[මෙය யாழ்ப்பாணத்தில் காணாமல் ஆக்கப்பட்டவர்கள் தொடர்பான மாநாடு தமிழ் தேசியவாத இயக்கங்களின் மோசடி பண்பை அம்பலப்படுத்துகிறது මැයෙන් 2026 ඔක්තෝබර් 11 වැනි දා දෙමල බසින් පල විය.]
අගෝස්තු මාසයේ අග භාගයේ පැවති උතුරු හා නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කරවනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ (ඒආර්ඊඩී) සමුලුව, අධිරාජ්යවාදී බලවතුන්ට ආයාචනා කිරීමෙන් දෙමල මහජනයාගේ අව්යජ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි කියා සිටින දෙමල ජාතිකවාදී දේශපාලනයේ බංකොලොත්කම හෙලිදරව් කලේ ය. 1983 සිට අනුප්රාප්තික ශ්රී ලංකා ආන්ඩු විසින් ගෙන ගිය වසර 26ක දෙමල-විරෝධී වාර්ගික යුද්ධයෙන් ඇති කල විනාශයට දෙමල ජනතාව මුහුන දුන්හ.
දෙමල ජාතිකවාදී පක්ෂ, යාපනය විශ්වවිද්යාල ශිෂ්ය සංගමය සහ විවිධ “සිවිල් සමාජ” සංවිධානවල සහාය ඇති ව, අගෝස්තු 30 දිනට යෙදුනු බලහත්කාරයෙන් අතුරුදන් කරවනු ලැබූවන්ගේ වින්දිතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර දිනය සැමරීමට මෙම සමුලුව කැඳවා තිබිනි.
අතුරුදන් වූවන්ගේ ඥාතීන්, තරුනයන් සහ විශ්වවිද්යාල සිසුන් ඇතුලු දහසකට වැඩි පිරිසක්, 1974 ලෝක දෙමල පර්යේෂන සමුලුවේ දී සිදු කල සමූලඝාතනයේ ස්මාරක භූමියේ සිට යාපනයේ තන්දෛ සෙල්වා ශ්රවනාගාරය දක්වා පෙලපාලියෙන් ගමන් ගත්තේ, යුද්ධය අතරතුර සිදු වූ අතුරුදන් කරවීම් නිසා තවමත් පවතින දුක් වේදනා ඉස්මතු කර දක්වමිනි.
අතුරුදන් වූ තම ආදරනීයයන්ගේ ඡායාරූප රැගෙන ගිය විරෝධතාකරුවෝ, “අපේ අතුරුදන් වූ ඥාතීන් කොහේ ද?”, “හමුදාවට භාර දුන් ඥාතීන් කොහේ ද?”, “අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලය එපා! අපි අමතක කරන්නෙත් නැහැ, සමාව දෙන්නෙත් නැහැ!” වැනි සටන් පාඨ හඬ නැගූහ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමඟ කතා කල පාගමනට සහභාගි වූවන් කිහිප දෙනෙක්, තම ආදරනීයයන්ට සිදු වූයේ කුමක්දැයි සොයා ගැනීමට ඔවුන් අඛන්ඩ ව ගෙන යන අරගලයේ සිදුවීම් ගැන කතා කලෝ ය. [මෙම වාර්තාවට සමගාමී ව පලකර ඇති සම්මුඛ සාකච්ඡා ලිපිය බලන්න.]
කොලඹ ආන්ඩුවේ වසර 26ක යුද්ධය, 2009 මැයි මාසයේ දී බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීමත් සමඟ අවසන් වූ කොලඹ ආන්ඩුවේ වසර 26ක යුද්ධයේ දී පුද්ගලයන් 100,000ක් පමන ඝාතනය කර තිබිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යුද්ධයෙහි අවසන් මාස කිහිපයේ දී පමනක්, හමුදා ප්රහාරවලින් දෙමල සිවිල් වැසියන් 40,000ක් පමන ඝාතනය කරන ලදී. යුද්ධය අවසන් වූ පසු හමුදාවට භාර දුන් දහස් ගනනක් අතුරුදන් වූ බව ඔවුන්ගේ පවුල් සඳහන් කරයි.
ඒආර්ඊඩී සභාපති යෝගරාජා කනගරංජනී, ආගමික පූජකයන් සහ ඉලංගෛ තමිල් ඇරසු කච්චි (අයිටීඒකේ) හා දෙමල ජාතික මහජන පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායකයෝ සමුලුවේ වේදිකාව මත සිටියෝ ය.
