පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ ජන සංහාරක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු කම්කරුවන් සහ තරුනයන් සිය කෝපය ප්‍රකාශ කරයි

[මෙය Indian workers and youth outraged over Israel’s genocidal war on Palestinians යන මැයෙන් 2023 ඔක්තෝබර් 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඊස්රායලය විසින් පලස්තීන ජනතාව, ජන සංහාරයට ලක් කිරීමටඑරෙහිව ඉන්දියාවේ පෙලපාලි වර්ධනය වෙමින් පවතින තත්වය තුල ලෝසවෙඅ වාර්තාකරුවෝ දකුනු ඉන්දියාවේ තමිල්නාඩුවේ කම්කරුවන් හා තරුනයන් සමඟ සාකච්ඡාකලහ.

පලස්තීනුවන්ට එරෙහි ලේවැකි ඊස්රායල ප්‍රහාර සඳහා මෝඩි ආන්ඩුව දක්වන සහයෝගය කම්කරුවෝ හා සිසුහු විවේචනය කලහ. පලස්තීන නැගිටීම ආරම්භයේදීම, වොෂින්ටනය සමග සමීපව පෙලගැසී සිටින අන්ත දක්ෂිනාංශික ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, 'මේ දුෂ්කර පැයේදී අපි ඊස්රායලය සමග සහයෝගීතාවයෙන් සිටිමු' යනුවෙන් ප්‍රකාශ කලේය.

දිල්ලි සහ මුම්බායි ඇතුලු නගර කිහිපයක මෝඩි ආන්ඩුවේ මර්දනය නොතකා පලස්තීන ගැති විරෝධතා පැවැත්විනි; එමෙන්ම මෝඩි ආන්ඩුව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයේ යෙදේ.

ගාසා තීරයේ ඊස්රායල ප්‍රචන්ඩ ක්‍රියාවලට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්ත අගනුවර වන චෙන්නායි හි කුඩා පෙලපාලි පැවැත්විනි. කොයිම්බතූර්, පැට්නා, රංචි සහ කොල්කටා යන නගරවල ද මෙවැනිම විරෝධතා ඇති වී තිබේ.

කර්නාටක ප්‍රාන්තයේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ප්‍රාන්ත ආන්ඩුව විසින් බැංගලෝර්හි ඊස්රායල විරෝධී පෙලපාලි අවහිර කරන ලදී.

රාකේෂ්

ඩේම්ලර් සඳහා සැපයුම්කරුවෙකු වන වීල්ස් ඉන්දියා හි සේවය කරන රාකේෂ් මෙසේ පැවසීය: “ගාසා තීරයේ පලස්තීනුවන් කුරිරු ලෙස විනාශ කිරීමට ඊස්රායලය ක්‍රියා කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ අනෙකුත් ධනේශ්වර දේශයන්ගේ පූර්න පිටුබලය ඊට ලැබෙන නිසයි.”

“කම්කරුවන් එක්සත් කරමින් එකට සටන් කිරීම මෙම යුද්ධය නැවැත්වීමට හැකි විසඳුමක් වනු ඇතැයි යන්නට මම එකඟ වෙමි. එබැවින් ඇමරිකාවේ සහ ඊස්රායලයේ නැව් තටාක සේවකයින්, ඊස්රායලයේ ගුවන් තොටුපල සේවකයින් සහ ඊස්රායලයට විනාශකාරී ආයුධ සපයන වෙනත් රටවල සහාය ඇතිව ඊස්රායලයට ආයුධ සැපයීම නැවැත්වීම අත්‍යවශ්‍යයි. ජංගම දුරකථනයක් හෝ මෝටර් රථයක් වේවා, එය ජාත්‍යන්තර කම්කරුවන්ගේ ශ්‍රමයෙන් සමන්විත වේ. එබැවින් පලස්තීනයට එරෙහි මෙම ජන සංහාරක යුද්ධයට තම තමන්ගේ ආන්ඩුවල සහයෝගය නැවැත්වීමෙන් ඒ ඒ රටවල කම්කරුවන්ට යුද්ධය නැවැත්විය හැකියි.

“අපේ සමාගමේ සේවකයින් වන අපි ඩේම්ලර් වැනි විදේශීය සමාගමක භාවිතා කිරීමට වාහන අමතර කොටස් නිෂ්පාදනය කරනවා. ඩේම්ලර් කම්කරුවන් අපගේ සහෝදර සහෝදරියන් නිසා, අපට ඔවුන් සමඟ මෙහි සහ වෙනත් රටවල එක්සත් විය හැකියි. අපේ රට ආයුධ යවනවානම් ඒ්ක නවත්වන්න පුලුවන් වෙන්නෙ ආයුධ ගෙන්න ගන්න යුද්දෙ කරන අනිත් රටේ කම්කරුවන් එක්ක එකතු වෙලා; එසේම සෑම නැව් තටාක සේවකයෙකුටම සහ අනෙකුත් කාර්මික සේවකයෙකුටම එකට එකතු වී යුද්ධයට එරෙහි සටන දියත් කල හැකි නම් එය නැවැත්විය හැකියි.

