සෞඛ්‍ය අංශයේ වැටුප් කප්පාදුවලට එරෙහි ව සටන් කරන්නේ කෙසේද?

දීමනා කප්පාදු කිරීමේ අයවැය යෝජනාවලට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (එච්ටීයූඒ) බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් නිවේදනය කර ඇත. මෙම විරෝධතාවයට හෙදියන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් සහ බලපෑමට ලක් වූ අනෙකුත් සේවකයින් දහස් ගනනක් සහභාගී වීමට නියමිතය.

සෞඛ්ය කම්කරු ක්රියාකාරී කමිටුව (සෞකක්‍රික) 'සෞඛ්ය අංශයේ වැටුප් කප්පාදුවලට එරෙහිව සටන් කරන්නේ කෙසේද?' යන තේමාවෙන් මෙම ක්‍රියාමාර්ගයට එලඹෙන සේවකයන් අතුලු සමස්ත සෞඛ්‍ය සේවකයන් හා කම්කරුවන් අමතන සූම් (zoom) රැස්වීමක් මෙම බ්‍රහස්පතින්දා (මාර්තු 6) සවස 7ට පැවැත්වීමට තීන්දු කර ඇත. මෙම රැස්වීමට සහභාගී වී එහි කෙරෙන සාකච්ඡාවට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

ලියාපදිංචි වීමට: https://us06web.zoom.us/meeting/register/UadP0NH0QRmgs0_qf1lu7g#/registration

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) ද අද දින වෛද්‍යවරුන් 20,000 ක් පමන නියෝජනය කරමින් සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිතව තිබුනි. නමුත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ පිලිබඳව සොයා බලන බවට පොරොන්දුවක් ලබා දීමත් සමඟ වෘත්තීය සමිති නිලධරය ඊයේ එම ක්‍රියාමාර්ගය අත්හිටවූ බව නිවේදනය කලේය.

ආන්ඩුවේ පොරොන්දුවකට හිස නමමින්, අවසාන මිනිත්තු කිහිපයේදී මෙම ක්‍රියාමාර්ගය අත්හිටුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, වෘත්තීය සමිති නායකයින් තම සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සඳහා සැබෑ සටනක් සංවිධානය කිරීමට සතුරු බවයි. සියලුම වෘත්තීය සමිති නිලධරයන්ගේ අතීත වාර්තා මේ හා සමාන වේ.

සෞකක්‍රික, අයවැය කප්පාදුවට එරෙහි සෞඛ්‍ය සේවකයින්ගේ ක්‍රියාමාර්ගවලට සහාය දක්වයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අයවැය යෝජනාවලට අනුව, වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අතිකාල ගෙවීම් සහ නිවාඩු දීමනා විශාල ලෙස අඩු කර ඇත.

අනෙකුත් රාජ්‍ය අංශවල මෙන්, සෞඛ්‍ය සේවකයින්ට ද ලැබෙන්නේ මූර්ත වැටුප් ඛාදනය ඌන පූරනය වීමට ප්‍රමානවත් නොවන කුඩා වැටුප් වැඩිවීම් ය; අනෙකුත් කප්පාදු අතරට විවිධ දීමනා අඩු කිරීම; උසස්වීම් දීර්ඝ කාලයකට ප්‍රමාද කිරීම සහ දරාගත නොහැකි සේවා කොන්දේසි ඇතුලත් වේ.

ආන්ඩුව විසින් ලබා දී ඇත්තේ, 2025 සිට 2027 දක්වා වසර තුනකට බෙදා ඇති ඉතා සුලු වැටුප් වැඩිවීම් පමනි. එක් වෘත්තීය සමිති නායකයෙකුට අනුව, නව අනුපාත නිසා කනිෂ්ඨ හෙදියකට, සිස්ටර් කෙනෙකුට සහ මේට්‍රන්වරියකට, මසකට, පිලිවෙලින් රුපියල් 13,000, 17,500 සහ 22,000 ක අතිකාල ගෙවීම් අහිමි වනු ඇත.

තුන්වන ශ්‍රේනියේ සිට දෙවන ශ්‍රේනිය දක්වා හෙදියන්ගේ උසස්වීම් කාලය අවුරුදු පහේ සිට දහය දක්වාත්, දෙවන ශ්‍රේනියේ සිට පලමු ශ්‍රේනිය දක්වා හෙදියන්ගේ උසස්වීම් කාලය අවුරුදු හතේ සිට එකොලහ දක්වාත් දීර්ඝ කර ඇත. එය නියමිත වැටුප් වැඩිවීම් ප්‍රමාද කරනවා පමනක් නොව, ඒ හේතුවෙන්, ඇතැම් හෙදියන්ට විශ්‍රාම යන වයස තෙක් ම පලමු ශ්‍රේනියට ලඟා වීමට නොහැකි වනු ඇත!

 වැදගත්ම ප්‍රශ්නය වන්නේ: යහපත් ජීවිතයක් සඳහා කිසිසේත් ප්‍රමානවත් නොවන මාසික ආදායම කප්පාදු කිරීමට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්නයි.

වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතා කැඳවා ඇත්තේ ආන්ඩුවට නිරර්ථක ආයාචනා ඉදිරිපත් කිරීම සඳහා ය.

මාර්තු 6දා පාර්ලිමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වන අයවැය ප්‍රතිපාදන පිලිබඳව සාකච්ඡා කිරීමට නියමිත බැවින් එච්ටීයූඒ නායකයින් මෙම විරෝධතාවය කැඳවා ඇත. ඔවුන්ගේ අරමුන වන්නේ ආන්ඩුවට බලපෑම් කිරීමෙන් සහන ලබා ගත හැකි බවට මිත්‍යාවන් වැපිරීම මිස සෞඛ්‍ය සේවකයින් තම අයිතිවාසිකම් සඳහා සැබෑ අරගලයක් සඳහා බලමුලු ගැන්වීම නොවේ.

අනෙකුත් අංශවල ඔවුන්ගේ සගයන් මෙන්ම, සෞඛ්‍ය අංශයේ සියලුම වෘත්තීය සමිති නිලධරය ද, 2023 මුල් භාගයේ සිට ක්‍රියාත්මක කරන ලද රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි අරගල රැල්ල පාවා දුන්හ.

සමස්ත ලංකා හෙද සංගමය (සලංහෙසං) සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙසං) ඇතුලු ජවිපෙ පාලනය කරන සෞඛ්‍ය වෘත්තීය සමිති, විරෝධතාවලට සහභාගී නොවේ.

සලංහෙසං ලේකම් එච්.එම්.එස්. මැදිවත්ත පැවසුවේ, මෙය මෙම 'ජනතාවාදී' ආන්ඩුවේ අවසාන අයවැය නොවන බවයි. අනාගත අයවැය මඟින් ගැටලු විසඳෙනු ඇති බව ඇඟවීමට ඔහු උත්සාහ කරයි. ආන්ඩුව 'සතුටුදායක වැටුප් වැඩිවීමක් යෝජනා කර ඇති' බව පවසමින් ඔහු එය ප්‍රශංසා කලේය.

ආන්ඩුව ප්‍රසිද්ධ චක්‍රලේඛ නිකුත් කරන විට වැටුප් හෝ දීමනා අඩු කිරීමක් සිදුවුවහොත් තම සංගමය ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව රාසේඑහෙසං සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද මාධ්‍යයට පැවසීය.

ආන්ඩුවට නිරර්ථක පීඩනයක් එල්ල කිරීමෙන් අපගේ අයිතිවාසිකම් දිනා ගත හැකි බවට වෘත්තීය සමිති නායකයින් පතුරුවන මිත්‍යාවන් විශ්වාස නොකරන්න.

මෙම කප්පාදුවල මූලය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් අඛන්ඩව තීව්‍ර කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන් ය.

ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ දුප්පතුන් මත පැටවීමටත්, විදේශ නය ආපසු ගෙවීමට සහ ආයෝජකයින්ගේ සහ මහා ව්‍යාපාරවල ලාභ ඉහල නැංවීම සඳහා රාජ්‍ය භාන්ඩාගාරයට දැවැන්ත ආදායමක් උපයා ගැනීමටත් ජාමූඅ කප්පාදු පියවර සැලසුම් කර ඇත.

සෞඛ්‍ය අංශය අරමුදල් කප්පාදුවෙන් පීඩා විඳින අතර, දැරිය හැකි අය සඳහා, රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන ඇතුලු පෞද්ගලික සෞඛ්‍ය සේවා හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින් පවතී.

අයවැය කතාව අතරතුර, ජනාධිපතිවරයා මහජන සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක් හෙවත් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.8 ක් පමන වෙන් කරන බව ප්‍රකාශයට පත් කලේය. ආන්ඩුව සහ මාධ්‍ය, මෙය 'ඓතිහාසික පරිමානයේ' වැඩිවීමක් ලෙස වර්නනා කරයි.

කෙසේ වෙතත්, විශේෂඥයින් විසින් 2015 දී ගනනය කර ඇත්තේ, නිදහස් මහජන සෞඛ්‍ය සේවාව ප්‍රතිසංස්කරනය කිරීම සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.84 ක අරමුදල් වෙන් කල යුතු බවයි.

පසුගිය වසර පහ තුල මෙම අංශයේ දැවැන්ත කඩාවැටීම් සිදු විය. 2020 මුල් භාගයේ සිට කෝවිඩ්-19 වසංගතය මතුවීමෙන් පසු මෙය ප්‍රකාශ විය. පසුව ඇති වූ පෙර නොවූ විරූ සහ අඛන්ඩ ආර්ථික අර්බුදය, සෞඛ්‍ය සේවයට අත්කර දී ඇත්තේ විනාශයකි.

 වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු වෘත්තිකයන්ගේ හිඟය, අබලන් ගොඩනැගිලි, යල් පැන ගිය උපකරන, අත්‍යවශ්‍ය ඖෂධ සහ රසායනාගාර හිඟය මහජන සෞඛ්‍යයට පීඩා කරයි. රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් යන දෙපිරිසම දුක් විඳිති.

