Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

නො නවතින විප්ලව න්‍යාය

2-1 ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය විද්‍යාත්මක එනම් මාක්ස්වාදී විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සඳහා කේන්ද්‍රීය ය. එය වනාහි පසුගාමී යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල් ද දියුනු රටවල් ද අන්තර් ගත කර ගත් ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ ඒකාග‍්‍රිත සංකල්පයකි. 1905 රුසියානු විප්ලවයෙන් ඉක්බිත්තේ ප‍්‍රථමයෙන් සූත‍්‍රගත කරන ලද නො නවතින විප්ලව න්‍යාය වර්ධනය කරන ලද්දේ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ මෙන්ෂෙවික් කන්ඩායමේ අවධි දෙකේ විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනයට එරෙහිව ය. රුසියාව සමාජවාදී විප්ලවය ඉටු කර ගැනීමට පෙර දීර්ඝ ධනේශ්වර සංවර්ධනයේ කාල පරිච්ඡේදයක් තුලින් ගමන් කල යුතු ව ඇතැ යි මෙන්ෂෙවිකයෝ විශ්වාස කලහ. එහෙයින් ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ මූලික කර්තව්‍යයන් වූ සාර්වාදී ඒකාධිපතිත්වය විනාශ කිරීම සඳහා ද ගම්බද පලාත්වල ඉඩම් අයිතිය සමූලව ප‍්‍රතිවර්තනය කිරීම සඳහා ද කම්කරු පන්තිය ලිබරල් ධනපති පන්තිය සමග සන්ධාන ගත විය යුතු බව නිගමනය කලහ.

2-2 ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය මත යැපෙන, ගම්බද ඉඩම් හිමියන්ට බැඳුනු, වැඩෙමින් පැවති කම්කරු පන්තියට බියෙන් සිටි රුසියානු ධනපති පන්තිය, ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් ඉටු කිරීමෙහි ලා ඓන්ද්‍රීයව ම අසමත් බව ට්‍රොට්ස්කි සහ ලෙනින් විදහා දැක්වූහ. ඔවුන් දෙදෙනා ම සාර්වාදී ඒකාධිපතිත්වයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියේ ස්වාභාවික මිත‍්‍රයා, දසලක්ෂ සංඛ්‍යාත ගොවි ජනයා බව පෙර දුටුවෝ ය. එහෙත් “කම්කරු පන්තියේ සහ ගොවි ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය” පිලිබඳ ලෙනින්ගේ සූත‍්‍රය, ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයට අති විශේෂ රැඩිකල් ස්වභාවයක් ලබා දුන් නමුත් ඉහත කී පන්ති දෙක අතර දේශපාලන සම්බන්ධතාවය කුමක් විය යුතු ද යන්න විසඳා තිබුනේ නැත. ලෙනින්ගේ සංකල්ප අතිශයින් ම එඩිතර වුව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය ඔහු විසින් දක්නා ලද්දේ සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිසංස්කරනය කිරීමේ උපකරනය හැටියට නො ව ධනවාදයේ සංවර්ධනය සඳහා පරිපූර්න ලෙස ම ඉඩ කඩ සලසන්නක් හැටියට ය.

2-3 ට්‍රොට්ස්කිගේ නිගමනයෝ මින් ඔබ්බට ගියහ. සමස්ත ඓතිහාසික වාර්තාව පදනම කරගත් ඔහු, ගොවි ජනතාව කුමන හෝ ස්වාධීන විප්ලවවාදී ක‍්‍රියා කලාපයක් ඉටු කිරීමේ ලා අසමත් බව අවධාරනය කලේ ය. ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් ඉටු කිරීමේ ලා ධනපති පන්තිය අසමත් වන තතු තුල ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය පැවරෙන්නේ කැරලිකාරී ජනයාගේ නායකයත්වය ගන්නා කම්කරු පන්තිය වෙත ය. “ගොවි ජනයා තමන් පිටුපස මෙහෙයවා ගන්නා කම්කරු පන්ති ඒකාධිපතිත්වයක්” පිහිටු වනුඇත. මෙහි සාරභූත අන්තර්ගතය වූයේ, විප්ලවවාදී පක්ෂය, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය, ධනපති පන්තියේ සියලුම කන්ඩායම්වලට එරෙහිව පිහිටුවීම සඳහා කරන්නා වූ බලගතු සහ ස්ථිරසාර අරගලය යි. කෙසේ වෙතත් බලය සියතට ගන්නා කම්කරු පන්තියට විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරීමට සිදුවන්නේ තමන්ට ම ආවේනික වූ පන්ති විධි ක‍්‍රමයන් තුලිනි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියට කඩාවැදීමට ඔවුන්ට අනිවාර්යයෙන් ම සිදු වේ. වෙනත් වචනවලින් කිව හොත් සමාජය සමාජවාදී පිලිවෙත් උඩ ප‍්‍රතිසංවිධානය කිරීමට ද එසේ කිරීමේ දී එහි (රුසියානු කම්කරු පන්තියේ) ඉරනම යුරෝපීය සහ ලෝක සමාජවාදී විප්ලවය හා සම්බන්ධ කිරීමට ද එයට සිදුවනු ඇත.

