අඟහරුවාදා (1) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය, ආන්ඩුව විසින් යෝජනා කර ඇති 22 වැනි ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ව ගොනුකර තිබෙන වාර්තාගත “විශේෂ නිර්නය” පෙත්සම් 67ක් පිලිබඳ විභාගය ආරම්භ කලේ ය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කිරීමට අමතර ව, මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරනයක් ද අවශ්‍ය බව තීරනය කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරනයෙන් ඉල්ලා සිටිති.
අගෝස්තු 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල මෙම සංශෝධනය මගින්, ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරනයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහල දැමීමට යෝජනා කර තිබේ. ඊට අමතර ව අභියාචනාධිකරන විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සහ සංඛ්‍යාව ආන්ඩුක්රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බැවින්, එවැනි වෙනස්කම් සිදු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වේ. පහල අධිකරනවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහල නැංවීම සඳහා අධිකරන සංවිධාන පනතට ද සංශෝධන ගෙන ඒම ආන්ඩුව නිවේදනය කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ), 2024 ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය සඳහා ගෙන ගිය ප්රචාරක ව්‍යාපාරයේ දී, ආන්ඩුක්රම ව්‍යවස්ථාවට කොටස් වශයෙන් සංශෝධන ගෙන ඒමට තමන් විරුද්ධ බව ප්‍රකාශ කරමින් පොරොන්දු වුයේ, පුලුල් නව ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් ගෙන එන බවටයි.
එහෙත්, ජවිපෙ/ජාජබ ආන්ඩුව මැයි මාසයේ දී නව සංශෝධනය පිලිබඳ ප්රචාරක ව්‍යාපාරයක් ආරම්භ කල අතර, අගෝස්තු මාසයේ දී පනත් කෙටුම්පත ගැසට් කලේ ය. ආන්ඩුව නව නීතිය කඩිනමින් සම්මත කර ගැනීමට අදිටන් කර ඇති බව තහවුරු කරමින්, කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවක දී පැවසුවේ, සැප්තැම්බර් මාසයේ දී සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර, ඔක්තෝබර් මාසයේ දී එය නීතියක් බවට පත් කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇති බවයි. පාලක පක්ෂය සිය මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගෙන් සමන්විත තුනෙන් දෙකකට වැඩි බහුතරය යොදා ගනිමින් නව සංශෝධනය සම්මත කර ගැනීමට සුදානම් වේ.
ආන්ඩුවේ මෙම පියවර මගින් “අධිකරනයේ ස්වාධීනත්වයට” බලපෑම් එල්ල විය හැකි බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (බිඒඑස්එල්), පොදු රාජ්‍ය මන්ඩලීය නීතිඥ සංගමය, තවත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් සහ විනිසුරුවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ඇතුලු නීති වෘත්තීය ආයතන අවධාරනය කර ඇත.
මෙම සංශෝධනය ඉක්මනින් සම්මත කලහොත් එහි ආසන්න ප්‍රතිලාභියා වන්නේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. ඔහු මේ වසරේ දෙසැම්බර් මුල විශ්‍රාම යාමට නියමිත ව සිටිය ද, සංශෝධනය හේතුවෙන් ඔහුට තවත් වසර දෙකක් එම තනතුරේ රැඳී සිටීමට හැකි වනු ඇත. 2024 ඔක්තෝබර් මාසයේ දී ඔහු අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
බලයේ සිටිය දී ප්රජාතන්ත්ර විරෝධී දුෂ්ක්රියා සම්බන්ධයෙන් කුප්‍රකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ සමගි ජන බලවේගය (සජබ) ඇතුලු ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ ද දැන් ප්රජාතන්ත්රවාදීන් ලෙස වෙස් මුහුනු දමා ගැනීමේ උත්සාහයක යෙදී සිටියි. ඔවුන් ද මෙම සංශෝධනයට එරෙහි ව පෙත්සම් ගොනුකර තිබේ.
