මෙම ලිපිය 2017 මැයි 8 ඉංග්‍රීසි බසින් පලවිය.
අප මෙහි පලකරන්නේ පසු ගිය සෙනසුරාදා, මැයි 6 දා ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජේම්ස් කොගන් විසින් කරන ලද දේශනය යි. එය 1917 රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද අන්තර්ජාල දේශන මාලාවක පස්වැන්නයි.
1917 දී පෙබරවාරි විප්ලවය ඇරැඹෙන විට බෝල්ශෙවික් පක්ෂයේ නායක ව්ලැදිමීර් ඉලිච් ලෙනින් සිටියේ, පෙට්‍රෝග‍්‍රෑඩ් නුවරින් කිලෝමීටර් 2,400ක් ඔබ්බෙන් ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පිටුවහලේ ය. 1905 විප්ලවය ට පසු සාර්වාදී පලනය විසින් පැනවෙන සිරදඬුවම් හෝ මරන දඬුවමෙන් බේරීම සඳහා ලෙනින්ට වසර 10ක් පමන පිටුවහලේ ජීවත් වීමට සිදුව තිබුනි.
බෝල්ශෙවික් නායිකාවක් සහ ලෙනින්ගේ සමීපතම දේශපාලන සහෝදරයින් අතරින් කෙනෙක් ද බිරිඳ ද වූ නදෙශ්දා කෘප්ස්කායා, ජුලියන් දින දර්ශනය අනුව මාර්තු මස මුල දිනක, දිවා ආහාරය නිම කරමින් සිටියදී, පෝලන්ත මාක්ස්වාදී මියෙස්ලාව් බ්‍රොන්ස්කි ඔවුන්ගේ නිවස තුලට දිවවුත් මෙසේ කෑගැසූ බව සිහිපත් කරයි: “ඔබ ප‍්‍රවෘත්තිය දන්නේ නැද්ද? රුසියාවේ විප්ලවයක් සිදුවෙලා.”
කෘප්ස්කායා 1933 දී ලෙනින් පිලිබඳ සිය මතක සටහන් වල මෙසේ ලිව්වාය:
බ්‍රොන්ස්කි පිටත්ව ගිය පසුව අපි විල අද්දරට ගියෙමු. සියලු පුවත්පත් පිටවූ වහාම ඒ ආසන්න ස්ථානයක ප‍්‍රදර්ශනය කෙරුනි.අපි කිහිප විටක්ම වාර්තා කියෙව්වෙමු. ඇත්ත වශයෙන් ම රුසියාවේ විප්ලවයක් සිදුවී තිබුනි. ඉලිච්ගේ සිත වහාම වැඩ කරන්නට පටන් ගති. දවසේ ඉතුරු හරිය ගතවූයේ කෙසේද යන්න මට හරියටම මතක නැත. ඊලඟ දිනයේ පෙබරවාරි විප්ලවය පිලිබඳ දෙවන නිල වාර්තා ගොන්න ලැබෙනවාත් සමග ඉලිච් ස්ටොක්හෝම් නුවර සිටි කොලොන්තායි ට ලියුවේය. යලිත් කවර කලකවත් දෙවන ජාත්‍යන්තරයේ පිලිවෙත් එපා! කවරකලකවත් කෞට්ස්කි එක්ක එපා! සහතිකෙන්ම වඩාත් විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සහ උපාය! ඔහු තවදුරටත් මෙසේ ලිවීය, “කලින් මෙන් විප්ලවවාදී ප‍්‍රචාරය, උද්ඝෝෂනය, ජාත්‍යන්තර කම්කරු පන්ති විප්ලවය අරමුනු කොටගත්, කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභාව විසින් බලය අල්ලා ගැනීමේ අරමුන සහිතව.” 1
භූගෝලීය වශයෙන් ලෙනින් සිටියේ සහතිකෙන්ම රුසියාවෙන් හුදෙකලාවීය. එහෙත් ඔහුට අනුහසක් නොතිබුනු බවක් ඉන් අදහස් වුනේ නැත. සූරිච් නුවර පිටුවහලේ සිටි බෝල්ශෙවික් නායකත්වය, ලෙනින් සහ කෘප්ස්කායා පමනක් නොවීය. ඔවුන් අතර ඉනේස්සා ආමන්ඞ් වැනි කැපී පෙනෙන විප්ලවාදීන් ද විය. ඔවුහු ප‍්‍රධාන වශයෙන්ම ලිපි හා විදුලි පනිවිඩ මාර්ගයෙන්, යුද්ධයේදී පැත්තක් ගෙන නොතිබුනු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර සිටි ඇලෙක්සැන්ඩර් කොලොන්තායි වැනි විශ්වාසවන්ත සම්බන්ධතා හරහා, රුසියාවේ නීති විරෝධී කර තිබුනු බොල්ශෙවික් සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ගත්හ. ඒවා ෆින්ලන්තයට හොරෙන් ගෙන ගොස් එතැනින් පීටර්ස්බර්ග් වෙත ද එතැනින් රටපුරා ද ක‍්‍රමානුකූලව බෙදා හරින ලදී.
1917 මාර්තුවේ දි ලෙනින් සිය 47වන ජන්ම දිනයට ලංවෙමින් සිටියේ ය. කෘප්ස්කායා සිහිපත් කල පරිදි ඔවුන් ජීවත් වූයේ, “මා සිතන හැටියට 16 සියවසේ ගොඩනගන ලද අඳුරු නිවසකය; එහි මැද මිදුල ගඳ ගැසුවේ ය.” 1916 අග වනවිට “අපගේ ජීවන වියදම අවමය දක්වා කපා හරින්න ට සිදුව තිබුනි.” පිටුවහලේ සිටි බොල්ශෙවිකයන් සම්පත් හිඟයෙන් මිරිකී සිටියේය. මෙය නිසැකවම ලෙනින්ගේ සෞඛ්‍ය තත්වයට අහිතකර ලෙස බලපෑවේ ය.
පෙබරවාරි විප්ලවය කෙරේ ලෙනින්ගේ ප‍්‍රතිචාරය ගලා ආවේ, සිය දේශපාලන ජීවිතය පුරා, විශේෂයෙන්ම 1914 අගෝස්තුවේ දී පලමුවන ලෝක යුද්ධයේ ආරම්භයත් දෙවන ජාත්‍යන්තරය හා එයට සම්බන්ධ පක්ෂ හා එහි නායකයින්, තමන්ගේම ධනපති පන්තියට සහාය දැක්වීමෙන් කල පාවාදීමෙන් පසුව, ඔහු සටන් වැද තිබුනු ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයෙනි.
දෙවන ජාත්‍යන්තරයේ පාවාදීමට එරෙහිව සටන් වැදුනු මාක්ස්වාදීන් අතර පවා ලෙනින් සිටියේ සුලුතරය අතර ය.
සිමර්වෝල්ඩ් (එය 1915 ඔවුන් හමුවූ ගමේ නමය) ජාත්‍යන්තරය නමින් හැඳින්වුනු යුද-විරෝධී ප‍්‍රවනතාවයේ බහුතරය අනුගමනය කලේ, යුදවැදී සිටි රටවල ආන්ඩුවලට සාම සාකච්ඡාවලට එලඹෙන ලෙස බලකිරීමේ පිලිවෙතය.
කල් පවතින සාමයක් හා ශිෂ්ඨාචාරයේ අනාගතය සුරක්ෂිත වන්නේ, යුරෝපය හා ලෝකය පුරා සිදුවන සමාජවාදී විප්ලවයෙන් පමනක් බව ලෙනින් අවධාරනය කලේය. මාක්ස්වාදීන්ගේ, අව්‍යාජ ජාත්‍යන්තරවාදීන්ගේ සියලු කටයුතු, තමන්ගේම රට තුල පන්ති අරගලයේ වර්ධනය වෙනුවෙන් කැපකල යුතු අතර තමන්ගේම පාලක පන්තිය පෙරලා දැමීමේ කොන්දේසි සූදානම් කල යුතුය. එයයි ලෙනින්ගේ “අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධය බවට හරවනු” යන සටන් පාඨය තුල ගැබ්කරගත් විප්ලවවාදී ඉදිරිදර්ශනය.
1915 යුද විරෝධී සිමර්වෝල්ඩ් සම්මේලනය තුල “වාමාංශය” වෙනුවෙන් ලෙනින් සකස්කල කෙටුම්පත් යෝජනාව මෙසේ පවසයි:
වර්තමාන යුද්ධය බිහි කරන ලද්දේ අධිරාජ්‍යවාදය විසිනි. ධනවාදය මේ වනවිටත් එහි ඉහලම මට්ටමට නැගී ඇත. සමාජයේ නිෂ්පාදන බලවේග තනි තනි ජාතික රාජ්‍යවල පටු සීමාවන් ඉක්මවා ගොස් ඇත. සමස්ත ලෝකයම එක් තනි ආර්ථික ඒකකයක් බවට පත්ව තිබේ. එය කැබලි කර මහ බලවතුන් අතලොස්සක් අතර බෙදා ගෙන තිබේ. සමාජවාදය සඳහා වෛෂයික කොන්දේසි මුලුමනින්ම මුහුකුරා ගොස් ඇත, වත්මන් යුද්ධය වනාහි ධනවාදය බිඳවැටීම වලක්වා ගැනීම සඳහා වරප‍්‍රසාද සහ ඒකාධිකාරයන් තහවුරු කර ගැනීමට, ධනපති බලවතුන් අතර කෙරෙන යුද්ධයකි.
සිමර්වෝල්ඩ් කෙටුම්පත් යෝජනාව මෙසේ නිගමනය කරයි.
අධිරාජ්‍යවාදී යුද්ධය සමාජ විප්ලවයේ යුගය උදාකරමින් පවතී. වර්තමානයේ සියලු වෛෂයික කොන්දේසි, කම්කරු පන්තියේ විප්ලවවාදී මහජන අරගලය දවසේ වැඩ සටහනට ඇතුලු කර ඇත. සමාජවාදීන්ගේ යුතුකම වන්නේ, කම්කරු පන්ති අරගලයේ හැම මාර්ගයක්ම පාවිච්චි කරන අතර, ඒ හැම එකක්ම මෙම හදිසි හා අතිශයින්ම වැදගත් කර්තව්‍යයට යොමු කිරීමය. කම්කරුවන් ගේ විප්ලවවාදී විඥානය වර්ධනයකොට, ඔවුන් ජාත්‍යන්තර විප්ලවවාදී අරගලය තුල එක්සත් කර බලමුලුගන්වා, විප්ලවවාදී භාවිතය පෝෂනය කොට, ජාතීන් අතර කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධය, පීඩකයන්ට එරෙහිව පීඩිතයන්ගේ යුද්ධයක් බවට, ධනපති පන්තිය අස්වාමික කොට, කම්කරු පන්තිය බලය අත්පත් කරගෙන, සමාජවාදය සාක්ෂාත් කිරීමේ යුද්ධයක් බවට පරිවර්තනය කිරීමය. 2
මෙම ඉදිරිදර්ශනය ඉල්ලා සිටියේ, ලෝක සමාජවාදී විප්ලවයට කැපවුනු පක්ෂ පමනක් ඇතුලත්, නව තුන්වන ජාත්‍යන්තරයක් ස්ථාපනය කිරීම බව ලෙනින් අවධාරනය කලේය. සියල්ලටත් වඩා මෙම ප‍්‍රශ්නයේ දී, සිමර්වෝල්ඩ් ජාත්‍යන්තරය ලෙනින්ට සහාය දුන්නේ නැත. එහි බහුතරය එල්බී සිටියේ දෙවන ජාත්‍යන්තරය යලි වරක් ආපසු මාක්ස්වාදය කාරා දිනාගත හැකිය යන අදහසේය.
අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයකට ඇද දැමූ එම පරස්පර විරෝධයන් ම කම්කරු පන්තිය විප්ලවවවාදී අරගලයන්ට ඇද දමනු ඇති යයි ද මාක්ස්වාදීන්ගේ අත්‍යන්ත කර්තව්‍යය වන්නේ ඒවාට සූදානම් වීම යයි ද ලෙනින් ඒත්තුගෙන සිටියේ ය. එම විප්ලවය කවදා පුපුරයි ද හෝ කොතනක එය ඇරඹේ ද යන්න පෙර දැකීමට ලෙනින්ට පුලුවන් කමක් තිබුනේ නැත.
ඇත්තෙන් ම 1917 ජනවාරියේදී සූරිච් නුවර මාක්ස්වාදී තරුනයන් අමතා කල කතාව ඔහු සමාප්ත කලේ මෙම වචන වලිනි: “වැඩිමහලු පරම්පරාවේ අප, ඉදිරියේ එන විප්ලවයේ තීරනාත්මක සටන් දැකගන්නට ඉතුරු වී නොසිටීමට ඉඩඇත.” 3
පෙබරවාරි විප්ලවය පුපුරාගියේ ඉන් සති කිහිපයකට පසුවය. ලෙනින් එය දකගැනීමට පමනක් නොව එලඹෙන විප්ලවයේ තීරනාත්මක සටන් වලට නායකත්වය දීමට ද ජීවතුන් අතර සිටියේ ය.
ලෙනින් සහ ස්විට්සර්ලන්තයේ පිටුවහලෙහි සිටි රුසියානු විප්ලවවාදීන් මුහුනපෑ මූලික ගැටලුව වූයේ රුසියාවට අපසු යන්නේ කෙසේ ද යන්නයි. ස්විට්සර්ලන්තය ගොඩබිමින් වටවූ රටකි. එසමයේ එරටට දකුනෙන් ඉතාලිය ද බටහිරෙන් ප‍්‍රන්සය ද නැගෙනහිරෙන් ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යය ද පිහිටා තිබුනේ ය. රුසියාව සිටියේ ඔස්ට්‍රියාව සහ ජර්මනිය ට එරෙහිව යුද්ධයේ පැටලීගෙනය. ප‍්‍රන්සය හා මිත‍්‍රවය. ලෙනින් වැනි යුද්ධයට විරුද්ධ පුද්ගලයෙකුට රුසියාවට යාම පිනිස ප‍්‍රන්සය ඉඩ දෙනු නැත.
