Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ඉන්දියාව බෙදීම

9-1 දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ ඉන්දියාව තුල පැන නැගි මහාජන අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ගබ්සා කිරීමේ දී සහ දකුනු ආසියාව පුරා ධනේශ්වර පාලනය යලි තහවුරු කිරීමේ දී කොන්ග‍්‍රසය, ස්ටැලින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ සහයෙන් කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ය. යලිත් වරක් ක්විට් ඉන්දියා ව්‍යාපාරයක් පැනනැංගොත් එය තම පාලනයෙන් ඉවතට පනිනු ඇතැයි ද වැඩෙන්නා වූ කම්කරු පන්ති සහ ගොවි ජන අරගල ද මහාරාජාවරුන් විසින් පාලනය කරනු ලැබූ රාජ්‍යයන්හි වැඩෙන අසහනය ද ඉදිරියේ භ‍්‍රාන්ත වූ කොන්ග‍්‍රස් නායකයෝ, ඉන්දියා-අධිරාජ්‍යයට තවදුරටත් එල්බ සිටිය නො හැකි යයි ඒ වන විටත් අවබෝධ කරගෙන තිබුනු බි‍්‍රතාන්‍යයන් සමග සම්මුතියකට එලඹීමට ඉක්මන් වූහ. එසේ කිරීමේ දී, කොන්ග‍්‍රසය, තමන්ම මෙතුවක් කල් ඉදිරිපත් කර තිබුනු කි‍්‍රයා මාර්ගයේ තීරනාත්මක අංශ අත්හැර දමා බි‍්‍රතාන්‍යයන් සමග පමනක් නොව ඉන්දියාවේ ප‍්‍රජාගනවාදී කොටස් වන මුස්ලිම් ලීගය සහ හින්දු මහා සභාව සමග ද යටත් විජිත රාජ්‍යයේ තත්වාරක්ෂක පදනම ලෙස පැවතුනු මහඉඩම් හිමි සමින්දාරියන් හා ප‍්‍රාන්ත රාජ්‍ය වල මහා රාජාවරුන් සමග ද සම්මුතියකට ප‍්‍රයත්න දැරීය.

9-2 ඉන්දියාවේ මුස්ලිම් ඉඩම්හිමියන්ගේ සහ ධනපතියන්ගේ ආසක්තයන් නියෝජනය කල මුස්ලිම් ලීගය, 1940 දී ම රටේ මුස්ලිම් බහුතරයක් වාසය කල ප‍්‍රාන්ත ඇතුලත් පකිස්ථානය නමැති වෙනම රාජ්‍යයක් සඳහා ඉල්ලීම, ඉදිරිපත් කර තිබුනි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනයයේ ප‍්‍රධාන උපකරනයක් ලෙස ප‍්‍රජාගන ප‍්‍රවර්ගයන් යොදාගෙන වෙන් වූ දේශපාලන බලවේගයක් හැටියට සංවිධානය හා වර්ධනය කර තිබුනු මුස්ලිම් ප‍්‍රභූන් භීතියට පත් වූයේ ඒකාබද්ධ ඉන්දියානු රාජ්‍යයක් තුල තමන් කොන්වේ ය යන කාරනය නිසා පමනක් නො වේ. ඔවුහු වැඩෙන සමාජ අසහනය පිලිබඳව ද බියට පත් වූහ. වෙනම මුස්ලිම් රාජ්‍යයක් සඳහා ඉල්ලීම වනාහි, යුද්ධයෙන් පසු සමයේ දකුනු ආසියාවේ අපේක්ෂිත ප‍්‍රතිසංවිධානය තුල දී දේශපාලන බලයෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ අතට ගැනීමට ද එන්න එන්න ම අසහනශීලි වන්නා වූ ජනතාව බෙදා නොමග යැවීම පිනිස වර්ගවාදය අවුලූවාලීමට ද මුස්ලිම් ප‍්‍රභූව යොදාගත් උපක‍්‍රමය විය. හින්දු මහා රාජාවරු, ඉඩම් හිමි හා මහා ව්‍යාපාරික කොටස් මත පදනම් වූ හින්දු මහා සභාව, මුස්ලිම් බලපෑමට ප‍්‍රතිරෝධය දැක්වීමේ විධික‍්‍රමයක් ලෙස වර්ගවාදී අර්ථයකින් බි‍්‍රතාන්‍යයන් සමග ගෙන යන ස්වකීය සහයෝගිතාව යුක්තියුක්ත කල අතර මුස්ලිම්වරුන් “සන්සිඳීමට” කටයුතු කරන්නේ යයි කියමින් කොන්ග‍්‍රසයට බැන අඬගසමින්, මුස්ලිම්වරුන් “හින්දු ජාතියට” පිටස්තරයන් යයි ද ඔවුන්ට පූර්න පුරවැසි අයිතිය නොදිය යුතු යයි ද තර්ක කලේ ය. ඇත්ත වශයෙන් වර්ගවාදයට එරෙහිව දේශපාලන වශයෙන් සටන් කිරීමේ එකම මාවත වූයේ කම්කරුවන් සහ ගම්බද ජනයා ඔවුන්ගේ පොදු සමාජ අවශ්‍යතා වටා බලමුලූ ගැන්වීම ය. සමස්තයක් ලෙස ඉන්දියානු ධනපති පන්තියේ අවශ්‍යතාවලට තර්ජනය කරන එවන් මූලෝපායකට ඓන්ද්‍රීයව ම සතුරු කොන්ග‍්‍රසය, වර්ගවාදයට වැඩි වැඩියෙන් අනුගත වූයේ, මහජනතාව වාර්ගික භේදවලට නිසැකයෙන් ම අභියෝග කල සමාජ අරගල පාලනය කිරීමට හා මැඩීමට කටයුතු කරමිනි. එය 1945-46 මැතිවරනයේ දී බෙංගාලයේ දී හින්දු මහා සභාව සමග මැතිවරන ගිවිසුමක් ඇති කර ගැනීම ගැන සලකා බැලූ අතර, තවත් තැන්වල දී හින්දු මහා සභාවේ සාමාජිකයින් තම සාමාජිකත්වයට ඇතුල් කර ගති.