ඉන්දීය මාධ්‍ය සේවකයෙකු වන ගුහන් පැවසුවේ සියොන්වාදී ඊස්රායල ආන්ඩුවේ පලස්තීන විරෝධී ප්‍රහාර සහ ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ආන්ඩුව මුස්ලිම්වරුන්ට සහ අනෙකුත් අයට එල්ල කරන ප්‍රහාර අතර සමානකමක් දකින බවයි. පලස්තීනයේ සහ ඊස්රායලයේ කම්කරුවන් අතර සමගිය ගොඩනැගීමට අදාල ඓතිහාසික ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඔහු උනන්දු විය.

පාසල් ගුරුවරියක් වන කනිමෝෂි මෙසේ පැවසුවාය: “පලස්තීනුවන් ඔවුන්ගේ භූමිය වෙනුවෙන් සටන් කරනවා. ඊස්රායලයේ ආක්‍රමනය නිසා ඔවුන් යුද්ධයට අවතීර්න වී සිටිනවා, ඒ නිසා පලස්තීනුවන්ගේ ප්‍රහාරයේ වරදක් මට පේන්නේ නැහැ; එහෙත්, ඊස්රායලය පලස්තීනුවන්ට එරෙහිව කුරිරු හා ආක්‍රමනශීලී යුද්ධයක් දියත් කිරීම පිලිගත නොහැකියි.”

ඉන්දියානු තොරතුරු තාක්ෂන කර්මාන්තයේ සේවකයෙකු වන සිවා පැවසුවේ: 'ඇමරිකාව වැනි ලෝක බලවතුන් සහ ඉන්දියාව ඇතුලු අනෙකුත් ආන්ඩු ඊස්රායලයේ ක්‍රියාවන්ට සහාය නොදැක්වූයේ නම්, මෙම ලේවැකි කුරිරුකම් පුපුරා නොයනු ඇති බවයි.'

ඔර්ගඩෑම් හි රෙනෝල්ට් නිසාන් කම්හලේ මෝටර් රථ සේවකයෙකු පැවසුවේ ප්‍රචන්ඩත්වයේ ආරම්භයට පලස්තීන හමාස් සංවිධානය වගකිව යුතු බවට මාධ්‍ය විසින් තමා නොමඟ යවනු ලැබ පැවති බවයි. 'දැන් මම දන්නවා මෙම ප්‍රශ්නයේ ඓතිහාසික පසුබිම සහ ඊස්රායලය බිහි වූ ආකාරය සහ ප්‍රධාන ආක්‍රමනිකයා වන ඊස්රායලය විසින් දශක ගනනාවක් තිස්සේ පලස්තීන ජනතාවට අමානුෂික ලෙස පහර දුන් ආකාරය.'

“ඉන්දියාවේ සංස්ථාපිත මාධ්‍ය මුස්ලිම් විරෝධී භීතිකාව උසිගැන්වීමේ අඛන්ඩ උත්සාහයක යෙදේ. හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවත් එහි ප්‍රධාන සතුරා වන හමාස් සංවිධානය පරාජය කල යුතු බවත් ප්‍රචාරය කරනවා.”

'ඊස්රායල් -පලස්තීන ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය සහ වත්මන් මෝදි ආන්ඩුව යන දෙකම විසින් ප්‍රවර්ධනය කරන ලද බොරු, කම්කරුවන් සහ සාමාන්‍ය ජනතාව අතර ක්‍රමානුකූලව කෙරෙන උද්ඝෝෂනය හරහා පරාජය කල යුතුය යන අදහසට මම එකඟ වෙනවා,' යැයි ඔහු පැවසීය.

සුභාෂ්

මෝටර් රථ සමාගමක් වන අයිටීඩබ්ලිව් (ITW) (හුන්ඩායි සමාගමට ඇමරිකාව පදනම් කරගත් සැපයුම් ආයතනයකි) හි සේවය කරන සුභාෂ් පැවසුවේ කිසිදු ගැටුමකට සම්බන්ධ වීමට අකමැති සාමාන්‍ය මිනිසුන් යුද්ධ මගින් විනාශ කරන බවයි.