කාලය වැදගත්ම සාධකය විය.
ලෙනින් සහ බෝල්ශෙවිකයන් අපේක්ෂා කල පරිදි ද ඊටත් වඩා පැහැදිලි ලෙස ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ නොනවතින විප්ලව න්‍යාය තුල පෙර දැක තිබුනු ආකාරයට ද විප්ලවයේ නායක භූමිකාව ඉටු කරන්නේ කම්කරු පන්තියයි. ලක්ෂ ගනන් සොල්දාදුවෝ කම්කරුවන්ට එක්ව සිටියහ. සොල්දාදුවන්ගෙන් බහුතරයකගේ පන්ති පසුබිම, රුසියාවේ සුවිසල් ගොවිජනතාවගේ වඩාත් පහල දිලිඳු කොටස විය.
රුසියාවේ පැවතියේ “ද්වන්ද බල” තත්වයකි. මහජනතාවගේ ක්‍රියාශීලි සහාය ලැබුනේ සෝවියට් සභාවන්ටය. සෝවියට් සභා වල අධිකාරය, සන්නද්ධ සොල්දාදුවන්ගේ සහ කම්කරුවන්ගේ සහාය මත රැඳී පැවතුනි. එහෙත් සෝවියට් සභාවල මුදුනේ සිටි ධනේශ්වර පන්තිය නියෝජනය කල මෙන්ශේවික් සහ සමාජ විප්ලවවාදී පක්ෂවල [එස් ආර්] නායකයෝ, තවමත් බිඳී ගොස් නොතිබුනු සාර්වාදී රාජ්‍යයක යාන්ත‍්‍රනයට නොයෙකුත් ආකාරයෙන් බැඳී සිටියාවූ, ධනේශ්වර පක්ෂ විසින් පිහිටුවාගෙන තුබුනු තාවකාලික ආන්ඩුවට බලය පවරා දීමට දනුවත්ව වැඩ කරමින් සිටියෝය.
ධනේශ්වර පක්ෂ කියා සිටියේ රුසියාව විසින් ජර්මනියට සහ ඔස්ට්‍රියා හංගරියට එරෙහි යුද්ධය දිගටම කරගෙන යා යුතුව තිබෙන බවත්, බ්‍රිතාන්‍යයට හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදී සගයන්ට යුතුකම් ඉෂ්ට කල යුතු බවත් ය. නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ව්‍යවස්ථාදායක මන්ඩලයක් කැඳවීම ද ඇතුලු අනෙක් සකල ප‍්‍රශ්න, යුද්ධය “දිනන” තෙක් කල් දැමිය යුතු යයි ඔවුහු බලකර සිටියෝය. සොල්දාදුවන් යලිත් මිලිටරි විනය යටතට ගත යුතු යයි ද සන්නද්ධ කම්කරුවන් තමන් අත තිබූ සියලු අවි ආපසු දිය යුතු යයි ද ඔවුහු කියා සිටියහ.
එහෙත් කම්කරු පන්තිය තමන්ගේම ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටියහ. එය තමන්ගේ ම ස්වාධීන ක්‍රියා තුලින් ධනපති හාම්පුතුන්ගෙන් පැය අටේ වැඩ දිනයක් උදුරා ගෙන තිබුනි. ඔවුන් ෆැක්ටරි සහ වැඩපල මත යම් තරමක පාලනයක් තහවුරු කරගෙන තිබුනි. කම්කරු පන්තිය මිල පාලනයක් ද තම ජීවන තත්වයන් නඟාසිටුවන සහන ලබාදීමට වෙනත් පියවරයන් ද ඉල්ලා සිටියෝය. අන් සියල්ලටත් වඩා රුසියානු සොල්දාදුවන් මිලියන 1.75 ක් මරුමුවට පත් කර තවත් මිලියන ගනනාවකට තුවාල සිදු කල සහ කම්පනයට පත් කල යුද්ධයේ ව්‍යසනය අවසන් කරන ලෙස කම්කරුවෝ ඉල්ලා සිටියහ.
කම්කරුවන් පමනක් නොව සොල්දාදුවෝ ද සාමය ඉල්ලා සිටියහ. ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය කෘතිය තුල සඳහන් කර තිබෙන පරිදි, තමන් කලින් මියගියහොත් ඉඩම් ප‍්‍රතිසංස්කරන සහ ප‍්‍රජාතන්ත‍්‍ර නිදහසෙන් පලක් නැතිය යන නිවැරදි නිගමනයට රුසියානු ගොවි හේවායෝ එලඹ සිටියෝය.
කම්කරුවන් සහ සොල්දාදුවන්ගේ ඉල්ලීම් වඩාත් මැනවින් පිලිබිඹු කරනු ලැබුවේ, බෝල්ශෙවික බලපෑමක් සහිත කම්කරු සහ හමුදා කොටස් විසින් සම්මත කරන ලද, සෝවියට් සාභා සිය අතට බලය ගත යුතු ය යන යෝජනාව මගිනි.
යුද්ධය පිලිබඳ ප‍්‍රශ්නය ඉක්මනින්ම වේදිකාව අරක්ගෙන තිබුනි. එතෙක් යුද්ධයට රුසියාව සහභාගි වීමට වාචිකව විරුද්ධව සිටි සෝවියට් සභාවේ මෙන්ෂේවික් නයාකයන් වූ ශීද්සේ සහ සෙරටිලි ද ධනේශ්වර තාවකාලික ආන්ඩුවේ ඇමතිකමක් ලබා සිටි සමාජ විප්ලවවාදී නායක ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි ද තර්ක කලේ, පෙබරවාරි විප්ලවය ද එය අත්කරගෙන තිබුනු ජයග‍්‍රහනයන් ද රුසියාව පලමුවැනි ලෝක යුද්ධයට සහභාගි වීමේ ස්වභාවය “වෙනස්කර” තිබුනු බවය. “මෙතැන් පටන් යුද්ධය සම්බන්ධ රුසියාවේ පිලිවෙත කොල්ලකාරී නොවන බව ප‍්‍රකාශ කල ඔවුහු, දැන් එය 'ප‍්‍රජාතන්ත‍්‍රයේ' ආරක්ෂව සඳහා ද ජර්මානු සහ ඔස්ට්‍රෝ-හංගේරියානු යුදවාදයට එරෙහිව විප්ලවය සඳහා ද කරනු ලබන යුද්ධයක්” බව කියා සිටියෝ ය.
“විප්ලවවාදී ආරක්ෂනවාදයේ” මෙම ආස්ථානයේ වෛෂයික අරමුන, ජනතාව සහ සෝවියට් සභා තාවකාලික ආන්ඩුවට යටත් වීම සම්පූර්න කර ලීමය. දේශපාලන ජීවිතයට ඇතුලු වෙමින් සිටි, මේ වනවිට දේශපාලන වැටහීම අතින් සහ විඥානයේ අඩු මට්ටමකින් යුතුවූ ගොවි සොල්දාදු ජනකාය පමනක් නොව, පුලුල් ජනකොටස් අතර ද නැතැයි කිව නොහැකි බලපෑමක් මෙයින් ඇති කරනු ලැබිනි. විප්ලවයේ ජයග‍්‍රහන බාහිර ආක‍්‍රමනයෙන් ආරක්ෂා කර ගත යුතුය යන්නට යම් අර්ථයක් ඇති සෙයක් පෙනී ගියේ ය. සෙබලු සාර්ගේ කොල්ලකාරී අරමුනු වෙනුවෙන් සටන් නොකලහ. කෙසේවෙතත් ඔවුන් ප‍්‍රතිසංස්කරන, ප‍්‍රජාතන්ත‍්‍රය, සහ සාමය ලබාදීමට පොරොන්දුවූ ආන්ඩුවක් ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් සටන් කරනු ඇත.
මාර්තු 14 දා, මෙන්ෂේවික් සහ සමාජ විප්ලවවාදීන්ගේ පාලනය යටතේ පැවති, පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවේ විධායක කමිටුව “ලෝකයට ප‍්‍රකාශනයක්” නිකුත් කරමින්, රුසියාවට සාමය අවශ්‍ය නමුත් “අප අපගේම නිදහස දැඩිසේ ආරක්ෂා කරන” බව කියා සිටියේ ය. “රජුන්ගේ ද ඉඩම් හිමියන්ගේ ද බැංකුකරුවන්ගේ ද අන පරිදි, ආක‍්‍රමනයේ ද කොල්ලයේ ද උපකරනයක් ලෙස වාල්කම් කිරීම නවත්වන ලෙස!” එමගින් ජර්මන් සහ ඔස්ට්‍රියානු කම්කරුවන් ට කියා සිටියේ ය.
පසු කලෙක ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය නැමති කෘතිය තුල නිරීක්ෂනය කල පරිදි, රුසියාවේම ඉඩම් හිමියන් සහ බැංකුකරුවන් ට එරෙහිව පියවර ගැනීම පසෙක තිබියේවා, බ්‍රිතාන්‍යය සහ ප‍්‍රන්සය සමග රුසියානු තන්ත‍්‍රය පවත්වාගෙන ගිය අධිරාජ්‍යවාදී සන්ධානයන් ට එරෙහිව හෝ බ්‍රිතාන්‍ය සහ ප‍්‍රන්ස කම්කරුවන්, “රටවල් අල්ලා ගැනීමේ උපකරන” ලෙස ක්‍රියා නොකරන ලෙස හෝ ඉල්ලීම් ඉදිරිපත් නො කිරීමට වග බලාගන්නා ලදී. එසේ වුව ද මෙම ප‍්‍රකාශනය පෙට්‍රෝග‍්‍ඩ් සෝවියට් සභාව විසින් ඒකමතිකව අනුමත කරන ලදී.
මාර්තු 14 සෝවියට් විධායක කමිටුවේ ප‍්‍රකාශනය අනුමත කලවුන් අතර බෝල්ශෙවික් නියෝජිතයෝ දුසිම් ගනනක් සිටියහ. මෙම තත්වය එලඹුනේ, බෝල්ශෙවික් කමිටු ගනනාවක්ම, පෙට්‍රෝග‍්‍රෑඩ් හි විබෝග් දිස්ත්‍රික්කය වැනි බෝල්ශෙවික් පක්ෂයේ කම්කරු පන්ති බලකොටුවල ඉස්මතුවූ දරුනු නොඑකඟතාව නොතකමින්, මෙන්ෂේවික් සහ සමාජ විප්ලවවාදී ආස්ථානයන්ට අනුගත ව, අලුත් ආන්ඩුවට “විවේචනාත්මක සහාය” දීමට එකඟවූ අවස්ථා ගනනාවකට පසුවය.
ඒ වනවිට පක්ෂයේ ප‍්‍රව්දා පුවත්පතේ පාලනය ස්ටාලින් සමග එක්ව සියතට ගෙන සිටි ලෙව් කමනෙව්, බෝල්ශෙවික් පක්ෂය මත යෙදුනු ඉමහත් පන්ති පීඩනය පිලිබිඹු කරමින්, සෝවියට් සභාව “ලෝකයට” නිකුත් කල “ප‍්‍රකාශනයෙන්” දිනකට පසුව එනම් මාර්තු 15 දා, එම පුවත් පතේ පහත සඳහන් කොටස ඇතුලත් කතුවැකියක් ලිවීය. “සාමයක් තවමත් ඇති නුවූ තත්වයක් තුල ජනතාව සිය තනතුරු වල ස්ථිරසාරව පිහිටාගෙන සිටිය යුතු ය. උන්ඩයට උන්ඩයකින්, ෂෙල් වෙඩිල්ලකට ෂෙල් වෙඩිල්ලකින් උත්තර දිය යුතුය.” 4
ඊලඟ දිනයේ ස්ටාලින් මෙසේ ලිවී ය: “අපගේ සටන් පාඨය වන්නේ, යුද්ධය එපා! යන පුහු හඬ නැගීම නොවේ. විප්ලවවාදී හමුදාව, යලි විප්ලවවාදී වෙමින් පවත්නා හමුදාව, අසංවිධිත කොට අවුල් කරන්නක් නොවේ. අපගේ සටන්පාඨය වන්නේ, 'නොවරදවාම, විවෘතව හා ලෝක ප‍්‍රජාතන්ත‍්‍රයේ දෑස් හමුවේ ලෝක යුද්ධය අවසන් කිරීමට සිදුවන පරිදි යුද්ධයේ පැටලී සිටින රටවලට බල කෙරෙන සාකච්ඡා වහාම ආරම්භ කිරීම පිනිස තාවකාලික ආන්ඩුවට පීඩනය යෙදීමයි.'” 5
ප‍්‍රව්දාවේ පිලිවෙතට බෝල්ශෙවික් පක්ෂයේ සමහර කොටස් විරුද්ධ වුහ. පක්ෂය තුල, තාවකාලික ආන්ඩුව පිලිගැනීමට ද මෙන්ෂෙවික් සහ සමාජ විප්ලවවාදීන් යන දෙගොල්ල සෝවියට් සභාව මත පවත්වාගෙන ගිය පාලනයට ගරු කිරීමට ද කම්කරු පන්තියේ අරගල සීමාකොට කප්පාදු කිරීමට ද යොමුවූ ප‍්‍රවනතාවක් ද බෝල්ශෙවික් පක්ෂය තුල වැඩෙමින් තිබුනු බවට සැකයක් නැත.