9-3 පශ්චාත් යුද අධිරාජ්‍ය-විරෝධී නැගිටීම ප‍්‍රථමයෙන් ම ගත්තේ, ක්විට් ඉන්දීය ව්‍යාපාරය මුර්ග ලෙස මර්දනය කිරීමටත්, සුභාෂ් චන්ද්‍ර බෝස්-නීත ඉන්දියානු ජාතික හමුදාවේ (අයිඑන්ඒ) නායකයන් ට විරුද්ධ නඩුවටත් එරෙහි අරගලයක රූපයයි. සටන්කාමී කොන්ග‍්‍රස් නායකයෙකු වූ සුභාෂ් චන්ද්‍ර බෝස්, ගාන්ධිට විරුද්ධ වුව ද, බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධ අරගලය සඳහා කම්කරු පන්තිය වෙත හැරීම ප‍්‍රතික්ෂේප කොට ඒ වෙනුවට ප‍්‍රතිමල්ල අධිරාජ්‍ය බලවතෙකු වූ ජපන් නායකත්වය යටතේ යුද්ධ කිරීමට එකඟ විය. ඔහු ජපන් හමුදාව විසින් සිරයට ගෙන තිබූ ඉන්දියානු හේවායන්ගෙන් සැදුම් ලත් ඉන්දියානු ජාතික හමුදාවේ (අයිඑන්ඒ) නායකත්වය ගෙන බි‍්‍රතාන්‍යයන්ට එරෙහිව මෙහෙය විය. නොමග ගිය අරමුනු තිබිය දී ම, අයිඑන්ඒ නායකයන්ට ඉන්දියාව තුල පුලූල් පරිමානව සලකන ලද්දේ වීරයන් හා දේශපේ‍්‍රමීන් ලෙස ය. ඔවුන් පිලිබඳව සානුකම්පිතව සලකා බැලිය යුතු යයි ඉල්ලා ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය විරෝධතා හින්දු, මුස්ලිම් හා සික් ජනයා ඒකාබද්ධ කලේ ය. 1945 නොවැම්බරයේ හා 1946 පෙබරවාරියේ දී බීඑල්පීඅයි කල්කටාවේ ශිෂ්‍ය සංවිධාන සමග මෙම ඉන්දියානු ජාතික හමුදාවට එරෙහි නඩුවලට විරුද්ධ මහා ජනතා පෙලපාලිවලට සමීප ලෙස සම්බන්ධ වූහ. මෙම විරෝධතාවන් පොලිසිය සහ හමුදාව විසින් ප‍්‍රචන්ඩ ලෙස මැඩලන ලද අතර අවිනයට හා වියවුලට එරෙහි අරගලයේ නාමයෙන් විරෝධකයන් විසුරුවා හරිනු පිනිස සීපීඅයි කොන්ග‍්‍රසය සමග අත්වැල් බැඳගති.

