ඉදිරිදර්ශන

එක්සත් ජනපදය සහ යුරෝපීය බලවත්තු ඊශ්‍රායලය ගෙනියන ජනසංහාරයට මුලුමනින් ම හවුල් වෙති

[මෙය Who is responsible for the violence in Israel and Gaza? යන මැයෙන් 2023 ඔක්තෝබර් 10 දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදයේ සහ සියලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න සහයෝගය ඇති ව සිදු කෙරෙන ගාසා තීරයේ ජන ඝාතන සන්නියේ දී ඊශ්‍රායල් තන්ත‍්‍රය විසින් සිදු කරනු ලබන යුද අපරාධ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය තරයේ හෙලා දකී. මෙම යුද අපරාධ නතර කරන ලෙස ඉල්ලා විරෝධතා බලමුලු ගන්වන ලෙස අපි ලොව පුරා කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, (වමේ) සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, 2023 ඔක්තෝබර් 12 බ්‍රහස්පතින්දා ටෙල් අවිව්හි පැවති ඔවුන්ගේ රැස්වීමෙන් පසු ,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි කිර්යාහිදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් [AP Photo/Jacquelyn Martin]

ඊශ්‍රායල ප්‍රහාරයේ අරමුන වන්නේ, හැකිතාක් පලස්තීනුවන් මරා දැමීමත් ගාසා තීරය අකර්මන්‍ය සහ වාසයට නුසුදුසු තත්වයට පත් කිරීමත් ය. නෙතන්යාහු තන්ත‍්‍රය ගාසා තීරය මිහිතලයෙන් අතුගා දැමීමට අදහස් කරන බව, උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක ජනතාව පැය 24 ක් ඇතුලත ඉවත් කරන ලෙස ඊශ්‍රායලය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (5)සිදු කල නිවේදනයෙන් තහවුරු වන සත්‍යයකි. එය ඇත්ත වශයෙන් ම, ගාසා වැසියන් මරනය කරා දැක්කීමකි.

මෙය ජන සංහාරක ව්‍යාපෘතියකි. ලොව වැඩි ම ජන ඝනත්වයක් ඇති ප්‍රදේශයක් වන ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාවක් වාසය කරති. ජනගහනයෙන් අඩක්, එනම් මිලියනයක පමන ජනගහනයක් වයස අවුරුදු 18 ට අඩු වෙති. ඊශ්‍රායලයේ සහ ඊජිප්තුවේ දේශසීමා හරස් මාර්ග වසා දැමීමත් සමඟ, පිට ව යාමට නොහැකි උගුලට හසු වූ ඔවුහු ක්‍රමානුකූල සාගින්නට, අනවරත බෝම්බ හෙලීමට සහ ලග ම ආක්‍රමනයක අන්තරායට මුහුන දී සිටිති.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්, ගාසා තීරය තුල, සිය ම්ලේච්ඡ ප්‍රහාරය දියත් කල සෙනසුරාදා සිට කොටු කරනු ලැබූ ප්‍රදේශය වෙත ටොන් 4,000 ක් පමන බරැති බෝම්බ 6,000ක් හෙලා ඇත. පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව, පුද්ගලයන් 1,417 ක් මිය ගොස් ඇති අතර, ඉන් අඩක් කාන්තාවන් සහ ලමුන් වෙති; මරන සංඛ්‍යාව ඊටත් වඩා වැඩි බව නිසැක ය. ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒපී) විසින් නිකුත් කරන ලද උතුරු ගාසා තීරයේ ජබාලියා සරනාගත කඳවුරේ වීඩියෝවකට අනුව, 116,000 ක ජනගහනයක් වර්ග කිලෝමීටර් 1.4 ක වපසරියක අඩුක්කු කර ඇත. ඒපී පුවත් සේවයට අනුව, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් මෙම කඳවුර “බිමට සමතලා කර” ඇත.