ලෙනින් ඈත සිට එවූ ලියුම් තුල ඉදිරිපත් කර තිබුනු දේශපාලන පිලිවෙත - ධනපති ආන්ඩුවට සහයෝගය නොදීම, යුද්ධය කෙරෙහි විරෝධය නොවෙනස්ව පවත්වාගෙන යාම සහ සෝවියට් සභා සහ කම්කරු පන්තිය විසින් බලය අත්පත් කරගැනීම - බෝල්ශෙවික් නායකත්වය විසින් නොතකා හැර තිබුනි. ප‍්‍රව්දාවේ පලකරන ලද්දේ ලෙනින්ගේ ලියුම් වලින් එකක් පමනි. එය ද බොහෝ දුරට කප්පාදු කර තිබුනි. ඉවත් කර තිබුනු කොටසක් මෙසේ ය: තාවකාලික ආන්ඩුවට සහාය දෙන කවරෙකු වුවත් “කම්කරුවන්ට, කම්කරු පන්ති ව්‍යාපාරයට, නිදහස සහ සාමය සඳහා අරගලයට ද්‍රෝහියෙක් වන්නේය.” 6
කමනෙව් සහ ස්ටාලින්ගේ තර්කය වූයේ තාවකාලික ආන්ඩුවට විවේචනාත්මක සහයෝගය දීම මගින්, පෙබරවාරි ජයග‍්‍රහන තහවුරු කර, බෝල්ශෙවිකයන්ට අනාගතයේදී “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය” ගොඩනැගීම සඳහා හොඳම කොන්දේසි නිර්මානය කරන පරිදි, “රුසියාවේ ධනේශ්වර විප්ලවය සම්පූර්න” කරනු ඇති බවය.
ට්‍රොට්ස්කි ලියු පරිදි “කමනෙව්-ස්ටැලින් කල්ලිය අනුක‍්‍රමයෙන්, ඊනියා විප්ලවවාදී-ප‍්‍රජාතන්ත‍්‍රයේ වාම පාර්ශවය බවට පත් වෙමින්, ධනේශ්වරය මතට පාර්ලිමේන්තු ලොබියේ සිට බලපෑම් කරන යාන්ත‍්‍රනයක කොටසක් වෙමින් සිටියහ.” 7
මාර්තු මස අවසන්වනවිට, බොහෝ කලක් බෙදී පැවතී බෝල්ශෙවික් සහ මෙන්ෂෙවික් ප‍්‍රවනතා, “විප්ලවවාදී ආරක්ෂනවාදයට” ද තාවකාලික ආන්ඩුවට ද විවේචනාත්මකව පමනක් නොව වෙනත් අයුරින් ද අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීමේ පදනම මත, යලි එක්සත් කිරීම සඳහා විවිධ මට්ටම් වල දී සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් තිබුනි.
සෝවියට් සභාව තුල පක්ෂ, තාවකාලික ආන්ඩුවට බලය පවරා දීමේ ව්‍යායාමයක නිරතව සිටින තතු තුල ධනේශ්වර පක්ෂ තුල කොටස්, හිටපු සාර්වාදී ජෙනරාල් වරුන් සමග කුමන්ත‍්‍රනය කරමින් කල් බැලුවේ, විප්ලවය ඇතිතරම් පස්සට තල්ලු කර, කම්කරු පන්තිය ලෙයින් මැඩලීමේ අවස්ථාව එලඹෙන තෙක් ය.
සෝවියට් සභා ද විශේෂයෙන්ම බෝල්ශෙවික් වරුන්ගේ ද සෑම සම්මුතියක් සමගම ප‍්‍රති විප්ලවයේ අන්තරාය වැඩි විය.
දේශපාලන නායකයෙකු හැටියට තමාගේ තීන්දු හා ක්‍රියාවන්ගේ විභව බාලපෑම හා වගකීම පිලිබඳ මනා වැටහීමක් ලෙනින්ට තිබුනි. ඔහු තත්වයේ හදිසි භාවය ග‍්‍රහනය කර ගෙන සිටියේය. බෝල්ශෙවික් පක්ෂය ධනේශ්වර පන්තියේ ද යුද්ධය පවත්වාගෙන යාමේ ද මුක්කුවක් බවට පරිවර්තනය වෙමින් තිබුනි.
මාර්තු 19දා සූරිච් නුවර රුසියානු විගාමිකයන් අතර පැවති සාකච්ඡාවකදී මෙන්ෂෙවික් නායක ජූලියස් මාටොව් යෝජනා කලේ, ඔවුන්ට ජර්මනිය හරහා ගමන් ගැනීමට ජර්මානු ආන්ඩුව සමග එකඟත්වයක් ඇතිකරගත හැකි බවයි. එතැන් සිට ඔවුන්ට බෝල්ටික් මුහුද තරනය කර ස්වීඩනයට හා එතැන් සිට ෆින්ලන්තය හරහා රුසියාවට ගමන් කල හැකි විය. මාටෝව් මෙසේ ද යෝජනා කලේය, ඊට හිලව් වශයෙන් රුසියාවේදී ජර්මානු යුද සිරකරුවන් නිදහස් කරන ලෙසට පෙත්සම් ව්‍යාපාරයක් ගෙන යන බවට ඔවුන්ට පොරොන්දු විය හැකිය.
ලෙනින් මෙය වටහා ගත්තේය. ජර්මනිය හරහා රුසියාවට ආපසු එන ඕනෑම කෙනෙකු ඊනියා “සතුරා” ගෙන් ආධාර ලැබුවෙකි යයි මඩ ගැසීමට රුසියානු ජාත්‍යෝත්තමවාදීන් යත්න දරන බව ද ලෙනින් මනාව දැන සිටියේ ය. එහෙයින් ලෙනින් තම ගමනේ කොන්දේසි පාරදෘශ්‍යද විය යුතු යයි ද ඒවා විප්ලවවාදී මූලධර්ම කිසි ලෙසකිනුත් සම්මුති නොගැස්විය යුතු යයි ද අවධාරනයෙන් කියා සිටියේ ය. මෙම කොන්දෙසි වලට ස්විට්සර්ලන්ත මාක්ස්වාදියෙකු වූ ෆ්‍රීට්ස් ප්ලැටන්, සූරිච් හි ජර්මානු තානාපති කාර්යාලය සමග සාකච්චා කොට එකඟ විය.
කෘප්ස්කායාගේ මතක සටහන් අනුව ඒවා මෙසේ ය:
* විදෙස්ගත රුසියානුවන් ට, ඔවුන් යුද්ධය කෙරේ දරන ආස්ථානය නොතකා ජර්මනිය හරහා ගමන් කිරීමට ඉඩ දිය යුතුවේ.
* මොවුන් ගෙන යන දුම්රියට ප්ලැටන්ගේ අවසරයකින් තොරව කිසිවෙකුටත් ඇතුලු වීමට ඉඩ නොදිය යුතුය.
* ඔවුන්ගේ ගමන් මලු ද ගමන් බලපත‍්‍ර ද පිරික්සීමට ලක් නොකල යුතුය.
* තමන්ගේ ගනනට සමාන ගනනක් රුසියාව තුල සිරවී සිටින ජර්මානු සහ ඔස්ට්‍රියානු වැසියන් නිදහස් කල යුතු යයි රුසියාව තුල උද්ඝෝෂනය කිරීමට රුසියානුවෝ එකඟ වෙති. 8
ලෙනින් සහ තවත් 29 දෙනෙකු ද කෘප්ස්කායා, ඉනෙස්සා ආමන්ඩ් සහ ග්‍රිගොරි සිනොවියෙව් යන බෝල්ශෙවික් නායකයන් ද රැගත් ඊනියා “මුද්‍රා තැබූ දුම්රිය” මාර්තු 27 දා සූරිච් නගරයෙන් පිටත්විය.
මාර්තු 31 දා දුම්රිය බෝල්ටික් මුහුද පසුකොට ස්වීඩනයට ලඟාවිය. එතනින් ෆින්ලන්තයට ඇතුලුවූ ඔවුහු, දුම්රියෙන් පෙට්‍රොග‍්‍රෑඩ් කරා සේන්දු වූහ. “අප එනකොටම සිරභාරයට ගනිවී දැ” යි ලෙනින් ඇසු කල්හි ඔහුගේ සහෝදරවරුන් “මඳ- සිනා” පෑ බව කෘප්ස්කායා සිහිපත් කරයි.
ලෙනින් රුසියාවේ පෙට්‍රොග‍්‍රෑඩ් නගරයේ ෆින්ලන්ත දුම්රිය ස්ථානයට පැමිනුනේ 1917 අප්‍රේල් 3 දා ය.
අත් අඩංගුවට ගැනීම කෙසේ වෙතත්, බෝල්ශෙවිකයන්ට පක්ෂපාති කම්කරුවන් සහ සොල්දාදුවන් දහස් ගනනක් විසින් රෝස මල් කලඹක් පිරිනමමින් ලෙනින් පිලිගනු ලැබින. සෝවියට් සභා වෙනුවෙන් ඔහු පෞද්ගලිකව පිලිගනු ලැබුවේ මෙන්ෂෙවිකයෙකු වන ඇලෙක්සැන්ඩර් චෙයිඩ්ස්කි විසිනි. ඔහු ලෙනින්ගෙන් ඉල්ලා සිටියේ, සෝවියට් විධායක මන්ඩලය ගෙනගිය වැනෙන සුලු පිලිවෙතට සහාය දෙන ලෙසයි.
ඒ වෙනුවට ලෙනින්, සමාජවාදී විප්ලවය සඳහා උද්වේගවත් ආයාචනයක් කලේය. ඔහු පුද්ගලිකව කමනෙව්ට, ප‍්‍රව්දාව තුල පවත්වා ගෙන ගිය ආරක්ෂනවාදී, යුද ගැති ආස්ථනය පිලිබඳව දැඩි ලෙස චෝදනා කලේය.
ඉන් ඉක්බිතිව “පක්ෂය ප‍්‍රතිසන්නද්ධ කිරීම” ලියොන් ට්‍රොට්ස්කි විසින් මෙසේ අංගලක්ෂනය කරන ලදී.
ඊලඟ දිනයවූ අප්‍රේල් 4 දා ලෙනින්, කම්කරුවන් ගේ සහ සොල්දාදුවන් ගේ පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවෙහි බෝල්ශෙවික් කම්කරු හා සෙබල නියෝජිතයන් ගේ රැස්වීමකට සිය “අප්‍රේල් ප‍්‍රවාද” ඉදිරිපත් කලේ ය. ඊට පසුව ඔහු බෝල්ශෙවිකයන්ගේ ද පිලිමල් මෙන්ෂෙවිකයන් ගේ ද ඒකාබද්ධ රැස්වීමක් අමතා ද එම ප‍්‍රවාද ඉදිරිපත් කලේ ය.
අප්‍රේල් ප‍්‍රවාද යනු මොනවාද ? එම ලියවිල්ලට කරුනු 10ක් ඇතුලත් විය. එය තාවකාලික ආන්ඩුව සහ යුද්ධය කෙරේ ලෙනින්ගේ ආකල්පය ගෙනහැර දැක්විය. නව හා ඉහල වර්ගයේ රාජ්‍ය ආකෘතියක්! ලෙස සෝවියට් සභාවල ඓතිහාසික වැදගත් කම පිලිබඳ සිය තක්සේරුව ද ලෙනින් ඉදිරිපත් කලේ ය. රුසියාවේ කම්කරු පන්තිය සහ ගම්බද ගොවි ජනයා මුහුන දී සිටි තත්වයන් ට විසඳුම් වශයෙන් ගත යුතුව තිබුනු හදිසි ආර්ථික පියවර ගැන එහි සඳහන් විය. එය තම පක්ෂය රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලේබර් පක්ෂය යන නම වෙනුවට කොමියුනිස්ට් පක්ෂය යන නම ගත යුතු යයි යෝජනා කලේය.
අවසාන එහෙත් අන් සියල්ලටත් වැඩියෙන් ලෙනින් අවධාරනය කලේ, බෝල්ශේවිකයින් යුද්ධයේ දී තම තමන්ගේ රටවල ධනපති පන්ති වලට සහාය දී සමාජවාදය පාවාදුන් දෙවන ජාත්‍යන්තරයේ පක්ෂ වලට පමනක් නොව, එම පක්ෂවලින් බිඳී වෙන්වීම ප‍්‍රතික්ෂේප කල “මාධ්‍යමිකයන්ට” ද විරුද්ධව නව විප්ලවවාදී ජාත්‍යන්තරයක් ගොඩ නැගීමට පියවර ගත යුතුව ඇති බවය.
දැන් මම අප්‍රේල් ප‍්‍රවාද සමාලෝචනය කරමි. 9
1 ප‍්‍රවාදය: යුද්ධය පිලිබඳ පක්ෂයේ ආස්ථානය වෙනස් නොකලයුතු වේ.
ල්වොව් සහ සමාගමේ අලූත් ආන්ඩුව යටතේ, එම ආන්ඩුවේ ධනේශ්වර ස්වභාවය කරනකොටගෙන, රුසියාව නිසැකවම අධිරාජ්‍යවාදී කොල්ලයේ යුද්ධයක නිරතව සිටින තතු තුල, මෙම යුද්ධය කරේ අප දරන ආකල්පය තුල, “විප්ලවවාදී ආරක්ෂනවාදයට” අංශු මාත‍්‍රවූ හෝ සහනයක් දීම කල නොහැකි වේ.
රටවල් ඈඳා ගැනීම සඳහා කරන්නක් හැටියට නොව, (ආක‍්‍රමනිකයන් ගෙන්) ආරක්ෂාව සඳහා පමනක් කෙරෙන අත්‍යවශ්‍ය එකක් යයි යුද්ධය දැක, එය කෙරේ විප්ලවවාදී ආරක්ෂනවාදී පිලිවෙතක් අනුගමනය කිරීම ගැන ඇත්තටම රැවටී සිටින පුලුල් ජනකොටස් ගැන සලකා බලන කල්හි, ඔවුන් ධනේශ්වරය විසින් රවටනු ලැබ සිටින බව සලකා බලන කල්හි, සුවිශේෂ වූ දෘඪ භාවයකින් ද ස්ථිරසාර බවකින් ද ඉවසිල්ලකින් ද ඔවුන්ට ඔවුන්ගේ වැරැද්ද පෙන්නුම් කරදී, ප‍්‍රාග්ධනය සහ අධිරාජ්‍යවාදී යුද්ධය ද අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය පැහැදිලි කර දෙමින්, ප‍්‍රචන්ඩත්වය තුලින් ඇති කරන සාමයක් නොව, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමයක් ඇති කිරීමට නම් ධනවාදය පෙරලා දැමීම අනිවාර්ය බව පෙන්නුම් කිරීම අවශ්‍යය.