9-4 1946 පෙබරවාරියේ දී බොම්බායේ සහ කරච්චියේ ඉන්දියානු නාවුක හමුදාවේ අයිආර්එන් කොටස් වැටුප් හා සේවා තත්වයන් උඩ කැරලි ගැසූහ. එහි දී ඔවුහු, සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, බි‍්‍රතාන්‍ය ඉන්දියානු හමුදා ඉන්දුනීසියාවෙන් ඉවත් කරගනු බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව හැර යනු (ක්විට් ඉන්ඩියා) යනාදිය ඇතුලත් රැඩිකල් දේශපාලන ඉල්ලීම් මාලාවක් ද මතු කලහ. ඔවුන්ගේ කි‍්‍රයාව සෙසු ඉන්දියානු යුද ඒකකයන් තුල සහයෝගය හා කැරලි අවුලුවාලමින් අන්තිමේ දී බොම්බායේ මහා කම්කරු අරගල ද වීදි සටන් ද ඇති කලේ ය. මෙම සටන් මැඩපැවැත්වීමට බි‍්‍රතාන්‍ය ආන්ඩුව බලය පාවිච්චි කල අතර කොන්ග‍්‍රසය සහ මුස්ලිම් ලීගය එම මර්දනයට මුලූමනින්ම සහාය දුනි. ආර්අයිඑන් කැරලිකරුවන් නපුරු ලෙස හෙලා දැකීමට ද ඔවුන්ගේ අරගලයේ ගුනාංගයක් ලෙස දක්නට ලැබුනු වාර්ගික-සමගිය හෙලා දැකීමට ද උත්සුක වූ ගාන්ධි, “මෙම හැඩි රැල දිනනවාට වඩා ගින්නට පැන මිය යනු යෙහෙකැයි” කියා සිටියේ ය. ඔහු මෙසේ ද කී ය.”ප‍්‍රචන්ඩ කි‍්‍රයා සඳහා හින්දුන් ද මුස්ලිමුන් ද වෙනත් අය ද එකට එකතුවීම අශුද්ධ කි‍්‍රයාවකි.” බීඑල්පීඅයි මෙම කැරලිකරුවන්ට සහාය දෙමින් විරෝධතා සහ මහා වැඩවර්ජනයක් කැඳවන ලෙස ඉල්ලා සිටි අතර, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මෙම “මහජන උන්මාදය” හෙලා දැක හමුදා කැරැල්ලට පක්ෂව පැන නැගි මහජන සහයෝගය බිඳීමට කි‍්‍රයා කලේ ය. වෙනත් සෑම අවස්ථාවක දී මෙන් මෙවර ද කොන්ග‍්‍රසය, මහජන ව්‍යාපාරය පස්සට අදිනවාත් සමග ම, කැරැල්ලේ පරාජයෙන් ඉක්බිතිව, ප‍්‍රජාගන භේදවාදය පුපුරා ගියේ ය. 1946 අගෝස්තුවේ දී තම “පකිස්තාන්” ඉල්ලීමට සහාය පිනිස “සෘජු කි‍්‍රයාමාර්ග” සඳහා මුස්ලිම් ලීගය කල කැඳවුම, කල්කටාවේ මුස්ලිම්වරුන් සහ හින්දූන් අතර ඇතිවූ දරුනු ගැටුම් තුලින් 6,000ක් මරනයට පත්කොට එයට ප‍්‍රතිචාර වසයෙන් ඉන්දියාව පුරා ම මුස්ලිම් වරුන්ට එරෙහි හින්දු වාර්ගික ප‍්‍රහාරයන්ට මග පෑදුවේ ය.

