ඉදිරිදර්ශන

අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි ව නොවැම්බර් 9 දා සමස්ත කම්කරු පන්තියේ බලමුලු ගැන්වීමක් සඳහා

[මෙය For an all-out mobilization of the working class on November 9 against the imperialist-backed genocide in Gaza මැයෙන් 2023 නොවැම්බර් 8 පල කෙරුනු ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

නොවැම්බර් 4 වැනි දා, කම්කරුවෝ සහ තරුන ජනතාව වොෂින්ටන් අගනුවර දී ඊශ්‍රායලයේ ගාසා ජනසංහාරයට එරෙහි ව විරෝධතා දක්වමින්.

ගාසා තීරයේ ඊස්‍රායල ජන සංහාරයට එරෙහිව නොවැම්බර් 9 බ්‍රහස්පතින්දා ලොව පුරා කැඳවා ඇති විරෝධතා පෙලපාලි සඳහා පුලුල්ම සහයෝගය ලබාදෙන ලෙස සහ ඒවාට සහභාගී වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉල්ලා සිටී. විශේෂයෙන්ම, වැඩ නතරකොට වර්ජනවල ට එලැඹෙන ලෙස, පලස්තීනය තුල යුක්තිය සඳහා සිසුන් සහ පලස්තීන තරුන ව්‍යාපාරය ඇතුලු “පලස්තීනය වෙනුවෙන් වැඩ නතර කරනු” සංවිධානය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ජන සංහාරය කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලගතු විරෝධයක් වැඩී ඇති අතර ඊස්‍රායල හමුදාවට සහ රාජ්‍යයට ආයුධ සහ මූල්‍ය ආධාර සැපයීම නැවැත්වීමේ කාර්මික ක්‍රියාවන් සඳහා සහයෝගයක් ද වැඩෙමින් පවතී. මෙයට බෙල්ජියමේ සහ ස්පාඤ්ඤයේ වෘත්තීය සමිති විසින් ඊස්‍රායල මිලිටරි භාන්ඩ ප්‍රවාහනය ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ යෝජනා මෙන්ම කම්කරුවන් අතරමත් බෙදා හරිනු ලබන විවෘත ලිපි සහ යෝජනා ඇතුලත් වේ.

ලොව පුරා පිපිරී ඇති විරෝධතාවල පරිමානය, එක්සත් ජනපදයේ සිට යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව සහ ආසියාව දක්වා ලොව පුරා පැතිරී ඇති කම්කරු පන්තියේ සටන්කාමී රැල්ලෙන් පිලිබිඹු වෙයි. ගාසා තීරයේ සටන හුදෙක් ඊස්‍රායල ආන්ඩුවේ අපරාධකරුවන්ට එරෙහිව පමනක් නොව; එය සෑම රටකම පාලක පන්තීන්ට එරෙහිව දියත් කල යුතු සටනකි.

ඊස්‍රායලයේ ක්‍රියාවන් නතර කිරීමේ මූලෝපායකින් මෙම ව්‍යාපාරය මෙහෙයවා ගනුවස්, එම ක්‍රියාවන්ට එරෙහි කම්කරුවන් හා තරුනයින් විසින්, ගාසා තීරයට පහර දීම පිටුපස ඇති මූලික ප්‍රශ්න තේරුම් ගැනීම තීරනාත්මක ය.

දැනටමත් මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ වී ඇති, එක් පරම්පරාවක් තුල විශාලතම යුද විරෝධී පෙලපාලි ඇතුලත් ගෝලීය විරෝධතාවලට ඊශ්‍රායල හමුදාවේ ප්‍රතිචාරය වී ඇත්තේ එහි ජනඝාතක ක්‍රියාවන් උත්සන්න කිරීමයි. ගාසා තීරයේ තහවුරු කෙරුනු මරන සංඛ්‍යාව මේ වන විට 10,000 ඉක්මවා ඇති අතර ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් ලමුන් ය. ඊස්‍රායල ආරක්ෂක හමුදා ලේ වැකි භූමි ආක්‍රමනයකට සූදානම් වීම සඳහා ගාසා නගරය වටලා ඇත. සමස්ත ජනතාවට ම මාසයක කාලයක් ඉන්ධන, ආහාර සහ පිරිසිදු ජලය සැපයීම මුලුමනින්ම පාහේ කපා හැර ඇති අතර ඊස්‍රායල ආරක්ෂක හමුදා හිතාමතාම රෝහල් සහ අනෙකුත් සිවිල් ගොඩනැගිලි ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන හෙයින් ගාසා තීරය පුරා දැවැන්ත මානුෂීය අර්බුදයක් නිර්මානය කෙරී ඇත.

