැලැස්ම, සිව්වන ජිනීවා සම්මුතිය යටතේ එන සන්නද්ධ ගැටුම් අතරතුර සිවිල් වැසියන් බලහත්කාරයෙන් පිටමං කිරීම සඳහා වන තහනම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ඔවුන්ගේ භූමිය සොරකම් කිරීමේ ඔහුගේ සැලැස්ම, එක්සත් ජනපදය විසින් අනුමත කරන ලද 1970 එක්සත් ජාතීන්ගේ ගිවිසුම උල්ලංඝනය කරයි; එහි දී, 'තර්ජනය හෝ බලය යෙදවීම මගින්, රාජ්‍යයක භූමිය, වෙනත් රාජ්‍යයක අත්පත් කර ගැනීමට විෂය නොවිය යුතු' බවට ඔවුන් ප්‍රතිඥා දී තිබේ.

එක්සත් ජනපදය ගාසා තීරය 'අයිති කර ගන්නා' බව ප්‍රකාශ කිරීමෙන්, ට්‍රම්ප්, යටත් විජිත ම්ලේච්ඡත්වයේ සහ කෲරත්වයේ නව යුගයක් ප්‍රකාශ කර ඇති අතර, එහිදී මිලියන සංඛ්‍යාත ජනතාවක් අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ අල්තාරය මත බිලි දෙනු ඇත.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය පිලිබඳ ඔහුගේ රචනාවේදී කාල් මාක්ස් මෙසේ ලිවීය: 'ගැඹුරු කුහකකම සහ ආවේනික ම්ලේච්ඡත්වය අපගේ ඇස් ඉදිරිපිට නිරාවරනය කර ඇති ධනේශ්වර ශිෂ්ටාචාරය එහි—ගෞරවනීය ස්වරූපයක් ගන්නා—නිජබිමේ සිට,—නිරුවතින් පැමිනෙන—යටත් විජිත වෙත හැරෙමින් පවතී.'

හිට්ලර්ගේ තුන්වන රයිකය (1933 සිට 1945 දක්වා ජර්මනිය සහ එහි ආන්ඩුව හඳුන්වන නාසි යෙදුමයි) බිඳවැටීමෙන් හා ඉන් පසුව ඇති වූ යටත් විජිත විරෝධී නැගිටීම්වලින් පසු කාලය තුල, අධිරාජ්‍යවාදී බලවතුන් මෙම නිරුවත වසා ගැනීමට උත්සාහ කර ඇත. ඔවුන් යටත් විජිත අධිරාජ්‍යයන් නොව, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බව ප්‍රකාශ කරමින්, ජාත්‍යන්තර නීතිය සහ ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කරන විට පවා නාමිකව ඒවා ආරක්ෂා කලහ.

ට්‍රම්ප් දෙවන වරටත් බලයට ගෙන ඒමෙන්, එක්සත් ජනපදය පාලනය කරන කතිපයාධිකාරී කල්ලිය ඇමරිකානු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමනක් නොව ජාත්‍යන්තර නීතියට ද අනුගත වීමේ මවාපෑමෙන් ඉවත් වීමට තීරනය කර තිබේ. මෙතැන් පටන්, විදේශ ප්‍රතිපත්තිය නීති විරෝධී පදනමක් මත ක්‍රියාත්මක වනු ඇති අතර, අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම සම්මත කරන ලද, අනුමත කරන ලද සහ ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන ලද ගිවිසුම් සහ නීති උල්ලංඝනය කරනු ඇත.

නමුත්, ට්‍රම්ප් ජාත්‍යන්තර නීතිය නොතකා හරින නමුදු, ජාත්‍යන්තර නීතිය තවමත් ට්‍රම්ප්ට අදාල වේ. නියුරම්බර්ග්හි නාසි නායකයින්ගේ ජාත්‍යන්තර හමුදා විනිශ්චය සභාවට ඔහු කල ආරම්භක ප්‍රකාශයේදී, ප්‍රධාන අභිචෝදක රොබට් එච්. ජැක්සන් නාසි ජර්මනියේ නායකයින් සම්බන්ධයෙන් හරියටම මෙම කරුන ඉදිරිපත් කලේය. ඔහු මෙසේ පැවසීය:

ලෝකයේ නීතිමය චින්තනයේ මෙම පරිනාමයේ බලයට සහ අර්ථයට අවනත වීමටවත්, එය තේරුම් ගැනීමටවත් නාසීන් අසමත් වීම, නීතියෙන් ආරක්ෂාවීමට හෝ සහන ලබා ගැනීමට හේතු නොවේ. එසේ විනම්, එය ඔවුන්ගේ වරද තවත් උග්‍ර කෙරෙන අතර, ඔවුන්ගේ නීති විරෝධී හැසිරීම සම්බන්ධයෙන් නීතිය යොදාගනිමින්, ඔවුන් නීතිය උල්ලංඝනය කල බව සනාථ කිරීම වඩාත් අනිවාර්ය කෙරේ.

ජැක්සන් තවදුරටත් මෙසේ පැවසීය:

ගිවිසුම් උල්ලංඝනය කිරීමේ ඇතැම් ක්‍රියාවන් අපරාධ නම්, ඒවා එක්සත් ජනපදය කලත්, ජර්මනිය කලත් අපරාධ වේ. තවද, අපට එරෙහිව ක්‍රියාත්මක කරනවා ට අප අකමැති නීතියක්, වෙනත් අයගේ අපරාධකාරී හැසිරීම්වලට එරෙහිව පැනවීමට අපි සූදානම් නැත.