නෙතන්යාහු තන්ත‍්‍රය ගාසා තීරයට විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම සම්පූර්නයෙන් ම කපා හැර ඇත; සාමූහික දඬුවමක් වන එය යුද අපරාධයකි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවූයේ, ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර අවසන් වීමත්, බරපතල ලෙස රෝගාතුර වූවන් සහ තුවාල ලැබූවන් ඉවත් කිරීම සඳහා ඊශ්‍රායලය මානුෂීය යුද මුක්ත කලාප (humanitarian corridors - අර්බුදකාරී කලාප අතර සරනාගතයින්ට ආරක්ෂිතව මානුෂීය ආධාර සංසරනය සඳහා ඉඩ සලසන තාවකාලික යුධ මුක්ත කලාපයකි) විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ “රෝහල් මෘත ශරීරාගාර බවට පත්වීමේ අවදානමක්” පවතින බවයි. ආසීනකාරකවල (incubators) රඳවා සිටි ලදරුවන් සහ වැඩිහිටි රෝගීන් සඳහා ජීවිත ආධාර අක්‍රිය වී ඇත.

ඊශ්‍රායල දේශපාලන සංස්ථාපිතය පුරා පැතිර යන කිලිපොලා යන ප්‍රකාශයන් පැහැදිලි කරන්නේ, මෙම බිහිසුනු ක්‍රියාවන් ‘සමූහ ඝාතන මෙහෙයුමක්’ ලෙස වඩාත් හොඳින් විස්තර කල හැකි වන දෙයෙහි ආරම්භය පමනක් බව යි.

විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් සමඟ එක් ව හදිසි ආන්ඩුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නෙතන්යාහු බදාදා ප්‍රකාශ කලේ, “හමාස් සංවිධානයේ සෑම පුද්ගලයෙක් ම මියගිය මිනිසෙක්” බවයි. සෙනසුරාදා ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයට නායකත්වය දුන් සටන්කාමී ජාතිකවාදී කන්ඩායම, 2006 මැතිවරනයේ දී 400,000 කට අධික ගාසානුවන්ගේ සහයෝගය දිනා ගෙන ඇත්තේ, නෙතන්යාහුට සිය තර්ජනය ක්‍රියාත්මක කිරීමට නම්, ලක්ෂ ගනනින් ඝාතනය කිරීම සඳහා අන කිරීමට සිදුවනු ඇති බව අවධාරනය කරමිනි. එය “යුද්ධයට කාලය” බවත් “පෘථිවි තලයෙන් හමාස් සංවිධානය අතුගා දැමීමට” ඊශ්‍රායලය අදහස් කරන බවත් ප්‍රකාශ කිරීමේදී ගැන්ට්ස් ද ඊට අඩු ලේ පිපාසිතයෙකු නොවීය.

මේවා, නියුරම්බර්ග්හිදී එල්ලා මරා දැමූ නාසි පාලන තන්ත්‍රයේ නායකයින්ගේ කියුම් ප්‍රතිරාවය කරන ප්‍රකාශයන් ය. පෝලන්ත ප්‍රතිරෝධයෙන් වසරකට පසු ව, 1943 මුල් භාගයේ දී වෝර්සෝ යුදෙව් ජනාවාසයෙහි යුදෙව්වන් නාසි ආක්‍රමනයට එරෙහි ව නැගී සිටි විට, දැන් එහි මුල් අවධියේ පවතින ගාසා තීරයේ විනාශය හා සැසඳිය හැකි ආකාරයකට, හිට්ලර්ගේ පාලන තන්ත්‍රය නගරය සමතලා කර දැමී ය.

බයිඩන් පරිපාලනය සහ මාධ්‍ය, සංහාරය සාධාරනීකරනය කරමින්, ඊශ්‍රායල සිවිල් වැසියන්ට එරෙහි හමාස් ප්‍රහාරය ඇදහිය නොහැකි තරමේ සාහසික ක්‍රියාවක් ලෙසත්, එය ප්‍රකාශ කරන්නේ අන් කිසිවක් නොව “ශුද්ධ පාපය” බවත් හුවා දැක්වීමට උත්සාහ කරයි. එහෙත් සත්‍යය නම්, ඊශ්‍රායල ආන්ඩුව විසින් පලස්තීනුවන්ට එරෙහි ව දශක ගනනාවක් පවත්වා ගෙන ගිය නිර්දය මර්ධනය විසින් කැරැල්ල අවුලුවාලූ බවයි.