මෙම කාරනය සම්බන්ධයෙන් ආවධාරනය කල යුත්තේ, ධනේශ්වර පන්තියේ කොල්ලකාරී අභිලාශයත්, විප්ලවවාදී ආරක්ෂනවාදී පිලිවෙතට අනුකූලතාවය දැක්වූ ජනතාවගේ “අවංක භාවයත්” අතර ලෙනින් දුටු ප‍්‍රතිවිරෝධය තීරනාත්මක වූ බවය. කම්කරු පන්තිය තුල පවත්නා ස්වාභාවික ධනේශ්වර විඥානයට එරෙහිව, සමාජවාදී විඥානය පිටත සිට කම්කරු පන්තිය තුලට ගෙන එමින් හඳුන්වා දිය යුතුව ඇතැයි “කලයුත්තේ කුමක්ද?” කෘතියේ ලෙනින් කරන ලද අවධාරනයේ සමස්ත උරුමය මත බෝල්ශෙවික් පක්ෂය පදනම් විය.
ලෙනින් සහ බෝල්ශෙවික් වරු සෑමවිටම අවධාරනය කලේ, මාක්ස්වාදී පක්ෂය හැම තත්වයක් තුලම කම්කරු පන්තියේ ධනේශ්වර විඥානයට විරුද්ධ විය යුතු යයි ද “ඉවසිලි සහගතව පැහැදිලි කිරීම” මගින් කම්කරුවන් සමාජවාදී විඥානය කරා දිනාගත යුතුව ඇතැයි ද යන්නයි.
බෝල්ශෙවිකයන් විසින් දශක ගනනාවක් තිස්සේ ශික්ෂනය කරනු ලැබුවා වූ ද සිය අනුහසට දිනාගනු ලැබුවා වූ ද දේශපාලනිකව දියුනු කම්කරුවන් අතර ඉහත කී අති මූලික වැටහීම යලි මතකයට නඟා ගැනීම, පවත්නා මානසිකත්වයට අනුගත වීම සඳහා පැවති උග‍්‍ර පීඩනයේ තතු තුල තීරනාත්මක බලපෑමක් ඇති කලේ ය.
ලෙනින් බෝල්ශෙවික් කාර්යධරයන්ට කියා සිටියේ පක්ෂය වර්තමානයේ දී සුලුතරයක් වීම නොතකා ජනතාවට සත්‍යය ප‍්‍රකාශ කල යුතු බවයි. පන්ති අරගලයේ තර්කනය, කෙරෙන්ස්කිට සහ මෙන්ෂෙවිකයන්ට තමන්ගේ ප‍්‍රති-විප්ලවවාදී ස්වාභාවය එලිදරව් කිරීමට බල කෙරෙනු ඇත. තීරනාත්මක මොහොතේදී පක්ෂයේ ක්‍රියාමාර්ගය වෛෂයික වර්ධනයන් සමග සම්පාත වෙමින්, බෝල්ශෙවිකයන්ට කම්කරු පන්ති ජනකාය තමන් වෙතට දිනා ගැනීමට අවස්ථාව උදා කරනු ඇත.
2 ප‍්‍රවාදය: ලෙනින්, අන් සියල්ල්ටත් වඩා ලියොන් ට්‍රොට්ස්කි හා සම්බන්ධ ”අඛන්ඩ” හෙවත් ”නොනවතින විප්ලවයේ” න්‍යා ය පිලිගැනීම.
වර්තමාන රුසියාව තුල සුවිශේෂ ලක්ෂනය වන්නේ, රට විප්ලවයේ ප‍්‍රථම අවධිය පසුකරමින් සිටීමයි. එනම්, කම්කරු පන්තියේ පන්ති විඥානය හා සංවිධානය වීමේ නොසෑහුම් කම නිසා බලය ධනපති පන්තිය අතට පත් කිරීමය. එතැන් සිට දෙවන අවධිය කරා මාරු වෙද්දී, කම්කරු පන්තිය හා ගොවි ජනතාවගේ දුප්පත්ම කොටස් අතට බලය පවරන බවත් ය.
ට්‍රොට්ස්කිට එරෙහිව ලෙනින් තර්ක කලේ, රුසියාවේ ආර්ථික සහ සමාජ පසුගාමීත්වය, රට තුල කම්කරු පන්ති පාලනයක් -කම්කරු පන්ති ඒකාධිපතිත්වයක්- පිහිටුවීමට වෛෂයික බාධාවක් යයි කියමිනි. ජනගහනයෙන් ඉතා වැඩි කොටස සැදුම් ලත් ගම්බද ගොවිජනතාව සුලු ධනේශ්වර පන්තියට අයත් වූ අතර, ඔවුන්ගේ අභිලාශය, ඉඩම් ප‍්‍රතිසංස්කරන සහ ප‍්‍රජාතන්ත‍්‍රම අයිතීන් ය. ඔවුන්ට අවශ්‍යයෙන්ම සමාජවාදය කෙරෙහි ලැදියාවක් නොවීය.
මේ අනුව ලෙනින් ගොඩනැගූ න්‍යාය වූයේ, රුසියාව තුල පැන නගිනු ඇත්තේ කිසියම් ආකාරයේ අතරමැදි තන්ත‍්‍රයක්, “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වයක්” යයි ද එම තතු තුල වඩාත්ම රැඩිකල් ගොවීන් සමග සන්ධානයකින් කම්කරුවන්ගේ සමාජවාදී ව්‍යාපාරය කටයුතු කරනු ඇත්තේ, හැකි තාක් දුරකට ඉඩම් ප‍්‍රතිසංස්කරනයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුලුල් කිරීමට බවත් ය. මෙය රට තුල අතිශයින්ම වේගවත් ආර්ථික සංවර්ධනයට ද කම්කරු පන්තියේ ප‍්‍රසාරනයට ද තුඩු දී අනාගතයේදී සමාජවාදී පියවරයන් ක්‍රියාත්මක කිරීමට හොඳම කොන්දේසි නිර්මානය කරනු ඇත.
ලෙනින් උත්තර දී නොතිබුනු කාරනය නම්, කුමන පන්තියක්, එහෙයින් කුමන පන්තියක අවශ්‍යතාවයන්, “එවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වයක්” තුල ආධිපත්‍යය දරනු ඇත් ද යන්නයි. එවන් තන්ත‍්‍රයක් විසින්, ධනපති පන්තිය සහ කම්කරු පන්තිය අතර පන්ති ගැටුම කෙරේ කවර ප‍්‍රතිචාරයක් දක්වනු ඇත ද යන්නයි.
1917 අප්‍රේල්වල ලෙනින්, පැහැදිලිවම කම්කරු රාජ්‍යයක් පිහිටුවීමට පක්ෂව ඉදිරිපත් විය. එවැන්නක් ඉඩම් ප‍්‍රතිසංස්කරන සහ ප‍්‍රජාතන්ත‍්‍රය උපරිමයට ක්‍රියාත්මක කිරීම මගින් ගොවි ජනතා බහුතරයකගේ සහයෝගය දිනාගෙන එය පවත්වා ගනු ඇත.
රුසියාව හුදෙකලා කොට ගත් කල්හි සහතිකෙන්ම සංලක්ෂිත වූයේ, ආර්ථික සහ සමාජ පසුගාමීත්වය විසිනි. එහෙත්, ලෝක පරිමානව ගත් කල්හි, ලෙනින් තක්සේරු කරගෙන තුබුනු පරිදි, අධිරාජ්‍යවාදී යුද්ධය විදර්ශනය කලේ -එකාග්‍රිත ලෝක ආර්ථිකය තුල- සමාජවාදය සඳහා කොන්දේසි මුලුමනින්ම මුහුකුරාගොස් තිබුනු බවයි. රුසියාවේ කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ බලය අල්ලා ගෙන එය ලෝක විප්ලවයේ කාර්යය සඳහා පාවිච්චි කිරීමයි. රුසියාවේ වර්ධනය සිදුවනු ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදී සැලසුම් කරනය වර්ධනය වීමේ කොටසක් ලෙසය.
බෝල්ශෙවික් පක්ෂය ඇතුලත විවාදවල දී එම ආස්ථානය නිසා ලෙනින්ට යුක්ති සහගතව ම “ට්‍රොට්ස්කිවාදියෙක්” ලෙස චෝදනා කරන ලදී. එහි සියලු මූලධර්ම අතින් අප්‍රේල් ප‍්‍රවාද, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සමග සම්පාත විය.
3 ප‍්‍රවාදය: තාවකාලික ආන්ඩුවට සහාය දෙනු එපා. සෝවියට් සභාවේ නායකත්වයට පමනක් නොව කමනෙව් -ස්ටැලින් කන්ඩායමට ද විනාශකාරීවූ චෝදනාවක් පරිදි අප්‍රේල් ප‍්‍රවාද නොසඟවා ප‍්‍රකාශකලේ:
තාවකාලික ආන්ඩුවට ආධාර නොකරනු. එහි පොරොන්දු, විශේෂයෙන්ම රටවල් ඈඳා නොගැනීමට දෙන පොරොන්දු බොරු බව එලිදරව් කරනු.
මෙම ආන්ඩුව පිලිබඳ මිත්‍යාවන් වගාකරමින්, “ඉල්ලිම්” ඉදිරිපත් කිරීම මගින් එය පිලිබඳ මිත්‍යාවන් වගාකිරීම නවතා, මේ ආන්ඩුව ධනපතීන්ගේ ද අධිරාජ්‍යවාදීන්ගේ ද ආන්ඩුවක්ය යන්න එලිදරව් කිරීම සඳහා කටයුතු කල යුතු ය.
4වන ප‍්‍රවාදය: බලවේගයන්ගේ තුලනය පිලිබඳව ද සෝවියට් සභාවල අර්ථභාරය පිලිබඳව ද වෛෂයික තක්සේරුවක්.
කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභා තුල අපේ පක්ෂය මේ වනතෙක් කුඩා සුලුතරයක්, එයට එරෙහිව සකල සුලු ධනේශ්වර අවස්ථාවදී කොටස්: පොපියුලර් සෝෂලිස්ට්, සෝෂලිස්ට් රෙවලූෂනරි පක්ෂවල සිට සංවිධාන කොමිටිය, (ශිද්සේ සහ සෙරටිලි සෙක්ලොව්) යනාදී මේ සියලු දෙනා, එනම් කම්කරු පන්තිය අතර ධනේශ්වරයේ අනුහස වගා කරන කොටස් පිලිබඳ කාරනය හඳුනා ගැනීම.
විප්ලවවාදී ආන්ඩුවකට තිබිය හැකි එකම ආකෘතිය නම් කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභා බව ද එහෙයින් අපගේ කර්තව්‍යය, වත්මන් ආන්ඩුව ධනේශ්වරයේ බලපෑමට නැමෙන සැටි හා එහි ස්වභාවය, ඉවසිලි සහගත, ක‍්‍රමානුකූල, සහ ස්ථිරසාර ලෙස මහජනතාවට වටහා දීමය. ආන්ඩුවේ උපායන්ගේ සාවද්‍යතාව පිලිබඳ නිරන්තර පැහැදිලි කිරීමක්, විශේෂයෙන් ම ජනතාවගේ ප‍්‍රායෝගික උවමනාකම් වලට අදාල වන පරිද්දෙන් සිදුකල යුතුව ඇත.
අප සුලුතරය ලෙස සිටිනතාක් අප කරන්නේ වැරදි විවේචනය කරමින් ම මුලුමහත් රාජ්‍ය බලයම කම්කරුවන්ගේ සෝවියට් සභා අතට මාරු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමයි. සිය අත්දැකීම් වලින් උගෙන වැරදි ජය ගැනීමට මහජනතාවට ආධාර කිරීමයි.
මහාචාර්ය ඇලෙක්සැන්ඩර් රබිනෝවිච් පෙන්වාදුන් පරිදි: “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය” පිහිටුවීමට අවශ්‍ය සාධක නැති හෙයින්, තාවකාලික ආන්ඩුවට විවේචනාත්මක සහාය දිය යුතුව ඇත යන නිගමනය කරා තල්ලුවෙමින් පැවති සංවිධානයක් තුල ලෙනින්ගේ මෙම ප‍්‍රකාශ “පුපුරනසුලු” බලපෑමක් ඇති කලේය.
ලෙනින් ඉදිරිපත් කලේ, සෝවියට් සභා අතට බලය ගත යුතු බව පමනක් නොව, සෝවියට් බලය සඳහා අරගලය වර්ධනය කල හැක්කේ බෝල්ශෙවිකයන් විසින් සෙසු සියලු ප‍්‍රවනතාවලට එරෙහිව ගෙන යන අරගලයකින් පමනක් බව ද වේ.