සංශෝධනය පිලිබඳ පුලුල් ව එල්ල වී ඇති විවේචන මුලුමනින් ම ප්‍රතික්ෂේප කර ඇති ආන්ඩුව, තම අරමුන අධිකරනය ශක්තිමත් කිරීම පමනක් බව ව්‍යාජ ලෙස අවධාරනය කරයි. එහෙත්, අගෝස්තු 12දා නීතිඥ සංගමයේ (බීඒඑස්එල්) නියෝජිතයන් සමඟ පැවති හමුවේ දී දිසානායක කල දීර්ඝ කරුනු දැක්වීමකින් පෙන්නුම් කෙරී ඇත්තේ, ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය හුදෙක් අධිකරනයට බලපෑම් කිරීමෙන් ඔබ්බට යන බවයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සහ අභියාචනාධිකරන විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව, තමන් පෞද්ගලික ව තෝරා ගත් පුද්ගලයන් පිරිසක් එම අධිකරන ආයතනවලට ඇතුලත් කිරීමේ උත්සාහයක් ලෙස ඕනෑ ම අයෙකුට අර්ථකථනය කල හැකි නමුත්, එය එසේ නොවන බව නීතිඥ නියෝජිතයන්ට දිසානායක පැවසී ය. එහෙත් බීඒඑස්එල් සමඟ ඔහු කල ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ආන්ඩුව කිරීමට සූදානම් වන්නේ හරියට ම එය බව යි.
බීඒඑස්එල් විසින් ඉල්ලා සිටි පරිදි මාසයක් ඇතුලත අභියාචනාධිකරනයේ පුරප්පාඩු පිරවිය හැකි බව දිසානායක පැවසී ය. එහෙත්, එසේ නොකරන්නේ, “එක් විශේෂිත හේතුවක්” නිසා බව ඔහු සඳහන් කලේ ය. “පාස්කු ඉරිදා නඩුව තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසී ය. ඔහු තව දුරටත් සඳහන් කලේ, ඉතා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරන විනිසුරු මඬුල්ලක් එම නඩු විභාග කරමින් සිටින බවත්, පසු ව එම විනිසුරුවරුන් අභියාචනාධිකරනයට පත් කිරීමට සුදුසුකම් ලබන අය අතර සිටිනු ඇති බවත් ය. “මගේ ප්‍රවේශය පිටුපස තිබෙන සලකා බැලීම මෙයයි...” දිසානායක කීවේ ය.
ජනාධිපතිවරයාගේ “ප්‍රවේශය” පැහැදිලි ය. ඔහු ඉහත ඇඟවුම් කරන පරිදි, අභියාචනාධිකරනයේ පුරප්පාඩු වහා ම පුරවන්නේ නැත්තේ, මහාධිකරනයේ පාස්කු ඉරිදා නඩු විභාග කරන එම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ උසස් කිරීම් කෙරෙහි එය බලපාන බැවිනි. ඔහු මෙම සංශෝධනය ගෙන එන්නේ, අධිකරන දෙකේ ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ද ඉහල දමා, එම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් උසස් අධිකරනවලට පත් කිරීම සඳහා සලකා බැලීමට කොන්දේසි සකස් කිරීමට ය. විනිසුරුවරුන් පත් කිරීමේ දී යෝජිත නම් සලකා බැලීම සඳහා, බොහෝ විට ආන්ඩුවට ලැදි නියෝජිතයන් බහුතරයක් සිටින ආන්ඩුක්රම ව්‍යවස්ථා සභාවක් ද පවතින අතර, ඔවුන් පත් කිරීමේ අවසන් බලය සතු ව ඇත්තේ ජනාධිපතිවරයා අත ය.
පාස්කු ඉරිදා නඩු තම ප්‍රමුඛතාව බව ඔහු අවධාරනය කලේ ය. “ඕන නම්, මට පාස්කු ඉරිදා නඩුව බිඳ වැටීමට ඉඩ හරින්න තිබුනා. මෙම නඩුවට අදාල චෝදනා ආසන්න වශයෙන් 23,000ක්; සාක්ෂිකරුවන් 3,000ක් සිටිනවා. ආපසු එවැනි නඩුවක් විභාග කිරීමට ඉදිරිපත් වන්නේ කවුද? අවසානයේ ජනතාවට යුක්තිය ඉටු වන්නේ කවදා ද?” යනුවෙන් ඔහු පැවසී ය.
සරල ව කිවහොත්, පාස්කු ඉරිදා නඩු පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා ඉහල අධිකරන විනිසුරුවරුන් අවශ්‍ය බව දිසානායක පවසයි.
