ශ්‍රී ලංකා ජනාධිපති වික්‍රමසිංහගේ 2024 අයවැය කම්කරුවන්ට හා දුප්පතුන්ට එරෙහි ප්‍රහාරය ගැඹුරු කරයි

[මෙය Sri Lankan President Wickremesinghes 2024 budget deepens attack on workers and the poor යන මැයෙන් 2023 නොවැම්බර් 19 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති වික්‍රමසිංහ නොවැම්බර් 13 දා 2024 සඳහා තම ආන්ඩුවේ අයවැය ඉදිරිපත් කලේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියෝග වලට අනුකූලව, අයවැය කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ කොන්දේසි තව තවත් කප්පාදු කරනු ඇත.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

පාර්ලිමේන්තුව ඇමතූ වික්‍රමසිංහ බුද්ධ දේශනාව මතක් කරමින් රටේ දුක්විඳින ජනතාවට ප්‍රකාශ කලේ, “අඩු ආදායමක් ලබමින්, සාටෝප සහ අධික ලෙස විනෝදකාමී ජීවිතයක් ගත කිරීමට එරෙහිවත්... ලැබෙන ආදායමට අනුව වියදම් කල යුතු බවටත්” බුදුන් වහන්සේ සඳහන් කර ඇති බවයි.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී හැඟීම්වලට වික්‍රමසිංහ කරන ආයාචනා වලට කිසිවකු නොරැවටෙනු ඇත. රටේ මිලියන 22 ක ජනගහනයෙන් අවම වශයෙන් සියයට 28 ක් දරිද්‍රතාවයේ ජීවත් වන අතර, 2023 යුනිසෙෆ් (UNICEF) වාර්තාවට අනුව, සෑම දරුවන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙක් දිනපතා කුසගින්නේ පෙලෙයි.

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, ජනගහනයෙන් සියයට 17 ක් ආහාර අනාරක්ෂිතව සිටියි; තුනෙන් දෙකකට ආසන්න පිරිසකට මුදල් නයට ගැනීමටත්, වෙහෙස මහන්සි වී උපයාගත් ඉතුරුම් තිබේ නම් ඒවා වියදම් කිරීමටත්, තම පවුල් පෝෂනය කිරීම සඳහා වෙනත් ක්‍රම අනුගමනය කිරීමටත් බලකෙරී තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහජනතාවට දොස් පවරමින් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ, “අපි රැකියා ලබා දීම, වැටුප් වැඩි කිරීම, නොමිලේ සහල් බෙදා දීම, සහන පිරිනැමීම සහ රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යාම සඳහා මුදල් නයට ගැනීමට හෝ මුද්‍රනය කිරීමට යොමු වුනා,” යනුවෙනි.

මේවා අමූලික බොරු ය. තරුනයින් අතර නිල විරැකියා අනුපාතය 2019 දී සියයට 15 ක් විය; ආර්ථික අර්බුදයට පෙර පවා බොහෝ තරුනයින් තාවකාලික රැකියාවල නියුක්ත විය. ඒ අතරම එකතැන පල්වෙමින් පවතින රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, ඉහල උද්ධමනය මගින් තව දුරටත් ඛාදනය වී ඇති අතර මහා සංගත දැවැන්ත ලෙස ලාභ ඉපැයීම සිදු කරයි.

කොවිඩ්-19 සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් අවුලුවා ඇති ආර්ථික අර්බුදයට කොලඹ ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ වැඩකරන ජනතාව මත ම්ලේච්ඡ ප්‍රහාර මුදාහැරීමෙන් හා රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීමෙනි. 2022 දී අවම වශයෙන් පුද්ගලයින් 500,000 කට රැකියා අහිමි විය.

තම ආන්ඩුව, මේ වසරේ මුල් භාගයේ ගත් ක්‍රියාමාර්ගවලින් බදු ආදායම සියයට 50 කින් ඉහල ගොස් ඇති බවත්, උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70 සිට ඔක්තෝබර් මාසයේදී සියයට 1.5 දක්වා පහත වැටී ඇති බවත්‍ වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී උජාරුවෙන් කියා සිටියේ ය.

නමුත් ඒ කුමන වියදමකින්ද? ආදායම් බදු වැඩිවීම සහ ඉහල අගය එකතු කල බදු (වැට්) අනුපාත නිසා රාජ්‍ය ආදායම ඉහල ගොස් ඇත; සමස්ත උද්ධමන අනුපාතිකය පහත වැටී ඇති අතරතුර අත්‍යවශ්‍ය සියලු ද්‍රව්‍යවල මිල ඉහල මට්ටමක පවතී. මෙම පියවරයන් කම්කරුවන් හා දුගීන් මත දරාගත නොහැකි බරක් පටවා තිබේ.

