[මෙය, Socialist Equality Party (Sri Lanka) celebrates 80th birthday of veteran Trotskyist K. Ratnayake මැයෙන්, 2023 නොවැම්බර් 21 දා ලෝසවෙඅ හි පල වූ ලිපියේ පරිවර්තනයකි.]
නොවැම්බර් 14දා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ, එදිනට යෙදී තිබූ කේ රත්නායක සහෝදරයාගේ 80 වැනි ජන්ම දිනය, කොලඹින් පිටත තදාසන්න ප්‍රදේශයක් වන පිලියන්දල පිහිටි ඔහුගේ නිවසේ දී සැමරූහ.
රත්නායක, දශක හයක් පමන වූ තම වැඩිහිටි ජීවිතයම කැප කර ඇත්තේ කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ සමාජවාදී විමුක්තිය සඳහා වන අරගලයටය. ඔහුගේ වයෝවෘද්ධ බව සහ සෞඛ්‍ය ගැටලු නොතකා, ඔහු සසප දේශපාලන වැඩ කටයුතුවල කේන්ද්‍රීය භූමිකාවක් දිගටම ඉටුකරමින් සිටියි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස දේශපාලනිකව ක්‍රියාකාරී වී සිටි රත්නායක, සසපයේ පූර්වගාමියා වූ, 1968 දී පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක සාමාජිකයෙකි. ඔහු 1968 සිට 1971 දක්වා එහි තරුන අංශය වන විප්ලවවාදී කොමියුනිස්ට් තරුනයෝ සංවිධානයේ ලේකම්වරයා විය.
1972 දී, විකොස පුවත්පත වූ කම්කරු මාවත සහ එහි දෙමල සංස්කරනය වන තොලිලලර් පාතේයි හි කර්තෘ බවට පත් වූ රත්නායක, දශක ගනනාවක් පුරා එම භූමිකාවෙහි නිරත විය. 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පිහිටුවන විට, ඔහු සසප (ශ්‍රී ලංකාව) හි ලෝසවෙඅ ජාතික කර්තෘ ලෙස තේරී පත්වූ අතර එම තනතුර තවමත් හොබවයි - එය කැපී පෙනෙන කාර්ය සිද්ධියකි.
ජනප්‍රවාදගත ට්‍රොට්ස්කිවාදී නායකයන් වන, විකොස ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය 1987 දී අකල් හි මියයන තෙක් සහ ඔහුගෙන් පසුව සසපට නායකත්වය දුන් විජේ ඩයස් 2022 දී මියයන තෙක් රත්නායක ඔවුන් සමග සමීපව සහයෝගයෙන් කටයුතු කලේය. විකොස/සසප තවත් ප්‍රමුඛ ආරම්භක සාමාජිකයෙකු වන නන්ද වික්‍රමසිංහ, ඔහුගේ දුෂ්කර සෞඛ්‍ය තත්වයන් නොතකා, රත්නායකගේ උපන්දිනයට පුද්ගලිකව සුභ පැතීම සඳහා ඔහුගේ නිවසට පැමිනියේය.
රත්නායක මහ බැංකු සේවක සංගමයේ ද කැපී පෙනෙන නායකයෙකු විය. ඔහුගේ ආදරනීය බිරිඳ ජෙරානි සහ අනෙකුත් සහෝදරවරුන් සමඟ එක්ව ඔහු සංගමය තුල ජාත්‍යන්තර සමාජවාදය සඳහා මූලධර්මාත්මක අරගලයක් ගෙන ගියේය. 1980 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව මහා වැඩවර්ජනයක් මර්දනය කිරීමත් සමඟ රාජ්‍ය අංශයේ කම්කරුවන් 100,000 ක් සමඟ මහ බැංකුවෙන් නෙරපා හරින ලද දුසිම් ගනනක් සේවකයින් අතර ඔහු සහ ජෙරානි ද විය.