සමූහ මිනීමැරුම් සහ වාර්ගික ශුද්ධ කිරීමේ සැලසුම් ගැන වඩ වඩා විවෘත සාකච්ඡාවක් ඊස්‍රායල පාලන තන්ත්‍රය තුල සිදු කෙරෙමින් පවතී. දිවි බේරා ගන්නා අය “අයර්ලන්තයට හෝ කාන්තාරවලට විසුරුවා හැරෙන” සහ පලස්තීන ජනතාවට “පෘථිවි තලය මත තවදුරටත් ජීවත් වීමට ඉඩ නොතබන” න්‍යෂ්ටික අවි, ගාසා තීරයට එරෙහි විකල්පයක් වෙතැයි, අන්ත දක්ෂිනාංශිකයෙකු වන උරුමයන් පිලිබඳ ඇමති අමිහායි එලියාහු කල ප්‍රකාශයක් ද මෙයට ඇතුලත්වේ.

නමුත් ඊස්‍රායලය ස්වාධීන කාරකයෙකු නොවේ. එය 1948 ආරම්භයේ සිට ම ලෝක අධිරාජ්‍යවාදයේ මෙවලමක් ලෙස ක්‍රියාත්මක වේ. ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි විසින් අඟහරුවාදා පුනරුච්චාරනය කරන ලද වාක්‍ය ඛන්ඩයක් මගින් ඊස්‍රායලය සඳහා තමන්ට “රතු ඉරි (ඉක්මවා නොයුතු සීමාවන්)” නොමැති බව එක්සත් ජනපදය පැහැදිලි කර ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදය ඊස්‍රායලයේ ක්‍රියාවන්ට පිටුබලය දීම සඳහා යුද නෞකා දුසිම් ගනනක් යැවීමෙන් සහ හමුදා භටයින් සංඛ්‍යාව ඉහල දැමීම හරහා මුලු මැද පෙරදිගම වටලමින් සිටී.

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය, එක්සත් ජනපදය සහ එජ-නේටෝ අක්ෂයේ අනෙකුත් බලවතුන් දැකගනු ලබන්නේ, ඔවුන් විසින් හිතාමතාම උසිගන්වන සහ මතුවෙමින් පවතින තුන්වන ලෝක යුද්ධයක එක් පෙරමුනක් ලෙස පමනි.

එක්සත් ජනපදය මෙම ජන සංහාරයට සහාය දෙන්නේ, ඉරානය සමඟ යුද්ධය සඳහා එහි විවෘත සූදානම සමඟ එය වැඩි වැඩියෙන් බැඳී පවතින බැවිනි. ඉරානයේ සෑම ප්‍රධාන නගරයක්ම විනාශ කල හැකි ඔහියෝ පන්තියේ බැලිස්ටික් මිසයිල සබ්මැරීනයක් යෙදවීමත් සමඟ පසුගිය සතියේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉරාකයට කල ප්‍රකෝපකාරී සංචාරය, මැද පෙරදිග අනභියෝගී ආධිපත්‍යය සඳහා වොෂින්ටනයේ ප්‍රයත්නය වෙනුවෙන් පලස්තීන ජනතාව බිල්ලට දෙනු ලබන බව පැහැදිලි කරයි.

තුන්වන ලෝක යුද්ධයේ තවත් ප්‍රධාන පෙරමුනක් වන්නේ. එක්සත් ජනපදය හා නේටෝව විසින් යුක්‍රේන මහජනතාව රුසියාවට එරෙහි වෙඩි උන්ඩ ලෙස භාවිතා කරන යුක්‍රේනය තුල යුද්ධයයි. ගාසා තීරයේ වාර්ගික ශුද්ධකරනය සඳහා එක්සත් ජනපද-නේටෝ සහයෝගය පෙන්නුම් කරන්නේ, එම යුද්ධයේ සැබෑ අරමුනු වනුයේ, යුරේසියානු භූ ස්කන්ධය මත ආධිපත්‍යය තහවුරු කර ගැනීම සහ එහි ප්‍රධාන මූලෝපායික ප්‍රතිවාදීන් විනාශ කිරීම බව සහ යුක්‍රේනයේ ස්වෛරීත්වය හෝ 'මානව හිමිකම්' පිලිබඳ උත්සුකය සමග එහි කවර හෝ සම්බන්ධයක් නොමැති බවයි. ගාසා තීරය ගිනි ඇවිලෙමින් තිබිය දී ත්, තායිවාන් දිවයින කේන්ද්‍රකර ගනිමින් චීනයට එරෙහිව තුන්වන පෙරමුනක් ආසියාව තුල ක්‍රියාකාරීව සූදානම් කෙරෙමින් පවතී.