දැඩි සමාජ ප්‍රහාර පැනවීමේ කොන්දේසි සහිතව ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නය මුදා හැරීමට මාර්තු මාසයේදී ජාමූඅ එකඟ විය. 2025 වන විට අතිරික්තයක් නිෂ්පාදනය කිරීම සඳහා ආන්ඩුවේ වියදම් කප්පාදු කිරීම; ඉහල වැට් බදු සහ ආදායම් බදු අනුපාත හරහා බදු ආදායම් වැඩි කිරීම; රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම; විශාල ලෙස රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව සහ සුබසාධන වැඩසටහන් තියුනු ලෙස අඩු කිරීම මේවාට ඇතුලත් ය.

කෙසේ වෙතත්, ආන්ඩුව එහි ආදායම් ඉලක්කය කරා ලඟා වීමට අපොහොසත් වූ බැවින් ජාමූඅ, සැප්තැම්බර් මාසයේ දී සිය නය මුදලේ දෙවන වාරිකය රඳවා තබා ගත්තේය. ජාමූඅ ඔක්තෝබර් මාසයේදී දෙවන වාරිකය නිකුත් කලේ, ඉදිරි කාලය තුල එහි සියලු ඉල්ලීම් ඉටු කිරීමට ආන්ඩුව ප්‍රතිඥා දීමෙන් පසුවය. රජයේ 2024 අයවැය සකස් කර ඇත්තේ එම ඉලක්ක සපුරාලීම සඳහා ය.

අයවැය, රුපියල් ට්‍රිලියන 7 ක වියදමක් සහ රුපියල් ට්‍රිලියන 4 ක ආදායමක් අපේක්ෂා කරයි. අපේක්ෂිත රුපියල් ට්‍රිලියන 2.85 ක අයවැය හිඟය ප්‍රධාන වශයෙන් තවත් ඉහල බදු රේට්ටු, රජය සතු ව්‍යවසායන් (රසව්‍ය) පෞද්ගලීකරනය සහ තවදුරටත් නය ගැනීම් මගින් පියවනු ඇත. 2024 අයවැය වියදමෙන් සියයට පනහක්, නය මුදල් හා ඒ් සඳහා පොලිය ගෙවීමට වියදම් වන අතර එයින් ට්‍රිලියන 3 ක් විදේශ නය ආපසු ගෙවීම සඳහා ය.

2015 වසරේ සිට වැඩි නොකල රාජ්‍ය අංශ සේවකයන්ගේ ජීවන වියදම් දීමනා මසකට රුපියල් 10,000 කින් වැඩි කරන බව වික්‍රමසිංහ නිවේදනය කලේය. මෙය ලබන වසරේ අප්‍රේල් දක්වා ආරම්භ නොවනු ඇත; 2024 ජනවාරි සිට මාර්තු දක්වා එකතු වන ලද දීමනා 2024 ඔක්තෝබර් මාසයේ සිට මාස හයක කාලයක් තුල වාරික වශයෙන් ගෙවනු ඇත. මෙම සොච්චම් වැඩිවීම පෙර වසරවල සිදුව ඇති දැවැන්ත වැටුප් ඛාදනය සඳහා හිලව් නොවනු නැත.

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය විශ්‍රාමිකයන්ට ජීවන වියදම් දීමනාවක් ලෙස රුපියල් 2500 ක සොච්චම් වැඩිවීමක් ලැබෙනු ඇත. කෙසේ වෙතත්, රජය නිවේදනය කලේ, ලබන වසරේ විශ්‍රාම වැටුප් අරමුදලට රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය සියයට 6 සිට සියයට 8 දක්වා ඉහල යනු ඇති බවයි; වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන්ගේ වැටුප් සියයට 2 කින් කප්පාදු කරන බව යි.

2024 වසරේදී දිලිඳු පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ඔවුන්ගේම කුඩා නිවාසවලට හිමිකාරිත්වය ලබා දෙනු ඇත; දැනට ඒවා ඔවුන්ට ලබා දෙන්නේ රුපියල් 3,000 ක මාසික කුලියට ය. මෙම ආටෝපමය වැඩ පිලිවෙල උග්‍ර නිවාස හිඟය මඟහරවා ගැනීමට එතරම් දෙයක් නොකරනු ඇත. නාගරික සංවර්ධන අධිකාරියට අනුව කොලඹට පමනක් නිවාස ලක්ෂ දෙකකට වැඩි ප්‍රමානයක් අවශ්‍ය වේ.