යන්තම් මාස දෙකකට පෙර, ලොව පුරා ප්‍රධාන වසයෙන් ම චිරප්‍රකට යුදෙව් බුද්ධිමතුන් තුන්දහසකට ආසන්න පිරිසක්, හමාස් ප්‍රහාරයට පෙර පැවති කොන්දේසි විස්තර කරමින් ලියූ “තීරනාත්මකම ප්‍රශ්නය” යන මාතෘකාව යටතේ වූ ලිපියකට අත්සන් තැබූහ. “ඊශ්‍රායලය විසින් මෑත දී අධිකරන පද්ධතියට එල්ල කල ප්‍රහාරයත්, බලාත්කාරයෙන් අල්ලා ගෙන තිබෙන පලස්තීන කලාපය තුල පලස්තීනුවන් නීති විරෝධී ලෙස වාඩිලා ගැනීමත් අතර සෘජු සම්බන්ධයට” ඔවුහු එහි දී සිය අවධානය යොමු කලහ. “පලස්තීන ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය ඇතුලු මූලික අයිතිවාසිකම් සියල්ල ම පාහේ නොමැත. ඔවුහු නිරන්තර ප්‍රචන්ඩත්වයට මුහුන දෙති: මෙම වසරේ පමනක්, ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීනුවන් 190 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති අතර ගොඩනැගිලි 590 කට අධික ප්‍රමානයක් කඩා බිඳ දමා ඇත. දඬුවම් නොලබා ම, ආක්‍රමනික ව පදිංචි වී සිටින්නෝ නීතිය අතට ගෙන ගිනිතැබීම්, මංකොල්ලකෑම සහ ජනඝාතන සිදුකරති.”

එම ලිපිය තවදුරටත් මෙසේ ලීවේ ය: “ඊශ්‍රායල නීති විශාරදයින් විස්තර කර ඇති පරිදි, පලස්තීනුවන් වර්ගභේදවාදී පාලනයක් යටතේ ජීවත් වන තාක් ඊශ්‍රායලයේ යුදෙව්වන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය නොහැක. ඇත්ත වශයෙන් ම, අධිකරන ප්‍රතිසංස්කරනයේ අවසාන අරමුන වන්නේ ගාසා තීරයට පනවා ඇති සීමා කිරීම් ශක්තිමත් කිරීම, හරිත රේඛාව තුල සහ ඉන් එපිට වෙසෙන පලස්තීනුවන්ට සම අයිතිවාසිකම් අහිමි කිරීම, තව තවත් භූමිභාගයන් ඇඳා ගැනීම සහ ඊශ්‍රායල් පාලනයේ යටතේ පවතින සියලු ම කලාපවලින් ඒවායේ පලස්තීන ජනගහනය පලවා හරිමින් වාර්ගික විශුද්ධිකරනයට ලක් කිරීමයි.”

මේ සියල්ල දැන් හිතා මතා ම යටපත් කරමින් සිටියි. මුලුමනින් ම සාවද්‍ය, බොරු ආඛ්‍යානයක් ගොතමින් සිටින අතර, එයට අනුව ඊශ්‍රායලය පලස්තීනුවන්ගේ නාසි පන්නයේ ප්‍රහාරවල ගොදුරකි; ඇත්ත වශයෙන් ම සිදු ව ඇත්තේ, පලස්තීන ජනයා දශක ගනනාවක් තිස්සේ පීඩනයටත්, නැවත නැවතත් බෝම්බ හෙලීම්වලටත් සමූලඝාතනවලටත් ලක් ව තිබීම යි. ඊශ්‍රායල ආන්ඩුව සහ එහි ආධාරකරුවන් ඔවුන්ගේ ජන සංහාරක අපරාධ සාධාරනීකරනය කිරීම සඳහා හොලෝකෝස්ටය [1941-5 කාලය තුල ජර්මානු නාසි පාලන තන්ත්‍රය යටතේ යුදෙව් ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීම] ගසාකෑමට උත්සාහ කරයි.

ඊශ්‍රායල් සංහාරයට යුරෝපයේ හා එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පුර්න සහයෝගය සහ දිරිගැන්වීම ලැබේ. ආක්‍රමනය සැලසුම් කරමින් තිබිය දී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් බ්‍රහස්පතින්දා නෙතන්යාහු හමු වූයේ, ඊශ්‍රායලයට ඔහුගේ පූර්න සහයෝගය ප්‍රකාශ කිරීමට ය. ඊශ්‍රායලය ඉක්මවා යනු ඇති “රතු සීමා” තිබේදැයි එන්බීසී ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී ඇසූ විට, ඔහු “කිසිදු මෙහෙයුම් විස්තරයක් ලබා ගැනීමට බලාපොරොත්තුවත් නැත. ඒ වගේම ඔවුන්ට සහාය දැක්වීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු” යැයි කියමින් බ්ලින්කන් ප්‍රතිචාර දැක්වූයේ ය.

