සසජාතශි කොලඹ පවත්වන ප්‍රසිද්ධ යුද විරෝධී රැස්වීමට සහභාගී වන්න! ගාසාවේ පලස්තීනුවන්ට එරෙහි ව සිදු කෙරෙන ඊශ්‍රායල් ජනසංහාරක යුද්ධය නතර කරනු!

[මෙය Attend the IYSSE anti-war public meeting in Colombo! Stop the Israel genocidal war against Palestinians in Gaza! මැයෙන් 2023 ඔක්තෝබර් 17 ඉංග්‍රීසි බසින් පල විය.]

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 19) සවස 3ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී “යුක්‍රේනයේ යුද්ධය සහ එය නතර කරන්නේ කෙසේ ද?” යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

ඊශ්‍රායලයේ සියොන්වාදී නෙතන්යාහු තන්ත්‍රය විසින් ගාසාවේ පලස්තීනුවන්ට එරෙහි ව දියත් කරමින් පවතින ජනසංහාරක යුද්ධය මධ්‍යයේ මෙම රැස්වීමේ හදිසිභාවය අත්කර ගෙන ඇත.

කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුන් සමග සාකච්ඡාවක නිරත වන සසජාතශි සාමාජිකයෙක්

යුක්‍රේනය මැදි කර ගෙන රුසියාවට එරෙහි ව කෙරෙන ඇමරිකන් නේටෝ යුද්ධයටත් පලස්තීනුවන්ට එරෙහි ව අධිරාජ්‍යවාදී පිටුබලය යටතේ දියත් කෙරෙමින් පවතින සංහාරයටත් එරෙහි වන්නා වූ මෙම රැස්වීමට සහභාගී වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ව්‍යසනකාරී තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය ඉස්මතු කර ඇති අධිරාජ්‍යවාදී යුද ධාවනයට එරෙහිව කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ මූලෝපාය මෙම රැස්වීමේ දී සාකච්ඡා කෙරෙනු ඇත.

සසජාතශි, ඊශ්‍රායල ආක්‍රමනයට එරෙහි ව සිදු වුනු පලස්තීන මහජන නැගිටීම තලා දැමීමට ගාසාවේ දියත් කර ඇති නෙතන්යාහු ආන්ඩුවේ කෲර යුද්ධය හෙලා දකියි. ඊශ්‍රායලයේ යුද්ධයට එරෙහිවත් පලස්තීනුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් ලෝකය පුරා විරෝධතාවයට එක් ව සිටින මිලියන සංඛ්‍යාත ජනතාව සමග අපි එකට සිට ගනිමු.

පසුගිය දින දහය පුරා අනවරත බෝම්බ ප්‍රහාරයන්ට ගාසාව යටත් කල නෙතන්යාහු ආන්ඩුව දැන් උතුරු ගාසාවෙහි වෙසෙන මිලියන 1.1ක ජනකායට පලා යන ලෙස නියම කරමින් කුඩා බිම් තීරුවක් වන ගාසාව ආක්‍රමනය කර තම ජනසංහාරක අපරාධය පුලුල් කිරීමට කැසපොට ගසා සිටියි. මෙය, නාසි ජර්මනියේ යුද අපරාධවලට පසු නොඇසූ ගනයේ අපරාධයකට අර ඇදීමකි.

මේ වන විට ලමයින්, මහලු අය සහ කාන්තාවන් ඇතුලු ව අවම වශයෙන් 3000ක් ජනයා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් මරනයට පත්ව; තවත් දහස් ගනනක් තුවාල ලබා සිටිති. නෙතන්යාහු ආන්ඩුවේ වටලෑම හේතු කොට ගෙන ගාසාවේ මිලියන දෙකකට අධික ජනගහනයට ජලය, ආහාර, විදුලි බලය සහ ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය දේ අහිමි කෙරී පවතී.