5 වන ප‍්‍රවාදය: සෝවියට් සභා වඩා ඉහල රාජ්‍ය ආකෘතියක් බව
තමන් පිහිටුවීමට යෝජනා කරන්නේ ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා නව, වඩා ඉහල රාජ්‍ය බලයක් වන ගොවි ජනතාවගේ වඩා දිලිඳු කොටස් වලට නායකත්වය දෙන කම්කරු පන්ති එකාධිපතිත්වය බව පැහැදිලි කල ලෙනින් අප්‍රේල් ප‍්‍රවාදයේ 5 වැන්නේදී මෙසේ පැහැදිලි කලේය:
පාර්ලිමේන්තු සමූහාන්ඩුවක් එපා! කම්කරු පන්තියේ නියෝජිතයන්ගෙන් සැදුනු සෝවියට් වල සිට පාර්ලිමේන්තු සමූහාන්ඩුවක් කරා ආපසු යාම පරාගාමී පියවරක් වනු ඇත, ඒ වෙනුවට අවශ්‍ය වන්නේ මුලු රට පුරා කම්කරුවන්ගේ සහ දිලිඳු ගොවි ජන නියෝජිතයන්ගෙන් ඉහල සිට පහලට සමන්විත සෝවියට් සභාවන්ගේ සමූහාන්ඩුවකි.
පොලිසිය, හමුදාව හා නිලධරය අහෝසි කිරීමය.
තෝරාගත් හා ඕනෑම අවස්ථාවක ඉවත් කල හැකි සියල්ලන් ඇතුලු සියලු නිලධාරීන්ගේ වැටුප්, ස්ථාපිත කම්කරුවෙකුගේ සාමාන්‍ය වැටුප නොඉක්මවිය යුතුය.
ගොවීන්ගේ සහාය දිනාගත හැකිවන පරිදි මහා ඉඩම්හිමියන් ගේ ඉඩම් අත්පත්කර ගෙන, රැඩිකල් ලෙස ක්‍රියාත්මක කෙරෙන ඉඩම් ප‍්‍රතිසංස්කරන, ධනපති පන්තියෙන් අත්පත් කරගත් මූල්‍ය, නිෂ්පදනය සහ බෙදාහැරීමේ සම්පූර්න පාලනය සෝවියට් සභා මගින් කම්කරුවන් අතට ගැනීම ද ඊලඟට ගෙනහැර දැක්වේ.
6 වන ප‍්‍රවාදය: ඉඩම් රජය සතුකිරීම ද විශාල දේපල ඉඩම් හිමි පැලැන්තියෙන් අත්පත් කර ගෙන ගොවිජනතාවගේ ඉඩම් පිපාසය සන්තර්පනය කිරීමට යෝජනා කලේය.
7 වන ප‍්‍රවාදය: සියලු බැංකු සෝවියට් සභා විසින් පාලනය කරන තනි බැංකුවක් යටතට ගැනීම.
8 වන ප‍්‍රවාදය: නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරු පාලනය යටතට ගැනීම.
9 වන ප‍්‍රවාදය: පක්ෂයේ ක්‍රියා මාර්ගය සෝවියට් බලය සඳහා සටන සමග ගැලැපෙන ආකාරයට වෙනස් කිරීමටත් පක්ෂ නාමය රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලේබර් පක්ෂය වෙනුවට කොමියුනිස්ට් පක්ෂය ලෙස වෙනස් කිරීමටත් පක්ෂ සම්මේලනයක් කැඳවීමට යෝජනා කිරීම.
10 වන ප‍්‍රවාදය: නව ජාත්‍යන්තරයක්.
එය සරලව මෙසේ පැවසීය: “අප නව විප්ලවවාදී ජාත්‍යන්තරයක් නිර්මානය කිරීමට ආරම්භකත්වය ගත යුතුය. එය සමාජ-ජාතිවාදීන්ට ද “මධ්‍යයට” ද විරුද්ධ ජාත්‍යන්තරයකි.
ලෙනින් “මධ්‍යය” ලෙස නිර්වචනය කලේ, දෙවන ජාත්‍යන්තරය තුල ජාත්‍යෝත්තමවාදීන් (“ආරක්ෂකවාදීන් ද ජාත්‍යන්තරවාදීන් ද අතර වැනෙන”) “ප‍්‍රවනතාවයයි”. ඔහු නම් කල එම ප‍්‍රවනත්වයේ නියෝජිතයින් අතර ජර්මනියේ කෞට්ස්කි සහ සමාගම ද ප‍්‍රන්සයේ ලෝන්ජුවේ සහ සමාගම ද ඉතාලියේ තුරාටි ඇතුලූ සමාගම ද බ්‍රිතාන්‍යයේ මැක්ඩොනඩ් ඇතුලු සමාගම ද වූ අතර රුසියවේදී අතිශය පුපුරන සුලූුආකාරයකට මෙම ප‍්‍රවනතාවය ලෙස ලෙනින් නම් කලේ, ඊට දින කීපයකට පෙර ස්ටාලින් ඉදිරිපත් කල එක්සත් වීමේ යෝජනාවක් උඩ බෝල්ශෙවික් කමිටු සමග සාකච්ඡා කරමින් සිටි ශිකිද්සේ සහ සමාගමයි.
මෙම වාර්තාවට සවන් දුන් සෝවියට් සභාවේ මෙන්ෂේවික් නියෝජිතයන් තුල ජනනය වූ ප‍්‍රතිරෝධය, ඊට සවන් දුන් බෝල්ශෙවිකයින්ගේ ප‍්‍රතික්‍රියාවට වඩා අතිශයින් උග‍්‍ර විය. මෙන්ෂේවික් සුඛානොව් සිය මතක සටහන් තුල ප‍්‍රකාශ කල පරිදි ලෙනින්ගේ වාර්තාව, “පිස්සු මිනිසෙකුගේ වල්පල්” හා “ප‍්‍රාථමික ගනයේ අරාජකවාදයක්” ලෙස හංවඩු ගසනු ලැබින. මෙන්ෂෙවික් නායක කොබලෙව් පැවසුවේ, “ව්‍යාපාරයේ සාමාජිකත්වයෙන් එලියට විසිවී ඉන්න එකෙක්” යනුවෙනි. 10
ලෙනින්ට බෝල්ශෙවික් පක්ෂය තුලින් ක්ෂනික සහායක් ලැබුනේ නැත. එහෙත් ඔහු කිසිසේත්ම “අතීතයට අයත් වූවෙක්” ද නොවීය. ඔහු දේශපාලන තත්වයට කල මැදිහත් වීම තීරනාත්මක බලපෑමක් ඇති කලේය.
අප්‍රේල් 6දා මධ්‍යම කාරක සභා කමිටුවක දී කමනෙව් සහ ස්ටාලින් යන දෙදෙනාම ලෙනින්ට විරුද්ධ වූහ.
අප්‍රේල් 7 දා, ලෙනින් ගේ ප‍්‍රවාද ප‍්‍රව්දාවේ පලකරන ලදී; එහෙත් ඒවා දැක්වුනේ හුදෙක් ලෙනින්ගේම මත හැටියටය.
එහෙත් සාකච්ඡාව හා යලි කාන්ඩ ගැසීම පක්ෂය තුල ඒ වන විටත් සිදුවෙමින් තිබුනි. අප්‍රේල් 7දාම සෝවියට් විධායක කමිටුවේ දී බෝල්ශෙවික් නියෝජිතයන් 11 දෙනෙක් සහ තවත් අය, තාවකාලික ආන්ඩුවට “විවේචනාත්මක සහාය” දීමේ ආස්ථානයෙන් ඉවත් වී, යුද්ධය පවත්වාගෙන යාම සඳහා මෙන්ෂේවික්/එස්ආර් බහුතරය තාවකාලික ආන්ඩුවට නය ගැනීම සඳහා සෝවියට් සභාවේ අනුමැතිය පල කල ඊනියා “විමුක්තියේ නයට” විරුද්ධව ඡන්දය දුන්හ.
අප්‍රේල් 8 දා, ප‍්‍රව්දා කතෘ මන්ඩලය වෙනුවෙන් ලියු ලිපියක දී කමනෙව්, අප්‍රේල් ප‍්‍රවාදයන්ට අභියෝග කිරීමට උත්සාහ කරමින් මෙසේ ලිවීය:
“ලෙනින් සහෝදරයාගේ පොදු සැලසුම ගතහොත් අපට පෙනී යන්නේ එය, ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය සම්පූර්නය” යන උපකල්පනයෙන් මුල පුරා, වත්මන් විප්ලවය සමාජවාදී විප්ලවය කරා වහාම ප‍්‍රතිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කරන බවය. එය පිලිගත නොහැකිය. 11
අප්‍රේල් 8 සහ 13 අතර ලෙනින්, ඔහුගේ උපාය පිලිබඳ ලිපි නමින් කමනෙව්ගේ ආස්ථානයට පිලිතුරු දුන්නේ ය. පෙට්‍රොග‍්‍රෑඩ් නුවර බෝල්ශෙවික් පක්ෂයේ නායකත්වය තුල බෙදාහැරුනු එය, අප්‍රේල් 24-29 අතර පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට පෙරාතුව පොත් පිංචක් ලෙස මුද්‍රනයකොට බෙදා හරින ලදී.
උපාය පිලිබඳ ලිපි යන කෘතියේ දී ලෙනින් විශේෂයෙන්ම අවධානය යොමු කලේ, මේවන විට කමනෙව් සහ පක්ෂයේ තවත් අය ආරක්ෂා කරමින් සිටි, “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය” යන පැරැනි බෝල්ශෙවික් ආස්ථානයට එරෙහිව අප්‍රේල් ප‍්‍රවාද වලින් කරන ලද වෙනස විදහා දැක්වීමටය.
ලෙනින් අවධාරනය කල පරිදි පෙබරවාරි විප්ලවය, තාවකාලික ආන්ඩුවේ ස්වරූපයෙන් ධනේශ්වර පන්තිය අතට බලය මාරු කලේය. කමනෙව්ට එරෙහිව ඔහු ලිව්වේ, “ඒ තාක් දුරට” ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රක විප්ලවය “සමාප්ත වී ඇත” යනුවෙනි.
යාන්ත්‍රික කුතර්කවලට එරෙහිව බෝල්ශෙවික් පක්ෂය සෑමවිටම අවධාරනය කලේ, “ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍ර” විප්ලවය සාක්ෂාත් කරගත හැකි එකම මග, “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය” හරහා පමනක්ය යන්නයි. ලෙනින් මෙසේ පිලිතුරු දුනි.
මගේ පිලිතුර නම්: සමස්තයක් ලෙස බෝල්ශෙවික් සටන්පාඨ හා අදහස් ඉතිහාසය විසින් සනාථ කරනු ලැබ ඇත; එහෙත් සංයුක්තව දේවල් සිදුවී ඇත්තේ වෙනස් විධිහකට ය; ඒවා අපූරුය, වඩා සුවිශේෂය, කිසිවෙකුටත් අපේක්ෂා කල නොහැකි අන්දමට අනේක රූපාකාර ගනියි.
මේ කාරනය නොතකා හැරීම හෝ ඊට උඩින් පැනීමේ අර්ථය, “අපේ පක්ෂ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දී සිදුව ඇති පරිදි, යථාර්තයේ නව ජීවමාන සුවිශේෂ ලක්ෂන අධ්‍යයනය නොකොට, කල්තියා වනපොත් කොට ගත් සූත‍්‍ර වමාරමින් දැනටමත් ශෝචනීය ආස්ථාන රැසක් කරපින්නාගෙන සිටින පැරනි බෝල්ශෙවිකයන් පසුපස යාමකි.
රුසියානු විප්ලවය තුල එක්තරා ආකාරයට සහ එක්තරා ප‍්‍රමානයකට “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකාධිපතිත්වය” දැනටමත් යථාර්ථයක් බවට පත්වී තිබේ. මන්ද යත් මෙම “සූත‍්‍රයෙන්” සංකල්පිත වන්නේ, පන්තීන් අතර සම්බන්ධතාවයක් මිස, එම සම්බන්ධතාවය සහ ක්‍රියාකාරිත්වය භාවිතයට නගන සංයුක්ත දේශපාලන සංස්ථාවක් නොවන බැවිනි. “කම්කරු සහ සෙබල නියෝජිතයින්ගේ සෝවියට් සභාව” ලෙසින් කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ විප්ලවවාදී-ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ඒකාධිපතිත්වය දැනටමත් සාක්ෂාත් කෙරී ඇත.
ඉහත සූත‍්‍ර ය දැනටම යල්පැන ඇත. සිද්ධීන් සූත‍්‍රයන් ගේ ක්ෂේත‍්‍රයෙන් ඉවත් කොට, යථාර්ථයේ ක්ෂේත‍්‍රයට ගෙන අවුත්, මාංශ සහ අස්ථියෙන් පුරවා සංයුක්ත පැවැත්මක් අත්කරදී නවීකරනය කර ඇත. 12
විප්ලවයේ මීලඟ අවධිය, “කම්කරු පන්තිය සහ ගොවිජනතාවගේ වඩා දුප්පත්ම කොටස් අතට බලය ගැනීමය” යනුවෙන් සිය ප‍්‍රවාදයන් හි කෙරුනු අභ්‍යර්ථනය ස්ථිර කල ලෙනින් කෙලින්ම මෙසේ ලිවී ය:
“කම්කරුවන්ගේ හා ගොවීන්ගේ විප්ලවවාදී ප‍්‍රජාතන්ත‍්‍ර ඒකාධිපතිත්වය” ගැන පමනක් දැන් කතා කරන පුද්ගලයා ඉන්නේ අතීතයේය, එහෙයින් ඔහු සැබවින්ම කම්කරු පන්ති අරගලයට එරෙහිව සුලු ධනේශ්වරයේ පැත්තට පිල්මාරු කර සිටී. එවැන්නෙකු “බෝල්ශෙවික්” පූර්ව-විප්ලවවාදී කෞතුකාගාරයේ තැන්පත් කල යුතුව ඇත. එයට “පරන බෝල්ශෙවිකයන්ගේ කටුගෙය” යයි ද කිව හැකිය. 13
ලෙනින් මෙම ලියවිල්ලේ ද වෙනත් ඒවායේ ද තමා සෝවියට් සභා තුලින් “ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකාධිපතිත්වය යම් ප‍්‍රමානයකට හා යම් දුරකට සාක්ෂාත් වීම යනුවෙන් අදහස් කලේ කුමක් ද යන්න පැහැදිලි කලේ ය.