9-5 පශ්චාත් යුදකාලීන නැගිටීම කම්කරු වැඩවර්ජන මාලාවක් ද බිහි කලේ ය. එම අරගලවලට ආක‍්‍රමනශීලිව මැදිහත් වූ බීඑල්පීඅයි වැදගත් ජයග‍්‍රහන ලබා ගති. මැඩ්රාස් ලේබර් යූනියන් (එම්එල්යූ) සමිතියේ බලය දිනා ගෙන තිබූ බීඑල්පීඅයි, 1946 ජුනි මාසයේ ද 1947 මාර්තු සිට ජුනි ද ක්වා ද මදුරාසියේ බකිංහැම් සහ කර්නාටික් (බීඇන්ඩ්සී) රෙදිමෝලේ ප‍්‍රධාන වැඩවර්ජන ගනනාවක් මෙහෙයවිය. ඉන්දියාවේ විශාල කර්මාන්ත ශාලාවක් ව පැවති මෙහි 1947 වැඩවර්ජනය කටුක ලෙස මාස තුනක් පුරා පැතිර ගිය අතර ජනතා පෙලපාලි ද කම්කරුවන් සහ කුඩා ව්‍යාපාරිකයන් ලක්ෂයකට වඩා අධික සංඛ්‍යාවක් සහභාගි වූ හර්තාලයක් ද සංවිධාන කරන ලදි. ජුනි මාසයේ දී සමිතිය නීති විරෝධී කර එහි අරමුදල් රාජ්‍යසන්තක කර නායකයන් අත්අඩංගුවට ගත් නමුත් බීඇන්ඩ්සී මෝල විවෘත කිරීමට රජයට නො හැකි විය. එම මාසය අග දී එම්එල්යූ වෘත්තීය සමිතිය වැඩ වර්ජනය අවසන් කලත් වැදගත් සහන මාලාවක් ම දිනා ගැනීමට සමත් විය.

9-6 වර්ගභේදවාදී දේශපාලනයට එරෙහිව සප‍්‍රතිපත්තික ආස්ථානයක් ගත් බීඑල්පීඅයි, වෙනම මුස්ලිම් පකිස්තානයක් පිහිටුවීමේ සටන් පාඨයට විරුද්ධ විය. ඒ පිලිබඳව 1944 බීඑල්පීඅයි සමුලුවේ යෝජනාවක් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මෙම සටන් පාඨය දේශපාලන වසයෙන් ප‍්‍රතිගාමී ය. න්‍යායික ව වැරදි ය. එය දේශපාලන වසයෙන් ප‍්‍රතිගාමී වන්නේ වර්ගභේදවාදී හැඟීම්වලට ආමන්ත‍්‍රනය කිරීම මගින්, මුස්ලිම් ජනතාවගේ වැඩී එන අතෘප්තිය ඔවුන්ගේ නියම සතුරාගෙන්, එනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් හා එහි දේශීය හවුල්කරුවන්ගෙන් ඉවතට හරවා, හින්දූන්ට එරෙහි ව යොමු කරන හෙයිනි. එය න්‍යායික ව සාවද්‍ය වන්නේ, ඉන්දියාවේ මුස්ලිම්වරුන් ජාතියක් වන්නේ ය යන පදනම් විරහිත සාවද්‍ය තර්කයක් මත පදනම් වෙමින් එම ජාතිය, හින්දු ජාතියක් විසින් මඩිනු ලබන්නේ යයි ප‍්‍රකාශ කරන හෙයිනි. පොදු ඓතිහාසික සම්ප‍්‍රදායේ, භාෂාවේ, සංස්කෘතියේ හෝ වර්ගයේ මෙන්ම භූගෝලීය හා ආර්ථික සාධක පිලිබඳව සලකා බලන විට පවා සුවිශේෂී මුස්ලිම් ජාතිකත්වයක් නැගී ඒම සඳහා පිලිගත හැකි කිසිදු පදනමක් ඇත්තේ නැත. ආගම (සත්තකින් ම, එහි අඩංගු විය හැකි මොන යම් හෝ පොදු සංස්කෘතික අංගයක් සමග ගත් කල) ඒකාබද්ධ කිරීමේ සාධකය පමනක් වන අතර එය, සියලුම ඓතිහාසික අත්දැකීම්වල පදනම මත සැලකූ කල, ජාතික සවිඥානකත්වයක් අන්තර්ගත කරගත හැකි මොනයම්ම හෝ හැඟීමක් උත්පාදනය කිරීමට පැහැදිලිව ම අසමර්ථය.[17]