2-4 රුසියානු විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ න්‍යාය ගලා ආවේ ලෝක සමාජවාදී විප්ලවය ඒකාග‍්‍රිත වූ සන්තතියක් ලෙස ගත් ඔහුගේ සංකල්පයෙනි. රුසියාවේ පැනනැගි සමාජ විප්ලවය තනි රටකට සීමා කල නො හැකි විය. එහෙත් එය සිය පැවැත්ම සඳහා ජාත්‍යන්තර කරලිය තුලට පැතිරීම අවශ්‍ය විය. “කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම ම විප්ලවය සම්පූර්න කරන්නේ නැත. ආරම්භ කරනවා පමනි. සමාජවාදය නිර්මානය කල හැකි වන්නේ ජාතික සහ ජාත්‍යන්තර පරිමාන පන්ති අරගලයේ පදනම් මත පමනි. ලෝක කරලියේ ධනේශ්වර සම්බන්ධතාවයන්ගේ ආධිපාත්‍යය ඉහවහා යන තතු තුල මෙම අරගලය, අනිවාර්යයෙන් ම පිපිරීම්වලට, එනම්, අභ්‍යන්තරව සිවිල් යුද්ධයන්ට ද බාහිරව විප්ලවවාදී යුද්ධයන්ට ද දොර හැරිය යුතුය. අදාල රට ඊයේ සිය ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය සම්පූර්න කල පසුගාමී රටක් වුවත් පාර්ලිමේන්තුවාදයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දීර්ග ඉතිහාසයක් සහිත පැරනි ධනේශ්වර රටක් වුවත්, සමාජවාදී විප්ලවයේ නො නවතින ස්වභාවය එම කරුනෙන් ම සමන්විත වන්නේය.[1]

2-5 ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය එහි සෑම මූලික අංශයකින් ම 1917 රුසියාවේ විප්ලවවාදී සිද්ධීන්ගේ ගමන් මග තුල සනාථ විය. 1917 අපේ‍්‍රල් මාසයේ දී ලෙනින් පිටුවහලේ සිට රුසියාවට පැමිනි වහාම පෙබරවාරි මාසයේ දී සාර්ගේ පාලනය පෙරලා දැමීමෙන් පසු පිහිටුවා ගත් තාවකාලික ආන්ඩුවට විවේචනාත්මක සහාය දෙමින් සිටි ස්ටැලින් ඇතුලු බොල්ශෙවික් නායකයන් තියුනු විවේචනයකට ලක් කලේ ය. ලෙනින් තම අපේ‍්‍රල් ප‍්‍රවාදයන්හි දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වයේ තම පැරනි සූත‍්‍රයෙන් බිඳී භාවිතයේ දී ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ ආස්ථානය පිලිගත්තේ ය. තාවකාලික ආන්ඩුවට විරුද්ධ වන ලෙසත් සාර්ගේ වැටීමෙන් පසුව පැන නැගී තිබුනු සෝවියට් සභා හෙවත් කම්කරු බල මන්ඩල තුලින් බලය සියතට ගන්නා ලෙසත් ඔහු කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේ ය. ලෙනින් මෙසේ බොල්ශෙවික් පක්ෂය නව යොමුවකට පත් කිරීම, 1917 ඔක්තෝබර් විප්ලවයට ද ලෝක සමාජවාදී විප්ලවයේ සන්තතීන්ට ද දැවැන්ත ගතිකයක් සැපයුවා වූ සෝවියට් ආන්ඩුවක් පිහිටුවීමට ද අත්තිවාරම දැමුවේ ය.