ලිබරල් ධනේශ්වරය පෙබරවාරි විප්ලවය තුල වැදගත් භූමිකාවක් ඉටු කලේ නැත. එයට මුලපුරා මෙහෙයවන ලද්දේ කම්කරු පන්තිය විසිනි. කෙසේවතුදු එහි ජයග‍්‍රහනය රඳා තිබුනේ ගොවි ජනතාව තමන්ගේ පැත්තට දිනා ගැනීම මත ය. එහෙත් එය සිදු වුනේ පිටිසර පලාත්වල ගොවිජන නැගිටීමක් හැටියට නොව, ගොවි ජනයා අතුරෙන් බලෙන් බඳවා ගෙන අධිරාජ්‍යවාදී යුද්ධයට ඇද දමනු ලැබූ සොල්දාදුවන්, සාර්වාදී පරමාධිකාරයට එරෙහිව කැරලි ගැසීමක් හැටියට ය. තමන්ට සාමය අත්කර ගැනීම සඳහා ඔවුහු සෝවියට් සභා දෙසට හැරුනෝය.
සෝවියට් සභාවේ නායකත්වය, කම්කරු පන්තිය සහ ගොවි සෙබල සමූහය තමන් අත තැබූ බලය භාවිතා කිරීම ප‍්‍රතික්ෂේප කරමින් සිටියහ. ලෙනින් එම නායකත්වය පිලිබඳව ලිවූ පරිදි ඊට පටහැනිව, “එය සිය කැමැත්තෙන් ම බලය ධනපති පන්තියට පවරා දෙමින් සිටියේය. ඒ තමන් ස්වේච්ඡාවෙන්ම ධනේශ්වර පන්තියේ වලිගය බවට පත්වෙමිනි. ඔවුන් එය කලේ තාවකාලික ආන්ඩුවට සහාය දෙමිනි.”
ඉතා ඉවසිල්ලෙන් යුතුව බෝල්ශෙවික් පක්ෂය, විප්ලවයේ අවශ්‍ය “දෙවන” අවධිය කරා ඉදිරියට යමින්, පූර්න බලය සෝවියට් සභා අතට ගැනීමෙන් පමනක්ම කම්කරු පන්තියට තම පන්ති අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකි බව පැහැදිලි කල යුතු විය.
ලෙනින් මෙසේ ලිවීය: “වඩාත් සාර්ථකව, වඩාත් ප‍්‍රායෝගිකව සහ වඩාත් නිවැරදිව සමාජවාදය දෙසට කුමන පියවර ගත හැකි ද හා එම පියවර ගනු ඇත්තේ කෙසේ ද යන්න සෝවියට් සභා විසින් තීන්දු කරනු ඇත. බැංකුවක් මත පාලනය පිහිටුවීම හෝ සියලු බැංකු එකට එක් කිරීම ම සමාජවාදය සඳහා සෑහෙන්නේ නැත. එහෙත් ඒවා සමාජවාදය දෙසට තැබූ පියවරයන්ය. “එවන් පියවර ගැනීමට බල කෙරෙන්නේ කුමන තතු විසින් ද? සාගතය, ආර්ථික කඩාකප්පල්වීම්, අනිවාර්ය බිඳවැටීම්, යුද්ධයේ භයංකාරය, යුද්ධය විසින් මිනිස් වර්ගයා මතට කඩාපාත් කෙරුන භීෂනය යන මේ දේය.” 14
අප්‍රේල් 10 දා ලෙනින් සිය කෙටුම්පත් යෝජනාව ප‍්‍රසිද්ධියට පත්කිරීම සඳහා බෝල්ශෙවික් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කලේය. එය සැප්තැම්බර් දක්වා ප‍්‍රසිද්ධියට පත් නොකල අතර ඔහුගේ ලිපි මෙන්ම එය ද බොල්ශෙවික් පක්ෂය තුල බෙදාහරිනු ලැබින. ලෙනින් පසු කලෙක කීවේ, “සම්මේලනයේ ආරම්භක කෙටුම්පත ලෙස මාගේ ලියවිල්ල සිය කාර්යය ඉටු කල බව උනන්දු සහගත පාඨකයාගේ අවධානයට යොමුවුනු ඇති, බව” ය.
ලෙනින්ගේ සංගෘහිත කෘතිවල 24 වෙලුම, සම්මේලනයට පෙරාතු කාලපරිච්ඡේදයේ අප්‍රේල් ප‍්‍රවාදයන්ට අනුකූලව තර්ක කරමින් ලියූ ලිපි සහ සටහන් රාශියක් අන්තර්ගත කර ගනී.
මා දේශනයේ අන්තිම කොටස යොදන්නේ, සිය උපාය පිලිබඳ ලිපි සහ අපගේ විප්ලවයේදී කම්කරු පන්තිය සතු කාර්යභාරය යන ලේඛන තුල යම් දුරකට ලෙනින් විසින් විස්තාරනය කෙරුනු අප්‍රේල් ප‍්‍රවාදයන්හි සාතිශය තීරක ප‍්‍රයුක්තින් දෙක පිලිබඳව ය.
ඒවා නම්:
ප‍්‍රථමයෙන්ම සෝවියට් සභාවල අර්ථභාරයයි, දෙවනුව ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය දේශපාලනිකව මෙහෙයවීම සඳහා නව ජාත්‍යන්තරයක්, එනම් තුන්වන ජාත්‍යන්තරය පිහිටුවීමේ අවශ්‍යතාවයයි.
ලෙනින් සෝවියට් සභා ඇගැයීමට ලක් කලේ, 1871 මාස දෙකක ඉතා කෙටි කාලයක් තුල පැරිස් නගරයේ වැඩකරන ජනතාව ප‍්‍රන්ස ධනපති පන්තියට එරෙහිව දේශපාලන බලය සියතට ගෙන සිටි පැරිස් කොමියුනයෙහි ලෝක ඓතිහාසික අර්ථභාරය පිලිබඳව කාල් මාක්ස් සහ ෆ්‍රෙඞ්රික් එංගල්ස් ගේ ලිපිලේඛන වල උරුමය තුලය.
පැරිස් කොමියුනයේ ජයග‍්‍රහන මෙන්ම වැරදීම් වල ද පාඩම් විවේචනය කරමින් විද්‍යාත්මක සමාජවාදයේ ආරම්භක කතුවරු, ධනේශ්වර සම්බන්ධතා යලි ස්ථාපනය කිරීමට දැරෙන ප‍්‍රයත්නයන් ට එරෙහිව කම්කරු පන්ති පාලනය ආරක්ෂා කරන, නව රාජ්‍යයේ ප‍්‍රථම ආකෘතිය ලෙස කොමියුනය අගය කලේය. කොමියුන් ආකෘතිය - රාජ්‍යයක් අවශ්‍ය නොකරන්නාවූ පන්ති විරහිත රාජ්‍යය කරා සංක‍්‍රමනය තුල බලය දරනු ඇත. එනම් එය පලමු කම්කරු පන්ති ආඥාදායකත්වය නියෝජනය කරනු ඇති බවයි.
අපගේ විප්ලවයේදී, කම්කරු පන්තිය සතු කාර්යභාරය අවධාරනය කල ලෙනින්: “පොදුවේ විප්ලවයේ කාලපරිච්ඡේදය තුල ද විශේෂයෙන්ම ධනවාදයේ සිට සමාජවාදය කරා සංක‍්‍රමනයේ කාල පරිච්ඡේදය තුලදී ද රාජ්‍යයේ ද රාජ්‍ය බලයේ ද අවශ්‍යතාවය හඳුනා ගැනීම තුලින් මාක්ස්වාදය අරාජකවාදයෙන් වෙනස් වන” බව අවධාරනය කලේය.
බෝල්ශෙවික් පක්ෂය මුහුන දුන් ප‍්‍රශ්නය, කම්කරු පන්තිය විසින් නිර්මානය කල සෝවියට් සභා, සමාජවාදය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍යවූ නව හා වඩා උසස් රාජ්‍ය රූපයක් බව එම පන්තියටම වටහා දීමය. පැරනි රාජ්‍ය නිලධරය බිඳීම හෝ කුඩුකර දැමීම, පොලිසිය යලි පිහිටුවීම ට දැරෙන උත්සාහය වලකාලීම, මිලිටරි යාන්ත‍්‍රනය නැති කර දැමීම, නිෂ්පාදන බලවේගවල පොදු අයිතිය පිහිටුවීම මගින් බහුතර ජනතාව ගේ අවශ්‍යතාවය පරිදි ආර්ථික ජීවිතය ප‍්‍රතිසංවිධානය කිරීම, යන මේ සියල්ල ඉෂ්ට කරගත හැක්කේ සෝවියට් සභාවලටම පමනි.
“කොමියුන ආකෘතිය” ඔහු තවදුරටත් පැවසුවේ “1905 හා 1917 රුසියානු විප්ලවය නිර්මානය කිරීම ඇරඹූ වර්ගයේ රාජ්‍යය යි.” 15
අද දින, මිලිටරි සහ ෆැසිස්ට් වර්ගයේ පාලනයන්ට මාරුවීමට කැසකවමින්, තම තමන්ගේ මිලිටරි - පොලිස් ඔත්තු යාන්ත‍්‍රන තර කරමින් කටයුතු කරන ධනපති පාර්ලිමේන්තු පාලනයන් ට මුහුන දෙන මිලියන ගනන් කම්කරුවන් ගේ සිත් තුල ප‍්‍රතිරාවය නංවනු ඇති වචන වලින් ලෙනින් මෙසේ ලිවීය:
ඉතිහාසය සනාථ කරන පරිදි, “හමුදාව පොලිසිය, සහ නිලධරය ඇතුලු මර්දනයේ සමස්ත යාන්ත‍්‍රනය එලෙසම පවත්වාගෙන යනු ලබන ධනේශ්වර සමූහාන්ඩුවකට රාජාන්ඩුවක් කරා මාරු වීම ඉතා පහසු ය. කොමියුනය හා සෝවියට් සභා, එම යාන්ත‍්‍රනය කුඩුපට්ටම් කර එය අහෝසි කරයි.
පාර්ලිමේන්තුවාදී ධනේශ්වර සමූහාන්ඩුව ජනතාවගේ ස්වාධීන දේශපාලන ජීවිතය ට බාධාකොට පතුලේ සිට ඉහලට රාජ්‍යයේ ජීවිතය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සංවිධානය කිරීමට ජනතාව කෙලින් මැදිහත්වීම වලක්වා හුස්ම හිරකරයි. සෝවියට් සභාවල කර්තව්‍යය එහි ප‍්‍රතිවිරුද්ධයයි. 16
ලෙනින් ඉක්බිති මාසවල ඔහුගේ කාලයෙන් සැලකිය යුතු ප‍්‍රමානයක් මිඩංගුකොට, සිය රජය සහ විප්ලවය නැමති විශිෂ්ඨ කෘතිය සම්පාදනය කලේ, කම්කරු රාජ්‍යයක් පිලිබඳ ප‍්‍රශ්නය සමාලෝචනය හා විස්තාරනය කරමිනි.
විප්ලවයේ පලමු අවධිය ඉටු කරමින් සෝවියට් සභා නිර්මානය කල කම්කරු පන්තියට, දැන් ධනපති පන්තිය අතට යලිත් බලය මාරුවීමට ඉඩ දිය නොහැකි යයි ලෙනින් අවධාරනය කලේ ය. කම්කරු පන්තිය විප්ලවය අවසානය දක්වා ගෙන යා යුතුය.
මෙම අවශ්‍යතාවය පැනනගින්නේ හුදෙක් රුසියානු තත්වයන්ගෙන් පමනක් නොව, අන් සියල්ලටත් වඩා ලෝක තත්වයෙනි.
ලෙනින් විසින් නොනවතින විප්ලව න්‍යාය පිලිගනු ලැබීම අවසානය කරා ගෙන එමින්, බෝල්ශෙවික් පක්ෂයේ කෙටුම්පත් යෝජනාව මෙසේ ප‍්‍රකාශ කලේ ය.
යුද්ධය වනාහි ලෝක ධනවාදයේ අඩසියවසක හැඩගැසීමේ සහ කෝටි සංඛ්‍යාත හුයපට හා සම්බන්ධතාවල නිමැවුමකි. ප‍්‍රාග්ධනයේ බලය අවසාන නොකොට, රාජ්‍ය බලය වෙනත් පන්තියකට එනම්, කම්කරු පන්තිය අතට ගැනීමෙන් තොරව, අධිරාජ්‍යවාදී යුද්ධයෙන් විමුක්ත වීම සහ ප‍්‍රචන්ඩ නොවන ආකාරකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමයක් දිනගත නොහැකිය.
1917 පෙබරවාරි මාර්තු රුසියානු විප්ලවය, අධිරාජ්‍යයවාදී යුද්ධය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය වීමේ ආරම්භය විය. මෙම විප්ලවය යුද්ධය අවසන් කිරීම කරා පලමු අඩිය තැබීය. එහෙත් එය දෙවන අඩිය ගැනීම අවශ්‍ය විය. යුද්ධය නිශ්චිතවම අවසන් කිරීමට රාජ්‍ය බලය කම්කරු පන්තිය අතට මාරු කිරීම අවශ්‍ය විය. මෙය ලෝක පරිමානව ”බිඳ හෙලීමක ආරම්භය වනු ඇත. ධනේශ්වර අවශ්‍යතාවන්ගේ ඉදිරිපස බිඳගෙන යාමකි. මෙම ඉදිරිපස බිඳ දැමීම මගින් පමනක්ම සාමයේ ආශීර්වාදය සමගින් කම්කරු පන්තියට යුද්ධයේ ප‍්‍රචන්ඩත්වයෙන් මානව වර්ගයා විමුක්ත කර ගැනීමට හැකිවනු ඇත.