ජනාධිපති දිසානායක එ ලෙස සඳහන් කලේ, 2019 අප්‍රේල් 21දා කතෝලික දේවස්ථාන තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එක විට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙනි. එම ප්‍රහාරවලින් පුද්ගලයන් 268 දෙනෙකු මිය ගොස්, 568කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අයිඑස්අයිඑස් (ISIS) ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධතා තිබූ ලංකාවේ ඉස්ලාම්වාදී කන්ඩායමක් වූ ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් එම ප්‍රහාර එල්ල කරන ලදී. ප්‍රහාරය පිලිබඳ කල්තියා ලැබුනු තොරතුරු තිබුන ද ආරක්ෂක අංශවල ප්‍රධානීන් එය වැලැක්වීමට ක්‍රියා නොකර ජන ඝාතනයට ඉඩ සැලසූහ. පසු ගිය ආන්ඩු කොමිසම් හා කොමිටි දුසිම් භාගයකට වඩා පත් කල ද, ප්‍රහාරය සඳහා දැනුවත් ව ඉඩ දුන් අපරාධකාරනයන් නිදැල්ලේ සිටිති.
දිසානායක යටතේ සිදු කෙරෙන නව පරීක්ෂනය පදනම් වී ඇත්තේ, බුද්ධි අංශ සහ ත්‍රස්තවාදී කන්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත් වූ හන්සීර් අසාද් මවුලානා විසින් 2023 දී කරන ලද චෝදනා මත ය. 2019 නොවැම්බර් ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිනීමට අවශ්‍ය තත්ත්වය නිර්මානය කිරීම සඳහා හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ප්‍රහාර සූදානම් කිරීමට සම්බන්ධ වූ බවට ඔහු චෝදනා කලේ ය. සලේ පෙබරවාරි මාසයේ සිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ රඳවා සිටී. මවුලානාගේ චෝදනා මෙතෙක් තහවුරු වී නොමැති නමුත්, ශ්‍රී ලංකාවේ පාලක ප්රභූවේ, හමුදාවේ, පොලිසියේ ඉහල නිලධාරීන්ගේ සහ බුද්ධි අංශ යාන්ත්රනයේ කොටස්වලට වසර 26ක් පුරා පැවති වාර්ගික යුද්ධය තුල මෙවැනි මෙහෙයුම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවක් තිබේ.
ජවිපෙට ඇත්තේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ව මුස්ලිම් විරෝධී ප්රකොපකරනයන් ඇවිලීමට සහ මර්දන නීති පැනවීමට ඍජු ව ම සම්බන්ධවීමේ කුප්‍රකට ඉතිහාසයකි. ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම පරීක්ෂනය සිදු කරන්නේ වින්දිතයන් ගැන අනුකම්පාවකින් නොවේ. එක් අතකින්, පාස්කු ප්‍රහාරයට ගෑවී ඇතැයි චෝදනා කෙරෙන පක්ෂ නිහඬ කිරීමට ආන්ඩුවට අවශ්‍ය ය. “දූෂනයට එරෙහි යුද්ධයක්” ගෙන යන බව පවසමින් දිසානායක ආන්ඩුව පසුගිය ආන්ඩුවල නායකයන්ට එරෙහි ව දූෂන නඩු පැවරීම වේගවත් කර තිබේ. අපකීර්තියට පත් ව ජනතාව විසින් පිලිකුල් කෙරෙන ශ්‍රීලපොපෙ, එජාප, ශ්‍රීලනිප නායකයන් හා පාලක ප්රභුවේ අනෙකුත් කොටස් මෙම දුෂ්ක්රියා වල නිරත වූ බවට සැකයක් නැත. එහෙත් ඔවුන් සමඟ අතීතයේ දේශපාලනික ව යහන්ගත ව, මුර්ග කප්පාදු වැඩපිලිවෙලට සම්බන්ධ වී සිටි දිසානායක ඇතුලු ජවිපෙ නායකයන් මෙම පියවර ගනිමින් සිටින්නේ මහ ජනතාවට යුක්තිය ඉටු කිරීමේ කැක්කුමකින් නොවේ.
ආන්ඩුවේ සැබෑ එල්ලය, අධිකරනය ද තම බලපෑමට නතු කර ගනිමින්, විධායකයේ අත් ශක්තිමත් කර ගනිමින් කම්කරුවන් හා දුගී ජනතාව අතර වර්ධනය වෙමින් පවතින විරෝධය තලා දැමීමයි.
