Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

චීන විප්ලවය

8-1 යුද්ධ යේ ක්ෂනික ඉක්බිත්තෙහි කම්කරු පන්තිය මුහුන දුන් දේශපාලන ගැටලූ චීනයේ දී, ඉතා තියුනු ලෙස ප‍්‍රකාශයට පත් විය. 1925-27 චීන විප්ලවයේ පරාජයෙන් පසු පිටිසර පලාත්වලට පසුබැස ගිය චීන කොමියුනිස්ට් පක්ෂය (චීකොප) වැඩි වැඩියෙන් ගොවි ජනතාව මත පදනම් වී ගත්තේ ය. තුන්වන ජාත්‍යන්තරය හා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය සමග සම්බන්ධතා පවත්වා ගනිමින්ම චීකොප සිය පන්ති අක්ෂය කම්කරු පන්තියෙන් ඉවතට එනම් ගොවි ජනතාව වෙත මාරු කලේය. හැම විටම පක්ෂයේ දක්ෂිනාංශය මත පැලපදියම්ව සිටි මාවෝ සේතුං 1935දී චීකොප නායකත්වයට පත්ව පක්ෂයේ දිශාවනතිය ගොවි ජනතාව දෙසට යොමු කලේය. චීකොප ස්ටැලින්වාදය අවධි දෙකේ න්‍යාය හා ජාතික ධනේශ්වරය සමග පන්ති සහයෝගිතාවය මත පදනම්වූ අතර ගොවි ජනතාවාදය ද ගරිල්ලා යුද්ධයේ උපාය හා මූලෝපාය ද ඊට අන්තර්ගත කර ගත්තේය. 1927 න් පසුව පිහිටුවන ලද චීන වාම විපාර්ශවය, ස්ටැලින්වාදීන්ගේ ආධාර ලද කුවෝමිංටාන් පාලනයේ දැඩි මර්දනයට මුහුන දීගෙන ම කම්කරු පන්තිය වෙත යොමු වී, නාගරික මධ්‍යස්ථානවල ක‍්‍රියාත්මක විය.

8-2 1932 දී ට්‍රොට්ස්කි තම චීන සහකරුවන්ට ලියූ දුරදක්නා ලියුමක, මාවෝගේ ගොවි හමුදාවන්ගෙන් කම්කරු පන්තියට එල්ල වියහැකි අනතුර පෙර ඇඟවුම් කලේය. ට්‍රොට්ස්කි ගොවි ජනයාගේ අතිමූලිකව වෙනස් පන්ති යොමුව මෙසේ පැහැදිලි කලේ ය: “මහා ඉඩම් හිමියන්ට, යුදවාදීන්ට, වැඩවසම් රදලයන්ට සහ පොලීකාරයන්ට එරෙහිව මෙහෙයවන හෙයින් ගොවි ජන ව්‍යාපාරය ඒ තාක් දුරට බලගතු විප්ලවවාදී සාධකයකි. එහෙත් ගොවිජන ව්‍යාපාරය තුල ම බලවත් දේපල හිමි ප‍්‍රතිගාමී ප‍්‍රවනතාවයන් පවත්නා අතර එක්තරා අවස්ථාවක දී එය කම්කරුවන්ට සතුරු ව එම සතුරු බව තම අතට පත් අවිවලින් ප‍්‍රකාශිත කරනු ඇත. ගොවි ජනතාවගේ ද්විත්ව ස්වරූපය අමතක කරන තැනැත්තා මාක්ස්වාදියකු නො වේ. “කොමියුනිස්ට්” ලේබල් සහ බැනර් ද තථ්‍ය සමාජ සන්තතීන් ද අතර වෙනස දැක ගැනීමට දියුනු කම්කරුවන් පුහුනු කර ගත යුතු ය.” [15]