ඊශ්‍රායල ආන්ඩුවේ ප්‍රධාන මුක්කුකරුවා වන ඇමරිකානු අධිරාජ්‍යවාදය යුද්ධයට තම පූර්න සහයෝගය පල කරයි. ජනාධිපති ජෝ බයිඩන් මැද පෙරදිග කලාපයට ජෙට් ප්‍රහාරක යානා රැගත් නාවික යාත්‍රා දෙකක් යවා ඇත. “අපි ඊශ්‍රායලය සමග එකට සිටිනවා. ත්‍රස්තවාදය මොන යම් ම විදියකින් හෝ සාධාරනීයකරනය කරන්න බෑ” යැයි බයිඩන් කීවේ ය.

යුරෝපයේ සෙසු අධිරාජ්‍යවාදී බලයෝ හමාස් සංවිධානයේ “ත්‍රස්තවාදය” හෙලා දැක යුද්ධයට පූර්න සහයෝගය පල කරති. මේ සියලු බලයන් පසුගිය සහ වර්තමාන සියවස්වල යුද අපරාධකරුවන් ය. වසර 75කට පෙර පලස්තීනය ආක්‍රමනය කොට, පලස්තීනුවන් ඔවුන්ගේ නිජබිම්වලින් ප්‍රචන්ඩ ලෙස පලවා හැර ඊශ්‍රායල් රාජ්‍යය ඇටවීමේ දී ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයෝ ඊට පිටුබලය ලබා දුන්හ. පසුගිය දශකය තුල මෙම ජනයා දහස් ගනනින් මරා දමමින් ද තුවාල සිදුකරමින් ද ගැනිය නොහැකි බෝම්බ වරුසා පතිත කර තිබේ.

අධිරාජ්‍යවාදී බලයන් “ත්‍රස්තවාදය” යනුවෙන් නම් කරන්නේ ඊශ්‍රායල් සියොන්වාදී තන්ත්‍රයේ දශක ගනනාවක ලේ වැකි පීඩනයට එරෙහි ව පලස්තීන ජනතාව දක්වන ප්‍රතිරෝධයයි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියානු ආන්ඩුව සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි අධිරාජ්‍යවාදයේ අතවැස්සෝ නෙතන්යාහුගේ සංහාරය පිටුපස පෙල ගැසී සිටිති.

ප්‍රතිගාමී “ද්වි-රාජ්‍ය විසඳුම”ට, එනම් සියොන්වාදී ඊශ්‍රායල් රාජ්‍යය පසෙකින් ඇති පලස්තීන කුඩා රාජ්‍යක විසඳුමට එරෙහි වන අපි, ජාත්‍යන්තර සමාජවාදය සඳහා පුලුල් අරගලයක කොටසක් වශයෙන් යුදෙවු අරාබි කම්කරුවන්ගේ ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයක විසඳුම ඉදිරිපත් කරන්නෙමු.

 ඔක්තෝබර් 12 වැනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේ ය:

“ගාසා තීරයට එල්ල කල ඊශ්‍රායල ප්‍රහාරය දැකිය යුත්තේ, ලෝක යුද්ධයේ ආරම්භක අදියර වන රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය උත්සන්න වන සන්දර්භය තුල ය. ලෝකයේ අධිරාජ්‍යවාදී යලි බෙදීම හුදෙක් රටවල් අතර ගැටුම්වල ස්වරූපය පමනක් නොව, මහජනතාවට එරෙහිව වෙන කවරදාටත් වඩා සෘජු හා ප්‍රචන්ඩකාරී යුද්ධයක ස්වරූපය ද ගනී. එපමනක් නොව, සියලු ධනේශ්වර රටවල පාලක ප්‍රභූන් මිලිටරි ප්‍රචන්ඩත්වයේ පිපිරීමක් හරහා වෙනතකට හැරවීමට උත්සාහ කරන එකිනෙක අන්තර්ඡේදනය වෙමින් වර්ධනය වන ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුද මාලාවකට ද මුහුන දී සිටියි.”