ජයවර්ධන ආන්ඩුව විසින් උසිගන්වන ලද 1983 ජූලි මාසයේ බිහිසුනු දෙමල විරෝධී සංහාර මධ්‍යයේ, රත්නායකගේ නිවස වර්ගවාදී මැරයන් විසින් ගිනිබත් කරන ලදී. පසුගිය වසරේ ඛේදජනක ලෙස රත්නායකට ඔහුගේ බිරිඳ සහ සහායිකාව මෙන්ම යාවජීව සසප සාමාජිකාවක වූ ජෙරානි අහිමි විය.
ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඇතුළු සසප සහෝදරවරු ගනනාවක් රත්නායකගේ උපන්දින සැමරුමට සහභාගී වූහ. ට්‍රොට්ස්කිවාදයට රත්නායකගේ අතිමහත් දායකත්වය පමනක් නොව, ඔහුගේ ජීවන කාර්යයේ පැහැදිලිව පෙනෙන අධිෂ්ඨානය, ධෛර්යය සහ අනෙකුත් ශ්‍රේෂ්ඨ පෞද්ගලික ගුනාංග ද ඔවුන් පෙන්වා දුන්හ.
ලෝසවෙඅ හි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ එක්සත් ජනපද සසප සභාපති ඩේවිඩ් නෝර්ත් ද ඇතුලුව, ලොවපුරා ජාත්‍යන්තර කමිටු ශාඛාවන් නියෝජනය කරමින් සහෝදරවරුන් ගනනාවක් එවන ලද සුබපැතුම් එහි දී කියවන ලදී.
සසප ප්‍රධාන ලේකම් ජයසේකර, රත්නායකගේ පුතනුවන් වන ජයන්ට සහ දියනිය වනජාට සැමරුම සංවිධානය කිරීම ගැන ස්තුති කරමින් තම කතාව ආරම්භ කලේය. 1987 දී කම්කරු මාවත පුවත්පතේ පිටු හරහා රත්නායක සමඟ තම පලමු හමුවීම සිදු වූ බව ජයසේකර සිහිපත් කලේය. ' 1990 දී කර්තෘ මන්ඩලයට බැඳීමට මා කොලඹට කැඳවූ දා සිට ඔහුගේ මගපෙන්වීම යටතේ ඔහු සමඟ සමීපව කටයුතු කිරීමේ වරප්‍රසාදය මට ලැබුනි' යැයි ඔහු පැවසීය.
මාවීකුඹුර කිරිබන්ඩා, නන්ද වික්‍රමසිංහ, සකුන්ත හිරිමුතුගොඩ, සමන් ගුනදාස, ඩබ්ලිව් ඒ සුනිල්, විලානි පීරිස්, පානි විජේසිරිවර්ධන සහ වසන්ත රූපසිංහ ද රත්නායක සමඟ අත්විඳි දේශපාලන අත්දැකීම් සිහිපත් කරමින් කෙටි අදහස් පල කලහ.
අවසානයේදී අදහස් දැක්වූ රත්නායක මෙසේ පැවසීය: “මෙහි සහෝදරවරු ප්‍රකාශ කර ඇති පරිදි මම පක්ෂයට ප්‍රතිපදානයක් කර ඇත්නම්, මට එය කලහැකිවූයේ සියලු පක්ෂ සහෝදරවරුන්ගේ දායකත්වයේ කොටසක් ලෙසයි.”
විකොස පිහිටුවීමේදී කීර්ති බාලසූරිය, විජේ ඩයස්, වික්‍රමසිංහ සහ තවත් කිහිප දෙනෙකු සමග ඔහුගේ සමීප සහයෝගීතාවය ඔහු සිහිපත් කලේය.