කම්කරුවන් සහ දුගීන් අතර වැඩෙමින් පවතින විරෝධය සම්බන්ධයෙන් ආන්ඩුව වඩ වඩාත් තැති ගැන්වෙමින් සිටී. පසුගිය සතියේ වෙරිටේ රිසර්ච් ආයතනය වාර්තා කලේ දිසානායක ආන්ඩුවේ “ජනප්‍රියත්වය” පෙබරවාරි මාසයේ පැවති සියයට 65 සිට ජූලි මාසයේ දී සියයට 49.83 දක්වා පහත වැටී ඇති බවයි. එනම් මාස පහක් වැනි කෙටි කාලයක් තුල සියයට15කට ආසන්න ප්‍රතිශතයකින් පහත වැටීමකි.
දිසානායක ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කර ඇති කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් ජීවන තත්ත්වයන්ට සහ සමාජ කොන්දේසිවලට අඛන්ඩ ව ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම ප්‍රහාරවලට එරෙහි ව කම්කරුවන් අතර වර්ධනය වන විරෝධය සීමා කර මර්දනය කිරීමේ යාන්ත්රනයක් ලෙස ක්‍රියාත්මක වෘත්තීය සමිති නිලධරයේ පාවා දීම්, ආන්ඩුවට ලැබී ඇති ප්‍රධාන මුක්කුවකි. එහෙත් අයිඑම්එෆ් විසින් ඉල්ලා සිටින කප්පාදු ප්‍රහාර සාමකාමී ව ක්‍රියාත්මක කල නොහැකි බව දිසානායක ආන්ඩුව දනී.
බලයට පැමින වසර දෙකකට ආසන්න කාලයක් තුල, කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා එය අඛන්ඩ ව රුදුරු අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි පනවා තිබේ; මාස ගනනාවක් හදිසි නීතිය පවත්වා ගෙන ගොස් ඇති අතර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටිඒ) ද මර්දනය සඳහා යොදා ගත්තේ ය. හමුදාව සහ පොලිසිය මෙහෙයවමින් කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ශිෂ්‍යයන්ගේ විරෝධතා මර්දනය කෙරුනි.
මෙම මර්දනකාරී ඒකාධිපති දිසාවට යන පාලන මාරුව ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ලොව පුරා ධනේශ්වර ආන්ඩු, ගැඹුරු වන ආර්ථික අර්බුදයට සහ වර්ධනය වන සමාජ විරෝධයට ප්‍රතිචාර දක්වමින්, මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරමින් ඒකාධිපති පාලන ආකාරයන් කරා ගමන් කරමින් සිටියි. එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින අතර, ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික නරේන්ද්‍ර මෝදි ආන්ඩුව ද විධායක බලය ශක්තිමත් කරමින් ප්රජාතන්ත්රවාදී අයිතීන්ට ප්‍රහාර එල්ල කරමින් සිටී. යුරෝපය පුරා ආන්ඩු ද වැඩි වන සමාජ කෝපයට මුහුන දෙමින් වඩ වඩාත් අධිකාරිවාදී සහ අන්ත දක්ෂිනාංශික පියවර අනුගමනය කරමින් සිටියි.
නීතිඥ සංගමය සහ අනෙකුත් කන්ඩායම් “අධිකරනයේ ස්වාධීනත්වය” වෙනුවෙන් උද්ඝෝෂනය කරමින් සිටියි. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ඇතුලු වෘත්තීකයන්ගේ වෘත්තීය සමිති 40ක නිලධරය ද නව සංශෝධනයට එරෙහි ව පෙත්සම් ගොනු කර තිබේ. ඔවුන්ගේ අරමුන ධනේශ්වර රාජ්‍යයේ ‘ප්රජාතන්තරවාදී අංග’ ආරක්ෂා කිරීම මිස කම්කරු පන්තියේ අවශ්‍යතා රැකීම නොවේ. අර්බුදගත ධනපති පන්තිය, මෙතක් පවත්වා ගෙන ගිය අධිකරනයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය, බලය බෙදා පාලනය කිරීම ආදී රූපාකාරයන් සුන්කර දමමින් සිටියි.
ආන්ඩුවේ ඒකාධිපති සැලසුම්වලට එරෙහි ව ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය, එහි කප්පාදු පියවරයන්ට එරෙහි ව සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයෙන් වෙන් කල නොහැක. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකි. එම ව්‍යාපාරය ග්‍රාමීය දුගීන් සහ තරුනයන් රැස් කර, සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා සටන් කල යුතු ය. එය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා ගෙන යන පුලුල් අරගලයක කොටසක් ලෙස ගෙන යා යුතු ය.
