ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු අයවැයට සහාය දක්වයි

[මෙය Sri Lanka: Trade unions back government austerity budget යන මැයෙන් 2025 පෙබරවාරි 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ)/ජාතික ජන බලවේගයේ (එන්පීපී) නායක ජනාධිපති අනුර කුමාර දිසානායක, පෙබරවාරි 17 වන දින අයවැය ඉදිරිපත් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද රුදුරු කප්පාදු පියවර පැනවී ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අයවැය කතාව පවත්වමින් [Photo: X/Anura Kumara Dissanayake]

දුරදිග යන පියවර අතරට, රාජ්‍ය ව්‍යවසායන් (රාව්‍ය) ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලත් වන අතර එමඟින් කම්කරුවන් 500,000 කගේ රැකියා විනාශ වනු ඇත; වැටුප් කප්පාදු කරනු ලබන අතර වැඩ බර වැඩි කරනු ඇත. රාව්‍ය වානිජකරනය කිරීම සඳහා—එනම්, ඒවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කර පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්ව සමාගම් නිර්මානය කිරීම සඳහා—හෝල්ඩින් සමාගමක් ස්ථාපිත කෙරේ.

ජාමූඅ විසින් නියම කරන ලද තවත් ප්‍රධාන කප්පාදු පියවරක් වන්නේ, අයවැය හිඟය කපා හැරීමේ කොටසක් ලෙස වැටුප් වර්ධනය මැඩපැවැත්වීමයි. දිසානායක පහලම ශ්‍රේනියේ රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 8,250 ක සොච්චම් ශුද්ධ මාසික වැටුප් වැඩිවීමක් නිවේදනය කල අතර ඉහල ශ්‍රේනි සඳහා එය කුඩා ප්‍රමානවලින් වෙනස් වේ. මෙම වැඩිවීම් අප්‍රේල් මාසයේ සිට වසර තුනක් පුරා වාරික ව ලැබෙනු ඇත.

මෙම වසර සඳහා පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රුපියල් 6,000 කි; අවම මාසික වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කෙරේ. ඇත්ත වශයෙන්ම මෙම වැඩිවීම් මූර්ත වැටුප්වල තියුනු පහත වැටීමකි.

බදු ආදායම ඉහල නැංවීමේ කොටසක් ලෙස දෙසැම්බර් අග දී සහල් ඇතුලු ආහාර ද්‍රව්‍ය 64 ක් සඳහා බද්දක් පනවන ලදී. පූර්ව-අයවැය පියවරක් ලෙස වාහන ආනයනය සඳහා සියයට 300-400 ක පමන රේගු බදු මෙන්ම විවිධ මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොල සඳහා බදු ද පනවා ඇත.

ඊට අමතරව, ආන්ඩුව සහ පෞද්ගලික සමාගම් විසින් අනුග්‍රහය දක්වනු ලබන තවත් විශේෂ කාර්මික කලාප—එනම් ලාභ ශ්‍රම වේදිකා—ස්ථාපිත කරනු ඇත. මෙම වසරේ දී පහක් නිම කිරීමට නියමිත අතර තවත් තුනක් සඳහා අරමුදල් වෙන් කර ඇත.

අපේක්ෂා කල හැකි ආකාරයට ම, ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේසං) වැනි ජවිපෙ පාලනය කරන වෘත්තීය සමිතිවල නායකයින්, මෙම සොච්චම් වැටුප් වැඩිවීම කම්කරුවන්ගේ “ජයග්‍රහනයක්” ලෙස ප්‍රකාශ කර ඇත. ඔවුන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වේ.

“සැලකිය යුතු වැටුප් වැඩිවීමක්” සඳහා වූ මැතිවරන පොරොන්දුව ජවිපෙ/ජාජබ ආන්ඩුව කඩ කර ඇති බවට විපක්ෂයේ නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති කංකෙඳිරිගාමින් සිටියි. ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කරන සහ සේවා කොන්දේසි කප්පාදු කරන ආන්ඩුවේ පුද්ගලීකරන පියවරයන් ගැන ඔවුන් සියල්ලෝ ම නිහඬ ය.

2028 සිට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 6 ක විදේශ නය ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා ආන්ඩුව මෙම කප්පාදු පියවර ගන්නා බවට දිසානායක කල නිවේදනය ගැන ද ඔවුහු නිහඬව සිටිති.

විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) විසින් පාලනය කරනු ලබන සියලුම වෘත්තීය සමිතිවල පෙරමුනක් වන සමගි එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ ජාතික සංවිධායක ප්‍රියන්ත පත්බේරිය පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට සහ වැටුප් විෂමතා විසඳීමට ජාජබ ආන්ඩුව දුන් පොරොන්දු කඩ කර ඇති බවයි. ආන්ඩුව ජනතාව මුලා කර ඇති බව ප්‍රකාශ කරමින්, වෘත්තීය සමිති “වෘත්තීය ක්‍රියාමාර්ග” ගැනීමට පසුබට නොවන බව ඔහු ප්‍රකාශ කලේය. ඊනියා “වෘත්තීය ක්‍රියාමාර්ග” සැලසුම් කර ඇත්දැයි ඔහු කීවේ නැත.

ප්‍රියන්ත ප්‍රනාන්දු - ලංකා ගුරු සංගමයේ සභාපති [Photo: Facebook/Priyantha Fernando]

ලංකා ගුරු සංගමය (ලංගුසං), ආන්ඩුවට සහාය දෙන අතරම, ස්වාධීන ලෙස පෙනී සිටියි. ලංගුසං සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, වැටුප් වැඩිවීමක් සඳහා ඔවුන්ගේ ඉල්ලීම “නොසලකා හැරීම” සම්බන්ධයෙන් ආන්ඩුව විවේචනය කලේය. “අයවැය රාජ්‍ය සේවකයින්ගේ යහපත් අනාගතයක් පිලිබඳ බලාපොරොත්තු සුන් කර තිබේ,” යැයි ඔහු පැවසී ය.

කෙසේ වෙතත්, ගුරුවරුන් සඳහා වන අඩු වැටුප්වලට සෘජු ව ම වගකිව යුත්තේ ලංගුසං වේ. 2021 දී, ලංගුසං, ලංගුසේසං නායකත්වයෙන් යුත් ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති පෙරමුන සමඟ එක් ව, ආන්ඩුව විසින් ලබා දීමට එකඟ ව තිබූ වැටුප් ප්‍රමානයෙන් තුනෙන් එකක් පිලිගනිමින් අධ්‍යාපනඥයින් 250,000 ක් සහභාගී වූ දින 100 ක වැඩ වර්ජනය නතර කලේ ය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ (එෆ්එච්පී) නායක රවී කුමුදේශ්, පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යවමින්, වැටුප් වැඩිවීමට සමගාමී ව හඳුන්වා දුන් අතිකාල අනුපාතවල නව වෙනස්කම් මගින්, සෞඛ්‍ය සේවකයින්ගේ මාසික ඉපැයීම් අඩු වන බව පැවසීය. නිවාඩු දිනවල වැඩකිරීම් සඳහා ගෙවීම් අනුපාතය ද අඩු කර ඇත.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡා ඵලදායී නොවන්නේ නම්, එෆ්එච්පී සමිතියට “වෘත්තීය ක්‍රියාමාර්ග” ගැනීමට සිදුවනු ඇතැයි කුමුදේශ් අනතුරු ඇඟවීය.

ප්‍රමානවත් නොවන වැටුප් වැඩිවීමක් පිලිබඳ මෘදු විවේචන සහ හිස් තර්ජන සමග අනෙකුත් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නිලධාරීන් ද ඒ හා සමාන ප්‍රකාශ නිකුත් කර ඇත. කිසිවෙකු ආන්ඩුවේ විනාශකාරී පුද්ගලීකරන සැලසුම් විවේචනය කර නැත.

2024 ජූලි 8 වැනි දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පිටත විරෝධතා දක්වන රාජ්‍ය අංශයේ සේවකයින්

රටේ සමාජ අර්බුදය උග්‍ර වත්ම, 2023 මුල් භාගයේ සිට වැටුප්, රැකියා සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජන සහ විරෝධතා පුපුරා ගොස් ඇත. පසුගිය වසරේ ජූලි 8-9 දිනවල, සංවර්ධන නිලධාරීන්, මිනින්දෝරුවන්, ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය පරිපාලන කාර්යාල සේවකයින් සහ සමෘද්ධි බැංකු සේවකයින්, අධ්‍යාපනඥයින්, තැපැල් සේවකයින්, ගොවිපල පරීක්ෂකවරුන් සහ ඇතැම් සෞඛ්‍ය සේවකයින් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයින් මිලියනයක් පමන වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනය කලහ. විශ්‍රාමිකයෝ ද ඊට සහභාගී වූහ.