රත්නායක තවදුරටත් මෙසේ පැවසීය: “1953 සිට පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ කොටසක් ලෙස, අපගේ ලෝක පක්ෂය, ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) අවස්ථාවාදී හැරී ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කලා. 1964 දී සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ධනේශ්වර සභාග ආන්ඩුවට සම්බන්ධ වූ විට ලසසපයේ ඓතිහාසික පාවාදීමට එරෙහිව ජාත්‍යන්තර කමිටුව මැදිහත් වුනා. ලසසප නායකත්වයට එරෙහිව මතු වූ කන්ඩායමක් වන ලසසප(වි) හි අර්බුදවලට ජාත්‍යන්තර කමිටුව මැදිහත් වුනා. කෙසේ වෙතත් මෙම කන්ඩායම 1964 පාවාදීමට තුඩු දුන් පැබ්ලෝවාදයේ ජාතික-අවස්ථාවාදී දේශපාලනයෙන් බිඳී ගියේ නෑ.'
“ඇටුවන් බැස ගත් පැබ්ලෝවාදියෙකු වූ වී. කරාලසිංහම්ගේ නායකත්වයෙන් යුත් කොටස් වලින් ලසසපයට ඇතුළු වන ලෙස අපට බලපෑම් එල්ල වුනා. කෙසේ වෙතත්, මෙම පීඩනය පරාජය කර පක්ෂය ගොඩනැගීමට එක්සත් වීමට ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන මැදිහත්වීම අපට උපකාරී වුනා.
“ජාක හි ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවා වසර පනස් පහක් ගත වී තිබෙනවා. අපි ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව අනේකවිධ කම්කරු පන්ති අරගල හරහා ගොස් තිබෙනවා. අපගේ සහෝදරවරු කම්කරු පන්තිය තුල මෙම පක්ෂය ගොඩනැගීමේදී අනුප්‍රාප්තික ආන්ඩු, පොලීසිය සහ මිලිටරිය සහ ධනේශ්වර පක්ෂවල මැරයින් විසින් මුදා හරින ලද මර්දනයට හා ප්‍රචන්ඩත්වයට මුහුන දුන්නා”.
රත්නායක සිය ප්‍රකාශය අවසන් කලේ එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් නව ලෝක යුද්ධයක් කරා ඇදෙමින් සිටින අද ගෝලීය අර්බුදයේ තීරනාත්මක අවධිය පැහැදිලි කරමිනි. ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “වැදගත්ම වර්ධනය වන්නේ ජාත්‍යන්තර පන්ති අරගලයේ නැගීම යි. අපට උර දිය යුතු කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය බලයට ගෙන ඒම සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය සැපයීම සඳහා ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ සමග එක්ව බහුජන පක්ෂයක් ලෙස සසප ගොඩනැගීමයි.'
රත්නායකගේ දශක හයක දිගු දේශපාලන ජීවිතය “ට්‍රොට්ස්කිවාදය සඳහා සටනට, ජාත්‍යන්තර කමිටුව ආරක්ෂා කිරීමට සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට” අවියෝජනීය ලෙස සම්බන්ධ වී ඇති බව ඩේවිඩ් නෝර්ත් සිය සුබපැතුම් පනිවිඩයේ සඳහන් කලේය.
1968 දී විකොස පිහිටුවීමේ දී රත්නායක විසින් ඉටු කරන ලද තීරනාත්මක භූමිකාව නෝර්ත් සිහිපත් කලේ ය. ට්‍රොට්ස්කිවාදය සඳහා ඔහුගේ ජීවිත කාලය පුරාම අරගලය සමීක්ෂනය කිරීමේ දැවැන්ත කර්තව්‍යය අවධාරනය කරමින් නෝර්ත් පහත සඳහන් ප්‍රකාශ කලේ ය:
“නමුත්, ඔබේ දශක ගනනාවක විප්ලවවාදී ක්‍රියාකාරිත්වය කැටිකර දැක්වීමේදී අවධාරනය කල යුතු දෙය වන්නේ, දේශපාලන ක්‍රියාමාර්ගය සහ මූලධර්ම කෙරෙහි ඇති කැපවීම සහ සමාජවාදය සඳහා සටන රඳා පවත්නා වූ නොසැලෙන පුද්ගලික ධෛර්යය ඔබ විසින් පුද්ගලාරෝපනය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ සසප හි ඔබේ සියලු සහෝදරවරුන් සහ කම්කරු සගයන්, ලෝසවෙඅ කර්තෘ මන්ඩලය සහ ජාත්‍යන්තර කමිටුව, මෙම තිරසාර දුෂ්කර කාර්යය සඳහා අත්‍යසාමාන්‍ය හැකියාවක් සහතික කරනු ඇති බව ද, මෙම ගුනාංගයන්ට එකතු කල යුතුය”.