'ගාසා තීරයේ ඊස්රායලය විසින් යුද්ධයක් දියත් කරන විට, ඊස්රායලයේ කම්කරු පන්තිය ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කරනු ලැබීමට හා මර්දනයට මුහුන දෙන අතර ජන සංහාරක යුද්ධයට සහාය දීමට ඔවුන්ට බල කෙරෙනු ඇති බව මට වැටහේ. එබැවින්, රාජ්‍යන් දෙකෙහිම කම්කරුවන් යුද්ධයට එරෙහිව සටන් කල යුතුයයි,” ඔහු ප්‍රකාශ කලේය.

සියලුම ගෝලීය බලවතුන් ගාසා තීරයට ඊස්රායල බෝම්බ හෙලීම පිටුපස සිටින අතර පලස්තීනයට සහාය දෙන කිසිදු රජයක් නොමැති බව අලෙවිකරන සේවකයෙකු වන ඉලංගෝ පෙන්වා දුන්නේය. මහා යුද විරෝධී ව්‍යාපාරයක් සංවිධානය කිරීමේ උපාය මාර්ගයට ඔහු එකඟතාව පල කලේය. ඔහු මෙසේ පැවසීය: “ඊස්රායල ආන්ඩුවට එරෙහිව ඊස්රායලයේ කම්කරු පන්තියේ නැගිටීමක් සහ නැව් තටාකාංගනයේ කම්කරුවන් ඊස්රායලයට ආයුධ නැව්ගත කිරීම අවහිර කිරීම වැනි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව, පලස්තීනයේ ජන සංහාරක යුද්ධය නැවැත්වීමට අවශ්‍ය සැබෑ සහ බලගතු ක්‍රියාමාර්ගය විය හැකිය.”

යුවනේෂ්

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් දියත් කරන ලද වාර්ගික යුද්ධය සහ පලස්තීනුවන්ට එරෙහිව සිදුවෙමින් පවතින ඊස්රායල කුරිරුකම් අතර සමාන්තරය, උපාධි අපේක්ෂකයෙකු වන යුවනේෂ් පෙන්වා දුන්නේය. “එල්ටීටීඊය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස හැඳින්වූ ආකාරයටම හමාස් සංවිධානය ත්‍රස්තවාදී කන්ඩායමක් ලෙස හඳුන්වනු ලැබේ. තම භූමිය වෙනුවෙන් සටන් කරන ඔවුන්ව මෙලෙස හංවඩු ගසන්නේ කෙසේද?” යි ඔහු ප්‍රශ්න කලේය.

ආචාර්ය අම්බෙඩ්කාර් නීති විශ්ව විද්‍යාලයේ අනෙකුත් සිසුන් සමඟ බ්‍රින්ඩා වමෙන්

තමිල්නාඩුවේ ආචාර්ය අම්බෙඩ්කාර් නීති විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් වන බ්‍රින්ඩා මෙසේ පැවසුවාය: “යුද්ධය නැවැත්වීම සඳහා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ ව්‍යාපාරය වැදගත් එකකි. [ඊස්රායල්] යුද්ධයේ සැබෑව කුමක්ද සහ යුද්ධය පිටුපස ඇති උපායමාර්ගය ඔබේ ප්‍රචාරක ව්‍යාපාරයෙන් මම දැන ගතිමි. කම්කරු පන්තිය පන්ති අරගලය තුල එක්සත් විය යුතුය. යුද්ධය නැවැත්වීමට බලය කම්කරු පන්තිය අතේ තිබිය යුතුය. මනුෂ්‍යත්වය මෙහි පැවතිය යුතුය. ලෝකය සෑම කෙනෙකුටම අයිතිවේ. ”

දෙවන වසරේ නීති ශිෂ්‍යාවක් වන අර්තිප්‍රියා මෙසේ අදහස් දැක්වීය: “මාක්ස් පැවසූ පරිදි, ලෝකයේ කම්කරුවන් එක්සත් වුවහොත් යුද්ධය නැවැත්විය හැකිය. ඊස්රායල කම්කරුවන් යුද්ධයට සහාය නොදිය යුතුය.

“අරාබි හා යුදෙව්වන්ගේ එක්සත් රාජ්‍යයක් සඳහා ඔබේ ඉදිරිදර්ශනය හොඳ විසඳුමක් විය හැකි යැයි මම සිතමි. එක්සත් ජනපදය බොහෝ රටවල යුද්ධ කරන අතර ඔවුන් කැමති යුද්ධවලටද සහාය දක්වයි. දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය ඊස්රායලයේ ජන සංහාරක යුද්ධයට සහාය දක්වයි. ධනපති පන්තිය සහ කම්කරු පන්තිය යනුවෙන් ඇත්තේ පන්ති දෙකක් පමනි. කම්කරු පන්තිය මෙම ඊස්රායල යුද්ධයට සහාය නොදිය යුතුය.”

Loading