9-7 කෙසේ වෙතත් මේ වන විට කොන්ග‍්‍රසය, බ්‍රිතාන්‍යය ද එහි මහාරාජා වරුන් හා ඉඩම් හිමි සහකරුවන් ද සමග සම්මුතියක් කරා වේගයෙන් ගමන් කරමින් තිබුනි. කොන්ග‍්‍රසය ක්විට් ඉන්ඩියා නැගිටීම සමග තමන්ට පැවති සම්බන්ධතාවය තම සහයෝගය වැඩිකර ගැනීම සඳහා යොදා ගති. ගාන්ධි සහ අනෙකුත් කොන්ග‍්‍රස් නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ක්විට් ඉන්දියා ව්‍යාපාරය රැගෙන තිබූ රැඩිකල් නැම්ම ට සහ පශ්චාත් යුදකාලීන සමාජ අරගලයන් වැඩී ඒමට බිය වූ කොන්ග‍්‍රසය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කුමන හෝ මහජන අභියෝගයකට නායකත්වය දීමට අකමැති වූ අතර ධනේශ්වර පාලනය වහාම ස්ථාවර කිරීම සඳහා යටත් විජිත පාලනය සියතට ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටියේ ය. මේ නිසා කොන්ග‍්‍රස් නායකයෝ පූර්න ස්වාධීනතා ඉල්ලීම අතහැර දමා දිගින් දිගටම බිතාන්‍යයන්ට බැඳීම් ඇතිව ඩොමීනියන් තත්වය පිලිගත්හ. පූර්න සර්වජන ඡන්දයක් මත පදනම් වූ ව්‍යවස්ථාදායක මන්ඩලයක් පිලිබඳ ඉල්ලීම ඉවත දැමූ ඔවුහු, මහා රාජාවරුන්ගේ හා වැඩවසම්වාදයේ පාලනයට රැඩිකල් ලෙස අභියෝග කිරීම වැලක්වීමට වෑයම් කලෝය. අතිමූලිකව ම ගත් කල, එක්සත්, නිර්-ආගමික ඉන්දියාවක් පිලිබඳ තම ක්‍රියාමාර්ගය අත්හැර දැමූ කොන්ග‍්‍රසය, උපමහාද්වීපය වාර්ගිකව බෙදීම පිලිගෙන එය ක්‍රියාවට ද දැමීය. බෙංගාලය සහ පන්ජාබය සම්පූර්නයෙන්ම පකිස්ථානයට ඇතුලත් කරන ලෙස මුස්ලිම් ලීගය ඉල්ලා සිටි අතර, කොන්ග‍්‍රසය කියා සිටියේ, මෙම ප‍්‍රාන්ත දෙක වාර්ගික පදනමක බෙදාලන ලෙස ය. මෙහි දී හින්දු මහා සභාවේ නායකයා වූ ද අනාගත ජනසාංග් (පසුකලෙක බීජේපී) ආරම්භකයා වූ ද එච්.පී. මුඛර්ජි ඇතුලූ අන්ත වර්ගෝත්තමවාදී කොටස් සමග වැඩ කිරීමෙහි ලා තම සූදානම එය ඔප්පු කලේය. පන්ජාබයේ සහ බෙංගාලයේ හින්දු හා සීක් ජනයා “මුස්ලිම් ආධිපත්‍යයෙන් ගලවා ගැනීමට” යයි කොන්ග‍්‍රසය දියත් කල ව්‍යාපාරය, 1947 ඉන්දියාව බෙදීමෙන් පසුව මිලියන දෙකක් තරම් ජනයා මරා දැමුවා වූ ද මිලියන 12-14 අතර සංඛ්‍යාවක් සරනාගතයින් බවට පත් කලා වූ ද වර්ගවාදී ප‍්‍රචන්ඩත්වය මුදාහැරීමේ ප‍්‍රධාන සාධකයක් විය.