සසප (බ්‍රිතාන්‍යය) ජාතික ලේකම් ක්‍රිස් මාර්ස්ඩන් විසින් රත්නායක හැඳින්වූයේ, 'දේශපාලනය කෙරෙහි ප්‍රවිෂ්ඨය මෙන්ම, ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය වර්ධනය කිරීම ඉහලම බරපතලකමින් සලකන, ඉවසිලිවන්ත, කල්පනාකාරී සහෝදරයෙකු' ලෙසය. ඔහු අවසන් කලේ මෙසේ ප්‍රකාශ කරමිනි: “කම්කරු පන්තියට විප්ලවවාදී දිශානතියක් සහ නායකත්වයක් සැපයිය හැකි පක්ෂයක් සහ කේඩරයක් ශ්‍රී ලංකාව තුල පැවතීම සම්බන්ධයෙන් සහ ඉන්දියානු උප-මහාද්වීපයේ සහ ලෝකය පුරා ජාත්‍යන්තර කමිටුවේ වර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස නොනවතින විප්ලව න්‍යාය මත පාදක වූ ඉදිරිදර්ශනයක් වර්ධනයකොට ඉදිරිපත් කිරීමේ අත්දැකීම් සම්බන්ධයෙන් ඔබ වැනි සහෝදරවරුන්ට ස්තුතිවන්ත වන්නෙමු.”
සසප (ඕස්ට්‍රේලියාව) වෙනුවෙන් ලෝසවෙඅ කර්තෘ පීටර් සිමන්ඩ්ස් සහ ජාතික ලේකම් චෙරිල් ක්‍රිස්ප් මෙසේ ලිවීය: “ඔබ ශ්‍රී ලංකාවේ සසප වර්ධනයට සහ වඩාත් පුලුල්ව ගත් කල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට ලබා දී ඇති දැවැන්ත දායකත්වය ගැන ඔබට තෘප්තිමත් විය හැක”.
“පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූ, ඔබට සහ ඔබේ දරුවන් වන ජයන්ට සහ වනජාට දරුනු අහිමිවීමක් වූ, ඔබේ බිරිඳ ජෙරානි දැක්වූ ආගන්තුක සත්කාරය මෙහි ඔස්ට්‍රේලියානු සහෝදරයින් සිහිපත් කරයි. ඔබ, පුළුල් උද්යෝගයක් සහ දැනුමක් සහිත හාස්‍යයට ප්‍රිය ඉතා සංස්කෘතිකමය මිනිසෙකි” යැයි ඔවුන් ලියා තිබුනි.
ඕස්ට්‍රේලියානු සසපයේ රිචඩ් ෆිලිප්ස්, ලෝසවෙඅ කර්තෘ වැඩ වලදී රත්නායක සමග සමීපව සහයෝගීව සිට ඇත. ට්‍රොට්ස්කිවාදයට හා එහි විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී මූලධර්මවලට “නොගිනිය හැකි තරම් කම්කරුවන් හා තරුනයන්” දිනා දෙමින් ඔවුන් මත බලපෑ 'ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශන' වෙනුවෙන් රත්නායකගේ 'අත්‍යසම ජීවිත කාලීන දේශපාලන අරගලයට' ෆිලිප්ස් උපහාර දැක්වීය.