සති කිහිපයකට පසු, ජූලි 29 වන දින, ජවිපෙ ප්‍රමුඛ නායකයෙකු වන කේ.ඩී. ලාල් කාන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ, ජවිපෙ මගින් පාලනය වන වෘත්තීය සමිති තවදුරටත් වැඩවර්ජන කැඳවන්නේ නැති බවයි; මන්ද, එය මහජන සතුරුකම් ඇති කරන අතර පක්ෂයේ ජනාධිපතිවරන ව්‍යාපාරයට වල කපන බැවිනි. ඔහු එවැනි ක්‍රියාවක් “ප්‍රතිගාමී” වන බවට පවා හංවඩු ගැසීය.

එතැන් සිට, ජවිපෙ වෘත්තීය සමිති පමනක් නොව අනෙකුත් වෘත්තීය සමිති ද කම්කරු පන්තියේ සමාජ තත්වයට එල්ල වන අඛන්ඩ ප්‍රහාරයට එරෙහි ව සටන් කිරීම සඳහා මොන යම් හෝ කාර්මික ක්‍රියාමාර්ගයක් කැඳවීම නවතා දමා ඇත. හේතුව පැහැදිලි ය. සියලු ම විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති ජාමූඅ හි කුරිරු කප්පාදු න්‍යාය පත්‍රයට සහාය දෙන අතර කම්කරුවන්ගේ ඕනෑ ම විරෝධයක් මැඩ පැවැත්වීමට සහ මර්දනය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියි.

පුද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයින් ද එසේමය. මිලියන 6.5 ක් පමන වන බහුතරයක් සේවකයින් පුද්ගලික ව්‍යාපාරවල සේවය කරති. බොහෝ දෙනෙක් වෘත්තීය සමිතිවල සාමාජිකයෝ නොවෙති. ලංකා සේවායෝජකයින්ගේ සම්මේලනය මෙම වසරේ අවම මාසික වැටුප රුපියල් 6,000 කින් සහ ලබන වසරේ තවත් 3,000 කින් සුලු වැඩිවීමක් නිවේදනය කර තිබේ.

නිවෙක වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් [Photo: Facebook]

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් ප්‍රකාශ කලේ, කම්කරුවන් “සැලකිය යුතු වැටුප් වැඩිවීමක්” අපේක්ෂා කල බවත්, කම්කරුවන් මෙම වැඩිවීම පිලිගන්නේ ද යන්න අභියෝගාත්මක බවත් ය. මාකස් “අභියෝගාත්මක” යැයි සිතන්නේ, අඩු වැටුප් ලබන මිලියන ගනනක් නිදහස් වෙලඳ කලාප සේවකයින් අතර විශාල නොසන්සුන්තාවයක් ඇතිවීම වලක්වා ගත හැකි ද යන්නයි.

වතුකරයේ දී, ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ අනෙකුත් වෘත්තීය සමිති, වතු කම්කරුවන් සඳහා රුපියල් 1,700 ක දෛනික වැටුපක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දිසානායකට ප්‍රශංසා කල අතර, සමාගම්වලට ගෙවීමට බලපෑම් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. ඇත්ත කාරනාව නම් මෙම රුපියල් 1 700 අලුත් කාරනාවක් නොවන බවයි. පසුගිය වසරේ දී වතු සමාගම් පසුගිය ආන්ඩුව විසින් නියම කරන ලද රුපියල් 1,700 ක දෛනික වැටුප ඒ වන විටත් ප්‍රතික්ෂේප කර තිබුනි. ඊට අමතර ව, ඔවුහු වැඩ බර වැඩි කර තිබේ.

සියලුම වතු වෘත්තීය සමිති නායකයින් අතීත ආන්ඩුවල අමාත්‍යවරුන් ලෙස සේවය කර ඇති අතර කාර්මික පොලිසියක් ලෙස කටයුතු කිරීමේ දී, සමාගම් සමඟ සමීප ව සහයෝගයෙන් කටයුතු කරයි. වැඩ වර්ජන කඩාකප්පල් කිරීම සහ පාවාදීම සම්බන්ධයෙන් ඔවුන්ට දිගු වාර්තාවක් ඇත.

2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමේ දී සියලු ම වෘත්තීය සමිති—ජවිපෙ, සජබ, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ පෙලගැසී සිටින හෝ ස්වාධීන ලෙස පෙනී සිටින—කල දේ කම්කරුවෝ මතක් කර ගත යුතු වෙති.