2-6 කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් පවත්නා රටවල් සම්බන්ධයෙන් නො නවතින විප්ලව න්‍යායේ දූරදර්ශී බව 1925-27 චීන විප්ලවයෙන් ද තහවුරු විය. එහෙත් ඒ ඛේදජනකව සහ නිශේධනාත්මකව ය. චීන විප්ලවයේ පරාජය පිලිබඳ වගකීම අන් සියල්ලටමත් වඩා පැවරෙන්නේ, සෝවියට් සංගමයේ පසුගාමීත්වයේ ද දිගුකාලීන හුදෙකලාවේ ද කොන්දේසි යටතේ පැන නැගි, කම්කරු පන්තියෙන් බලය උදුරා ගත්, ජෝසප් ස්ටැලින් නායකත්වය දුන් සෝවියට් නිලධාරි තන්ත‍්‍රයට ය. ස්ටැලින්වාදී නිලධරය, “තනි රටක සමාජවාදය” යන ධජය යටතේ තුන්වන ජාත්‍යන්තරය, ලෝක සමාජවාදී විප්ලවයේ කේන්ද්‍රීය උපකරනයක සිට සෝවියට් විදේශ පිලිවෙතේ සුවච උපකරනයක් බවට වඩවඩාත් උග‍්‍රවන වේගයකින් පරිවර්තනය කොට, ධනේශ්වර පක්ෂ සහ ආන්ඩු සමග උපාමාරු දැමීම සඳහා කොමියුනිස්ට් පක්ෂ යොදා ගත්තේ ය. ස්ටැලින් චීනයේ දී මෙන්ෂෙවික්වාදීන්ගේ අවධි දෙකේ න්‍යායට යලි පන දෙමින්, අධිරාජ්‍යවාදී පීඩනය විසින් ජාතික ධනපති පන්තියට විප්ලවවාදී භූමිකාවක් ඉටු කිරීමට බලකරනු ඇතැ යි අවධාරනය කලේ ය. චීන විප්ලවයේ පෙරටු බලඇනිය යයි ධනේශ්වර කුවෝමිංටානය (කේඑම්ටී) හුවා දැක්වූ ස්ටැලින්, ලාබාල චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) එයට යටත් කලේ ය. විපාකය වූයේ, චීනයේ විප්ලවවාදී ව්‍යාපාරය - ප‍්‍රථමයෙන් 1927 අපේ‍්‍රල් මාසයේ ෂැංහයි හි දී කේඑම්ටී නායක චියාං කායි ෂෙක් අතින් ද දෙවනුව 1927 ජුලි මාසයේ වූහාන් හි දී “වාම” කේඑම්ටී ආන්ඩුව අතින් ද - දරුනු පරාජයන්ට මුහුන දීමයි.

2-7 ට්‍රොට්ස්කි, ඔහු විසින් ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව දේශපාලනිකව සටන් වැදීම සඳහා 1923 දී පිහිටුවන ලද වාම විපාර්ශ්වය ස්ටැලින්ගේ පිලිවෙත් දැවෙන විවේචනයකට ලක් කල අතර එසේ කිරීමේ දී නො නවතින විප්ලව න්‍යාය පෝෂනය කලහ. සීසීපී ය කේඑම්ටී යෙන් දේශපාලනිකව ස්වාධීන කර ගැනීම සදහා දෘඪතරව සටන් වැද තිබූ ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ස්ටැලින් කියා පෑ පරිදි, අධිරාජ්‍යවාදය, ජාතික ධනපති පන්තියේ පීඩනය විසින් කම්කරු පන්තිය ද ගොවි ජනතාව ද බුද්ධිමතුන් ද සමග විප්ලවවාදී “පන්ති හතරක සන්ධානය” ලෙස තලා එකබද්ධ නො කරන බව යි. ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේ ය: “පීඩනයට සහ සූරාකෑමට භාජනය වූ වැඩ කරන ජනතාව දෙපයින් නගා සිටුවන සෑම කාරනයක් ම අනිවාර්යයෙන් ම ජාතික ධනේශ්වර පන්තිය අධිරාජ්‍යවාදය සමග විවෘත සන්ධානයකට තල්ලු කරයි. ජාතික ධනේශ්වර පන්තියට එරෙහි කම්කරුවන් හා ගොවියන්ගේ පන්ති අරගලය දුබල කරනවා වෙනුවට අධිරාජ්‍යවාදී පීඩනය විසින් කරනු ලබන්නේ සෑම අවස්ථාවක ම ලේවැකි සිවිල් යුද්ධයක් මට්ටමට එය තියුනු කිරීම ය.” [2] 1927 විප්ලවවාදී රැල්ල පසු බා කැන්ටන් නගරයේ ද අනෙකුත් නගරවල ද කල්තබා ම පරාජයට තතු සැකසී තිබුනු අවස්ථාවක කෘත‍්‍රීමව සන්නද්ධ නැගිටීම් ඇති කල යුතු ය යි ස්ටැලින්, ඒවන විටත් දුබලව සිටි චීන කොමියුනිස්ට් පක්ෂයට සාපරාධී ලෙස අන දුනි. ඉදිරියේ තිබුනු සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ 15 වන සමුලුවත් සමග කැන්ටන් කොමියුනය කෘත්‍රිමව සම්පාත කිරීමට නියම කරන ලදී - ස්ටැලින් එසේ කලේ එම සමුලුවේ දී වාම විපාර්ශවය මුලුමනින් ම පක්ෂයෙන් එලවා දමා ට්‍රොට්ස්කි පිටුවහලට යැවීමට සැලසුම්කර සිටි ස්ටැලින් ගේ “විප්ලවවාදී” සහතික තහවුරු කර ලීමේ උපායක් හැටියට ය.

