ශ්‍රී ලංකා ආන්ඩුව රුදුරු මාධ්‍ය නීති සහ ප්‍රති-ත්‍රස්ත පනතක් ගෙනඒමට පියවර ගනී

[මෙය Sri Lankan government moves to impose draconian media laws and Anti-Terrorism Bill යන මැයෙන් 2023 සැප්තැම්බර් 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මන්ඩලය, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ම්ලේච්ඡ ලෙස යටපත් කරන පනත් කෙටුම්පත් දෙකක් අනුමත කලේය. ඔන්ලයින් විධික්‍රමවල ආරක්ෂාව පිලිබඳ පනත් කෙටුම්පත (බීඑස්ඕඑම්) ලෙස හඳුන්වන පලමුවැන්න මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලදී; දෙවන පියවර වූයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ, තරමක් වෙනස් කරන ලද නව ප්‍රති-ත්‍රස්තවාදී පනත් කෙටුම්පතයි.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

සැප්තැම්බර් 4 වැනිදා කැබිනට් අමාත්‍ය ප්‍රකාශක බන්දුල ගුනවර්ධන මාධ්‍යයට කියා සිටියේ, මෙම පනත් දෙකම ආන්ඩුවේ ගැසට් පත්‍රයේ පලකොට, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ක්‍රියාවට නැංවූ විට, මෙම පියවර මගින්, කම්කරු පන්තිය එහි ප්‍රධාන ඉලක්කය කර ගනිමින්, ආන්ඩුවට එරෙහි සියලු විරෝධයන් මැඩලීමට වික්‍රමසිංහ පරිපාලනයට ඒකාධිපති බලතල ලබා දෙනු ඇත.

මෙම නව පනත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද වික‍්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන මහජන විරෝධයට ප‍්‍රතිචාරයකි. රාජ්‍ය ව්‍යවසායන් 430 ක් ප්‍රතිව්‍යුහගත කිරීම/පෞද්ගලීකරනය කිරීම සහ ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීම මෙම පියවරයන්ට ඇතුලත් වේ. ආන්ඩුව මේ වන විටත් මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා දැඩි අරමුදල් කප්පාදුවක් පනවා ඇත; ජලය සහ විදුලි ගාස්තු දැරිය නොහැකි මට්ටමට ඉහල දමා, වැටුප් ලබන්නන් මත දැවැන්ත බදු බර පටවා ඇත.

මෙම ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන්, පසුගිය වසරේ අප්‍රේල්-ජූලි මහජන නැගිටීම මෙන්ම එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකල මහජන නැගිටීමක් වැනි ආන්ඩු විරෝධී මහජන පිපිරීමක් ඇති කරනු ඇතැයි ආන්ඩුව බිය වේ.

පසුගිය වසරේ නැගිටීම අතරතුර, මිලියන සංඛ්‍යාත ජනතාවක් රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව තම අදහස් බෙදාහදා ගත්තේ සහ සංවිධානය වූයේ සමාජ මාධ්‍ය හරහා ය. කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරය විවිධ ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ඇති වෘත්තීය සමිති නිලධරයන් විසින් පාවා දෙන ලදී.

වෘත්තීය සමිති නිලධරය ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහි කම්කරුවන්ගේ විරෝධය මැඩපවත්වමින් සිටින අතරේ, තමන්ට මෙම කාර්මික පොලිස් බලකාය මත පමනක් විශ්වාසය තැබිය නොහැකි බව දන්නා වික‍්‍රමසිංහ, තව තවත් ඒකාධිපති බලතලවලින් රාජ්‍යය සන්නද්ධ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

බීඑස්ඕඑම් හි අරමුන 'අන්තර්ජාලය හරහා පැතිරෙන අසත්‍ය තොරතුරු වලින් සාමාන්‍ය ජනතාවට සිදුවන හානිය වැලැක්වීම' බවට වන ආන්ඩුවේ ප්‍රකාශය ව්‍යාජය. එහි සැබෑ අරමුන වන්නේ ආන්ඩුව, ආන්ඩුවට පක්ෂපාතී කොටස් සහ බෞද්ධ ආගමික සංස්ථාපිතය පිලිබඳ සියලු විවේචන වාරනය කිරීම සහ මෙම ආයතනවලට එරෙහිව සංවිධානාත්මක අරගලයක් වැලැක්වීමයි.

