ගාසා තීරයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරය මධ්‍යයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඊශ්‍රායල රාජ්‍යය සමඟ “පෙලගැසෙයි”

[මෙය India and Sri Lanka “stand with” Israeli state amid its barbaric assault on Gaza යන මැයෙන් 2023 ඔක්තෝබර් 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදය සමග පෙල ගැසී සිටින ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දක්ෂිනාංශික ආන්ඩු, දශක ගනනාවක කුරිරු වාඩි ලා ගැනීමට එරෙහි පලස්තීන නැගිටීම හෙලා දැකීමේ දී සහ ගාසා තීරයේ මහජනතාව මත නෙත‍යාහු ආන්ඩුව එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයට සහය දැක්වීමේ දී තම අධිරාජ්‍යවාදී ස්වාමිවරුන් සමග එකතු වී ඇත.

සෙනසුරාදා (7), හමාස් සටන්කරුවන්, ඊශ්‍රායලය විසින් වසර 15 කට වැඩි කාලයක් ගාසා තීරයේ පවත්වා ගෙන යනු අවහිර කිරීම් බිඳ දමා පැය කිහිපයකට පසු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින්, “මෙම දුෂ්කර මොහොතේ දී අපි ඊශ්‍රායලය සමඟ සහයෝගයෙන් සිටිමු” යැයි ප්‍රකාශ කලේ ය.

වාර්ගික උසිගැන්වීමේ සහ ප්‍රචන්ඩත්වයේ යෙදී සිටින ආන්ඩුවකට නායකත්වය දෙන්නාවූ ද, 2002 දී, එවකට ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ගුජරාට්-මුස්ලිම් විරෝධී සංහාරය මෙහෙයවන ලද්දා වූ ද මෝදි, කුහක ආකාරයෙන් 'ත්‍රස්තවාදය' හෙලා දැකීමට, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟ එක් විය. ඉන්දියාව “ඊශ්‍රායලයේ ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳ පුවතෙන් දැඩි කම්පනයට පත් විය.... අපි මේ දුෂ්කර මොහොතේ දී ඊශ්‍රායලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු” යැයි ඔහු ප්‍රකාශ කලේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2018 ජනවාරි මාසයේදී රාජ්‍ය සංචාරයක් සඳහා පැමිනි ඔහුගේ ඊශ්‍රායල ප්‍රතිරූපකයා වන බෙන්ජමින් නෙතන්‍යාහුට සුබ පතයි [Photo: Government of Israel ]

ඊශ්‍රායල අගමැතිගේ දුරකථන ඇමතුමකින් දින තුනකට පසුව, මෝදි, නෙතන්යාහු පාලන තන්ත්‍රය විසින් ගෙන ඇති සාපරාධී ක්‍රියාමාර්ග සඳහා තම ආන්ඩුව පූර්න සහයෝගය දක්වන බව ඇඟවුම් කලේය—ගාසා තීරයට ආහාර, ජලය, බලශක්තිය සහ ඖෂධ සඳහා ඇති සියලු ප්‍රවේශය කපා හැරීම; සමස්ත අසල්වැසි ප්‍රදේශ සමතලා කර දැමූ දැවැන්ත ගුවන් බෝම්බ ප්‍රහාර ගාසා තීරයට එල්ල කිරීම; සහ පලස්තීනුවන් මිලියන 2.3 ක් වෙසෙන කුඩා වටවූ ප්‍රදේශයට එල්ල කෙරෙන ජන සංහාරක ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වීම.

ඔහුගේ කාර්යාලය විසින් නැවත නිකුත් කරන ලද කෙටි ට්විටර් පනිවුඩයක මෝදි, “දැනට පවතින තත්ත්වය පිලිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම ගැන මම අගමැති නෙතන්යාහුට ස්තූතිවන්ත වෙනවා,” යයි ප්‍රකාශ කලේ ය. “මෙම දුෂ්කර මොහොතේ දී ඉන්දියාවේ ජනතාව ඊශ්‍රායලය සමඟ ස්ථිර ව සිට ගනී. ඉන්දියාව ත‍්‍රස්තවාදය, එහි සියලූ ආකාරවලින් සහ ප‍්‍රකාශනවලින් තරයේ හෙලා දකී.”

