[මෙය Greetings to veteran Sri Lankan Trotskyist K. Ratnayake on his 80th birthday යන මැයෙන් 2023 නොවැම්බර් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
නොවැම්බර් 14 දා කොලඹ පැවති හමුවකට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පහත සුභ පැතුම් පනිවිඩය එවන ලදී. හමුව පැවැත්වුනේ, වසර 60 කට වැඩි කාලයක් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටි සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කේ. රත්නායකගේ 80 වැනි උපන්දිනය සැමරීම සඳහා ය.
හිතවත් රත්නායක සහෝදරය,
ඔබගේ අසූවන උපන්දිනය නිමිත්තෙන් මගේ ප්‍රීතිය සහ වඩාත් ආදරනීය සුභ පැතුම් පිලිගන්න.
මෙම දිනය සැලකිය යුතු පෞද්ගලික සන්ධිස්ථානයක් පමනක් නොවේ. ඔබගේ ජීවිතයේ දශක අටෙන් හයක්ම ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය, ජාත්‍යන්තර කමිටුව ආරක්ෂා කිරීම සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සමග අවියෝජනීය ලෙස සම්බන්ධ වී ඇත.
ඔබේ ජීවිතය හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ විශාල කොටසක් පුරා විහිදේ. පැබ්ලෝ සහ මැන්ඩෙල් විසින් පාලනය කල ට්‍රොට්ස්කිවාද-විරෝධී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයෙන් බිඳී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම නිවේදනය කල, 1953 නොවැම්බර් 16 දින විවෘත ලිපිය ප්‍රකාශයට පත් කිරීමට දින දෙකකට පෙර ඔබ ඔබේ දසවන උපන්දිනය සැමරීය. ඇත්ත වශයෙන්ම, ඔබේ ජීවිතයේ එම අවධියේදී, ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉරනම සහ ඔබේ සමස්ත වැඩිහිටි ජීවිතයේ ගමන් මග සඳහා ඒවායේ දැවැන්ත ඇඟවුම් පසෙක තිබියේවා, හතරවන ජාත්‍යන්තරයේ නායකත්වය තුල දිග හැරෙමින් පැවති අරගල ගැන පවා ඔබට දැනගත නොහැකි විය.
එහෙත් 1964 ජූනි මාසයේ දී ලසසප ධනේශ්වර සභාග ආන්ඩුවකට ඇතුලුවීම සිදු වූයේ, ඒ වන විට වයස අවුරුදු 21 ට ලඟා වෙමින් සිටි ඔබ, විප්ලවවාදී සමාජවාදයේ සහ ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව ක්‍රියාමාර්ගයේ මෙම දරුනු පාවාදීමෙන් පසුබැසීමට ප්‍රමානවත් තරමට දේශපාලන මූලධර්ම පිලිබඳ හැඟීමක් කාවැදී සිටියදී ය. ඉන් පසු තීරනාත්මක වසර වලදී, 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීමේ දී ඔබ තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.
ඔබේ ජීවිතය පිලිබඳ ගවේශනයක්, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවේ සවිස්තරාත්මක ඉතිහාසය විමසා බැලීමකට වඩා අඩු දෙයකින් කල නොහැකි වනු ඇත. වසර 55 කට පෙර එහි ආරම්භයේ සිටම එම ශාඛාවේ සියලු විවේචනාත්මක අරගල සඳහා ඔබ ගැඹුරින් ම සහ කේන්ද්‍රීයව සම්බන්ධ විය.
එහෙත්, අවධාරනය කල යුතු දෙය නම්, ඔබේ දශක ගනනාවක විප්ලවවාදී ක්‍රියාකාරකම් කැටිකර දැක්වුවහොත්, ඔබ, සමාජවාදය සඳහා අරගලය රඳා පවත්නා වූ දේශපාලන ඔරොත්තු දීමේ හැකියාව, දේශපාලන ක්‍රියාමාර්ගය සහ මූලධර්ම කෙරෙහි ඇති කැපවීම සහ නොසැලෙන පුද්ගලික ධෛර්යය මූර්තිමත් කලේය. ශ්‍රී ලංකාවේ සසප, ලෝසවෙඅ කර්තෘ මන්ඩලය සහ ජාත්‍යන්තර කමිටුවේ සිටින ඔබගේ සියලුම සහෝදරවරු සහ කම්කරු සගයන්, ඔබ තුල පවත්නා, වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පවතින අසාමාන්‍ය තිරසාර හැකියාවක් සහතික කරන බැවින්, එය ද මෙම ගුනාංගවලට යමෙකු එකතු කල යුතුය.
හිතවත් රත්නායක, දශක හතරකට යන්තම් අඩු කාලයක් තුල ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මට භාග්‍යයක් තිබුනි. වයසට යෑමේ ක්‍රියාවලියේ අභියෝගවලට සහන අයැදීමට ඔබට හිමිකම් ඇති බවට, ඔබත් හොඳින් දන්නා බව මම දනිමි. ඔබ එවැනි උත්සුකයන් එකහෙලා බැහැර කරනු ඇත. එබැවින් ගෝලීය විප්ලවවාදී නැගීමේ නව කාලපරිච්ඡේදය තුල අපගේ දේශපාලන වැඩ කටයුතු අඛන්ඩව කරගෙනයාමේ අපේක්ෂාවෙන් සිටින බව ප්‍රකාශ කරමින් මෙම උපන්දින පනිවිඩය අවසන් කිරීමට මට ඉඩ දෙන්න.
සහෝදරත්වයෙන්,
ඩේවිඩ්