මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවෝ සුලි කුනාටුවෙන් පසු යහපත් නිවාස ඉල්ලා විරෝධතා දක්වති

[මෙය Estate workers in Sri Lanka’s central district protest, demand decent housing after cyclone යන මැයෙන් 2025 දෙසැම්බර් 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

අනුප්‍රාප්තික ආන්ඩු, වතු සමාගම් සහ වෘත්තීය සමිති නිලධරය විසින් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට එරෙහි ව දශක ගනනාවක් තිස්සේ සිදු කරන ලද සමාජ අපරාධය, දිට්වා සුලි කුනාටුව විසින් හෙලිදරව් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව පොරොන්දු වූ ආධාර බොහෝ දෙනෙකුට තවමත් ලැබී නොමැති බැවින්, කම්කරුවන් අතර කෝපය උත්සන්න වෙමින් පවතී.

සුලි කුනාටුව හේතුවෙන් ඇති වූ නාය යෑම් සහ ගංවතුරෙන් වතු කම්කරුවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ; කම්කරු පන්තියේ වඩාත් ම දුප්පත් කොටස් ජීවත් වන ප්‍රදේශ කිහිපයක් වන මහනුවර, නුවර එලිය, බදුල්ල, මාතලේ, කෑගල්ල සහ කුරුනෑගල යන වතු දිස්ත්‍රික්කවල නිවාස සිය ගනනක් සම්පූර්නයෙන් ම විනාශ වී ඇති අතර තවත් දහස් ගනනකට අර්ධ වශයෙන් හානි වී තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ අවතැන් වූ කම්කරුවන් සමඟ කතා කිරීම සඳහා ස්ටොක්හෝම් සහ එල්ජින් වතු වෙත ගියහ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි, හොරන වැවිලි සමාගම විසින් කලමනාකරනය කරනු ලබන ස්ටොක්හෝම් වතුයායේ පවුල් 65 ක්—දරුවන් බොහෝ ගනනක් ද ඇතුලුව පුද්ගලයින් 200 ක් පමන—අවතැන් වී සිටිති. ඔවුන්ගේ ලයින් කාමරවලට දැඩි හානි සිදු වී, බිත්ති සහ බිම් ඉරිතැලී යාමෙන් පසු, දැන් ඔවුන්, නවාතැන් ගෙන සිටින්නේ, වතුයායේ ප්‍රාදේශීය පාසලක් වන භාරතී දෙමල විද්‍යාලයේ ය.

දිට්වා සුලි කුනාටුවෙන් පසු ස්ටොක්හෝම් වතුයායේ නාය ගොස් ඇති ස්ථානයක්

දෙසැම්බර් 17 වන දින, කම්කරුවන් 700 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ, තේ කම්හල ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක් ද ඇතුලුව වතුයාය තුල විරෝධතාවක් පැවැත්වූහ. ඔවුහු ආරක්ෂිත ස්ථානවල යහපත් නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ඉල්ලා සිටියහ.

පැහැදිලි අනතුරක් තිබියදීත්, වතු කලමනාකාරිත්වය සහ ආන්ඩුවේ නිලධාරීන් කම්කරුවන්ගේ උත්සුකයන් ප්‍රතික්ෂේප කර ඇත. කම්කරුවන්ට අනුව, සුලි කුනාටුවෙන් දින කිහිපයකට පසු, වතු කලමනාකරු, ඉඩම් පර්යේෂන නිලධාරි, ග්‍රාම නිලධාරි සහ සුභසාධන නිලධාරි, හානියට පත් නිවාස වෙත ගොස් සුලු පරීක්ෂනයක් සිදු කර තිබේ. හානිය “සුලු” බව කියා සිටි ඔවුන්, පවුල්වලට උපදෙස් දී ඇත්තේ ගොඩනැගිලි තමන් විසින් ම අලුත්වැඩියා කරගෙන නැවත පදිංචියට යන ලෙස ය.

මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කල කම්කරුවෝ, පාසලේ ම නවාතැන් ගෙන සිටිති. තවදුරටත් සුලි කුනාටුවක් හෝ අධික වර්ෂාවක් ඇති වුව හොත් විනාශකාරී හානි සිදුවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

ස්ටොක්හෝම් වතුයායේ ජනතාව, වැලි කොට්ට භාවිතා කරමින්, නායයෑම් නැවැත්වීමට දැඩි උත්සාහයක් දරා ඇති ආකාරය

මෙම ලයින් කාමර, දශක ගනනාවක් පැරනි, බැරැක්ක ආකාරයේ වාසස්ථාන වේ. වර්ග අඩි 100 ක් පමන වන කාමරවල පවුල් පිටින් වාසය කරති. ඇතැම් ඒවා, කම්කරුවන්, තමන්ගේ ම සුලු ආදායම භාවිතා කරමින්, යන්තමට වැඩිදියුනු කර තිබේ. ස්ටොක්හෝම්හි නිවාස බිත්තිවල පවතින පුලුල් ඉරිතැලීම් වාර්තාකරුවන් නිරීක්ෂනය කලහ. පසුගිය සිදුවීම් අතරතුර, අධික වර්ෂාපතනය සහ නායයෑම්වලින් ලයින් කාමරවලට හානි සිදු විය.

විරෝධතාවය අතරතුර, තරුන ගැහැනු ලමයෙක් මාධ්‍යයට මෙසේ පැවසුවා ය: “මේ වහල් ලයින් කාමර ක්‍රමය අහෝසි කරන තුරු අපි මේ අරගලය නවත්වන්නේ නැහැ. අපි ඉල්ලන්නෙ අපිට හොඳ නිවාස ක්‍රමයක්.”

33 හැවිරිදි වතු කම්කරු කාන්තාවක් වන සුභාෂිනී, බලධාරීන් දැක්වූ අනුකම්පා විරහිත ප්‍රතිචාරය ලෝසවෙඅ වෙත විස්තර කලේ මෙසේ ය: “සුලි කුනාටුව අතරතුර, අපගේ නිවසේ බිත්තිවල සහ බිම ස්ථාන කිහිපයක් ම කැඩී ගියා. නමුත් නිලධාරීන් පවසන්නේ මේවා ‘සුලු’ හානි බවයි. වතු කලමනාකාරිත්වය ආරක්ෂිත ප්‍රදේශයක ඉඩම් හෝ නිවාස ලබා දෙන්න කැමති නැහැ.”

දිට්වා සුලි කුනාටුවේ බලපෑම හේතුවෙන් ස්ටොක්හෝම් වතුයායේ නිවසක බිත්තියක දක්නට ලැබෙන ඉරිතැලීම්

'මීට පෙර, කම්කරු නිවාස යෝජනා ක්‍රමයක් සඳහා වත්තේ ඉඩම් හෙක්ටයාර හතක් වෙන් කර තිබුනා,' ඇය පැහැදිලි කලාය. 'නමුත් දැන්, සමාගම එහි කෝපි සහ අනෙකුත් භෝග වගාවක් ආරම්භ කරලා.'

65 හැවිරිදි විශ්‍රාමික කම්කරුවෙකු වන ඇගේ පියා, කරුප්පයියා, වතු කලමනාකරනයේ මෙවලම් ලෙස ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාව හෙලි කලේය. 'ඔවුන් මුලින්ම වතු කලමනාකරුගේ කාර්යාලයට ගිහින්, පස්සෙ සවස් වරුවේ අපගේ නිවෙස්වලට පැමිනියා,' යැයි ඔහු පැවසීය. 'මෙහි ජීවත් වීම ආරක්ෂිතද කියන එක තීරනය කිරීමට, ඉඩම් පර්යේෂන නිලධාරියා විසින් පස පරීක්ෂා කල යුතු නමුත් එවන් කිසිවක් සිදු වුනේ නෑ. අලුත්වැඩියා කරගෙන එම ස්ථානයේම රැඳී ඉන්න කියලා ඔවුන් අපට කියන්නේ කොහොමද? ආන්ඩුවවත්, වතු කලමනාකාරිත්වයවත් අපේ ජීවිත ගැන කිසිම තැකීමක් නැහැ.'

තවත් විශ්‍රාමික කම්කරුවෙකු වන 77 හැවිරිදි වී. වෙම්පන් මෙසේ පැවසීය: “මම මෙහි වැඩ කිරීමට පටන් ගත්තේ අවුරුදු 18 ඉඳලා. මගේ බිරිඳට වයස අවුරුදු 65 යි. අපි දෙන්නම අසනීපෙන්. අපේ දියනියන් තිදෙනා විවාහ වෙලා වෙනත් තැන්වල ජීවත් වෙනවා. අපි යන්තම් රෝහලෙන් ආපසු ආවා විතරයි, නමුත් ආන්ඩුවෙන් හෝ වතුයායෙන් කිසිදු උදව්වක් ලැබුනේ නැහැ. අපට විශ්‍රාම වැටුපක් නැහැ. වතු කලමනාකරු සහ නිලධාරීන් අපේ නිවසට හානි වෙලා තියෙනවද කියලා හොයල බලන්න ගත කලේ විනාඩි පහක් විතරයි. කවුරුත් අපට උදව් කරන්නේ නැහැ.”