මෝදි, බිහිසුනු යුද අපරාධ සිදු වෙද්දී නෙතන්යාහු ආන්ඩුව වැලඳ ගැනීම, ඔහුගේ දශකයකට ආසන්න බීජේපී ආන්ඩුව යටතේ නව දිල්ලිය ටෙල් අවිව් සමග ගොඩනගා ගෙන ඇති ඉතා සමීප සහ මුලුමනින්ම ප්‍රතිගාමී මිලිටරි-මූලෝපායික සම්බන්ධතා සනාථ කරයි. මුස්ලිම්වරුන් කෙරෙහි ඔවුන්ගේ පොදු වෛරය තුල, භාරතීය ජනතා පක්ෂ හින්දු අධිපතිවාදීනුත් නෙතන්යාහු සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික සභාග හවුල්කරුවනුත් අතර දෘෂ්ඨිවාදී නෑකමක ශක්තිමත් බැඳීමක් ද පවතී.

කෙසේ වෙතත්, පලස්තීන ජනතාවට එරෙහි ඒකපාර්ශ්වික යුද්ධයේ දී ඉන්දියාව ඊශ්‍රායලයට දක්වන දැඩි සහයෝගය, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග එහි “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයේ” සහ බීජිනයට එරෙහි උපායමාර්ගික ප්‍රහාරයෙ දී වොෂින්ටනයේ සර්වපාර්ශ්වික ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරිමය වශයෙන් සදා ගැඹුරු වන ඒකාග්‍රතාවයේ ප්‍රතිඵලයයි. ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපද ඉදිරි පෙල රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇති තරම පිලිබඳ කිලිපොලා යන ඇඟවුමක් ලෙස, කවදා හෝ වොෂින්ටනය චීනය සමග යුද්ධයට ගිය හොත් එක්සත් ජනපදයට ආධාර කරන්නේ කෙසේද යන්න පිලිබඳව තමන් වහා සැලසුම් සකස් කරමින් සිටින බව ඉන්දියානු මිලිටරිය මෑතක දී හෙලි කලේ ය.

දශක ගනනාවක් තිස්සේ ඊශ්‍රායලය සේවය කරන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මැද පෙරදිග වැදගත්ම මූලෝපායික හවුල්කරුවා ද, එහි අවශ්‍යතාවන්ට එරෙහි ව සිටින විවිධ ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ට සහ කලාපයේ පීඩිත කම්කරුවන්ට සහ වැඩ කරන ජනයාට එරෙහි එහි දඩ බල්ලා ද ලෙස ය. ඉන්දු-ඊශ්‍රායල් සබඳතා බෙහෙවින් දිරිමත් කර ඇති වොෂින්ටනය, කලාපය තුල වැඩෙන චීන සහ ඉරාන බලපෑමට එරෙහි ව ඊශ්‍රායලය සහ සුවිශේෂතාවාදී ගල්ෆ් රාජාන්ඩු අතර සමීප සබඳතා තැරැව් කිරීමේ එහි ප්‍රයත්නයන් වෙත, යම් සාර්ථකත්වයක් ද ඇති ව, නව දිල්ලිය ඇදගෙන ඇත.

නෙතන්යාහු තන්ත‍්‍රයට සහ පලස්තීන ජනතාවට එල්ල කරන ප‍්‍රහාරයට මෝදිගේ සහයෝගය කෙතරම් දැඩි ද යත්, එක්සත් ජනපද ගැති ගල්ෆ් රාජ්‍යයන් සමහරක් මවිතය පවා පල කර ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල ආක්‍රමනයටත්, පලස්තීනුවන් ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමටත් එරෙහි ව කලින් ප්‍රකාශ කල විරුද්ධත්වය සම්බන්ධයෙන් නවදිල්ලියේ මෙතෙක් පැවති සම්පූර්න නිශ්ශබ්දතාවය ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයක් මගින් බිඳ දමනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බව පැවසේ.