අතුරුදන් වූවන් පිලිබඳ සත්යය සොයා ගැනීම ඇතුලු යුද අපරාධ විමර්ශනය කිරීමට, අධිරාජ්යවාදී බලවතුන්ගේ සහයෝගය ලබන “ජාත්යන්තර යාන්ත්රනයක්” දෙමල ජනතාවට අවශ්ය බව, යුද්ධය අවසන් වී ගත වූ වසර 17 පුරා මෙම සංවිධාන යලි යලිත් අවධාරනය කර ඇත.
ඔවුහු “ජාත්යන්තර ප්රජාවගෙන්”—එනම් එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියෙන්—උදව් ඉල්ලා සිටියහ. දෙමල ප්රභූවේ පක්ෂ, යුද අපරාධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලේ වැකි වාර්තාවක් ඇති එක්සත් ජනපදය ඇතුලු මේ බලවතුන්, ශ්රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ විමර්ශනවලට සහයෝගය දෙනු ඇතැයි යන මිථ්යාව තොරොම්බල් කලහ. මෙම පක්ෂ සමඟ පෙල ගැසී සිටින ඒආර්ඊඩී ද එම මතය ප්රවර්ධනය කලේ ය.
කෙසේ වෙතත්, සමුලුව ඇමතූ කනගරංජනී, “කලාපීය දේශපාලනය, භූදේශපාලනික සලකා බැලීම්” සහ “විවිධ රටවල ආරක්ෂක හා ආර්ථික අවශ්යතා … මානව හිමිකම් සහ වගවීම සඳහා අප ගෙන යන අරගලයට එරෙහි ව ක්රියා කර ඇති” බව පිලිගත්තා ය.
යුද්ධයේ අවසන් අදියරේ දී “අප ආරක්ෂා කිරීමට අසමත් වූ” ජාත්යන්තර බලවතුන් හා ආයතන, “ඔවුන්ගෙන් අපේක්ෂා කල වගකීමෙන් යුතු ව ප්රතිචාර දැක්වීමට අසමත් වූ” බව ද ඇය පිලිගත්තා ය. එම බලවතුන්ගේ ම්ලේච්ඡ ප්රතිපත්ති නොතකා, ඒආර්ඊඩී අඛන්ඩ ව එම බලවතුන්ට ම ආයාචනා කල බව ද ඇය කියා සිටියා ය.
අධිරාජ්යවාදී බලවතුන් මෙන් ම ඉන්දියාව ද ඔවුන්ගේ අයදුම් යටපත් කරමින් හා ඔවුන්ගේ භූ-දේශපාලනික හා ආර්ථික අවශ්යතා ඉදිරියට ගෙන ගිය අධිරාජ්යවාදී බලවතුන් මෙන් ම ඉන්දියාව ද එම අපරාධවලට හවුල් වූ බව, යම් කොන්දේසි යටතේ වුවත් ඇය මෙවැනි ප්රකාශයක් ප්රසිද්ධියේ කල පලමු අවස්ථාව මෙය විය. එහෙත් දශකයකට වැඩි කාලයක් පුරා, (මෙය දැන දැන ම) ඔවුහු අතුරුදහන් වූවන්ගේ ඥාතීන් රැලි ගැන්වූයේ, යුද අපරාධ විමර්ශනවලට මේ බලවතුන් සහාය දෙනු ඇතැයි යන මෙම වංචාකාරීත්වයේ පදනම මත ය.
එ වැනි ප්රකාශ ප්රසිද්ධියේ කල පසුවත්, කනගරංජනී සහ දෙමල පක්ෂ නායකයන් අලුත් වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ ද? නැත! ඒ වෙනුවට, ඇය එම ආයාචනය ම බැගෑපත් ලෙස පුනරුච්ඡාරනය කලා ය: “ප්රජාවක විශ්වාසය යලි ඇති කිරීමට නම්, ඔවුන්ගේ යුක්තිය සඳහා වන ඉල්ලීමට, දේශපාලන අවශ්යතා සහ මූලෝපායික ගනන් බැලීම් ඉක්මවා සවන් දිය යුතු වෙනවා.” “ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට අනුකූල ස්වාධීන, වින්දිතයන් කේන්ද්ර කරගත් සත්යය සෙවීමේ හා වගවීමේ යාන්ත්රන” පිහිටුවීමට මේ බලවතුන් උදව් කල යුතු බව ඇය කීවා ය.