8-3 ට්‍රොට්ස්කි මෙසේ ද පැහැදිලි කලේ ය: “සැබෑ කොමියුනිස්ට් පක්ෂය වනාහි කම්කරු පන්ති පෙරටු බලඇනියේ සංවිධානය යි. එහෙත් අප අමතක නො කල යුතු කරුන නම්, චීනයේ කම්කරු පන්තිය ගත වූ වර්ෂ හතර තුල පීඩිත සහ ව්‍යාකුල තත්වයකට තල්ලූ කර දමා තිබුනු බවත්, එහි යලි පනගැස්මක් දක්නට ලැබෙන්නේ ඉතා මෑත දී බවත් ය. නාගරික කම්කරු පන්තියේ සෞඛ්‍ය සම්පන්න ම කොටස මත දෘඩතරව පදනම් වූ කොමියුනිස්ට් පක්ෂයක් කම්කරුවන් හරහා ගොවි යුද්ධයකට නායකත්වය දීමට ප‍්‍රයත්න දැරීම එක දෙයකි. එහෙත් සැබැවින් ම කොමියුනිස්ට්වාදීන් හෝ නමින් පමනක් කොමියුනිස්ට්වාදී වූ විප්ලවවාදීන් කිහිප දහසක් හෝ දසදහස් ගනනක් වුව ද කම්කරු පන්තියේ මොන ම බරපතල සහායකින්වත් තොරව, ගොවි යුද්ධයක නායකත්වය ගැනීමට තැත් කිරීම සම්පූර්නයෙන් ම වෙනස් කාරනාවකි. හරියට ම චීනයේ දැන් සිදුවෙමින් පවතින්නේ ඒ දෙයයි. මෙය කම්කරුවන් සහ සන්නද්ධ ගොවියන් අතර ඝට්ටන ඇති වීමේ ආන්තික අන්තරාය තව තවත් උග‍්‍ර කරයි.” [16]

8-4 මොස්කව් පිලිවෙත අනුව ගිය චීන කොපය, 1937 දී චීනය ආක‍්‍රමනය කල ජපන් හමුදාවලට එරෙහිව, චියැං කායි ෂෙක් තන්ත‍්‍රය සමග මහජන පෙරමුනු සන්ධානයක් ගොඩනගා ගත්තේ ය. පීඩිත ජාතියක් වූ චීනය, ජපන් අධිරාජ්‍යවාදයට විරුද්ධ ව ගෙන යන්නා වූ යුද්ධයට ප‍්‍රගතිශීලි අන්තර්ගතයක් පවත්නා බව අවධාරනය කල ට්‍රොට්ස්කි, තමාගේ එම ආස්ථානය “සමාජ ජාතිමාමකවාදය” සහ “චියැං කායි ෂෙක්ට යටත් වීමක්” යයි විවේචනය කල නිකායවාදී ප‍්‍රවනතාවයන්ට විරුද්ධ විය. එහෙත් ඔහු අවධාරනය කලේ, මෙම යුද්ධයට සහාය දීමේ දී කම්කරු පන්තිය, තම දේශපාලන ස්වාධීනත්වය රැක ගත යුතු ය යන්න ය. කුවෝමිංටානය සමග සන්ධානයක් ඇති කර ගැනීමේ දී චීන කොප ය, මහජනතාවගේ ආසක්තයන් ධනපති පන්තියට යටත් කරමින් තම පක්ෂයේ ම ඉඩම් ප‍්‍රතිසංස්කරන වැඩපිලිවෙල අතහැර දමා, කුවෝමිංටානයේ ඉඩම් හිමියන්ට සහ ධනපතියන් නො රිදවන සේ පැහැදිලිව ම කම්කරුවන්ගේ ආසක්තතා එලිපිට අතහැර දැමී ය. ජපනුන්ගේ පරාජයෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂය, යුරෝපයේ හා ආසියාවේ වෙනත් තැන්වල ආන්ඩු හා ධනේශ්වර පක්ෂ සමග සහයෝගිතාවය පිලිබඳ ස්ටැලින්ගේ පිලිවෙත සමග පෙල ගැසෙමින් කුවෝමිංටානය සමග යුද සමයේ දී ඇති කර ගෙන තිබුනු හවුල තව දුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කලේ ය.