වෙනත් වචන වලින් කිවහොත්, ඊශ්‍රායලයට ඔවුන් කරන ඕනෑ ම දෙයක් සඳහා පූර්න නිදහස තිබේ. ජෙරුසලමේ දී නෙතන්යාහු සමග පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී බ්ලින්කන් මෙසේ ප්‍රකාශ කලේ ය: “මම ඔබ ඉදිරියට එන්නේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලෙස පමනක් නොව, යුදෙව්වෙකු ද ලෙසයි.” එක්සත් ජනපද ආන්ඩුවේ නියෝජිතයෙකු ලෙස ඔහුගේ නිල භූමිකාව සමඟ බ්ලින්කන්ගේ පෞද්ගලික ආගම ඉඳුරාම සම්බන්ධ කිරීම, පල්ලිය සහ රාජ්‍යය ව්‍යවස්ථානුකූල පදනමක් මත වෙන් කර තිබේ ය යන කාරනය කෙරෙහි ඔහුගේ නොතැකීම සහ නොසැලකිල්ල හෙලිදරව් කරයි. ඔහුගේ ප්‍රකාශය යුදෙව් විරෝධී ප්‍රචාරනය සඳහා අමුද්‍රව්‍ය සපයයි. මන්ද එය නෙතන්යාහු පාලන තන්ත්‍රයේ අපරාධ සමඟ සියලු යුදෙව්වන් සාවද්‍ය ලෙස සම්බන්ධ කරන බැවිනි.

ඔහු කතා කලේ අවංක ව නම්, “මම ඊශ්‍රායලයට එන්නේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලෙස පමනක් නොව, ගාසා තීරය විනාශ කිරීමේ සහ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීමේ හවුල්කරුවෙකු ද ලෙස” යැයි බ්ලින්කන් පවසනු ඇත.

පලස්තීන නැගිටීම “ශුද්ධ නොකිලිටි දුෂ්ටත්වයේ” ප්‍රකාශනයක් ලෙස හෙලා දුටු, අඟහරුවාදා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ කතාවෙන් පසු ව බ්ලින්කන්ගේ සංචාරය සිදු විය. බ්‍රහස්පතින්දා බ්‍රසල්ස්හි නැටෝ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුලුවට සමගාමී ව කල කතාවක දී, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, එක්සත් ජනපදය විසින් සපයන ආයුධ කෙසේ භාවිතා කල යුතු ද යන්න ගැන ඊශ්‍රායලයට “කොන්දේසි නොපනවන” බව තහවුරු කලේ ය.

අධිරාජ්‍යවාදී බලවතුන් වඩ වඩාත් විවෘත ව ම ලෝකයට එරෙහි ව යුද්ධයක් දියත් කරන විට, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ නටබුන් පවා අත්හැර දමනු ලැබේ. පලස්තීනුවන්ට සහය දැක්වීමේ විරෝධතා මේ සතියේ යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා තහනම් කරන ලද්දේ, ඒවාට සහභාගිවන්නන් “ත්‍රස්තවාදයේ” ආධාරකරුවන් ලෙස බලධාරීන් විසින් රාක්ෂකරනය කරමිනි.

විශ්ව විද්‍යාලවල දක්ෂිනාංශික සියොන්වාදීහු භීෂනයේ සහ තර්ජනයේ වාතාවරනයක් ඇති කිරීමට උත්සාහ කරති. ඊශ්‍රායල අපරාධවලට එරෙහි ව කතා කරන ශිෂ්‍ය කන්ඩායම්වල පුද්ගලයන්ගේ නම් සහ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කර ඇත. ඊයේ බෘක්ලින් විශ්ව විශ්ව විද්‍යාලයේ පැවති රැලියක දී, නිව් යෝර්ක් නගර සභාවේ සාමාජිකාවක වන ඉනා වර්නිකොව් සිසුන් බිය ගැන්වීම සඳහා ගිනි අවියක් හරඹ කලා ය.