මාධ්‍ය වෙත ලබා දී ඇති තොරතුරු අනුව, නව පනත් කෙටුම්පතේ නව පරාසයක අපරාධ අඩංගු වේ. ඒවා නම්:

• ශ්‍රී ලංකාව තුල සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම

• අසත්‍ය අපහාසාත්මක ප්‍රකාශ

• හේතුවක් නොමැතිව කරන කුපිත කිරීම් මගින් කෝලාහල සඳහා පාර කැපීම

• අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීම්වලට බාධා කිරීම

• හුදෙක් ආගමික හැඟීම් පීඩාවට පත් කිරීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම

• සාමය කඩකිරීමේ අරමුන ඇතිව හිතාමතා කරන අසත්‍ය ප්‍රකාශයක් මගින් අපහාසයට පත් කිරීම

• ආන්ඩුවට එරෙහිව කෝලාහලයක් හෝ විරෝධයක් ඇති කිරීමේ අරමුනින් අසත්‍ය ප්‍රකාශ සංසරනය කිරීම

• හිරිහැර ඇති කිරීමේ අරමුනින් සිදුවීම් පිලිබඳ ප්‍රකාශයන් සන්නිවේදනය කිරීම

• ලමා අපචාර, වංචා සහ බොට් (පරිශීලකයෙකු හෝ වෙනත් වැඩසටහනක් සඳහා නියෝජිතයෙකු ලෙස, නැතහොත් මානව ක්‍රියාකාරකමක් අනුකරනය කිරීමට ක්‍රියා කරන පරිගනක වැඩසටහනක්) නිෂ්පාදනය, හෝ විරෝධයක් ඇති කිරීමේ අරමුනින් ඒවා වෙනස් කිරීම.

මෙම නොපැහැදිලි සහ පුලුල් ලෙස නිර්වචනය කල හැකි අපරාධ මගින්, ආන්ඩුවට එරෙහිව කරන ඕනෑම විවේචනයක් බෙදාගැනීම හෝ ප්‍රකාශනය කරන සහ විරෝධතා, පෙලපාලි, වැඩ වර්ජන හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් සමාජ මාධ්‍යවල සංවිධානය කරන ඕනෑම අයෙකු අපරාධකරුවෙකු බවට පත්වනු ඇත. පනත ගැසට් කල විට මෙම 'අපරාධ' සඳහා දඬුවම් දැනගැනීමට ලැබෙනු ඇත.

යූ ටියුබ් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කිරීම සඳහා තම ආන්ඩුව නව නීති සම්පාදනය කරමින් සිටින බව ජනාධිපති වික්‍රමසිංහ ජනවාරි මාසයේදී නිවේදනය කලේය. මේවා, සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය නියාමන පනත ආදර්ශයට ගන්නා බව ඔහු පැවසීය. පොලිස් රාජ්‍යයක් වන සිංගප්පූරුවට මාධ්‍යවලට මුකවාඩම් බැඳීම සඳහා, සිරගත කිරීම සහ ඩොලර් 715,000 දක්වා දඩ මුදල් ද ඇතුලුව දැඩි දඬුවම් සහිත කුරිරු නීති මාලාවක් ඇත.

ආන්ඩුවේ කප්පාදුවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල වන ප්‍රහාරවලට එරෙහි ශිෂ්‍ය විරෝධයට ප්‍රතිචාර වශයෙන්, 2023 මාර්තු 7 වන දින, ආරක්ෂක හමුදා කොලඹ විශ්වවිද්‍යාලය අසල රැස් ව සිටි අයුරු.

බීඑස්ඕඑම් හි ආගමට සම්බන්ධ “අපරාධ” ලැයිස්තුගත කර ඇත්තේ, ආන්ඩුව පවසන පරිදි, ආගමික සහ වාර්ගික සහජීවනය ඇති කිරීම සඳහා නොව; කම්කරු පන්තිය බෙදීමට කොලඹ පාලක ප්‍රභූව විසින් දශක ගනනාවක් තිස්සේ භාවිතා කර ඇති සිංහල-බෞද්ධ ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීම සඳහා ය.

බුද්ධාගමට අපහාස කල බවට චෝදනා එල්ල වූ කලාකරුවන්ට එරෙහිව සිදුකරන වාරන ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආන්ඩු කුප්‍රකට ය. 2019 වසරේ මුල් භාගයේදී, සම්මානලාභී කතුවරයෙකු වන ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන මාස 18 ක් රඳවාගෙන සිටියේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පල වූ එක් කෙටිකතාවක් බුදුදහමට අපහාස කර ඇති බවට වූ ව්‍යාජ චෝදනාවක් මත ය.

මේ වසරේ මැයි මස අගදී, ස්ටෑන්ඩ්-අප් ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන මාසයකට වැඩි කාලයක් මෙවැනිම ව්‍යාජ චෝදනා මත රඳවා තබා ගන්නා ලදී. වික්‍රමසිංහගේ යෝජිත අන්තර්ජාල ආරක්ෂන පියවරයන්, ප්‍රකාශනයේ නිදහසට එරෙහි මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන් වඩාත් දරුනු මට්ටම් කරා ගෙන යනු ඇත.

මාර්තු මාසයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද ආන්ඩුවේ ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත (ඒටීබී) තාවකාලිකව ඉවත් කර ගැනීමට බල කෙරෙමින්, ශ්‍රී ලංකාව තුල සහ ජාත්‍යන්තරව පුලුල් ලෙස හෙලා දකින ලදී.