කෙසේ වෙතත් අද වන විට මෝදි විදේශ අමාත්‍යාංශයට නියෝග කර ඇත්තේ නිහඬ ව සිටින ලෙසයි. ඔහු තම ආන්ඩුවේ ආස්ථානය පුද්ගලිකව අන කිරීමට සහ ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වයි—වොෂින්ටනයේ ආස්ථානය පිලිබිඹු කරන එය, නෙතන්‍යාහුට සහ ඊශ්‍රායල මිලිටරියට ගාසා තීරයේ ජනතාව ඝාතනය කිරීමට හෝ නෙරපා හැරීමට පූර්න නිදහස ලබා දෙයි.

ඊශ්‍රායලය සමඟ ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින මූලෝපායික සන්ධානය

නව දිල්ලිය 1992 දී ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කලේ මූලෝපායිකව යලි-දිශාගත වීම මධ්‍යයේ ය. එහි රාජ්‍ය-මූලික සංවර්ධන මූලෝපාය අසාර්ථක වූ පසු, ඉන්දියානු ධනේශ්වරය එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක ධනේශ්වර පර්යායට පූර්න ලෙස ඒකාග්‍ර වෙමින්, ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ-ශ්‍රම තෝතැන්නක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීමටත්, වොෂින්ටනය සමඟ වඩාත් සමීප සබඳතා ගොඩනගා ගැනීමටත් අපේක්ෂා කලහ. දශකයකට මදක් වැඩි කාලයක් ඇතුලත, ඉන්දු-එක්සත් ජනපද මූලෝපායික හවුල්කාරිත්වය නව දිල්ලියේ විදේශ ප්‍රතිපත්තියේ මූල් ගල විය. ඒ හා සමාන ව, ඉන්දු-ඊශ්‍රායල් සබඳතා, විශේෂයෙන් හමුදා සහ බුද්ධි සහයෝගීතාව ආරම්භ විය.

1999 දී පාකිස්ථානය සමඟ පැවති කාර්ගිල් දේශසීමා යුද්ධයේදී ඊශ්‍රායලය ඉන්දියාවට මෝටාර් සහ පතොරම් ලබා දුන් අතර එතැන් පටන් එය ඉන්දියාවේ දෙවන හෝ තුන්වන විශාලත ම ආයුධ සහ ආයුධ පද්ධති මූලාශ්‍රය විය. ඉන්දියාව ඊශ්‍රායලයෙන් ලබාගෙන ඇති උපකරන අතරට ෆැල්කන් AWACS (ගුවන් අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධති), හෙරන්, සර්චර් II සහ හැරප් ඩ්‍රෝන යානා මෙන්ම බැරැක් මිසයිල නාශක ආරක්ෂක පද්ධති සහ ස්පයිඩර් ක්ෂනික-ප්‍රතිචාරක ගුවන් යානා නාශක මිසයිල පද්ධති ඇතුලත් වේ.

ඉන්දියාවේ සාම්ප්‍රදායික ආස්ථානයෙන් කැපී පෙනෙන වෙනස් මගක් ගනිමින්, 2014 ගාසා යුද්ධයේදී ඊශ්‍රායලය විසින් පලස්තීන සිවිල් වැසියන් කෲර ලෙස ඝාතනය කිරීම විවේචනය කරන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට බීජේපී ආන්ඩුව 2015 සහ 2016 දී ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

එහෙත්, 2017 ජූලි මාසයේදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු විසින් ඊශ්‍රායලයට කරන ලද ප්‍රථම සංචාරය වූ මෝදිගේ පැමිනීමත් සමඟ, ඉන්දු-ඊශ්‍රායල් සබඳතාවල මූලෝපායික හවුල්කාරිත්වය නව තලයකට එසවිනි. එතැන් පටන් මෝදි ඊශ්‍රායලය සමඟ ඉන්දියාවේ මිලිටරි-බුද්ධි සහ ආර්ථික සබඳතා පුලුල් කිරීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුනක් බවට පත් කර ගත්තේය. ඒ සඳහා, ඇත්ත වශයෙන් ම ඔහුගේ පලමු ධූර කාලය තුල 2014 අගෝස්තු සිට 2019 අගෝස්තු දක්වා, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස සේවය කල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පසුගිය වසර හතර පුරා ඊශ්‍රායලයේ ඔහුගේ තානාපතිවරයා හැටියට පත් කලේය.