“අස්වැසුම” සුබසාධන ගෙවීම් ලබන ලක්ෂ 20 කට ආසන්න ජනතාවක් සඳහා දැනට වෙන් කර ඇති බිලියන 60 සිට රුපියල් බිලියන 183 ක් ආන්ඩුව විසින් වෙන් කර තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ, ඇස්තමේන්තු කර ඇති අතිශය දිලිඳු පවුල් 400,000 කට මසකට රුපියල් 15,000 ක් සහ තවත් 800,000 කට වසර තුනක් සඳහා මසකට රුපියල් 8,500 ක් ලැබෙනු ඇති බවයි. අනෙක් අයට ලබන වසරේ දෙසැම්බර් සහ මාර්තු අතර කුඩා ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙම දීමනා කිසිසේත් ප්‍රමානවත් නොවන සොච්චමකි.

රටේ ගරාවැටෙන මහජන සෞඛ්‍ය සේවය සඳහා රුපියල් බිලියන 410 ක් වාර්ෂිකව වෙන් කරන අතර එය බිලියන 88 ක වැඩිවීමකි; අධ්‍යාපනයට දැනට පවතින රුපියල් බිලියන 237 ට අමතරව තවත් රුපියල් බිලියන 5 ක් ලැබීමට නියමිතය. මෙම ප්‍රතිපාදන උද්ධමනයට වඩා අඩු වන අතර මහජන සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර මුහුන දෙන මංමුලා සහගත තත්වයට කිසිසේත් හිලවු නොවනු ඇත.

මෙම ඉතා වැදගත් අංශවල සැලකිය යුතු කොටස් මෑත දශක කිහිපය තුල පැවති ශ්‍රී ලංකා ආන්ඩු විසින් ලාභ පිපාසිත පුද්ගලික අංශයට පවරා දී තිබේ. වික්‍රමසිංහ ආන්ඩුව නිදහස් මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය යන සේවාවන්, ගාස්තු අය කරන ආයතන බවට පත් කිරීම වේගවත් කරයි.

අනෙකුත් අයවැය පියවරයන්ට ඇතුලත් වන්නේ:

* ජනවාරි මාසයේ සිට වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා ඉහල දමනු ඇත; එයින් අදහස් වන්නේ, සියලු භාන්ඩ හා සේවාවල මිල තවදුරටත් ඉහල යාම යි.

* පලාත් පාලන අධිකාරී ආයතන (එල්ජීඒ) 'ස්වයං-මුල්‍යකරන ආකෘතියක්' හරහා ඔවුන්ගේ සේවාවන් සැපයීමට 'දිරිමත්' කරනු ලැබේ. ඉදිරි වසර පහ තුල මධ්‍යම ආන්ඩුව සියලුම එල්ජීඒ වැටුප් සඳහා මූල්‍යකරනය ක්‍රමයෙන් අඩු කර, අවසානයේ ඉවත් කර දමනු ඇත. මෙයින් අදහස් කරන්නේ ලක්ෂ සංඛ්‍යාත පලාත් පාලන සේවකයින්ගේ රැකියා සහ වැටුප් සඳහා මූල්‍යකරනය කිරීමට පලාත් පාලන අධිකාරී ආයතන වලට නිවැසියන් සඳහා සේවා ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇති බවයි.

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමේ හෝ වානිජකරනය කිරීම සඳහා ගන්නා පියවරයන් අතරට පහත සඳහන් පියවරයන් අඩංගුවේ:

* රාජ්‍ය බැංකුවල කොටස්වලින් සියයට 20 ක් පුද්ගලික ආයෝජකයන්ට විකිනීම.

* නිෂ්පාදනය, සම්ප්‍රේෂනය සහ බෙදාහැරීමේ ක්‍රියාවලීන් සමාගම් 14 කට පැවරීම හරහා ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යුහගත කිරීම.

* රජය සතු ටෙලිකොම් සමාගම සියයට 50.23 ක බහුතර කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකුනා දමන බව දැනටමත් නිවේදනය කර ඇත.

වික්‍රමසිංහ ප්‍රකාශ කලේ තම ආන්ඩුවේ ඊනියා ප්‍රතිසංස්කරන වැඩසටහන “ජනතාව ආර්ථික දුෂ්කරතාවලින් නිදහස් කරනු ඇති” බවයි. මෙය හිතලුවකි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට -7.8 කි. මෙම වසරේ ඇස්තමේන්තුගත වර්ධන වේගය සියයට -1 ක් වුවද, වසරේ මුල් භාගයේ වර්ධනය සියයට -7.9 කි. මේවා සංඛ්‍යාලේඛන පමනක් නොවේ. ගෝලීය ක‍්‍රියාවලියක තියුනු ප‍්‍රකාශනයක් වන ශ‍්‍රී ලංකාවේ තීව‍්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය, මහජනතාවගේ රැකියා සහ සමාජ කොන්දේසි මත වඩාත් විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇත.