ධනවාදයේ මෙම පෙරමුන “බිඳ දැමූ” රුසියානු විප්ලවය, දැනටම කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභා නිර්මානය කිරීම තුලින් රුසියානු කම්කරු පන්තිය මෙහෙයවා ඇත්තේ මේ කරාය. 17
බෝල්ශෙවිකයන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර කම්කරු පක්ෂය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය ලෙස අලූතින් නම් කල යුතු බවටත්, වහාම තුන්වන ජාත්‍යන්තරයක් ආරම්භ කල යුතු බවටත් ලෙනින් තීන්දු කලේ, ඔහුගේම වචන වලින් කිවහොත්, “රුසියනු විප්ලවයේ ජාත්‍යන්තර සන්දර්භය ද රුසියානු කම්කරු පන්තියේ ජාත්‍යන්තර වගකීම” ද පෙන්වා දෙමිනි.
දෙවන ජාත්‍යන්තරයේ පාවාදීමට විරුද්ධ යයි කියන අතරම, අධිරාජ්‍යවාදී ධන්ශ්වරයට බලපෑම් කිරීම මගින් සාමය දිනාගත ගත හැකිය යන මිථ්‍යාව පෝෂනය කරමින්, යුද්ධයේ දී තම තමන්ගේ පාලකයන් ට ආධාර කල අයගෙන් ප‍්‍රසිද්ධියේ බිඳී වෙන්වීම ප‍්‍රතික්ෂේප කල, ජාත්‍යන්තර මාධ්‍යමික ප‍්‍රවනතාව ලෙනින් දැඩි ලෙස හෙලා දුටුවේය. එම ප්‍රවනතාව ලෙනින් නම් කලේ සමාජ ජාත්‍යෝත්තමවාදීන් ලෙසය.
“මධ්‍යය (මාධ්‍යමිකයන්) තමන්ගේම ආන්ඩුව ට එරෙහි විප්ලවයක අවශ්‍යතාවය පිලිගෙන නැත: එය විප්ලවය ප‍්‍රචාරය නොකරයි; මුලු හදින්ම විප්ලවවාදී අරගලයක නිරත වන්නේ ද නැත.” යනුවෙන් ලෙනින් සිය කෙට්ටුම්පත් ක්‍රියාමාර්ගය තුල සටහන් කර තැබීය.
ලෙනින් පෙන්නුම් කල පරිදි ඔවුහු, “වචනයෙන් විප්ලවවාදින් ද ක්‍රියාවෙන් ප‍්‍රතිසංස්කරනවාදින් ද වූහ. වචනයෙන් ජාත්‍යන්තරවාදීන් ද ක්‍රියාවෙන් සමාජ ජාතිවාදීන්ගේ සහකරුවන් ද වූහ.
ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තිය නියෝජනය කල එකම ප‍්‍රවනතාවය, 1915 දී සිමර්වෝල්ඩ් යුද-විරෝධී සම්මේලනයේ වාම සුලුතරය ඉදිරිපත් කල ආස්ථානයන්ට එකඟ වූ කොටස පමනක්ම යයි ලෙනින් කියා සිටියේ ය.
අප්‍රේල් ප‍්‍රවාදයන්ගෙන් පසුව එලඹී සාකච්ඡාව, ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ නිලධාරිවාදී ඒකාධිපතිත්වය උපත ලද්දේ, බෝල්ශෙවික්වාදයෙන්ය යන ප‍්‍රති මාක්ස්වාදී ආස්ථානය බොරුවක් බව පැහදිලිව තහවුරු කරයි. ලෙනින් බෝල්ශෙවික් පක්ෂය හෝ, මිලියන් ගනන් කම්කරුවන් හෝ ඒත්තු ගැන්වූයේ නිලධාරිවාදී ආකාරයකට නොවේ. ඔහුට තන්ත‍්‍රයක්වත්, බියගැන්වීමේ ක‍්‍රමවේදයක්වත් තිබුනේ නැත. ඔහු ඒත්තුගැන්වූයේ සිය අදහස් වලිනි.
අප්‍රේල් 24 දා සිට අප්‍රේල් 29 දා දක්වා පැවැත්වුනු සම්මේලනයේ ප‍්‍රතිපල මගින් බෝල්ශෙවික් පක්ෂය, ලෙනින් තම අධිපත්‍යයට යටත් කරගත්, සිත්පිත් නැති දේශපාලන යාන්ත‍්‍රනයක්ය යන්න විකාරයක් බව වඩාත් විශදව තහවුරු කලේය. ලියොන් ට්‍රොට්ස්කි සිය රුසියන් විප්ලවයේ ඉතිහාසය තුල සටහන් කල පරිදි, මුලු රුසියාවේ සාමාජිකයන් 79,000 ක් වෙනුවෙන් පෙනි සිටි හා නියෝජනය කල 150 දෙනෙක් සම්මේලනයට සහභාගි වූහ. කම්කරුවන්, සොල්දාදුවන්, ගොවීන්, මෙන්ම බුද්ධිමතුන් ද වෘත්තිකයන් ද කලාකරුවන් ද ඔවුන් අතර සිටියෝය. සමහරෙක් දිගු කාලීන විප්ලවවාදීන් වූ අතර බොහොමයක් පක්ෂයට බැඳී තිබුනේ, වසර හෝ සමහර විට මාස ගනනකට පෙරාතුවය.
දස දහස් ගනන් බෝල්ශෙවික් පාක්ෂිකයෝ සාමූහිකව කම්කරු පන්තියේ පෙරටු බලඇනිය, එනම්, සමාජවාදී විඥානයෙන් ශික්ෂිත වූ දියුනු ස්ථරයක් නියෝජනය කලහ.
තාවකාලික ආන්ඩුව, යුද්ධය, සෝවියට් සභාව විසින් බලය අල්ලා ගැනීමේ ඉදිරි දර්ශනය පිලිබඳව අප්‍රේල් ප‍්‍රවාද වලින් දැක්වුන ආකල්පය, අප්‍රේල් බෝල්ශෙවික් සම්මේලනයේදී පැහැදිලි බහුතරයකගේ සහයෝගය දිනාගත්තේ ය. එහෙත් තුන්වන ජාත්‍යන්තරය වහාම පිහිටුවිය යුතුව ඇතැයි යන ලෙනින්ගේ කැඳවුම පරාජයට පත් විය. හුදෙක් රුසියානු මෙන්ෂේවිකයින්ගෙන් පමනක් නොව, ඔවුන්ගේ මාධ්‍යමික සහචරයින්ගෙන් ජාත්‍යන්තරව බිඳිමේ අවශ්‍යතාවය ඒත්තු ගෙන පූර්න එකඟත්වයකට පැමිනීමට තවත් මාස ගනනක් සාකච්ඡා කල යුතු විය.
සම්මේලනයේ සිට තමන්ගේ පක්ෂ ශාඛාවන් වෙත ආපසු ගිය නියෝජිතයෝ, “සියලු බලය සෝවියට් සභාවලට” යන පිලිවෙත සඳහා සටන් වැදුනෝ ය.
කම්කරු පන්තිය, විප්ලවවාදී පක්ෂය, සහ විප්ලවීය ව්‍යාපාරයේ නායකත්වය පිලිබඳ සංකීර්න සම්බන්ධතාවය සලකා බලමින් ට්‍රොට්ස්කි 1940 දී මෙසේ ලිවීය:
1917 පෙබරවාරියේ හෝ මාර්තුවේ දී රුසියානු කම්කරු පන්තියේ පරිනත භාවයේ ලා සුවිශාල සාධකයක් වූයේ ලෙනින්ය. ඔහු අහසෙන් වැටුනා නොවේ. ඔහු කම්කරු පන්තියේ විප්ලවවාදී සම්ප‍්‍රදාය මූර්තිමත් කලේය. ලෙනින් ගේ සටන් පාඨ මහජනතාව අතරට ගලායාම සඳහා කාර්යධරයන්, මුලදී ගනින් අඩු වුව ද සිටිය යුතු විය. කාර්යධරයන් තුල නායකත්වය පිලිබඳ විශ්වාසයක් ද අතීතයේ මුලුමහත් අත්දැකිම් මත පදනම්වූ විශ්වාසයක් ද තිබිය යුතු විය. කෙනෙකු සිය තක්සේරුවෙන් මෙම අංග කපා දැමීම වනාහි, සරලවම ජීවමාන විප්ලවය නොතකාහැර, ඒ වෙනුවට වියුක්තයක් ලෙස “බලවේගයන්ගේ සම්බන්ධතාවය” ආදේශ කිරීමකි. මන්දයත් කම්කරු පන්තියේ විඥානයේ ද පසුගාමී ස්ථර දියුනු ස්ථරයන් කරා ආකර්ශනය වීමේ ද කම්කරු පන්තිය සිය ශක්තිය පිලිබඳ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමේ ද තතු තුල, “බලවේගයන්ගේ සම්බන්ධතාව” නොනැවතී, වේගයෙන් වෙනස් වෙමින් පවත්නා හෙයිනි. මෙම සන්තතියේ ජීවනාලිය පක්ෂයයි, එසේම පක්ෂ යාන්ත‍්‍රනයේ ජීවනාලිය එහි නායකත්වයයි. විප්ලවවාදී යුගයක නායකත්වයේ භූමිකාව ද වගකීම ද සුවිසාලය. 18
එම ලියවිලේම, ට්‍රොට්ස්කි මෙසේ ද ලියාතැබිය:
1917 අප්‍රේල් මස 3 දා ලෙනින් පෙට්‍රොග‍්‍රෑඩ් නගරය ට පැමිනීම, බෝල්ශෙවික් පක්ෂය කල් ඇතිව නිවැරදි කර ගැනීම ද එමගින් විප්ලවය ජයග‍්‍රහනය කරා මෙහෙයවීම ද සාක්ෂාත් කර ගත්තේය. අපේ බක පන්ඩිතයන් මෙසේ කියනු ඇත, “ ..ලෙනින් 1917 මුලදී මියගියේ නම් වුව ද ඔක්තෝබර් විප්ලවය ‘එලෙසම’ සිදු වනු ඇත. එහෙත් එය එසේ නොවේ. ලෙනින් ඓතිහාසික සන්තතියේ ජීවමාන සංරචකයන් ගෙන් එකක් විය. ඔහු නිරූපනය කලේ කම්කරු පන්තියේ වඩාත් ක්‍රියාත්මක කොටසේ අත්දැකීම සහ තීක්ෂනභාවයයි. විප්ලවයේ කරලිය තුලට ලෙනින් කාලෝචිතව එලඹීම, පෙරටු බලඇනිය ඒකරාශිකොට, එය පිටුපස කම්කරු පන්තිය සහ ගොවිජනතාව මෙහෙයවා ගැනීමට අවස්ථාව සැලසීය. ඓතිහාසික පරිවර්තනයේ තීරනාත්මක මොහොතකදී දේශපාලන නායකත්වයේ භූමිකාව, සංග‍්‍රාමයේ තීරක මොහොතේ ප‍්‍රධාන ආඥාපතිගේ භූමිකාව තරම්ම තීරක වනු ඇත. ඉතිහාසය ස්වයංක්‍රීය සන්තතියක් නොවේ. නොඑසේ නම් නායකයන් කුමට ද ? පක්ෂ කුමට ද? ක්‍රියාමාර්ග කුමට ද ? න්‍යායික අරගල කුමට ද ? 19
ට්‍රොට්ස්කිගේ ප‍්‍රශ්න: නායකයන් කුමට ද ? පක්ෂ කුමට ද? ක්‍රියාමර්ග කුමට ද ? න්‍යායික අරගල කුමටද ? යන්න අප්‍රේල් ප‍්‍රවාදවල සාතිශය තීරක ප‍්‍රතිපල මගින් අවධාරිත වේ. අවුරුදු 14ක දේශපාලන මත භේදවලින් පසුව ව්ලැදිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි එක් කරනු ලැබුවේ එම ලියවිල්ල තුලිනි.
ලියොන් ට්‍රොට්ස්කි 1917දී
නිව් යෝක් නුවර ට බලෙන් පිටුවහල් කරනු ලැබ සිටි ට්‍රොට්ස්කි, 1917 අප්‍රේල් මාසයේදී රුසියාවට ඇතුලු වීම සඳහා ගමන් කරමින් සිටියදී, කැනඩාවේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී බලධාරීන් විසින් රඳවාගනු ලැබ සිටියේ ය. බොහෝසෙයින් පෙට්‍රොග‍්‍රෑඩ් කම්කරු පන්තියෙන් ද බෝල්ශෙවිකයන්ගෙන් ද නොනැවතී නැගුනු ඉල්ලීම් නිසා, තාවකාලික ආන්ඩුවේ විදේශ ඇමති මිලියුකොව්ට අකමැත්තෙන් වුවත්, ට්‍රොට්ස්කි නිදහස් කරන ලෙස බ්‍රිතාන්‍යයට කියා සිටීමට සිදුවිය.
බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවෙන් නිදහස් කරනු ලැබූ ට්‍රොට්ස්කි, 1917 අප්‍රේල් 16 දා යුරෝපය කරා නැව් නැංගේ ය.
මා මෙතෙක් සමාලෝචනය කල අප්‍රේල් සිද්ධීන් පුරා, ට්‍රොට්ස්කි සිටියේ එක්කෝ සිර කඳවුරකය, නැතිනම් මුහුදු යාත‍්‍රාවලය. සියලු බාහිර තොරතුරු වලින් හුදෙකලා වීය. අන්තිමේදී ඔහු නූතන ජුලියන් දින දර්ශනයට අනුව මැයි 4 දා රුසියාවට ලඟාවිය. ඔහු අප්‍රේල් ප‍්‍රවාද හෝ ඉන් පසුව පලවූ ලියවිලි කියවා තිබුනේ නැත.