9-8 මුලින් කොන්ග‍්‍රසයට ද පසුව බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් වසරවල දී වර්ගෝත්තමවාදයේ නැගීමට ද එමෙන්ම මුස්ලිම් ලීගයට ද අනුගත වෙමින්, යටත් විජිත විරෝධී ව්‍යාපාරය ධනපති පන්තියට යටත් කර දැමූ ස්ටැලින්වාදී ඉන්දියානු කොපය, මෙම පාවාදීමට ආධාර උපකාර කලේය. මුස්ලිම් ස්වයං-නිර්නයේ යුක්තිසහගත ප‍්‍රකාශනය ලෙස පාකිස්ථාන් සටන් පාඨය හඳුන්වමින් එයට දේශපාලන යුක්තියුක්තභාවයක් සම්පාදනය කල සීපීඅයි, මුස්ලිම් මහජනයා අතර සමාජ පදනමක් ගොඩනඟා ගැනීමට මුස්ලිම් ලීගයට උදව් කිරීමට තම සාමාජිකයන් එම සංවිධානය තුලට යැවීය. 1945-47 අතරතුර දී කොන්ග‍්‍රසය සහ මුස්ලිම් ලීගය වාර්ගික ගිනිදැල් අවුලුවද්දී, සීපීඅයි, ඒකාබද්ධ වී ජාතික විප්ලවය මෙහෙයවන ලෙස ප‍්‍රතිමල්ලව ධනපති පක්ෂවලට නිෂ්ඵල ආයාචනා ඉදිරිපත් කලේය.

9-9 ඉන්දියාව බෙදීම, ධනේශ්වර ඉන්දියාවේ සහ පකිස්තානයේ නිරූපිතව පවත්නා ඊනියා, “නිදහස” සහ “ස්වාධීනත්වයේ” සැබෑ අර්ථය අද ද පෙන්නුම් කරයි. ඉන්දියාව සහ පකිස්තානය බෙදීමත් සමග පැනනැගි වාර්ගික සංහාර, ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ගබ්සා කිරීමේ අතිශයින් ම ලේවැකි වූ ද වහාම පෙනීයන්නා වූ ද ප‍්‍රතිවිපාකය වේ. අලුතින් තනන ලද රාජ්‍ය දෙක ම සමින්දාර්වරුන්ගේ, මහා රාජාවරුන්ගේ හා මහා ව්‍යාපාරිකයින්ගේ ධන සම්භාරයන් ද වෙනත් ආකාර දේපල සහ වරප‍්‍රසාද ද ආරක්ෂා කල අතර, බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යයේ ප‍්‍රධාන සංස්ථා සහ නීති තවදුරටත් පවත්වා ගත්තේය. වැඩිම වුනොත් යම් සුලූ හෝ ප‍්‍රතිසංස්කරන කඩින්කඩ සිදු කරන ලද්දේ, ධනේශ්වර සංවර්ධනයට පිටුබලය සැපයීමේ අරමුනින් යුතුව ය. දැන් දශක 6ක් ගත වූ පසුව ද මහජනතාවගේ දැවෙන ප‍්‍රජාතන්ත‍්‍රීය සහ සමාජ ගැටලු එකක් වත් විසඳා නැත. මෙයට ප‍්‍රතිකූලව සිදු වී ඇත්තේ මහා ඉඩම් හිමිකම, කුල පීඩනය සහ අනිකුත් වැඩවසම් අංග ධනේශ්වර සූරාකෑම සමග වඩ වඩාත් එකට බැඳීමයි.