ශ්‍රී ලංකාවේ දිට්වා සුලි කුනාටුවෙන් පසු ස්ටොක්හෝම් වතුයායේ තම නිවස දෙසට ලිස්සා ඒමට ආසන්න පස් කන්ඩියක් අසල සිටින කාන්තාවක් සහ ඇගේ දරුවන්

වතු වෘත්තීය සමිතිවල භූමිකාව කම්කරුවන්ගේ කෝපය තවදුරටත් අවුලුවා තිබේ. දෙසැම්බර් 22 වන දින, ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්‍යූඩබිලිව්), කඳුරට ජනතා පෙරමුන සහ පාලක ජාතික ජන බලවේගයේ සමිති නායකයින්, අවතැන් වූ කම්කරුවන්ට තාවකාලික නිවාස තනා ගැනීමට ඉඩම් ඉල්ලා සිටීම සඳහා වතු කලමනාකරු හමුවිය.

සමාගමේ සහ ආන්ඩුවේ අනුමැතියකින් තොරව 'ඉඩම් අඟලක්වත්' වෙන් කල නොහැකි බව පවසමින් කලමනාකරු එය කෙලින්ම ප්‍රතික්ෂේප කර ඇත. වෘත්තීය සමිති නායකයින් කලමනාකාරිත්වයෙන් අයැද සිටිය ද, යහපත් නිවාස සඳහා සටන් කිරීමට කම්කරුවන් බලමුලු ගැන්වීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් නැවත තලවකැලේ සිට කිලෝමීටර් 17 ක් දුරින් පිහිටි එල්ජින් වතුයායට ද ගිය අතර, එහි කම්කරුවන් තවමත් නවාතැන් ගෙන සිටින්නේ ප්‍රාදේශීය පල්ලියක ය.

පීඩාවට පත් ඇතැම් පවුල් හානියට ලක්වූ ඔවුන්ගේ ලයින් කාමර වෙත ආපසු ගොස් ඇති අතර, පවුල් 26 ක් ග්‍රාම නිලධාරී නියෝගය නොතකා එසේ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එක් කම්කරුවෙක් පැහැදිලි කලේ: “සුලි කුනාටුව අතරතුර අපේ නිවසේ හැම බිත්තියකට ම හානි වුනා. එහි ජීවත් වීම හරිම භයානකයි—ඕනෑම වේලාවක නායයෑමක් සිදු වෙන්න පුලුවන්.”

රාජ්‍ය ආයතනයක් වන ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවා අනතුරක් පවතින බව පිලිගත් නමුත් එය කලේ පදිංචිකරුවන්ට ආපසු පැමින තමන් ගැන 'සුපරීක්ෂාකාරීව' සිටින ලෙස නිර්දේශ කිරීම පමනි.

දිට්වා සුලි කුනාටුවෙන් පසු තංගකැලේ වතුයායේ පල්ලියක නවාතැන් ගෙන සිටින එල්ජින් වතු කම්කරුවෝ

අනෙකුත් කම්කරුවන් සමඟ එක්සත් වී යහපත්, ආරක්ෂිත නිවාස සඳහා සටන් කිරීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාවය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෝ කම්කරුවන් සමඟ කතා කලහ. සාකච්ඡාවට කම්කරුවන් 15 ක් පමන සහභාගී වූහ.