එන්න එන්න ම ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදයට මුහුන දෙන අධිරාජ්‍යවාදී බලයන්, යලි වතාවක් පෘථිවිගෝලය මංකොල්ල කමින් එය තමන් අතරේ යලි බෙදා ගැනීමකට සැරසී සිටින්නේ න්‍යෂ්ටික ව සන්නද්ධ ජාතීන් අතර තුන් වැනි ලෝක යුද්ධයක ව්‍යසනකාරී අන්තරාය ඉස්මතු කරමිනි. මෙම ගෝලීය ධනේශ්වර අර්බුදයේ කේන්ද්‍රයේ සිටින්නේ තම ගෝලීය ආධිපත්‍යයේ ඓතිහාසික බිඳ වැටීමකට මුහුන දී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. එය තම ගෝලීය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමට තම ඉහල මිලිටරි ශක්‍යතාවන් භාවිතා කිරීමට අධිෂ්ඨානශීලී ව සිටියි.

වොෂින්ටනයේ සහ යුරෝපයේ නේටෝ බලයෝ රුසියාවට එරෙහි ව මිලිටරි ව්‍යාප්තියක නිමග්න වෙමින් යුක්‍රේනයේ යුද්ධය සඳහා ප්‍රකෝපකරනය නිර්මානය කලහ. ඇමරිකානු-නේටෝ අරමුන වන්නේ රුසියාව යටත්කරගනිමින් එහි පිහිටි දැවැන්ත ස්වභාවික සම්පත් කොල්ල කෑමයි. යුක්‍රේන යුද්ධය සෙබලුන් 200 000කට අධික පිරිසකගේත් තවත් සිවිල් ජන ජීවිතත් බිලි ගෙන, නගර සහ ගම්මාන අතුගා දමා ඇත. කෙසේ නමුත්, ඇමරිකාව රුසියාව පූර්න ලෙස යටත්කරගැනීමේ තම භූ දේශපාලනික අරමුන වෙනුවෙන් නිර්දය ලෙස යුද්ධය පෙරට ගෙන යාමට බල කරමින් සිටින්නේ මේ සඳහා තවත් කොපමන යුක්‍රේන සහ රුසියානු ජීවිත බිලිදිය යුතු ද යන්න ගැන නොතකමිනි.

ඒ සමග ම වොෂින්ටනය තම යුද සූදානම් පුලුල් කරමින් සිටින්නේ තායිවානයේ සිටින තමන්ට ගැති තන්ත්‍රය හරහා සිදු කෙරෙන ප්‍රකෝපකරනයන් මතින් චීනය යුද ප්‍රකාශ කිරීමකට කුපිත කරවා ගෙන එය ද යටත්කර ගැනීමේ අරමුනිනි. සමස්ත ආසියා-ශාන්තිකර කලාපය ම ව්‍යසනකාරී යුද ගැටුමකට ඇද දමමින් න්‍යෂ්ටික බලයන් අතර යුද්ධයක තර්ජනය මේ තත්ත්වය විසින් ඉස්මතු කරනු ලැබ ඇත.

දියුනු රටවල මෙන් ම පසුගාමී රටවල ද යුද්ධයේ පිරිවැය පියවා ගැනෙන්නේ කම්කරුවන් සහ දුගී ජන කොටස් මතිනි. යුක්‍රේනයේ දී කෙරී ගෙන යන රුසියාවට එරෙහි ඇමරිකානු නේටෝ යුද්ධයෙන් සහ චීනයට එරෙහි ඇමරිකානු යුද ධාවනයෙන් වැඩිදුර තීව්‍ර වන ගෝලීය ධනවාදී අර්බුදයේ බරපැනත් යුද්ධයේ සමස්ත වියදමත් කම්කරු පන්තිය පිට පටවමින් ගැඹුරු කෙරෙන සමාජ අයිතීන් විනාස කර දැමීම ලෝකය පුරා වැඩි වර්ධනය වන කම්කරු අරගලවලට තුඩු දී ඇත.