සුලු වැටුප් වැඩිවීම් සහ අනෙකුත් ප්‍රතිලාභ කප්පාදු සෞඛ්‍ය අංශයට පමනක් සීමා නොවේ. බොහෝ රාජ්‍ය අංශයේ සේවකයින් ම්ලේච්ඡ ආකාරයේ ප්‍රහාරවලට මුහුන දී සිටිති. ඔවුන්ට ලබා දී ඇත්තේ ඉතා සීමිත වැටුප් වැඩිවීමක් පමනි. ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ වී යාමට හේතු වනු ඇති පරිදි රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරනය හා වානිජකරනය සඳහා සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ අර්බුදය ලෝක ධනවාදී අර්බුදයේ කොටසකි. සෑම රටකම, ධනේශ්වර පාලක පන්තීන්ගේ සහ ඔවුන්ගේ පාලන තන්ත්‍රවල පලමු ගොදුර වන්නේ සෞඛ්‍ය සේවය සහ අනෙකුත් සමාජ වැඩසටහන් ය. මහා ව්‍යාපාරික සමාගම් නිදහස් මහජන සෞඛ්‍යය ඔවුන්ගේ ලාභ සඳහා බාධකයක් ලෙස සලකන අතර, එය සම්පූර්නයෙන්ම ඉවත් කර සෞඛ්‍ය සේවාව පුද්ගලික ලාභ උපයන කර්මාන්තයක් බවට පත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වේ.

සෞඛ්‍ය සේවකයින්ට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි වන්නේ, ඒ හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන අනෙකුත් කම්කරු කොටස් සමඟ එක්සත් වෙමින්, ඔවුන්ගේ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමෙනි.

ධනවාදයේ අර්බුදයට වැඩ කරන ජනතාව වගකිව යුතු නැත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ සියලුම කම්කරු කොටස්වල කටුක අරගලවලින් උගත යුතු පසුගිය වසරවල පාඩම් නම්, ඔවුන්ට ධනේශ්වර ක්‍රමය තුල තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැකි බවයි; වෘත්තීය සමිති නිලධරයන් යටතේ ඔවුන්ට සැබෑ අරගලයක් කල නොහැකි ය; ඔවුහු ධනවාදයට පක්ෂපාතී වන අතර ජාමූඅ කප්පාදු පියවරයන්ට සහාය දක්වති.

කම්කරුවන් ධනයේ සැබෑ නිෂ්පාදකයින් වන අතර, ඉහල යන උද්ධමනය හා ජීවන වියදමට අනුකූලව යහපත් වැටුපක් ඉල්ලා සිටීමට ඔවුන්ට පූර්න අයිතියක් ඇත. සෞඛ්‍යය මෙන්ම අධ්‍යාපනය ද කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ මූලික අයිතිවාසිකම් වේ.

යහපත් වැටුප් හා සේවා කොන්දේසි සඳහා සහ පුලුල් ජනතාවට වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා වන සටන කම්කරු පන්තිය තමන්ගේ අතට ගත යුතුය.

මේ සඳහා, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඇතුලු සියලුම සේවා ස්ථානවල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

අපි මූලික පියවරක් ලෙස සෞකක්‍රික පිහිටුවා ඇති අතර, සෑම රෝහලකම සහ සෞඛ්‍ය ආයතනයකම අප හා එක්වී ඒ හා සමාන මුලපිරීම් ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු. මෙම මුලපිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඔබට සහාය වීමට අප සූදානම් ය.

මහජන සෞඛ්‍ය සේවකයින්ගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සෞකක්‍රික පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරයි:

  • විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු! අප කියන්නේ, මෙම දැවැන්ත අරමුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා භාවිතා කල යුතු බව යි!
  • ගරාවැටෙමින් පත්වෙමින් පවතින සෞඛ්‍ය සේවාව ප්‍රතිසංස්කරනය කර නවීකරනය කිරීමට රුපියල් බිලියන ගනනක් වෙනු කරනු! තවත් සෞඛ්‍ය සේවකයින් බඳවා ගනු!
  • ඉහල යන උද්ධමනයට සහ ජීවන වියදමට ගැලපෙන යහපත් වැටුපක්!

ශ්‍රේනි මත පදනම්ව කම්කරුවන් බෙදීමට වෘත්තීය සමිති දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරමින්, සියලුම සෞඛ්‍ය සේවකයින්ගේ සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියේ එක්සත්කම සඳහා ක්‍රියාකාරී කමිටු සටන් කල යුතුය.

ජාමූඅ විසින් උසිගන්වන ලද ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත්, ජාත්‍යන්තර ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර අරගල සඳහා සම්බන්ධීකරන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සමග සම්බන්ධ විය යුතුය.

මෙම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමේ සටන සඳහා, ජාමූඅ විසින් නියම කරන, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමේදී, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව සෞකක්‍රික අවධාරනය කරයි.