ආරක්ෂිත සහ ජීවත්වීමට සුදුසු නිවාස සඳහා වන ඉල්ලීම, ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවන්ට දිගුකාලීන ගැටලුවක් වී තිබේ. එහෙත් ආන්ඩුව සහ වතු සමාගම් මෙම මූලික අයිතියට එලිපිට ම සතුරු ය. දිස්ත්‍රික්ක 25 පුරා වතුකරයට බලපෑම් කරමින් දිට්වා සුලි කුනාටුව විසින් සිදු කරන ලද විනාශය මෙම ඉල්ලීම නැවත වරක් පෙරට තල්ලු කර තිබේ.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයින් 639 දෙනෙකු මිය ගොස් 213 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, දහස් ගනනක් තුවාල ලබා ඇත; ඇතැමුන්ට බරපතල තුවාල සිදුවී ඇත. නිවාස 6,000 ක් පමන සම්පූර්නයෙන්ම විනාශ වී ඇති අතර 100,000 ක් අර්ධ වශයෙන් හානි වී ඇත.  ජවිපෙ/ජාජබ ආන්ඩුව, නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා දෙන බවට පොරොන්දු වී ඇතත්, බොහෝ කම්කරුවෝ එය විශ්වාස නොකරති. තම සියලු මැතිවරන පොරොන්දු කඩ කර ඇති පාලන තන්ත්‍රය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටී.

වතුකරයේ දිස්ත්‍රික්ක පුරා, ආන්ඩුව සහ සමාගම් යන දෙකටම එරෙහිව කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම අවහිර කිරීමේ දී වෘත්තීය සමිති ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. ඉඩම් සහ නිවාස සඳහා වන ඔවුන්ගේ හිස් ආයාචනා, සූරාකෑම තීව්‍ර කිරීමට නව ක්‍රමයක් ලෙස විශාල වතු සමාගම් විසින් යෝජනා කර ඇති “ආදායම් බෙදා ගැනීමේ යෝජනා ක්‍රමය” ක්‍රියාත්මක කිරීම සමඟ බැඳී ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ, සමාගම විසින් සපයනු ලබන යෙදවුම් සමඟ, නඩත්තු කිරීම සඳහා සේවකයින්ට තේ පඳුරු 1,000 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් පවරනු ලැබේ. අස්වැන්න නෙලා සමාගම එහි පිරිවැය සහ විකිනීමෙන් ලැබෙන ලාභය අඩු කරගත් පසු, ඉතිරිය කම්කරුවන්ට ලැබේ. එය නූතන අඳගොවි ක්‍රමයකි. වෘත්තීය සමිති නිලධරයේ සහාය ඇතිව එය දැනටමත් දියත් කර ඇතත්, කම්කරුවෝ එයට විරුද්ධ වෙති.

ආරක්ෂිත භූමියක ස්ථිර නිවාස සඳහා නැවත නැවතත් කරන ලද ඉල්ලීම්, අනුර කුමාර දිසානායක ආන්ඩුව, වතු කලමනාකරුවන් සහ ප්‍රාදේශීය නිලධාරීන් විසින් නොසලකා හැර ඇති අතර, ඔවුන් සියල්ලෝම මෙම ව්‍යසනය සලකන්නේ, මානව ව්‍යසනයක් ලෙස නොව සැපයුම් අපහසුතාවයක් ලෙස ය.

මෙම ව්‍යසනය නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ, කම්කරුවන් වෘත්තීය සමිති යන්ත්‍රනයෙන් බිඳී, සෑම වතුයායකම සහ වැඩබිමකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ හදිසි අවශ්‍යතාවයයි. ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් හරහා, මෙම කමිටු ආන්ඩුවට සහ වතු සමාගම්වලට එරෙහිව පුලුල් කම්කරු පන්තිය සමඟ වතු කම්කරුවන් එක්සත් කිරීම සඳහා වැඩ වර්ජන, පිකට් සහ පෙලපාලි සංවිධානය කල යුතුය.

යහපත් නිවාස සඳහා වන සටන, වතු කම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් සහිත මාසික වැටුපක්, සහතික කල නිවාඩු සහ වෛද්‍ය ප්‍රතිලාභ සඳහා වන පුලුල් අරගලයට සම්බන්ධ කල යුතුය.

මෙය වතුකරය සහ අනෙකුත් ප්‍රධාන සමාගම් කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කිරීම සහ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන පුලුල් සටනේ කොටසකි. මෙම ව්‍යසනයට තුඩු දුන් තත්වයන් ජය ගත හැක්කේ, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමකින් පමනි. සමාජවාදී සමානතා පක්ෂය වතු කම්කරුවන්ට මෙම මාවතට පිවිසෙන ලෙස ඉල්ලා සිටින අතර කප්පාදුව, මර්දනය සහ ධනේශ්වර සූරාකෑමට එරෙහි පොදු අරගලයක් තුල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහ කම්කරුවන් එක්සත් කිරීම සඳහා සහාය වීමට පොරොන්දු වේ.

Loading