2-8 20 වන ශතවර්ෂයේ ගමන් මග තුල ස්ටැලින්වාදීන් විසින් “අවධි දෙකේ න්‍යාය” සහ “පන්ති හතරේ සන්ධානය” යන ධජය යටතේ ඊනියා ප‍්‍රගතිශීලි ධනපති පන්තියට කම්කරු පන්තිය යටත් කිරීම අනිවාර්යයෙන් ම අවසන් වී තිබෙන්නේ විනාශකාරී පරාජයන්ගෙනි. ඒ සමග ම ස්ටැලින්වාදීන් සහ ඔවුන්ගේ ක්ෂමාලාපකයෝ පොදුවේ ට්‍රොට්ස්කිවාදයට සහ විශේෂයෙන් ම නො නවතින විප්ලව න්‍යායට එරෙහිව මඩ ගැසීමේ නිර්දය ව්‍යායාමයක දිගට ම යෙදී සිට ඇත. කෙසේ වෙතත් ශතවර්ෂයකට වැඩි කලකට පෙර ට්‍රොට්ස්කිට පැවති එම විශ්මය ජනක න්‍යායික අභිනිවේෂය අද ද විප්ලවවාදී ඉදිරි මාවතක් සොයන්නා වු කම්කරුවන්ට සහ තරුනයින්ට අත්‍යවශ්‍ය නියාමකයක් වේ. ශී‍්‍ර ලංකාවේ හැර වෙන අන් කිසි රටක නො නවතින විප්ලව න්‍යාය සඳහා සටන මෙතරම් දෘඪ ලෙස සිදු කර නැත. සමාජවාදී සමානතා පක්ෂය ගැබ්කරගෙන තිබෙන, ට්‍රොට්ස්කිවාදය සඳහා මෙම කුඩා දිවයින තුල කරන ලද අරගලයේ පොහොසත් මූලෝපායික අත්දැකීම් ආසියාවේ ද අප‍්‍රිකාවේ ද ලතින් ඇමරිකාවේ ද ජාත්‍යන්තරව ම ද මහා විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම සඳහා ප‍්‍රානභූත පාඩම් වන්නේ ය.


[1]

ලියොන් ට්‍රොට්ස්කි, Permanent Revolution නො නවතින විප්ලවය, (ලන්ඩන්: නිව්පාක් පබ්ලිකේෂන්ස්, 1971) පි. 154-55.

‘,’

ලියොන් ට්‍රොට්ස්කි, Permanent Revolution නො නවතින විප්ලවය, (ලන්ඩන්: නිව්පාක් පබ්ලිකේෂන්ස්, 1971) පි. 154-55.

[2]

ලියොන් ට්‍රොට්ස්කි, Lion Trotsky On China ලියොන් ට්‍රොට්ස්කි චීනය ගැන, කෘතියේ "චීන විප්ලවය සහ ස්ටැලින් සහෝදරයාගේ ප‍්‍රවාදයෝ" ලිපිය, (නිව් යෝර්ක්: මොනාඩ් ප්‍රෙස් 1971) 161 පිටුව