සැබෑ නව දිල්ලි-ටෙල් අවිව් අක්ෂයක් වර්ධනය කිරීමත් සමඟ, වොෂින්ටනය ඉන්දියාව සිය මැදපෙරදිග ප්‍රතිපත්තියට වඩා ගැඹුරින් ඇද ගැනීමට උත්සාහ කර ඇත. 2021 ඔක්තෝබර් මාසයේදී, වොෂින්ටනය ආර්ථික අංශ ගනනාවක හවුල් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුනින් ඉන්දියාව, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපදයෙන් සමන්විත I2U2 සමූහය පිහිටුවන ලදී. පසුගිය මාසයේ නව දිල්ලියේ පැවති G-20 සමුලුවේදී, එක්සත් ජනපද ජනාධිපති බයිඩන් නිවේදනය කලේ, චීනයට විකල්ප ගෝලීය නිෂ්පාදන දාම කේන්ද්‍රස්ථානයක් ලෙස ඉන්දියාව මතුවීමට පහසුකම් සලසන පරිද්දෙන් වොෂින්ටනය, ඉන්දියා-මැදපෙරදිග-යුරෝපීය ආර්ථික ගමන් මාර්ගයක් තනනු ඇති බව යි. මෙම යෝජනා ක්‍රමය යටතේ, ඉන්දියාවේ අදානි සමූහය විසින් මෑතකදී මිලදී ගන්නා ලද ඊශ්‍රායල හයිෆා වරාය, ආසියාව සහ යුරෝපය අතර ප්‍රධාන ආර්ථික සම්බන්ධකයක් ලෙස සේවය කිරීමට නියමිතය.

අධිරාජ්‍යවාදී ආක්‍රමනයට සහ යුද්ධයට සහාය දීමේ ඉන්දියාවේ භූමිකාව

නව දිල්ලිය, මොස්කව් සමඟ පවත්වාගෙන ගිය දිගුකාලීන මූලෝපායික හවුල්කාරිත්වය බිඳ දමා, යුක්‍රේන යුද්ධයේදී රුසියාව පරාජය කර යටත් කර ගැනීම සඳහා වන තම ධාවනයට සහාය දක්වන ලෙස වොෂින්ටනය, ලන්ඩන්, බර්ලිනය, පැරිස් සහ බ්‍රසල්ස් වෙතින් වන ඉල්ලීම් ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇත.

නමුත්, ඉන්දියාව 'මූලෝපායික ස්වයං පාලනයක්' සහ 'බහු ධ්‍රැවීය ලෝකයක' සියලු දෙනා සමඟ 'මිත්‍රශීලී' සබඳතා ලුහුබඳින බවට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ගේ බොහෝ ප්‍රකාශයන් නොතකා, අනෙකුත් බොහෝ භූ දේශපාලන පෙරමුනු වලදී, එහි ප්‍රතිපත්තිය වොෂින්ටනය සමග වඩාත් සමීපව පෙලගැසී ඇත.

ඉරානය එයට උදාහරනයකි. නව දිල්ලිය ඉරානය සමඟ ඇති සබඳතා අඩු කරන ලෙසට වන එක්සත් ජනපද ඉල්ලීම්වලට නැවත නැවතත් එකඟ වී ඇත. ඉරානයේ මිත්‍රයෙකු වන හමාස් සංවිධානයට එරෙහිව සමූලඝාතන යුද්ධයක් ඊශ්‍රායලය දියත් කිරීමට එහි (නව දිල්ලියේ) පූර්න සහයෝගය, ටෙහෙරානය සමඟ සබඳතා අවුල් කරනු ඇත. විශේෂයෙන්ම පසුගිය සති අන්තයේ හමාස් විසින් මෙහෙයවන ලද කැරැල්ලට ඉරානය වගකිව යුතු බවටත් 'ඒ වෙනුවෙන් ගෙවීමට සැලැස්විය යුතු' බවටත් බොහෝ අධිරාජ්‍යවාදී පාර්ශව වලින් ඉල්ලීම් මතුව තිබේ.

