ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවලට යටත්වී සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර දමයි

අයවැය කප්පාදුවලට ඓරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් (එච්ටීයූඒ) විසින් අද (6) පැවත්වීමට සැලසුම් කරතිබූ සංකේත වැඩවර්ජනයට පැය කීපයකට පෙරාතුව, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව එහි වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර දැමූ බව එච්ටීයූඒ ඊයේ සවස නිවේදනය කලේ ය. සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් මාධ්‍යයට කීවේ, අදාල ගැටලුව සම්බන්ධයෙන් සතියක් තුල ජනාධිපති අනුර කුමාර දිසානායක හා භාන්ඩාගාර ලේකම් සමග සාකච්ඡාවක් ලබා දෙන බවට ජයතිස්ස ඔවුන්ට “ලිඛිත පොරොන්දුවක්” ලබා දුන් බවයි.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගය අත්හිටුවීම අනපේක්ෂිත දෙයක් නොවේ. දිසානායකගේ IMF-ගැති අයවැය මගින් වැටුප් වැඩිවීමක් පිලිබඳ අපේක්ෂාවන් කුඩුපට්ටම් කල, සාමාන්‍ය සේවකයින් අතර වැඩෙන අතෘප්තිය පිලිබදව මෙම ද්‍රෝහී වෘත්තීය සමිති නායකයෝ යහමින් දැනුවත් ය. මෙම මහජන කෝපය දියකර හැරීමේ කිරීමේ අරමුනින් අයවැය කප්පාදුවලට එරෙහිව මෙම සීමිත “සංකේත” වැඩ වර්ජනය කැදවීමට ඔවුන්ට බල කෙරුන ද, රජයේ කප්පාදු වැඩසටහන කඩාකප්පල් කරමින් මෙය ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී යාමේ හැකියාව පිලිබඳව මෙම වෘත්තීය සමිති නායකයෝ ත්‍රස්ව වූහ. අතීතයේදී, මෙයට වෙනස් ආකාරයෙන් මෙම වෘත්තීය සමිති නායකයෝ ක්‍රියාකල, කිසිදු වැඩ වර්ජනයක් සොයාගත නොහැක. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම වර්ගයේම “සහතික කිරීම්” මත, වැටුප් හා දීමනා කප්පාදුවලට එරෙහිව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) විසින් අත්හිටවූ අතර, එච්ටීයූඒව ද අනුගමනය කලේ එම පියවරම ය.

සටහන්කරගත යුතු කාරනාව වන්නේ, ජීඑම්‍යූඒ සහ එච්ටීයූඒ යන සෞඛ්‍ය වෘත්තීය සමිති දෙකම වර්ජන ක්‍රියාමාර්ග අත්හිටවූයේ, ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර් “ශක්‍ය කම්කරු අරගල” ගැන අනතුරු ඇඟවීමෙන් අනතුරුව ය යන්නයි. මාර්තු 4දා පැවැති මාධ්‍ය හමුවකදී බෲවර් පැවසුවේ, ශ්‍රී ලංකාවේ “බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතිය”, කම්කරුවන්ගේ වැඩවර්ජන මගින් අවහිර කරනු ඇති බවයි. අයවැය, ශ්‍රී ලංකාවේ කප්පාදු වැඩසටහන සඳහා “

යෝධ අවසන් තල්ලුවක්” බවත්, කැපකිරීම් කලහැකි සියලු දෙනා ඒ සඳහා “කැපකිරීමක් කල යුතු” බවත් ජාමුඅ නිලධාරියා පැවසීය. අමාත්‍යවරයා නිසැකවම වෘත්තීය සමිති නායකයින්ගේ අවධානයට බෲවර්ගේ නියෝගය පෙන්වා දෙන්නට ඇති අතර, වැඩවර්ජන ක්‍රියාමාර්ග අත්හරිමින් ඔවුහු කීකරු ලෙස ඔහුට අවනත වූහ.

වෘත්තීය සමිති නායකයින්ගේ මෙම ද්‍රෝහී භූමිකාව යලිවතාවක් තියුනු ලෙස පැහැදිලි කරන්නේ, ජාමුඅ කප්පාදුවට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන්ට මෙම ද්‍රෝහී වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකි බවයි. එලැඹ ඇත්තේ, සාමාන්‍ය කම්කරුන්ට දේවල් තමන් අතට ගැනීමට කාලයයි. මෙම සන්දර්භය තුල, අද සවස සෞඛ්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන ලද සූම් (Zoom) රැස්වීම අතිමහත් වැදගත්කමක් දරයි, මන්ද එය කම්කරුවන් මෙම ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සංවිධානය වන ආකාරය සහ සමාජවාදී වැඩසටහනක් මත පදනම්ව ඔවුන්ගේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන දරුනු ප්‍රහාරවලට එරෙහිව සටන් කරන ආකාරය සාකච්ඡා කරනු ඇති නිසාවෙනි.

Loading