ජර්මනියේ සසපයේ ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර් මෙසේ පැවසීය: 'අපි ඒකාබද්ධව සහභාගී වූ සියලුම ජාත්‍යන්තර සාකච්ඡාවලදී, අපගේ ජාත්‍යන්තර ඉදිරිදර්ශනය වර්ධනය කිරීම සඳහා ඔබේ කල්පනාකාරී සහ තීක්ෂන දායකත්වය අත්‍යවශ්‍ය වීය.'
ප්‍රන්සයේ සසපයේ ඇලෙක්ස් ලැන්ටියර් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයට, දෙමල ජාතිකවාදයට සහ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ඔබ විසින් කරන ලද බලගතු අරගලය ප්‍රංශයේ අපගේ පක්ෂය ගොඩනැගීමේදී කේන්ද්‍රීය විය. ප්‍රංශයේ සසප පිහිටුවීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල තීරනාත්මක සහෝදරවරු, ඉන්දියානු ධනේශ්වර ජාතිකවාදයට, ස්ටැලින්වාදයට සහ කවිප තුල වැඩුනු පැබ්ලෝවාදී අනුගත වීමට එරෙහිව, ඔබ, කීර්ති සහ විජේ, සමාජවාදය සඳහා ගෙන ගිය ශ්‍රේෂ්ඨ අරගලයෙන් දිනාගත් අය වෙති.
සසප (ඕස්ට්‍රේලියාව) හි නික් බීම්ස් මෙසේ ලිවීය: “ක්‍රියාමාර්ගය පක්ෂය ගොඩනඟයි. එය අපගේ විශ්ලේෂනයට මූලික වේ. නමුත් ක්‍රියාමාර්ගයට ඒ සඳහා සටන්කාමීන් අවශ්‍යයි. ඔබේ ජීවිත කාලය තුල, ඔබ ට්‍රොට්ස්කිවාදයේ ක්‍රියාමාර්ගය සඳහා වඩාත්ම ශක්තිමත් සහ නොසැලෙන සටන්කරුවන්ගෙන් කෙනෙකි.'
ජාත්‍යන්තර කමිටුවේ කැනේඩියානු ශාඛාව වෙනුවෙන් කීත් ජෝන්ස් මෙසේ සඳහන් කලේය: 'ඔබ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ ආධිපත්‍යය සහ ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය සඳහා අනභිභවනීය සටන්කරුවෙකු වී ඇත.' ජෝන්ස් තවදුරටත් මෙසේ පැවසීය: “ඔබේ ආත්ම පරිත්‍යාගශීලී හැකියාව ප්‍රකටය. ලෝසවෙඅ තුලින්, ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ වර්ධනය වන පන්ති අරගලය පිලිබඳ මාක්ස්වාදී තක්සේරුවක් සහ කම්කරු පන්තියට විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සහ දිශානතියක් සම්පාදනය කිරීම සඳහා නිරතුරුවම, ඔබ මානසිකව හා ශාරීරිකව කැප කරමින් රාත්‍රියේ සෑම හෝරාවක්ම අවදියෙන් සිට ඇත.'
ප්‍රන්සයේ සසප සහකාර ජාතික ලේකම් ඥානා සිය සුභාශිංසනයේදී මෙසේ පැවසීය: “ලසසපයේ පාවාදීම, සිවිල් යුද්ධය, ජවිපෙ මිනීමරුවන්ගේ ප්‍රහාර, ආන්ඩුව සහ එහි මිලිටරිය විසින් නැවත නැවතත් කරන හිරිහැර කිරීම් සහ දෙමල ජාතිකවාදීන්ගේ බිය ගැන්වීම් ඔබව බිය ගැන්වීමට අසමත් වී ඇත. ඔබ කිසි විටෙකත් අස්ථාවර වී නැත. ඉතා අධිෂ්ඨානශීලී ට්‍රොට්ස්කිවාදී නායකයින් වන ඔබද කොටස්කරුවන් වන විකොස/සසප නායකත්වය, අසාමාන්‍ය දේශපාලන ශක්තියේ උදාහරනයක් ලෙස ක්‍රියා කර ඇත.