යුද්ධය වනාහි 1939 දෙවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් පසු ඇමරිකානු හා ලෝක ධනවාදයේ දරුනුතම අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරයයි. “අපි වසර 50ක් පශ්චාත් යුධ සමයක සිටි අතර එය ඉතා හොඳින් ක්‍රියාත්මක විය, නමුත් දැන් එය අක්‍රිය වී ඇත. එය ලෝක පර්යායක් වුවාක් මෙන්, එක් අර්ථයකින් නව ලෝක පර්යායක් අවශ්‍ය වන' බවට ජනාධිපති බයිඩන් විසින් මෑතදී කල ප්‍රකාශයෙන්, ඇමරිකානු මිලිටරිවාදයේ ගෝලීය පිපිරීමේ මූලෝපායික අභිප්‍රේරනයන් වඩාත් විවෘතව පැහැදිලි කෙරුනි.

එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසු තහවුරු කෙරුනු පැරනි පර්යාය මෙන් නව 'ලෝක පර්යායක්' ස්ථාපිත කල හැක්කේ එක් ආකාරයකින් පමනි: එනම් දැවැන්ත මිලිටරි ගැටුම් හරහා ය. න්‍යෂ්ටික අවි යුගයක දී, මෙය පෘථිවියේ සෑම පුද්ගලයෙකුගේම ජීවිතවලට තර්ජනය කරයි. නිමක් නැති ජාතික ගැටුම් සහ ලෝක සම්පත් මත ආධිපත්‍යය සඳහා අධිරාජ්‍යවාදී අරගල සහිත ධනේශ්වර ක්‍රමය යල්පැනගිය එකක් පමනක් නොව, මානව ශිෂ්ටාචාරයට දරුනුතම තර්ජනයක් වී ඇති බව මීට වඩා පැහැදිලිව පෙන්වා දිය නොහැකිය.

ගාසා තීරය ආරක්ෂා කිරීම සඳහා පැවැත්වෙන ලෝක ව්‍යාප්ත විරෝධතා තීරනාත්මක වර්ධනයකි. එහෙත් මෙම විරෝධතාවල බලය සහ ජන සංහාරය නැවැත්වීමට ඒවාට ඇති හැකියාව, කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේත්, ඊස්‍රායල් තන්ත්‍රයට සහ එහි අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට එරෙහි සටනේ ප්‍රමුඛ සමාජ හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය ඉස්මතුවීමේත් පරිමානයට සෘජුවම අනුපාත වේ.

එබැවින්, යුද්ධයට එරෙහි සටන කම්කරු පන්තිය තුල මුල්බැස ගැනීමත්, එය පැහැදිලිවම ධනේශ්වර විරෝධී හා ජාත්‍යන්තර සමාජවාදී ස්වභාවයක් අත්පත් කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. ගෝලීය කම්කරු පන්තියේ අවශ්‍යතා පලස්තීන ජනතාවගේ අවශ්‍යතා සමග බැඳී පවතින්නේ, සදාචාරාත්මක අනිවාර්යතාවයක ආස්ථානයෙන් පමනක් නොව, ධනේශ්වර පද්ධතියට එරෙහිව සහ පෘථිවි ගෝලය පුරා සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන අරගලයේ ආස්ථානයෙන් ද වේ.