8-5 එක්සත් ජනපදයේ ආධාර ලත් චියැං කායි ෂෙක් චීකොපයට එරෙහි ව යුදවැදීමට සුදානමින් සිටින බවට ලද පැහැදිලි අනතුරු හැඟවීම් නො තැකූ මාවෝ, අන්තිමේ දී කුවෝමිංටානය පෙරලා දැමිය යුතු යයි කැඳවීමක් කලේ නැඟී එමින් තිබුනු සීතල යුද්ධය මධ්‍යයේ 1947 ඔක්තෝබරයේ දී ය. මැන්චූරියාවේ කුවෝමිංටෑන් ප‍්‍රහාරය හමුවේ මිලිටරි සංහාරයක අනතුරට මුහුන දුන් චීකොපය ට ගොවි ජනතාව අතර පැතිර පැවති විරෝධය ගසා කෑම සඳහා ඉඩම් ප‍්‍රතිසංස්කරන ප‍්‍රතිපත්තිය යලි පනගැන්වීය පසුව චියැං කායි ෂෙක් ලත් පරාජයට හේතු වූයේ මාවෝ සේතුං ගේ ඊනියා මූලෝපායික විචක්ෂන බවට වඩා සැලකියයුතූ දේශපාලන පදනමකින් තොර වූ ද මූල්‍ය අර්බුදයෙන් හා කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ වැඩෙමින් පැවති විප්ලවවාදී ව්‍යාපාරයකින් වටලනු ලැබුවා වූ ද අතිශයින් ම දූෂිත සහ පීඩක කුවෝමිංටාන් පාලනයේ පැවති ආවේනික දුබලතාවයයි. සෝවියට් හමුදාවන් විසින් සපයන ලද ජපනුන්ගෙන් අල්ලාගත් ආයුධවලින් සන්නද්ධ වූ මාවෝගේ හමුදා මැන්චුරියාවේ දී කුවෝමිංටාන් හමුදා පරාජය කිරීමෙන් පසු දකුනු දිගට කඩා වදින කල්හි කුමන හෝ බලගතූ මිලිටරි ප‍්‍රතිරෝධයකට මුහුන නො දුන් තරම් ය. 1949 ඔක්තෝබරයේ දී චීන මහජන සමූහාන්ඩුව ප‍්‍රකාශයට පත් කරන ලදි.

8-6 චීකොපය සිය නව තන්ත‍්‍රය, තායිවානයට පලා නොගිය ධනේශ්වරයේ කොටස් ද අන්තර්ගත කරගත් අතර මූලික වශයෙන් ඉඩම් ප‍්‍රතිසංස්කරන හා කර්මාන්ත ජනසතු කිරීම්වල ප‍්‍රමානය සීමාකරමින් “පන්ති හතරේ සන්ධානය” මත පදනම් කලේය. කෙසේ වුව ද විප්ලවවාදී ව්‍යාපාරය ද සාවද්‍ය ලෙස වුවත් බොහෝ දෙනෙක් රුසියානු විප්ලවයේ උරුමය සමග අනන්‍ය කරගත් චීකොපය පිලිබද මහජන අපේක්ෂා ද කෙතරම් පුලුල් ලෙස පැතිර තිබුනේ ද යත් ස්ටැලින්වාදීන්ට ඔවුන් සිතුවාට වඩා වැඩි දුරක් යාමට බල කෙරුනි. කොරියානු යුද්ධයේ ප‍්‍රතිපලයක් ලෙස අධිරාජ්‍යවාදී මැදිහත්වීමක තර්ජනයට මුහුන දුන් කල්හි යුද්ධය සදහා ජනතාව සූදානම්කර බලමුලූ ගැන්වීමේදී කම්කරුවන් හා ගොවීන් වෙත සහන පිරිනැමීමට ස්ටැලින්වාදීන්ට බල කෙරුනි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඉඩම් හිමි පන්තියේ ඉඩම් අත්පත්කර ගැනීම අවසන් කල 1951-52 කාලයේ සිය තුන් විරෝධ හා පස් විරෝධ “ව්‍යාපාරවල කොටසක් ලෙස චීකොපය හා රාජ්‍යය මත කර්මාන්තකරුවන්ගේ හා වෙලෙන්දන්ගේ “දූෂිත බලපෑම” මැඩීමට යයි ඔවුන් ඉලක්ක කර ගත්තේය 1953දී පලමු පස් අවුරුදු සැලැස්ම සකස් කිරීමෙන් පසුව ඉතිරිව තිබූ පෞද්ගලික ව්‍යාපාර බෙහොමයක් ජනසතු කරන ලදී ඒසේ වුව ද අන්ඩුව මුහුනපා සිටි සංකීර්න ආර්ථික හා සමාජ ගැටලූ කිසිවක් “තනි රටක සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදයේ ප‍්‍රතිගාමී න්‍යාය මත පදනම්ව විසඳාලිය නො හැකි විය. එක් තත්කාර්යවාදී ජාතිකවාදී පිලිවෙතක සිට ඊලඟ එකට පැනීමේ දී චීන කොපය ව්‍යසනයන් මාලාවක් ඇති කලේ ය. “මහා ඉදිරි පිම්ම” මගින් 1950 ගනන් අවසානයේ දී ඇති වූ ව්‍යසනකාරී සාගතය ද මෙයට ඇතුලත් වේ.