පසුගිය සතියේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කලේ, තමන් “පුලුල් පරාසයක මතවාද” සලකා බැලීමෙන් පසුව පනත් කෙටුම්පත වෙනස් කල බවයි. මහජන විරෝධයට බියෙන්, අමාත්‍යාංශය විසින් යෝජිත නීතියේ නව අන්තර්ගතය තවමත් හෙලි කර නොමැති මුත්, එය බාහිර වෙනස්කම් කිහිපයක් පමනක් වනු ඇත.

වත්මන් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට (පීටීඒ) ආදේශකයක් ලෙස ඉදිරිපත් කෙරෙන නව පනත් කෙටුම්පත, ආන්ඩුව පවසන පරිදි, ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා නොව, ආන්ඩු විරෝධී සටන්කරුවන් සහ විපක්ෂ දේශපාලනඥයන් “ත්‍රස්තවාදීන්” ලෙස දඩයම් කිරීම සඳහා ය. එමෙන්ම අන්තර්ජාල ආරක්ෂන පනත් කෙටුම්පත මෙන්ම එහි ද ප්‍රධාන ඉලක්කය වනු ඇත්තේ කම්කරු පන්තිය සහ එහි සංවිධානයන් ය.

1983 දී ආරම්භ වූ දෙමල විරෝධී යුද්ධයට සූදානම් වීම සඳහා එවක පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් 1979 දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කරන ලදී. මෙම පියවර මුලු රට පුරා කම්කරුවන් හා තරුනයන් මර්දනය කිරීමට යොදා ගැනුනි.

මාර්තු මාසයේ ඉදිරිපත් කල ඒටීබී ට අනුව, 'ත්‍රස්තවාදය' ලෙස අර්ථ දක්වා ඇත්තේ:

• ඕනෑම පොදු ස්ථානයකට, රාජ්‍ය හෝ ආන්ඩුවේ පරිශ්‍රයකට, ඕනෑම පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යටිතල පහසුකම් හෝ පරිසරයකට බරපතල හානි සිදු කිරීම

• අත්‍යාවශ්‍ය සේවා හෝ සැපයුම්වලට හෝ කිසියම් අත්‍යාවශ්‍ය සේවාවක් හෝ සැපයුමක් හා සම්බන්ධ කිසියම් තීරනාත්මක යටිතල පහසුකම් හෝ සැපයුම් පහසුකමකට බරපතල බාධාවක් හෝ හානියක් හෝ බාධාවක් ඇති කිරීම

• මහජනතාවගේ හෝ එහි කොටසකගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම; ඉහත ඡේදවල දක්වා ඇති ඕනෑම ක්‍රියාවක් සඳහා වන නීති විරෝධී රංචුගැසීමක සාමාජිකයෙකු වීම හෝ නොතැකීම හේතුවෙන් එවන් ක්‍රියාවක් සිදුවීම

ප්‍රකාශනයේ නිදහස යටපත් කිරීමට අමතර වූ රෙගුලාසි ද ඒටීබී හි අඩංගු විය. “ජනතාවගේ ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිලිබඳ වරද සිදු කිරීමට ඒ සඳහා සූදානම් වීමට හෝ පෙලඹවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොලඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පල කරන්නා වූ හෝ පල කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපනය සිදු කරන්නා වූ” චෝදනා මත 'ත්‍රස්තවාදය' සඳහා නඩු පැවරිය හැකි බව එහි සඳහන් වෙයි.

නඩු පවරන අයට මරනීය දන්ඩනයට මුහුන දීමට සිදුවිය හැකිය.

වික‍්‍රමසිංහගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති සහ ඔහුගේ රාජ්‍ය යන්ත‍්‍රය වේගයෙන් ශක්තිමත් කිරීම ජාත්‍යන්තරව ධනේශ්වර පාලක ප‍්‍රභූවේ ක‍්‍රියාවන්ට අනුකූල වේ. සෑම තැනකම රැකියා, ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව නැගී එන කම්කරු පන්තියේ විරෝධයට මුහුන දී සිටින පාලක පන්තීන් ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටී.

වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර සහ එහි ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පිලිවෙත් පරාජය කල හැක්කේ, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ, ග‍්‍රාමීය දුගීන් පෙලගස්වාගන්නා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුලින් පමනි. මෙම සටන ගෙන යාමට කම්කරුවන් ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සියලුම වැඩපලවල, ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල සහ ගම්බද ප්‍රදේශවල තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය, ආන්ඩුවට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමේ බල කේන්ද්‍රයක් ලෙස මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම්ව කම්කරු පන්තියේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවා ඇත. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා වික්‍රමසිංහ තන්ත‍්‍රය පන්නා දැමීමට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට සටන් කිරීමට මෙම අරගලය මාධ්‍යයන් සපයනු ඇත.

Loading