නැගී එන තුන්වන ලෝක යුද්ධය කම්කරු පන්තියට එරෙහි ගෝලීය යුද්ධයක ස්වභාවය ගන්නා අතර, සියලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මව් රටවල් එහි තීරනාත්මක පෙරමුනක් වේ. ධනවාදය, යුද්ධය සඳහා අවශ්‍ය ඩොලර් ට්‍රිලියන ගනන් ගෙවීමට මෙන්ම, දෙදරා යන මූල්‍ය පද්ධතියට මුක්කු ගැසීමට කම්කරුවන්ගේ සියලු සම්පත් සූරා ගනියි. ඊස්‍රායලයේ ජන සංහාරයට විරුද්ධ කන්ඩායම් තහනම් කිරීමට සහ සියොන්වාදයට එරෙහිව කතා කරන පුද්ගලයන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගැනීමෙන් පෙන්නුම් කරන පරිදි, පාලක පන්තිය සියලු ආකාරයේ සමාජ හා දේශපාලන විරුද්ධත්වයන් සාපරාධීකරනය කිරීම සඳහා යුද උන්මාදයක් ඇවිලවීමට ද උත්සාහ කරයි.

දිගු කලක් අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සීඅයිඒ කුමන්ත්‍රනවලට සහය දී ඇති වෘත්තීය සමිති තන්ත්‍රය, කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව සමග තව තවත් විවෘතව ඒකාබද්ධ වෙමින් රටතුල පෙරමුනේ “කම්කරු සාමය” බලාත්මක කිරීමේ වැදගත් භූමිකාවක් ඉටු කරයි.

තෙල් පිරිපහදු කම්කරුවන්ගේ සහ නැව් තටාකාංගන සේවකයින්ගේ සිට දුම්රිය සේවකයින්, යූපීඑස් කම්කරුවන් සහ දුම්රිය රියදුරන් දක්වා සෑම ප්‍රධාන ජාතික කම්කරු කොන්ත්‍රාත්තුවක් සඳහාම පසුගිය වසර දෙක පුරා ජනාධිපති බයිඩන් පුද්ගලිකවම සහ සෘජුවම සම්බන්ධ වී ඇත. මෙම සෑම අරගලයකදීම නිලධරය වැඩ වර්ජන වැලැක්වීමට හෝ සීමා කිරීමට ද, වැටුප් වර්ධක සීමා කරන සහ විශාල රැකියා කප්පාදුකිරීම්වලට මග පාදන කොන්ත්‍රාත්තු පැනවීමට ද හිතාමතාම ක්‍රියා කර ඇත.

පලස්තීනුවන් කෙරෙහි කම්කරු පන්තිය තුල පුලුල්ව පැතිරුනු සානුකම්පාවක් සහ යුද්ධයට විරුද්ධත්වයක් පැවතිය ද, ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති පලස්තීන 'ත්‍රස්තවාදය' හෙලා දකිමින් සහ ඊස්‍රායලයට තම සහයෝගය පැහැදිලි කරමින් පසුගිය මාසයේ ප්‍රකාශයක් නිකුත් කලේය. ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති ලිස් ෂුලර් පලස්තීනයට සහය දැක්වීම සඳහා වෘත්තීය සමිති ශාඛා යෝජනා සම්මත කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අතර, නිලධරය ඊස්‍රායල යුද යාන්ත්‍රනයට ආයුධ සහ උපකරන ගලා ඒමට දිගටම ඉඩ දී ඇත. නිදසුනක් වශයෙන්, යුනයිටඩ් ඔටෝ වර්කර්ස්, ආරක්ෂක කොන්ත්‍රාත්කරු වන ජෙනරල් ඩයිනමික්ස් සමග කොන්ත්‍රාත්තුවක් ඇතිකරගෙන තිබේ. මෑත කථාවකදී යූඒඩබ්ලිව් සභාපති ෂෝන් ෆේන්, එයින් ඇමරිකානු කම්කරුවන්ට වැඩි රැකියා සහ වඩා හොඳ වැටුප් ලැබෙනු ඇතැයි ව්‍යාජ ප්‍රකාශයක් කරමින්, ඇමරිකානු යුද යාන්ත්‍රනයට සහාය දැක්වීම සඳහා නව “ප්‍රජාතන්ත්‍රවාදයේ අවි ගබඩාවක්” (දෙවන ලෝක යුද්ධයේදී එජ යුදඅවි නිෂ්පාදනය සඳහා යොදාගත් ප්‍රියෝක්තියකි) කැඳවුම්කර තිබේ.