8-7 නිලධාරිවාදී චීන කොමියුනිස්ට් පක්ෂය සෑම කල්හිම ක‍්‍රියා කලේ මහජන- විශේෂයෙන්ම කම්කරු පන්තියේ - විප්ලවවාදී ව්‍යපාරයට තිරිංගයක් ලෙස ය. 1949දී මා ඕගේ හමුදා නගර හා නාගරිකයන්ට ඇතුල්වන විට චීකොපය කම්කරුවන්ගේ කුමන හෝ ස්වාධීන කටයුත්තකට එරෙහිව දැඩි සීමා පැනවීය. වැඩවර්ජන බලහත්කාරයෙන් මඩිනු ලැබූ අතර සමහර අවස්ථාවන්හි දී හමුදාව විසින් කම්කරුවන් වෙඩිතබා හෝ අත්අඩංගුවට ගෙන මරන ලදී. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලූ ගැන්වීමකට චීකොපයේ ඓන්ද්‍රීය සතුරුකම මුදුනෙන්ම ප‍්‍රකාශිත වූයේ 1949න් අරඹා 1952 සමූහ සිරභාරයට ගැනීම් දක්වා අඛන්ඩව ක‍්‍රියාත්මකවූ චීන ට්‍රොට්ස්කි වාදීන් රුදුරු ලෙස මර්දනය කිරීම තුලය.

8-8 ජාත්‍යන්තර කරලියේදී චීකොප සෝවියට් සංගමය සමග සන්ධානය දිගටම පවත්වාගත් අතර විශේෂයෙන්ම බැර කර්මාන්ත සංවර්ධනය ඇතුලූ ආර්ථිකයේ ප‍්‍රසාරනය සඳහා 1960 ගනන්වල දී සෝවියට් විශේෂඥයින් හා ආධාර මත බෙහෙවින්ම රඳා පැවතුනි. ජනසතු කල කර්මාන්තයෙහි චීකොප ආර්ථික කලමනාකරනය සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී සැලසුම්කරන මොඩලයට සමීපව ගැටගැසී තිබුනි. 1962 චීන-සෝවියට් භේදය පිලිබිඹු කලේ ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයන් දෙකක් අතර ජාතිකවාදී අවශ්‍යතා මුල්කරගත් තරගයයි. 1962 චීන-ඉන්දීය දේශසීමා යුද්ධයේ දී සෝවියට් සංගමය චීනයට විරුද්ධව ඉන්දියාවට පිටුබලය දුන්නේය. ස්ටැලින්ගේ අපරාධ පිලිබදව 1956 කල කෘෂෙව්ගේ රහසිගත කථාවෙහි තීරනාත්මක හෙලිදරව් සම්බන්ධයෙන් විවේචනශීලී වූ චීකොප කවර විටෙකත් ස්ටැලින්වාදයේ මූලික ප‍්‍රවාදයන්ගෙන් නොබිඳුනු අතර එහි සියලූ පාවාදීම් දිගටම ආරක්ෂා කලේය. විප්ලවය පිලිබඳ අවධි දෙකේ න්‍යාය මත චීකොප උපදේශ 1965-66 ඉන්දුනීසියානු කුමන්ත‍්‍රනය ද ඇතුලූ නොදියුනු රටවල ධනේශ්වරය සමග සන්ධාන ඇති කොට ආසියානු ජනතාව වෙනුවෙන් උදා කලේ ව්‍යසනයන් ම පමනි.


[15]

ලියොන් ට්‍රොට්ස්කි, Lion Trotsky On China ලියොන් ට්‍රොට්ස්කි චීනය ගැන, (නිව් යෝර්ක්: මොනාඩ් ප්‍රෙස් 1971) 528 පිටුව

[16]

එම., පි.525.