ඉන්දියානු ධනේශ්වරයට සහ තුර්කියේ සහ බ්‍රසීලයේ සිට චීනය දක්වාත්, පුටින්ගේ රුසියාව දක්වාත් වන අනෙකුත් දක්ෂිනාංශික ධනේශ්වර ප්‍රභූන්ට බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ට ප්‍රගතිශීලී ප්‍රතිවිරෝධයක් ලෙස සේවය කල හැකි බවට, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට (මාක්ස්වාදී) සහය දක්වන එක්සත් ජනපදය පදනම් කරගත් ශාස්ත්‍රාලික විජේ ප්‍රශාද් වැනි විවිධ ව්‍යාජ වම්මු ප්‍රකාශ කරති.

යථාර්ථය නම්, ඔවුන්ගේ සියලුම පාලක පන්තීන් තමන්ගේ කොල්ලකාරී අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට උපාමාරු දමමින් සිටින අතර අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරීත්වයට හා යුද්ධයටත්, එය පැනනංවන ධනේශ්වර පද්ධතියටත් තිත තැබීමට සමාජ බලය ඇති එකම බලවේගය වන කම්කරු පන්තියට එක ලෙසට ම සතුරු ය.

“බහු-ධ්‍රැවීය ලෝකයකට” සහාය දෙන ලෙස වැඩකරන ජනතාව සඳහා කෙරෙන කැඳවුම කෙතරම් ප‍්‍රතිගාමී ආවෘත-අන්තයක් ද යන්න ඒකාධිකාරී, අන්ත දක්ෂිනාංශික මෝදි තන්ත‍්‍රයේ සහ ඉන්දියානු ධනේශ්වරයේ වැඩකටයුතු මගින් ඉස්මතු කෙරේ.

ඉන්දියාව, චීනයට එරෙහි එහි යුද ධාවනයේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට වැදගත් සහායක් සපයන අතර ම, පලස්තීන ජනතාව තලා දැමීමට උත්සාහ කරන එක්සත් ජනපද සන්නද්ධ බලය සහ පිටුබලය ලබන නෙතන්යාහු පාලන තන්ත‍්‍රයට දැන් දේශපාලන-දෘෂ්ටිවාදාත්මක වහන්තරාවක් සපයයි.

පලස්තීන 'ත්‍රස්තවාදය' පිලිබඳ තැතිගන්වනසුලු හෙලාදැකීම් ද, පසුගිය ශතවර්ෂ කාර්තු තුන තුල ඔවුන්ගේ නැවත නැවතත් අත්පත් කර ගැනීම් සහ ලේ වැකි මර්දනය ද පිලිබඳ කිසිදු සාකච්ඡාවක් මගහැරීම තුලින්, ඉන්දියාවේ සංගත මාධ්‍ය බොහෝ දුරට මෝදි ආන්ඩුව සහ බටහිර අධිරාජ්‍යවාදීන් අනුකරනය කරයි.

ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කොංග්‍රස් පක්ෂය ද මුලදී මෝදි ප්‍රතිරාවය කලේය. ඉරිදා එහි සන්නිවේදන භාර ප්‍රධාන ලේකම් ජෙයිරාම් රමේෂ් කියා සිටියේ කොන්ග්‍රසය “ඊශ්‍රායල් ජනතාවට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාර හෙලා දකින” බවයි. ගාසා තීරය අවහිර කිරීම ගැන හෝ පසුගිය වසර පුරා නෙතන්යාහු ආන්ඩුව සහ එහි ෆැසිස්ට් සහචරයින් විසින් දියත් කරන ලද නිමක් නැති ප්‍රකෝපකරන මාලාව ඇතුලු ඊශ්‍රායල රාජ්‍යය අතින් පලස්තීනුවන් විඳින දුක් වේදනා හා මර්දනය ගැන ඔහු සඳහන් කලේ නැත.