මහා බලවතුන්ගේ පිටුබලය පිලිබඳ ව තමන් දශකයක් පුරා ප්රචාරය කල මිථ්යාව සාමාන්ය දෙමල ජනතාව අතර නිරුවත් ව තිබෙන බව දෙමල ධනපති පක්ෂවල හා ඒආර්ඊඩීහි නායකයෝ හොඳින් ම දනිති. එබැවින් ඔවුහු මේ බලවතුන්ට කනිපින්දම් ගසන්නේ, තම අධිරාජ්යවාද-ගැති ආස්ථානය අඛන්ඩ ව ගෙන යා හැකි වන පරිදි “දෙමල ප්රජාව අතර විශ්වාසය පුනස්ථාපනය කිරීමට,” යම් මවා පෑමක් කරන ලෙස ය.
ඉන් පසු ව සමුලුව ඇමතූ අයගේ ප්රකාශවලින් මෙම කරුන තවදුරටත් පැහැදිලි විය. අයිටීඒකේ නායක හා පාර්ලිමේන්තු මන්ත්රී සිවඥානම් ශ්රීධරන්, “[කොලඹ ආන්ඩුවට] බලපෑම්” කරන ලෙස “ජාත්යන්තර ප්රජාවට” ආයාචනා කරමින්, “සෘජු ජාත්යන්තර විමර්ශනයක්” හා “[යුද අපරාධ] විමර්ශනවලට” “ජාත්යන්තර ව මූලිකත්වය ගැනීමක්” ද ඉල්ලා සිටියේ ය.
ශ්රී ලංකාව පිලිබඳ පලමු මානව හිමිකම් යෝජනාව, 2011 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (යූඑන්එච්ආර්සී) ඉදිරිපත් කල අවස්ථාවේ සිට, එක්සත් ජනපදය වැදගත් සහයෝගයක් ලබා දුන් බව, වොෂින්ටනයට ප්රශංසා කරමින් ශ්රීධරන් සඳහන් කලේ ය. යුරෝපා සංගමයට “ගැඹුරු කෘතඥතාව” පල කල ඔහු, ඉන්දියාවට ද “ස්තූතිය” පල කලේ ය.
2011 සිට එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා අනෙකුත් රටවල් ශ්රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ යෝජනා ඉදිරිපත් කලේ, යුද්ධයේ අවසන් මාස කිහිපයේ සිද්ධීන් ගැන උත්සුක නිසා යැයි අයිටීඒකේ නායකයා කල ප්රකාශය පට්ටපල් බොරුවකි. ඔවුහු ඉන්දියාව සමඟ එක් ව කොලඹ ආන්ඩුවේ එල්ටීටීඊ-විරෝධී යුද්ධයට සහාය දුන්හ. එක්සත් ජනපදය ගැටුමේ අවසන් මාසවල දී පමනක් “හමුදාවේ නීතිය ඉක්මවා යාම්” ගැන උත්සුකතා පල කිරීමට පටන් ගත්තේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මූල්යමය සහයෝගය හා යුද උපකරන ලබා ගැනීම සඳහා බීජිනය වෙත වඩ වඩා නැඹුරු වූ විට පමනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, මානව හිමිකම් ගැන ඇති ව්යාජ අනුකම්පාව යොදා ගනිමින්, බීජිනයෙන් ඈත් වී, චීනය රාජ්යතාන්ත්රික ව හා මූලෝපායික ව හුදකලා කිරීමේ වොෂින්ටනයේ “ආසියාව දෙසට හැරීමේ” පිලිවෙතට සහයෝගය දෙන ලෙස, ශ්රී ලංකාවට පීඩනය යෙදීමට වොෂින්ටනය කටයුතු කලේ ය. එය චීනයට එරෙහි යුදමය සූදානම් වීමේ කොටසකි. එක්සත් ජනපදය චීනයේ නැගීම ප්රධාන තර්ජනයක් ලෙස හඳුනා ගත්තේ ය. රාජපක්ෂ එක්සත් ජනපදයට විරුද්ධ නොවූ නමුත්, බීජිනය සමඟ සබඳතාවලින් මිදීමට මැලි විය. පසු ව, 2015 ජනාධිපතිවරනයේ දී, රාජපක්ෂ පරාජය කිරීමට ජ්යෙෂ්ඨ ඇමති මෛත්රීපාල සිරිසේනට සහාය දුන් වොෂින්ටනය, කොලඹ තන්ත්ර-මාරු මෙහෙයුමක් ක්රියාවට දැමී ය.