ඒ සමග ම, ලෝකය පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවෝ සහ තරුනයෝ ගාසාවේ ඊශ්‍රායල ජනසංහාරක යුද්ධයට එරෙහි ව විරෝධතාවලට සහ පෙලපාලිවලට පැමින සිටිති. ඒ, ඊශ්‍රායල් යුද්ධයට එරෙහි වීම “යුදෙවු විරෝධී ක්‍රියා” සහ “ත්‍රස්තවාදයට අනුබල දීම්” හැටියට දුෂ්ඨ ඊශ්‍රායල් ගැති ප්‍රචාරන ව්‍යාපාරය විසින් හංවඩු ගසනු ලැබ සහ අධිරාජ්‍යවාදී රටවල ආන්ඩු ඒවා තහනම් කරනු ලැබ ඇති වාතාවරනය ද නොතකමිනි.

යුද්ධයට එරෙහි ව වර්ධනය වන මෙම විරෝධත්වය අවශ්‍ය කෙරෙන දේශපාලන ක්‍රියාමාර්ගයෙන් සහ ඉදිරිදර්ශනයෙන් සන්නද්ධ කරමින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් බවට වර්ධනය කල යුතු ය. යුක්‍රේනයේ සහ ගාසාවේ යුද්ධ සහ අධිරාජ්‍යවාදී යුද ධාවනය නතර කිරීම සඳහා වන අරගලය ගෙන යා හැකි එක ම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. සසජාතශි, හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ සමග එක් ව කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ එබඳු ඒකාග්‍ර ජාත්‍යන්තර ව්‍යාපාරයක් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත ගොඩ නැගීමට සටන් වදියි.

තරුනයන්ගේ සහ කම්කරුවන්ගේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ එම කර්තව්‍යයේ කොටසක් වශයෙන්, සසජාතශි විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරුවන්ට සහ තරුනයින්ට කැඳවුම් කර සිටින්නේ, ගාසාවේ ඊශ්‍රායල යුද්ධයත් යුක්‍රේනයේ සිදු කෙරෙන රුසියාවට එරෙහි ඇමරිකන්-නේටෝ යුද්ධයත් නිමා කරන මෙන් බල බල කරමින් මහජන විරෝධතා, පෙලපාලි සහ වැඩවර්ජන සංවිධානය කරන ලෙසයි. එහි දී පහත දැක්වෙන සටන්පාඨ ඉදිරිපත් කල යුතු වෙයි:

  • අධිරාජ්‍යවාදී පිටුබලය සහිත ව ගාසාවට එරෙහි ව නෙතන්යාහු ආන්ඩුව විසින් දියත් කරනු ලැබ ඇති රුදුරු හමුදා ප්‍රහාර නතර කරනු!
  • යුදෙවු, පලස්තීන සහ අරාබි කම්කරුවන්ගේ එකමුතුව ගොඩනගනු!
  • යුක්‍රේනයේ දී සිදු කෙරෙන රුසියාවට එරෙහි ඇමරිකානු-නේටෝ යුද්ධය නතර කරනු!
  • ඇමරිකානු සහ යුරෝපීය ආන්ඩු ගාසාවේ ජනසංහාරක යුද්ධයට ලබා දී ඇති සහාය නතර කරනු!
  • ඊශ්‍රායලය ගාසාව වටලා සිටීම වහා ම නතර කර ජලය, විදුලිය, ඉන්ධන සහ ඖෂධ ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට අවශ්‍ය ප්‍රවේශය සුරක්ෂිත කරනු!

කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, ඔක්තෝබර් 19 වැනි දා සවස 3ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවැත් වෙන යුද විරෝධී රැස්වීමට සහභාගී වී යුද විරෝධී ව්‍යාපාරය ගොඩ නැගීම සඳහා තීරනාත්මක වන ජාත්‍යන්තර සමාජවාදයේ දේශපාලන ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය ගැන සාකච්ඡාවට සම්බන්ධ වන ලෙසයි.

සසජාතශි කෝවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය බරපතල ලෙස සලකයි. එ නිසා අපි සහභාගී වන සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නේ ඔබේත් සෙසු අයගේත් ආරක්ෂාව උදෙසා කේඑන්-95 මුව ආවරනයක් පැලඳ සෞඛ්‍යාරක්ෂිත ව මෙම රැස්වීමට සහභාගී වන ලෙසයි.

Loading