ගාසා තීරයේ ඊස්‍රායලයේ ජන සංහාරයට එරෙහි අරගලයේදී අධිරාජ්‍ය ගැති වෘත්තීය සමිති නිලධරයෙන් තමන් නිදහස් වීම සඳහා කම්කරුවන් අරගලයක් කිරීම අවශ්‍ය වේ. පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරයට තරඟ කල සමාජවාදී මෝටර් රථ කම්කරුවෙකු වන විල් ලේමන්, වෘත්තීය සමිති යාන්ත්‍රනය ප්‍රතිසංස්කරනය නොකර අහෝසි කිරීමේ, ආස්ථානයක් මත, ඊස්‍රායලයට උපකරන නිෂ්පාදනය සහ නැව්ගත කිරීම වැලැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙය ජාත්‍යන්තර ප්‍රපංචයකි: තමන්ගේ ඕනෑම ව්‍යාපාරයක් අවහිර කිරීම සඳහා “පරම ලෙස අධිෂ්ඨානශීලී” කම්කරු නිලධරයන්ට අභිමුඛව ක්‍රියා කිරීමට කම්කරුවන්ට සිදුවේ. සෑම රටකම කම්කරු නිලධරයන්, එක්සත් රාජධානියේ ටීයූසී සිට ප්‍රංශයේ සීජීටී දක්වා සහ ජර්මනියේ අයිජී මෙටල් දක්වා තමතමන්ගේ අධිරාජ්‍යවාදී ආන්ඩු සමග පෙලගැසී සිටිති.

මෙම සටන පදනම් විය යුත්තේ ආන්ඩුවලට බලපෑම් දැමීම් මත නොව, ඒ සියල්ලටම එරෙහි අරගලය මත ය.

එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන් විසින් තීරනාත්මක භූමිකාවක් ඉටු කල යුතු අතරම, මැද පෙරදිග තුලම, විවිධ ධනේශ්වර පාලන තන්ත්‍රවල ප්‍රතිචාරය මත ආධිපත්‍යය දරන්නේ ගැතිකම් කිරීමයි.

ජන සංහාරය හෙලිදරව් කරන්නේ, වාර්ගික යුදෙව් රාජ්‍යයක් පිලිබඳ සියොන්වාදී ඉදිරිදර්ශනයේ ඓතිහාසික බංකොලොත් භාවය පමනක් නොව; අධිරාජ්‍යවාදය සමග ප්‍රතිපත්ති විරහිත රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු වල ඉත්තන් ලෙස පලස්තීන ජනතාව දශක ගනනාවක් භාවිතා කල ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ගේ බංකොලොත් භාවය ද ඉන් හෙලිදරව් කෙරයි.

දැන් පලස්තීනුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු වගුරන නමුත්, මැදපෙරදිග සිටින මෙම ධනේශ්වර නායකයින් සියල්ලෝම ඊස්‍රායලයේ සාපරාධී ප්‍රහාරයට විරුද්ධ වෙනවාට වඩා, තමන්ගේම රටවල වර්ධනය වන මහජන ව්‍යාපාරයක් ගැන බියෙන් තැවෙති.

ලෝකයේ අසමානතාවයෙන් ඉහලම රටක් වන සහ ඉක්මනින්ම විවෘතව පොලිස් ආඥාදායකත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතින ඊස්‍රායලයේම කම්කරු පන්තිය තුල විරුද්ධත්වය ගොඩනැගිය යුතුය. එවන් ව්‍යාපාරයක ඉදිරිදර්ශනය විය යුත්තේ සියොන්වාදය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම, ඊශ්‍රායල පාලක පන්තිය නිරායුධ කිරීම සහ පුලුල් මැද පෙරදිග හා ලෝක සමාජවාදී සම්මේලනයක කොටසක් ලෙස පලස්තීනුවන්ට සහ යුදෙව්වන්ට සමාන අයිතීන් සහිත බහුජාතික රාජ්‍යයක් පිහිටුවීම ය.

මතු දැක්වෙන ප්‍රශ්නයට පිලිතුර මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම තීරනය කරනු ඇත: වඩා ඉක්මනින් වර්ධනය වන්නේ කුමක්ද, ලෝක යුද්ධය සහ න්‍යෂ්ටික සමූලඝාතනය කරා තල්ලුව ද නැතහොත් යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරය ද? එම ප්‍රශ්නයට පිලිතුර ලැබෙන්නේ ස්වාධීනව හා ජාත්‍යන්තරව ඒකාබද්ධ වූ විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ හා වර්ධනය කිරීමේ ක්‍රියාකාරී අරගලයෙනි.

Loading