සිරිසේන නායකත්වය දුන් ආන්ඩුව රටේ විදේශ ප්රතිපත්තිය වොෂින්ටනයට පක්ෂපාතී ලෙස වෙනස් කලේ ය. එතැන් සිට, වත්මන් ජනාධිපති දිසානායකගේ ආන්ඩුව ද ඇතුලු අනුප්රාප්තික ලංකාවේ ආන්ඩු, එක්සත් ජනපදය හා දකුනු ආසියාවේ තම සගයා වන ඉන්දියාව සමඟ විදේශ හා ආරක්ෂක සබඳතා තව දුරටත් ශක්තිමත් කර ඇත.
සියලු දෙමල පක්ෂවල පැරනි සන්ධානය වූ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) එක්සත් ජනපද පිලිවෙතට සහාය දුන්නේ ය. ටීඑන්ඒ භේද වීමෙන් පසුවත්, අයිටීඒකේ හා සමස්ත ලංකා දෙමල කොංග්රසය (ඒසීටීසී) ඇතුලු එහි හවුල්කාරයන් ව සිටි පක්ෂත් සහ අනෙකුත් කන්ඩායම්, එක් පොදු ප්රතිපත්තියක් පවත්වාගෙන ගියේ ය: එනම්, එක්සත් ජනපදයට හා ඉන්දියාවට සහයෝගය දීමෙන්, උතුරු හා නැගෙනහිර පලාත්වලට බලය වැඩි වසයෙන් බෙදා දෙන ලෙස, කොලඹ ආන්ඩුවලට පීඩනය යොදන ලෙස එම බලවතුන්ට ආයාචනා කල හැකි ය යන පිලිවෙතයි.
මෑත වසර කිහිපයේ දී හා මාසවල දී, මෙම පිලිවෙත, ට්රම්ප් පාලනයේ සහයෝගය සහිත ව ගාසා තීරය තුල ඊස්රායලය ගෙන යන ජන සංහාරක ආක්රමනයටත්, වොෂින්ටනය ඉරානයට එරෙහි ව ගෙන යන යුද්ධයටත් සහාය දීමේ විෂඝෝර රූපාකාරය ගෙන ඇත.
පීඩිත ජාතියක් වන පලස්තීනුවන්ට එරෙහි ඊස්රායල ආක්රමනය හෙලා දැකීම අයිටීඒකේ, ටීඑන්පීඑෆ් හා වෙනත් පක්ෂ විසින් ප්රතික්ෂේප කෙරුනි. අවසන් හමුදා මෙහෙයුම්වල දී, දෙමල ජනතාව ඝාතනය කිරීමට “ලෝකය” විරුද්ධ නො වූ බැවින්, අන් අයට සහාය දීමට තමන් බැඳී නැතැයි ඔවුහු සාවද්ය ලෙස කියා සිටියහ. ඉරානය සම්බන්ධයෙන් ගත් කල, එය කොලඹ ආන්ඩුවේ යුද්ධයට සහාය දුන් බැවින්, ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්රමනයට තමන් විරුද්ධ නොවන බවට ඔවුහු තර්ක කලහ.
ඒආර්ඊඩී සමඟ සහයෝගයෙන් කටයුතු කරන, බලහත්කාරයෙන් අතුරුදන් කරවනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් වන එස්. රාජ්කුමාර්, මාර්තු 4දා වවුනියාවේ පැවති විරෝධතාවක දී, තම සංවිධානය “ඉරානයට එරෙහි ව ගත් ජාත්යන්තර ක්රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති ට්රම්ප්ට ප්රශංසා කරන” බව කියා සිටියේ, දෙමල ජනතාවගේ අරගලවලට සහාය දෙන ලෙස එක්සත් ජනපදයෙන් ද ඉල්ලා සිටින අතරේ ය.
දෙමල පක්ෂවල නායකයන් සහ ඒආර්ඊඩී වැනි කන්ඩායම්, දෙමල ප්රභූවට වරප්රසාද ලබා ගැනීම සඳහා, පීඩිත දෙමල මහජනයාගේ දුක්ගැනවිලි එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ භූ-දේශපාලනික අවශ්යතාවලට යටත් කර ඇත. කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල පීඩිත ජාතීන් අතර සිටින ප්රභූව ඉටු කරන ද්රෝහී භූමිකාව මෙයයි. පීඩක ජාතියේ කම්කරුවන් ඇතුලු ජාත්යන්තර කම්කරු පන්තිය වෙත හැරීමට ඔවුන් දැඩි ලෙස විරුද්ධ වන්නේ, එසේ කිරීම තමන්ගේ ධනපති අභිලාෂයන් සමග ගැටෙන බැවිනි.