පසුකලෙක ලියූ ලෙනින්ගේ ජීවන චරිතයේ ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේය:
පෙට්‍රොග‍්‍රෑඩ් නගරයට පැමිනි දෙවන හෝ තුන්වන දිනයේදී මම ලෙනින්ගේ අප්‍රේල් ප‍්‍රවාද හැදෑරුවෙමි. එය හරියට ම විප්ලවය සඳහා අවශ්‍යව පැවති දෙයයි.
ලෙනින් සහ ට්‍රොට්ස්කි අතර ප‍්‍රථම හමුවීම සිදුවුයේ මැයි 5 හෝ 6දා විය යුතුය. “මා ලෙනින්ට පැවසුවේ අප්‍රේල් ප‍්‍රවාද වලින් ද ඔහු පැමිනීමෙන් පසු පක්ෂය ගෙන තිබුනු මුලු ගමන් මග පිලිබඳව ද මගේ මොනයම්ම හෝ මත භේදයක් නොමැති බව ය.” 20
ට්‍රොට්ස්කිගේ විස්තරයට අනුව, ඉක්බිති පැවැති සම්පූර්න සාකච්ඡාවම සංකේන්ද්‍රනය වූයේ ඔහු බෝල්ශෙවික් පක්ෂයට විවෘතවම එකතුවන්නේ කුමන අවස්ථාවක ද යන උපායික ප‍්‍රශ්නය මතය. සලකිය යුතු ප‍්‍රමානයක් විප්ලවවාදීන් ද 3,000 ක් කම්කරුවන් ද ට්‍රොට්ස්කි නායකත්වය දුන් අන්තර් දිස්ත්‍රික්ක කොමිටි වලට අයත්ව සිටියෝ ය. මොවුහු මෙන්ෂේවික් බහුතරයට විරුද්ධවූ නමුත් බෝල්ශෙවික් වරුන්ට ආධාර නොකල අතර බොහෝදුරට ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ල්ව න්‍යායට එකඟවූ ද ලෙනින්ගේ “කම්කරුවන් හා ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය” පිලිබඳ ඔහුගේ දිගු කාලීන විවේචන පිලිගත් කොටස් ද වූහ.
අන්තර් දිස්ත්‍රික් කමිටුවල බහුතරය බෝල්ශෙවික් පක්ෂයට දිනාගැනීම සඳහා වඩාත් හොඳ ස්ථාවරයක තමා සිටින බව ට්‍රොට්ස්කි වටහා ගත්තේය. සිදුවූයේ ද එයයි. 1917 අගෝස්තුවේදී දිස්ත්‍රික් කොමිටි බෝල්ශෙවික් පක්ෂයට බඳවා ගන්නා ලදී.
මෙසේ අන් සියල්ලටත් වාඩා ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් දේශපාලනිකව නව පන ගැන්වූ බෝල්ශෙවික් පක්ෂය, රුසියානු කම්කරු පන්තියේ අති මහත් බහුතරයේ පක්ෂපාතිත්වය දිනා ගනිමින්, සොල්දාදුවන් සහ දැවැන්ත ගම්බද ගොවිජනකාය ගේ සහාය ලබා, ලෝක සමාජවාදී විප්ලවයේ ප‍්‍රථම වෙඩි මුරය යන වැටහීමෙන් ලෝකයේ ප‍්‍රථම කම්කරු පන්ති රාජ්‍යය පිහිටුවීය .
ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ එක්වීම නූතන ඉතිහාසයේ අතිශයින්ම වැදගත් සිද්ධීන් අතර එකක් බව සැලකිය යුතු ය. වත්මන් හි සියලුම විප්ලවවාදීන් විසින් වටහා ගතයුතු වූ අති තීරක අංග දෙකක් එය ට ඇතුලත් වේ.
ඒ සඳහා ලෙනින් සිය පක්ෂය ලෝක සමාජවාදී ඉදිරිදර්ශනය මත අලුතින් සන්නද්ධ කල යුතුව තිබුනි. බෝල්ශෙවිකයන් ලෙනින්ගේ “අප්‍රේල් ප‍්‍රවාද ප‍්‍රතික්ෂේප කර තාවකාලික ආන්ඩුවට සහ යුද්ධයට “විවේචනාත්මකව සහාය දීමේ” කමනෙව්-ස්ටැලින් පිලිවෙත ඔස්සේ ගියේ නම්, ට්‍රොට්ස්කි ඔවුන්ට එක්වනු නැත.
මෙම එක්වීම ඉහතකී කාරනයට පමනක් නොව ඊට නොඅඩුව, “අවස්ථාවාදය සමග සම්මුතියක් නැත” යන ලෙනින්ගේ අවධාරනයේ දූරදර්ශි භාවය ට්‍රොට්ස්කි විසින් වටහාගනු ලැබීම මත පදනම් විය. මෙය අන් සියල්ලටත් වඩා විප්ලවවාදීන්ගේ වත්මන් පරපුර උකහාගත යුතු කාරනයකි.
1915 සිමර්වෝල්ඩ් සම්මේලනයේ සිට ලෙනින් විසින් ට්‍රොට්ස්කි මාධ්‍යමිකයෙකු ලෙස නම් කරනු ලැබුවේ, ඔහු දෙවෙනි ජාත්‍යන්තරයේ පාවාදීමට ප‍්‍රගාඪ ලෙස විරුද්ධ වන නමුත් යුද්ධයට එරෙහිව විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කරන නමුත් විවෘතව දෙවන ජාත්‍යන්තරයෙන් බිඳී නව තුන්වන ජාත්‍යන්තරයක් ගොඩ නැගීමට කැඳවීමක් කිරීම මගහැරී නිසාය.
1903 තරම් ඈතදී ලෙනින් ට්‍රොට්ස්කිට එරෙහිව අවධාරනය කර තිබුනේ, සියලු අවස්ථාවාදී, එනම් ධනේශ්වර ප‍්‍රවනතාවන්ගෙන් පරිපූර්න ලෙස බෙදී වෙන්වීම, කම්කරු පන්තිය තුල ස්වාධීන, විප්ලවවාදී සමාජවාදී විඥානය සඳහා සටන් කිරීමේදී තීරනාත්මක වැදගත් කමක් දරන බවය. මෙම ආස්ථානයට ට්‍රොට්ස්කි දිනාගනු ලැබුවේ ලෝක යුද්ධය යි. එය කිසිසේත්ම ලෙනින් නොනවතින විප්ලවයේ සංකල්පයට දිනාගැනීමට දෙවැනි වුනේ නැත.
විවෘත ධනේශ්වර, අධිරාජ්‍ය ගැති ආස්ථානයක් කරා රුසියාවේ මෙන්ෂේවික් “මැද” කන්ඩායමේ විකාශනය ද යුරෝපයේ සහ ඇමරිකාවේ එවන් කන්ඩායම්වල විකාශනය ද විසින්, ලෙනින් 1903 පටන් මෙන්ශේවිකයන් ගෙන් පරිපුර්න ලෙස බෙදී වෙන්වීමට ගෙන ගොස් තිබුනු අරගලයේ වැදගත්කම පිලිබඳව ට්‍රොට්ස්කිට මනා වැටහීමක් ලබා දුන්නේය.
1917 දී රුසියාවට පැමිනි ට්‍රොට්ස්කි, මෙන්ෂේවිකයන් සමග එක්විම කිසිසේත්ම නොකටයුත්තක් බව වටහාගෙන, තුන්වැන ජාත්‍යන්තරය පිහිටුවීමේ අවශ්‍යතාව පිලිගැනීමෙන් පසුව “ඔහු තරම් හොඳ බෝල්ශෙවිකයෙක් නැතැයි” මාස කීහිපයකට පසුව ලෙනින් පැවසීය. 21
ලෙනින් හා ට්‍රොට්ස්කි වර්ෂ 14 තිස්සේ දීර්ඝ න්‍යායික අරගලයක් ගෙනගොස් තිබුනි. 1917 දී ඔවුහු, රුසියානු කම්කරු පන්තිය දේශපාලන බලය සියතට ගැනීම හා ලෝකයේ කම්කරුවන්ට ඉදිරි මාවත පෙහෙලි කර දීම සඳහා මෙහෙයවීමට, පක්ෂයේ දේශපාලන ඉදිරිදර්ශනය ද ස්වභාවය ද පිලිබඳ පොදු අවබෝධයකට පැමිනියහ.
ඒ නිසාය, 1917 රුසියානු විප්ලවය සමාජවාදී විප්ලවය පිලිබඳ ප‍්‍රථම හා එකම සාර්ථක උදාහරනය ලෙස පවතින්නේ.
කම්කරු පන්තිය විසින් බලය අත් කර ගැනීම සඳහා දැරුනු අන් කුමන ප‍්‍රයත්නයක් වත් මෙවන් ආකාරයකට සුදානම්කොට හා වර්ධනයකොට නොමැත. සියල්ලටත් වඩා, 1920 ගනන්වල කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගෙන, ඉක්බිතිව 1930 ගනන්වල දේශපාලන වශයෙන් ශික්ෂිත බෝල්ශෙවික් බුද්ධිමතුන් සහ කම්කරුවන් අති මහත් සංඛ්‍යාවක් සමූලඝාතනය කල ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ සාපරාධී දේශපාලන ක්‍රියාකලාපය ඊට හේතුවය.
රුසියානු විප්ලවයේ පාඩම නම්, නොනවතින විප්ලවය හා ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම් වෙමින්, සකල ධනේශ්වර සහ ප‍්‍රති-මාක්ස්වාදී ප‍්‍රවනතාවන්ගෙන් වෙන්වීම සඳහා නිර්දය අරගලයක යෙදෙන්නාවූ ලෝක පක්ෂයක ශාඛාවන් හැම රටකම කම්කරු පන්තියට අවශ්‍ය වන බවයි.
එම ලෝක පක්ෂය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. එය පමනක්ම 21 වන සියවසේ සමාජවාදී විප්ලව සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමට සටන් වදියි.
ස්තුතියි.
සටහන්
1. එන්. කෘප්ස්කායා, Reminiscences of Leninලෙනින් පිලිබඳ මතකය, 1933, ”ආගමනයේ අවසන් මාසවල” කෘතියේ පරිච්ඡේද
2. වී. අයි. ලෙනින්, The Draft Resolution of the Left Wing at Zimmerwald 1915, සිමවෝල්ඩ් වාමාංශයේ කෙටුම්පත් යෝජනාව
3. වී. අයි. ලෙනින්, Lecture on the 1905 Revolution, January 1917
1917 ජනවාරි, 1905 විප්ලවය පිලිබඳ දේශනය
4. ලියොන් ට්‍රොට්ස්කිගේ උපුටා දැක්වීම් The History of the Russian Revolution, in the chapter “The Bolsheviks and Lenin”
රුසියානු විප්ලවයේ ඉතිහාසය යන සිය කෘතියේ ”බොල්ශෙවිකයින් හා ලෙනින්” යන පරිච්ෙඡ්දය තුල ලියොන් ට්‍රොට්ස්කිගේ උපුටා දැක්වීම්
5. එම
6. වී. අයි. ලෙනින්, The First Stage of the First Revolution, March 7, 1917
ප‍්‍රථම විප්ලවයේ ප‍්‍රථම අවධිය, 1917 මාර්තු 7
7. ලියොන් ට්‍රොට්ස්කි, The History of the Russian Revolution, in the chapter “The Bolsheviks and Lenin”
රුසියානු විප්ලවයේ ඉතිහාසය, ”බොල්ශෙවිකයින් හා ලෙනින්” පරිච්ෙඡ්දයෙන්
8. එන්. කෘප්ස්කායා, Reminiscences of Lenin, 1933, in the chapter “Last Months in Emigration”
ලෙනින් පිලිබඳ මතකය, ”විගමනයේ අවසන් මාස” පරිච්ෙඡ්දයෙන්, 1933,
9. සියලූ උපුටාගැනීම් වී. අයි. ලෙනින්ගෙන්ය, The Tasks of the Proletariat in the Present Revolution—The April Theses, 1917
වත්මන් විප්ලවය තුල කම්කරු පන්තියේ කර්තව්‍යයෝ, අපේ‍්‍රල් ප‍්‍රවාද, 1917
10. අලෙක්සැන්ඩර් රබිනොවිච්ගේ Prelude to Revolution, Indiana University Press, pg. 40
(විප්ලවයට පෙරවදනක්* තුල උපුටා දැක්වේ, ඉන්දියානා ප්‍රෙස්, 40 පිටුව
11. වී. අයි. ලෙනින් Letters on Tactics, April 1917
උපුටා දැක්වීම්, උපායමාර්ග පිලිබඳ ලිපි, 1917 අපේ‍්‍රල්
12. වී. අයි. ලෙනින්, Letters on Tacticsඋපායමාර්ග පිලිබඳ ලිපි, 1917 අපේ‍්‍රල්, April 1917
13. එම.,
14. එම.,
15. වී. අයි. ලෙනින්, The Task of the Proletariat in Our Revolution, April 1917, වත්මන් විප්ලවය තුල කම්කරු පන්තියේ කර්තව්යකයෝ, අපේ‍්‍රල් ප‍්‍රවාද, 1917
16. එම.,
17. එම.,
18. ලියොන් ට්‍රොට්ස්කි, The Class, the Party and the Leadership, 1940
පන්තිය, පක්ෂය හා නායකත්වය, 1940
19. එම.,
20. ලියොන් ට්‍රොට්ස්කිගේ ලෙනින්, Lenin, in the chapter “Before the October Revolution,” 1925
”ඔක්තෝබර් විප්ලවයට පෙරාතුව,” පරිච්ෙඡ්දය 1925
21. ”ඞීඑල්පීආර් (බොල්ශෙවික්) පිට්ස්බර්ග් කමිටුවේ සැසිය, 1917 නොවැම්බර් 1, ලියොන් ට්‍රොට්ස්කිගේ ඓතිහාසික මුසාකරනයේ ස්ටැලින්වාදී ගුරුකුලය, 1937, ”නැතිවූ ලියවිල්ල” පරිච්ෙඡ්දය තුල “The Lost Document”