9-10 ඉන්දියාව බෙදීම “ජනවාර්ගික ගැටලුව” විසඳනවා වෙනුවට සිදු කලේ, දකුනු ආසියාවේ රාජ්‍ය ව්‍යුහය තුල ජනවාර්ගික භේද නිදන්ගත කරමින් තවදුරටත් අවුල් කිරීම ය. වී. ඩී. සවර්කාර් නම් හින්දු අන්තවාදියාගේ අනුගාමිකයකු විසින් 1948 ජනවාරියේ දී ගාන්ධි ඝාතනය කිරීමෙන් අනතුරුව කල්කටාවේ ශිෂ්‍යයින් ඇමතූ බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා මෙසේ පැහැදිලි කලේ ය: “බෙදීමේ ශෝකාන්තය එහි නිර්මාතෘවරුන්ගේ ප‍්‍රකාශිත අරමුනුවලින් ම ගලා ආවේය. එක් අතකින් ඉන්දියාව නමැති ජීවමාන ශරීරය කුරිරු ලෙස කපා ලීමත් අනික් අතින් ජීවමාන ජාතිකත්වය දෙකක් (පන්ජාබ් හා බෙංගාලි) කපා වෙන් කිරීමත් ඉදිරිපත් කරන ලද්දේ එක් පැත්තකින් වර්ගවාදී ගැටලූවට විසඳුමක් ද තවත් පැත්තකින් නිදහසට මග විවර කිරීමක් ද වසයෙනි. දෙකම බොරු බව දැන් ඔප්පු වී ඇත. බෙදීම එක පැත්තකින් මහජනතාව මත අධිරාජ්‍ය වහල්භාවය අලූතින් තහවුරු කිරීමේ මාර්ගය කි. අනික් පැත්තෙන් එහි අරමුනවන්නේ අභ්‍යන්තර වර්ගවාදී හැඟීම් සිවිල් කම්පනයන් ඇති නොකොට ඉවතට හැරවීම සඳහා රාජ්‍ය දෙක අතර යුද ඇවිලවීම යොදා ගත හැකියයි රැවටීමට බව ද ඔප්පු වී ඇත. යුද්ධය (දැනටමත් කාශ්මීරයේ හා ජුනාගාද්හි එලඹ නැත්නම්) එලඹෙනු ඇත එහෙත් සිවිල් කම්පන දැනට ම විනාශකාරී අකාරයක් ගෙන තිබේ.”[18]

9-11 ද සිල්වාගේ අනතුරු හැඟවීම් අනාවැකි සැබවින්ම තහවුරු විය. ඉන්දියාව බෙදාලීම ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති කල ප‍්‍රතිගාමී භූ දේශපාලන අරගලය, යුද්ධ තුනක් සහ ගනන් නැති යුද අර්බුද නිර්මානය කරමින්, ප‍්‍රානසම ආර්ථික සම්පත් විනාශ කර දමමින්, අද මුලුමහත් දකුනු ආසියාවේ ම ජනතාව න්‍යෂ්ටික වහ්නි ජාලාවක් තුල වැනසීයාමේ තර්ජනයට ලක්කර ඇත. 1947-48 ප‍්‍රථම ඉන්දු-පකිස්තාන් යුද්ධය කාශ්මීරය බෙදා කාශ්මීර ජනතාව කෲර ලෙස භේද කර ඇත. එහි විපාකය වූයේ වාර්ගික ගැටලුව ජනවාර්ගික වසයෙන් බෙදන ලද උපමහාද්වීපයේ රාමුව තුල නො විසඳිය හැකි දේශපාලන ගැටලුවක් බවට පත්වීම ය. ගනන් නැති සමාජ ආතතීන්ගෙන් එකක් වත් විසඳාලීමට අසමත් මෙම රටවල් දෙකේ ම පාලක ප‍්‍රභූන්, තම රට තුල නැග එන විරුද්ධත්වය නොමග යැවීම සඳහා සිරිතක් වසයෙන් වාර්ගික ජන කැලඹීම්වල පිහිට සොයා ඇත. ඉන්දියාව බෙදීම, ජල සම්පත් පරිහරනය කිරීම ඇතුලු තර්කානුකූල ආර්ථික සංවර්ධනයක් වැලැක්වීම ද එක් රාජ්‍යයක් හා එහි පාලක ප‍්‍රභූව අනෙකාට එරෙහිව පිහිටුවීම පිනිස එක්සත් ජනපදයට හා අනෙකුත් මහා බලවතුන්ට දේශපාලන යාන්ත‍්‍රනයක් සම්පාදනය කිරීම ද මගින් දකුනු ආසියාවේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට දොරටු විවර කර දී තිබේ. අද දකුනු ආසියාව, ලෝකයේ දුප්පතුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් සහිත ආර්ථික වශයෙන් අඩුවෙන් ම ඒකාග‍්‍රිත ප‍්‍රදේශය යි.


[17]

ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය “පකිස්ථානය ගැන යෝජනා”: New International (නව ජාත්‍යන්තරය), 12 වෙලුම, නො. 10, 1946 දෙසැම්බර්, පිටු 300-301.http://www.marxists.org/history/etol/newspape/ni/vol12/no10/blpi.htm.

[18]

කොල්වින් ආර්. ද සිල්වා, 1948 කම්කරු මාවත ප්‍රකාශනයකි, 5 පිටුව.