අනෙක් අතට, ලංකාවේ පාලක ප්රභූවේ සැලකිය යුතු කොටසක්, චීනයට එරෙහි වොෂින්ටනයේ යුදමය සූදානමට ශ්රී ලංකාව ඒකාබද්ධ කිරීමට උත්සාහ කර ඇත.
කතාවේ අනෙක් පැත්ත මෙයයි—වත්මන් ජවිපෙ/ජාජබ පාලනය ඇතුලු කොලඹ අධිරාජ්යගැති හෙංචයියන් විසින් ලංකාව පාලනය කරනු ලැබේ. දෙමල නායකයන් සමඟ සබඳතා ගොඩනගන අතර ම, එක්සත් ජනපදය හා ඉන්දියාව කොලඹට සහයෝගය දෙයි.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප–ශ්රී ලංකාව) හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) වැඩපිලිවෙලට දෙමල පක්ෂ එකහෙලා විරුද්ධ වී ඇත. අපගේ ක්රියාමාර්ගය පදනම් වන්නේ, අධිරාජ්යවාදයෙන් සහ අනෙකුත් ප්රතිගාමී බලවේගවලින් බිඳීමටත්, පීඩිත ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමටත්, “ජාතික ධනේශ්වරයේ” කිසිදු කොටසකට නොහැකි බව පැහැදිලි කරන ට්රොට්ස්කිගේ නොනවතින විප්ලව න්යායය මත ය. ඔවුහු සියලු දෙන කම්කරු පන්තියට බිය වෙති.
නොනවතින විප්ලවයේ ක්රියාමාර්ගය මත පදනම් වන සසප/විකොස, දෙමල-විරෝධී වාර්ගික යුද්ධයට විරුද්ධ වෙමින්, ජන වාර්ගික බෙදීම් ඉක්මවා කම්කරුවන් එක්සත් කිරීමටත්, සහයෝගය සඳහා එය ජාත්යන්තර කම්කරු පන්තිය වෙත හැරීමටත් සටන් කලේ ය. වාර්ගික වෙනස්කම් තීව්ර කරමින්, කම්කරු පන්තිය බෙදා මැඬලීමේ ක්රමයක් ලෙස යුද්ධය අවුලුවාලූ ධනේශ්වර පාලනය පෙරලා දැමිය හැකි ව තිබුනේ එවැනි ප්රතිපත්තියකට පමනි. උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදාව වහා ඉවත් කරන ලෙසටත්, බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් ඇතුලු යුද අපරාධ විමර්ශනය කරන ලෙසටත් අපි කැඳවුම් කරමු.
මෙය දකුනු ආසියාවේ හා ජාත්යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්රී ලංකාවේ හා දෙමල ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයකි.
දශකයකට වැඩි කාලයක් තිස්සේ, දෙමල යුද වින්දිතයන්ගේ දුක්ඛිත තත්ත්වය තම අරමුනු සඳහා යොදා ගෙන, ඔවුන් ආවෘත අන්තයකට ගෙන ගොස් ඇති ඒආර්ඊඩී, අයිටීඒකේ, ටීඑන්පීඑෆ් හා අනෙකුත් කන්ඩායම්වල නායකයන්ට, නැවතත් එම බලවතුන් ඉදිරියේ බැගෑපත් වීම හැර වෙනත් විකල්පයක් නැත. එම පිලිවෙත් ප්රතික්ෂේප කර, ඉහත ගෙන හැර දැක් වූ අරගලයට එක් වන ලෙස සසප කම්කරුවන්ගෙන් හා පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටී.
වැඩිදුර කියවන්න
- අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ පැවැත්වූ විරෝධතාව පොලිසිය ප්රචන්ඩ ලෙස විසුරුවා හරී
- කිලිනොච්චියේ පැවති අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවයේදී ලෝසවෙඅ වාර්තාකරුවන්ට බාධා කිරීම දෙමල ජාතිකවාදයේ බංකලොත්කම හෙලිදරවු කරයි
- යුද්ධයේ දී අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීහු පන්සියයකට අධික පිරිසක් කිලිනොච්චියේ දී විරෝධතාවයක් පවත්වති
- ශ්රී ලංකාවේ උතුරේ හා නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතා පවත්වති
- අතුරුදන් වූවන්ගේ ඥාතීහු ලෝසවෙඅට කතා කරති
- එල්ටීටීඊ අත් අඩංගුවෙන් මුදා ගත් සසප සාමාජිකයා බදුල්ල රැස්වීමක් අමතයි
- දෙමල විරෝධී සිවිල් යුද්ධයට එරෙහිව විකොස/සසප අරගලය