කම්කරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය මධ්‍යයේ, අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල එක් දිනකට සීමා වූ මහා වැඩ වර්ජන දෙකක් කැඳවීමට වෘත්තීය සමිතිවලට සිදු විය. වාර්ගික රේඛා කපාගෙන මිලියන සංඛ්‍යාත කම්කරුවෝ වැඩ වර්ජනවලට එක් වූහ. කෙසේ වෙතත්, වෘත්තීය සමිති මෙවලම, කම්කරුවන්ගේ කෝපය, පාර්ලිමේන්තුවේ ආවෘත-අන්තයට සහ අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ ජවිපෙ/ජාජබ සහ සජබ ඉල්ලීමට සහාය දැක්වීම කරා හරවා යැවී ය.

කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කිරීමෙන්, ඔවුහු අපකීර්තිමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට, දැඩි කප්පාදු අවශ්‍යතා සහිත ඩොලර් බිලියන 3 ක ජාමූඅ නයක් සාකච්ඡා කල, ඇමරිකානු-ගැති, ජාමූඅ-ගැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමට මග පෑදූහ.

කම්කරුවන් ආවශ්‍යක නිගමනවලට එලඹිය යුතුය. වෘත්තීය සමිති නිලධරයන්, ධනවාදී ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ කාර්මික පොලිසියක් හැර අන් කිසිවක් නොවේ; එය කෙරෙහි ඔවුන්ට විශ්වාසය තැබිය නොහැක.

  • පෞද්ගලික හා රාජ්‍ය අංශවල සියලු ම සේවකයින්ට මූර්ත වැටුප් ඛාදනයට සරිලන පරිදි වැටුප් වැඩිවීමක් අවශ්‍ය වේ. එය ජීවන වියදමට අනුව වැඩි යුතු ය! විශ්‍රාමිකයන්ට ද ඒ හා සමාන වැඩිවීමක් ලැබිය යුතු ය!
  • රැකියා සහ වැටුප් අනිවාර්යයෙන්ම විනාශ කරන, රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරනය කිරීම හෝ වෙනත්, වෙලඳපොලට හිතකර ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා! ඒ වෙනුවට, සියලු රාජ්‍ය ව්‍යාපාර කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීමට කම්කරුවෝ සටන් කල යුතුය!
  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! නය ආපසු ගෙවීම්වලට වෙන් කල මුදල්, මිලියන ගනනක් පීඩාවට පත් කරන දරිද්‍රතාවය අවසන් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පුලුල් කිරීම සඳහා වන සමාජ සුභසාධන වැඩසටහන්වලට යෙදවිය යුතු ය.

ධනේශ්වර ක්‍රමය තුල හෝ ජාතික රාජ්‍යය තුල වර්තමාන සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් නොමැත. ජාත්‍යන්තරවාදය මත පදනම් වූ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

කම්කරුවන් සියලු ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, වැඩබිම්වල, වතුකරයයේ සහ අසල්වැසි ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමින් කාරනා තමන්ගේ අතට ගත යුතු ය. මෙම ක්‍රියාකාරී කමිටුවල වෘත්තීය සමිති නිලධාරීන්ට හෝ ධනේශ්වර දේශපාලනඥයන්ට ඉඩක් නැත.

ජාමූඅ විසින් උසිගන්වන ලද ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා එක්සත් ජාත්‍යන්තර ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. කෙන්යාව සහ සිම්බාබ්වේ වැනි බොහෝ රටවල කම්කරුවන් ජාමූඅ හි ම්ලේච්ඡ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහිව අඛන්ඩ අරගලවල යෙදී සිටිති. මෙම අරගල, අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන ඇතුලු ව ලොව පුරා කම්කරුවන්ගේ අරගල සමඟ සම්බන්ධ කල යුතු ය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) වාර්ගික රේඛා සහ ජාතික බාධක කපාගෙන කම්කරුවන් එක්සත් කිරීම සඳහා උද්ඝෝෂනය කරයි. ශ්‍රී ලංකාවේ ස්ථාපිත ක්‍රියාකාරී කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට (කක්‍රික-ජාස) සම්බන්ධ වී එය ජාත්‍යන්තර අරගල සඳහා සම්බන්ධීකරන මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීම අවශ්‍ය වේ.

සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වී සිටින කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයට නායකත්වය දීමට, ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් වූ, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවුම් කරයි.