කෙසේ වෙතත්, සඳුදා කොන්ග්‍රස් කෘත්‍යාධිකාරී මන්ඩලය තුල තරමක් වෙනස් තානයක් දැක ගතහැකි විය. එය 'මැදපෙරදිග තුල හටගෙන ඇති යුද්ධය පිලිබඳව කලකිරීම සහ වේදනාව' ප්‍රකාශ වන යෝජනාවක් සම්මත කර, 'ක්ෂනික සටන් විරාමයක්' ඉල්ලා සිටි අතර, ගෞරවයෙන් හා බහුමානයෙන් ජීවත් වීමට 'පලස්තීන ජනතාවගේ ඉඩම්, ස්වයං පාලනය සහ අයිතිවාසිකම් සඳහා සහය” පලකලේය.

මෙම ප්‍රතික්‍රමාංකනය පැන නැගුනේ, ඉන්දියාවේ බෙහෙවින් ගොදුරු බවට පත්වූ මිලියන 200 ක් වන මුස්ලිම් සුලුතරය ඇතුලු ව එරට ජනතාව අතර පලස්තීන ජනතාව කෙරෙහි ඉමහත් අනුකම්පාවක් වර්ධනය වී ඇති බවත්, මෙම විරුද්ධත්වය ධනේශ්වරයේ ආස්ථානයෙන් දේශපාලනික ව පාලනය කල යුතු බවත්, අපසරනය කල යුතු බවත් එය හඳුනා ගැනීමෙනි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඊශ්‍රායලය සමඟ පෙල ගැසී සිටී. ඊශ්‍රායලයට එරෙහි “පෙර නොවූ විරූ ප්‍රහාරය” සහ “සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීම” හෙලා දකින බව සඳුදා ඔහු නිකුත් කල ප්‍රකාශයකින් උපුටා දැක්වුනි. ඔහුගේ ප්‍රකාශය, ඊශ්‍රායලය විසින් ගාසා තීරය වටලෑම සහ පහරදීම සම්බන්ධයෙන් මුලුමනින්ම නිහඬ ය.

සිවිල් වැසියන්ගේ මරන සම්බන්ධයෙන් වික්‍රමසිංහගේ කම්පනය සහ කෝපය මෝදිගේ මෙන් ම ව්‍යාජ ය. ඔහු සහ 1970 ගනන්වල අගභාගයේ සිට තමා ද සාමාජිකයෙකු වූ ශ්‍රී ලංකා දේශපාලන සංස්ථාපිතය, සිංහල, දෙමල සහ මුස්ලිම් 100,000 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් බිලිගත් රටේ දෙමල සුලුතරයට එරෙහිව සියවස් කාර්තුවක වාර්ගික යුද්ධයක් දියත් කලේය. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වූයේ ශ්‍රී ලංකා හමුදාව විසින් සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කල සංහාරයකිනි. එපමනක් නොව, මෑත මාසවල ඔහුගේ ආන්ඩුව, විනාශකාරී ජාමූඅ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව යලිත් මහජන නැගිටීමක් අපේක්ෂාවෙන් රාජ්‍ය මර්දනයේ බලවේග ශක්තිමත් කරමින් සිටියි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පූර්න මිලිටරි සහ දේශපාලන සහායත්, ඉන්දීය සහ ශ්‍රී ලංකා ආන්ඩුවල හා පාලක ප්‍රභූන්ගේ අනුග්‍රහයත් ඇතිව, ගාසා තීරයේ පලස්තීනුවන් මර්දනය කිරීමේ ජන සංහාරක සැලසුම් නෙතන්යාහු ආන්ඩුව විසින් සාක්ෂාත් කර ගැනීම වැලැක්වීමට නම් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව පෙරට පැමිනිය යුතු ය.

Loading