රටේ ප්‍රධාන මහා ව්‍යාපාරික සංසදය (lobby) වන ලංකා වානිජ මන්ඩලය, වික්‍රමසිංහගේ අයවැය 'ජාතික සංවර්ධනය සඳහා රාමුවක්—ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සහ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම මෙහිදී ප්‍රධාන වනු ඇත' යනුවෙන් ප්‍රකාශ කරමින් එය පැසසුමට ලක් කලේය. වෙනත් වචන වලින් කිවහොත්, එය සුපිරි ලාභ ගරා ගැනීම සඳහා අමතර මාර්ග විවෘත කරන වැඩසටහනකි.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි ජාතික ජන බලවේගයේ (එන්පීපී) නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ පසුගිය වසර 75 පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගා ඇත්තේ “නය, මුදල් අච්චුගැසීම සහ වත්කම් විකිනීම මත” බවයි. 2024 අයවැයේ, “අවශ්‍යයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය එම පැරනි, අසාර්ථක මාවතට ම ගෙන යන වත්කම් නයට ගැනීමේ සහ විකිනීමේ යෝජනා අඩංගුයි” යනුවෙන් ඔහු පැවසීය.

ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, අයවැය “දෙව් ලොව පොරොන්දු වන නමුත් ජනතාව අපායට ගෙන යනවා... මේ අයවැය ධනවතුන් සතුටු කරන, දුප්පතුන් පීඩාවට පත් කරන අයවැයක්. එය ජාමූඅ සතුටු කිරීමේ උත්සාහයක් මිස අන් කිසිවක් නොවේ.”

සජබ, ජවිපෙ/ජාජබ සහ අනෙකුත් විරුද්ධ පක්ෂ අයවැය විවේචනය කරන අතරම, ඔවුන් සියල්ලෝම ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට කැපවී සිටිති; ඔවුන්ට විකල්පයක් නැත. ඔවුන්ගේ හෙලාදැකීම් එල්ල වී ඇත්තේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ගැඹුරු විරුද්ධත්වය මැතිවරන අරමුනු සඳහා නරුම ලෙස ගසාකෑම සඳහා ය. බලයට තේරී පත් වුවහොත්, ඔවුන් ජාමූඅ සහ එහි ඉල්ලීම් සමඟ සම්පූර්නයෙන්ම සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

ආන්ඩුවේ ජාමූඅ විසින් නියම කරන ලද පියවරයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය සිය සූදානම යලි යලිත් පෙන්නුම් කර ඇති මුත්, හුදකලා හා සීමිත ක්‍රියාමාර්ග කැඳවන වෘත්තීය සමිති විසින් එය නැවත නැවතත් අවහිර කරනු ලැබේ.

රුපියල් 20,000 ක මාසික දීමනාව ලබා දෙන ලෙස රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නිලධරය ඔක්තෝබර් මාසයේ සහ නොවැම්බර් මුලදී කොලඹ විරෝධතා කැඳවූයේ අයවැයෙන් මෙම ඉල්ලීම ලබා දීමට ආන්ඩුවට බලපෑමක් වනු ඇතැයි යන මිත්‍යාවන් පතුරවමිනි. වික්‍රමසිංහ මෙම ඉල්ලීම් මුලුමනින්ම නොතකා හැරීමත් සමඟ මෙය තවත් හිතාමතා ගෙතූ බොරුවක් බව ඔප්පු විය.

බොහෝ වෘත්තීය සමිති පාලනය කරනු ලබන්නේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසිනි; නැතහොත් විවිධ ඊනියා ස්වාධීන වෘත්තීය සමිති මෙන්ම ජාමූඅ වැඩසටහනට කැපවී සිටින ජවිපෙ සහ සජබ විසිනි.

කම්කරුවන්ට තම රැකියා, සමාජ කොන්දේසි සහ මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීමට කිසිදු ධනේශ්වර පක්ෂයක් හෝ වෘත්තීය සමිතියක් මත විශ්වාසය තැබිය නොහැක. ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නැත. අවශ්‍ය වන්නේ දැවැන්ත විදේශ නය ආපසු ගෙවීම් ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම වැඩපිලිවෙල සඳහා මූලිකත්වය ගෙන සටන් කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. වික‍්‍රමසිංහ තන්ත‍්‍රය බිඳ දැමිය යුතු අතර, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කල යුතුය. මෙම අරගලයේ පලමු පියවර වන්නේ ග්‍රාමීය ජනතාව ඒකරාශී කිරීම සඳහා සෑම සේවා ස්ථානයකම, වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි. ශ්‍රී ලාංකික කම්කරුවන් මෙම අරගලයේදී සිය ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරිය යුතුය.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට, මෙම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප උද්ඝෝෂනය කරයි. එවැනි මෙවලමක් ගොඩනැගීම ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගලය සඳහා පදනම් සපයනු ඇත.

Loading