ඊශ්‍රායල අපරාධවලට විරුද්ධවාදීන් යුදෙව් විරෝධීන් යැයි චෝදනා කරන අයට අප කියන්නේ, ඊශ්‍රායල ආන්ඩුව ෆැසිස්ට්වාදීන් රොත්තකින් සමන්විත බවයි. දක්ෂිනාංශික පදිංචිකරුවන් සන්නද්ධ කිරීම සඳහා ප්‍රහාරක රයිෆල් 10,000 ක් මිල දී ගන්නා ලෙස තම අමාත්‍යාංශයට නියෝග කල ජාතික ආරක්‍ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් ද මෙයට ඇතුලත් වේ. මීට පෙර, “අරාබිවරුන්ට මරනය” යැයි සටන් පාඨ කියමින් ත්‍රස්තවාදී කන්ඩායමකට සහාය වීම සහ ජාතිවාදී උසිගැන්වීම් සම්බන්ධයෙන් වරදකරුවූවෙකි, බෙන්-ග්වීර්.

එක්සත් ජනපද හා යුරෝපීය බලවතුන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් යුක්‍රේනයේ ෆැසිස්ට්වාදීන් සමග පෙල ගැසී සිටින අතර, පසුගිය මාසයේ කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් සියලු ම G7 රටවල නියෝජිතයන් සමග නාසි ජර්මනියේ මඟ පෙන්වීම යටතේ යුදෙව්වන් සමූලඝාතනය කිරීමට වගකිව යුතු යුක්‍රේන වොෆන්-එස්එස් හි හිටපු සෙබලෙකු වන යාරොස්ලාව් හුන්කා වෙනුවෙන් නැගීසිට අත්පොලසන් දෙමින් දැක්වූ ප්‍රතිචාරය නිදසුන් ලෙස දැක්විය හැකිය.

ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය දැකිය යුත්තේ, ලෝක යුද්ධයේ ආරම්භක අදියර වන රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය උත්සන්න වන සන්දර්භය තුල ය. ලෝකයේ අධිරාජ්‍යවාදී යලි බෙදීම හුදෙක් රටවල් අතර ගැටුම්වල ස්වරූපය පමනක් නොව, මහජනතාවට එරෙහිව වෙන කවරදාටත් වඩා සෘජු හා ප්‍රචන්ඩකාරී යුද්ධයක ස්වරූපය ද ගනී. එපමනක් නොව, සියලු ධනේශ්වර රටවල පාලක ප්‍රභූන් මිලිටරි ප්‍රචන්ඩත්වයේ පිපිරීමක් හරහා වෙනතකට හැරවීමට උත්සාහ කරන එකිනෙක අන්තර්ඡේදනය වෙමින් වර්ධනය වන ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුද මාලාවකට මුහුන දී සිටියි.

මාධ්‍ය විසින් මහජන මතය ඉදිරිපත් කරන බව පාලක පන්තිය විශ්වාස කරන නමුත් පලස්තීනුවන්ට සහය ලොව පුරා ජනගහනය අතර පුලුල් ව පැතිර ඇති අතර සෑම රටක ම කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ විරෝධතා ඉහල යමින් පවතී. ඊශ්‍රායලය තුල නෙතන්යාහු පාලන තන්ත‍්‍රය, පසුගිය වසර පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදුරා ගැනීම සඳහාත්, අත්තනෝමතික තන්ත‍්‍රයක් පිහිටුවීම සඳහාත් වන එහි ධාවනයට එරෙහි කම්කරු පන්තියේ තිරසාර විරෝධයකට මුහුන දී සිටියි.

ඊශ්‍රායලයට අවි සැපයීම වහා නතර කරන ලෙස බලකරමින්, සමූල ඝාතනය කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය මැදිහත් විය යුතුය. මිනීමරු ප්‍රහාරය අවසන් කරන ලෙස ඉල්ලා සෑම නගරයක ම සහ විශ්ව විද්‍යාල පරිශ්‍රයක ම මහජන විරෝධතා සහ පෙලපාලි සංවිධානය කල යුතු ය.

සමාජවාදය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වන පලස්තීනුවන් මුහුන දෙන නොඉවසිය හැකි කොන්දේසි සහ ලොව පුරා සියලු ආකාරයේ පීඩනයන් අවසන් කිරීමේ පුලුල් අරගලයෙන් මෙම ඉල්ලීම් වෙන් කල නොහැක.

Loading