ජැක්සන්ගේ වචන, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති ආක්‍රමනශීලී යුද්ධය සහ භෞමික ඈඳා ගැනීම තහනම් කරන ලද ගිවිසුම් නාසි තන්ත්‍රය විසින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාල වූයේ නම්, ඒවා නාසි නායකයින්ට එරෙහිව නඩු පැවරීම, වරදකරුවන් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිලිබඳ වාර්තාවක් ඇති ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නායකයින්ට ද අදාල වේ.

ජාත්‍යන්තර නීතියේ ධනේශ්වර නීත්‍යානුකූලභාවයේ රාමුවෙන් තීරනාත්මක ලෙස බිඳී යාමට ඇමරිකානු අධිරාජ්‍යවාදය ගත් පියවර, එහි ශක්තිය නොව, දුර්වලකම පෙන්වන ක්‍රියාවකි.

බ්‍රිතාන්‍ය ඉතිහාසඥ ටිම් මේසන් 'ජර්මනියේ සමාජ හා ආර්ථික අර්බුදයත්, 1938-9 දී යුද්ධය දෙසට මිලිටරි ව්‍යාප්තිවාදී ප්‍රතිපත්ති වේගවත් වීමත් අතර හේතුඵල සම්බන්ධයක්' ඉදිරිපත් කර ඇත. ජර්මනිය සම්බන්ධයෙන් ඔහුගේ නිබන්ධනය ඔප්පු කිරීම සඳහා මේසන්ට ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වූවා සේම, එය ට්‍රම්ප්ගේ ඇමරිකාව තුල ද විශද ව පෙනේ.

නය බරින් සහ නිරන්තරයෙන් පිම්බෙන මූල්‍ය බුබුලු වලට ඇබ්බැහි වී, වර්ධනය වන වෙලඳ අර්බුදයෙන්, වසර ගනනාවක යුද්ධයෙන් සහ බැංකු ඇපදීම්වලින් පසු දරාගත නොහැකි ෆෙඩරල් නයක් අත්විඳිමින් සිටින අර්බුදකාරී ඇමරිකානු අධිරාජ්‍යවාදයට, විනීතභාවයේ පෙනුම පවත්වා ගැනීමට නොහැකි වී තිබේ. එය විවෘතව ම ක්‍රියාත්මක වන්නේ මංකොල්ලකරුවන්ගේ සහ මිනීමරුවන්ගේ කල්ලියක් ලෙස ය.

කැනඩාව සහ මෙක්සිකෝව එක්සත් ජනපදයට සාපේක්ෂව ගෙවුම් ශේෂ අතිරික්තයක් පවත්වාගෙන යන්නේ නම්, එම හිඟයන් මඟහරවා ගැනීම සඳහා ඒවා ඈඳා ගත යුතුය. ලතින් ඇමරිකාවේ වෙලඳාම සහ ආයෝජන අතින්, චීනය එක්සත් ජනපදය අභිබවා යන්නේ නම්, පොර-පිටිය සූදානම් කිරීම සඳහා පැනමා ඇල අත්පත් කර ගත යුතුය.

වෙනත් වචන වලින් කිවහොත්, ට්‍රම්ප්ගේ ඈඳා ගැනීමේ සිහින, පාලක පන්තියක් ව්‍යසනයක් කරා යොමු වී ඇති බව ප්‍රකාශ කරයි. ගෝලීය වශයෙන් පැතිරුනු යටත් විජිත අධිරාජ්‍යයක් නිර්මානය කිරීම හරහා එහි අභ්‍යන්තර හා බාහිර ව්‍යාධීන් සුව කිරීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සැලැස්ම දවල්-හීනයක් පමනි.

ලෝක ආධිපත්‍යය දැරීමට ට්‍රම්ප් දරන උත්සාහයන්, බර්ලිනයේ නටබුන් යට ගැඹුරු බංකරයක් තුල සිට හිසට වෙඩා තබාගෙන අවසන් වුනු, ඇඩොල්ෆ් හිට්ලර්ගේ “වසර දහසක රයිකයක්” නිර්මානය කිරීමට දැරූ උත්සාහයට වඩා හොඳින් කෙලවර නොවනු ඇත.

නමුත්, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ සහ කොන් වූ, පිරිහුනු සමාජ පන්තියක මිනීමරු ලේ පිපාසිත ට්‍රම්ප්, මේ අතරතුර දැවැන්ත හානියක් කිරීමට සමත් ය.

ට්‍රම්ප්ගේ වචන, සියලු රටවල සහ සියල්ලටම වඩා එක්සත් ජනපදයේ කම්කරුවන් සඳහා ක්‍රියාමාර්ගයකට කැඳවීමක් විය යුතුය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යටත් විජිත වින්දිතයින්ට එරෙහිව එල්ල කරන සමූහ ඝාතන සහ සාමූහික ත්‍රස්තවාදයේ කුරිරු ක්‍රම ඇමරිකාවේම කම්කරුවන්ට එරෙහිව හරවනු ඇත.

අධිරාජ්‍යවාදී යුද්ධයේ සහ යටත් විජිතවාදයේ ගෝලීය පිපිරීමට එරෙහි අරගලයේදී, වැඩ කරන ජනතාව 'ලෝකයේ කම්කරුවනි, එක්වවු!' යන සටන් පාඨය ඉදිරිපත් කල යුතුය.

ට්‍රම්ප් සැලසුම් කරමින් සිටින අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය නැවැත්විය හැක්කේ ලෝක සමාජවාදී ව්‍යාපාරයක් තුල එක්සත් වූ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා සාමූහික ජාත්‍යන්තර අරගලයකට පමනි. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ මෙම සටනේ පෙරමුන ගෙන සිටී.