කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සහ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කම්කරුවෝ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ තම ජීවන කොන්දේසි වඩ වඩාත් දුෂ්කර වන ආකාරය, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්ට පැහැදිලි කලහ. බොහෝ දෙනෙක් පැවසුවේ ආන්ඩුව පෙර පැවැති ආන්ඩු විසින් අනුගමනය කරන ලද පිලිවෙත්ම ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
ඔවුන් මේ බව පැවසුවේ, සසප සාමාජිකයන් පසුගිය දා එම කලාපයන්හි කරන ලද උද්ඝෝෂනයන්හි දී ය. සසප උද්ඝෝෂකයෝ 'ජනාධිපති දිසානායක, මහා-ව්‍යාපාරික සංසදයේ දී ජාමූඅ කප්පාදු ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙයි' සහ 'ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැන වූ තහනම හෙලා දකිමු!' යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි බෙදා හරිමින්, ආන්ඩුව විසින් ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් පිලිබඳව ද ආන්ඩුවේ සෘජු මැදිහත්වීම යටතේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස තහනම් කරන ලද රැස්වීම පිලිබඳ ව ද සාකච්ඡා කලහ.
මෙම රැස්වීම සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ජනවාරි මස 3 වනදා පැවැත්වීමට නියමිතව තිබුනි.
විරැකියාව හේතුවෙන් ඈත ප්‍රදේශවල සිට පැමිනි තරුන-තරුනියන් ද, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටිය දී ම තම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රැකියාවන්හි නියුතු අය ද උද්ඝෝෂකයන්ට හමුවිය. ඇතැමෙක්, වෙලඳ කලාපවල දැඩි සූරෑකෑම හේතුවෙන් රැකියාවන් අතහැර දැමු අය වූහ.
කටුනායක ගුවන් තොටුපොලේ 'එයාර් කාගෝ' සමාගමේ මිනිස්බල (මෑන්පවර්) කම්කරුවෙකු සහ 'ජේකේ ගාමන්ට්' හි සේවය කරන තරුන කම්කරුවෙකු ඇතුලු කන්ඩායමක් කටුනායක නිදහස් වෙලඳ කලාපයේදී තම අදහස් පල කලහ.
අනුරාධපුරයෙහි පදිංචිකරුවෙකු වන 'එයාර් කාගෝ' කම්කරුවා ගොවියන් මුහුන දෙන බැරෑරුම් ප්‍රශ්න ගැන පැහැදිලි කරමින් මෙසේ කීවේය: “රැකියාවක් නැති නිසා ආවා. දෙමව්පියන් කරන ගොවිතැනේ යෙදිල කිසිම සුගතියක් නැහැ.“
අතිකාල දීමනා සමග ඔහුගේ මුලු මාසික වැටුප රුපියල් 50,000 ක් පමන වේ. එයද උපයාගනු ලබන්නේ නිවාඩු දිනයන්හි ද වැඩ කරමිනි. “හම්බවෙන පඩිය මදි. ගෙවල් කුලී සහ විදුලියට රුපියල් 10,000 ක් මාසයට වියදම් වෙනවා. කෑමට ගියාට පස්සේ මාසෙකට රුපියල් 15,000-20,000 ක් ඉතුරු වෙනවා. ජනවාරි මාසයේ සතියක් විතර වැඩ තිබුනේ නැහැ“ යැයි පවසමින් ඔහු තම රැකියාවේ අතෘප්තිමත්භාවය ප්‍රකාශ කලේය.
“මේ ආන්ඩුවට ඡන්දය දුන්නේ අනුර රට හරියට හදයි කියල හිතල. ඒත් අපිව සූරා කන එක වැඩිවෙලයි තියෙන්නෙ,“ යනුවෙන් ඔහු ආන්ඩුව ගැන පිලිකුලෙන් කතා කලේය.
ඔහුගේ රැකියාවම ඇසුරු කර ගනිමින්, වර්තමානයේ නිෂ්පාදනය සහ බෙදා හැරීම ගෝලීයකරනය වී ඇති අයුරු සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. “ඔබ පැහැදිලි කරා වගේ යම් නිෂ්පාදනයකට අවශ්‍ය ඉන්ටනැෂනල් සප්ලයි චේන් එකක් කැඩුනොත් ඒ නිෂ්පාදනය මුලුමනින්ම නතර වෙනව.“ ලොවපුරා කම්කරුවන් නිෂ්පාදනයේදී ඒකාබද්ධව සිටින බවත්, ඔවුන් සතුව දැවැන්ත බලයක් ඇති බවත් පැහැදිලි කිරීමෙන් පසු, ඔහු කියා සිටියේ, 'මේ දැනුම සියලු කම්කරුවන්ට ලබාදියයුතු' බවයි.
නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනේශ්වර සමාජය, ධනපති පංතිය සහ කම්කරු පංතිය ලෙස අති මූලික වශයෙන් බෙදී ඇති බව පෙන්වා දෙමින් සසප උද්ඝෝෂකයෝ, “ජනාධිපති දිසානායක, මහා-ව්‍යාපාරික සංසදයේ දී ජාමූඅ කප්පාදු ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙයි” යන ලිපියේ පහත ඡේදයට අවධානය යොමු කලහ: “සමුලුව අමතමින් දිසානායක මහා ව්‍යාපාරිකයන්ට ප්‍රශස්තිය පලකලේය: “ඔබ ආර්ථිකයේ වර්ධනයේ එන්ජිමයි... ආර්ථිකයේ අනාගතය ඔබේ අතේ. වෙනසක් කිරීමේ බලය, දැනුම සහ ආකල්ප ඇත්තේ ඔබටයි.”
ජනාධිපතිගේ මෙම කතාව පිලිකුල් කරමින් ඔහු මෙසේ කියා සිටියේය: “ඇත්තටම ඇන්ජිම කරකවන්නේ අපි. ධනපතියො කරන්නෙ අපි මරවල ලාභ ගන්න එක. ජනාධිපති කතා කරන්නේ ධනපතියන් වෙනුවෙන්.“ සැබෑ නිෂ්පාදකයන් වන කම්කරු පන්තිය සමස්ත නිෂ්පාදන මාධ්‍යයන්ගේ පාලනය තමාගේ අතට ගෙන, ලාභය වෙනුවෙන් නොව, මානව අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රතිසංවිධානය කලයුතු බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.
සසප උද්ඝෝෂකයන් විසින් ඉදිරිපත් කරන ලද ලෝක සමාජවාදී වැඩපිලිවෙලට එකඟත්වය පල කරමින් ඔහු මෙසේ කීවේය: 'එහෙම ක්‍රමයක් [කම්කරු පාලනයක්] තමයි රටකට ලෝකෙට තියෙන්න ඕන, සමානත්වය තියෙන සමාජයක්.“
ජේකේ ගාමන්ට්හි කම්කරුවා, මීට පෙර කඩුවෙල පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සහ මාස්හෝල්ඩිංන්ග්ස් සමාගමට අයත්, ගිරිදර ලීනියා ඇකුවා කම්හලයෙහි සේවය කර තිබේ. ඔහුගේ දෙමව්පියෝ ද ගොවිතැන් කරති.
“මම බ්රැන්ඩික්ස් එකෙන් අයින් උනේ පඩි ප්රශ්න නිසයි. අවුරුද්දක් විතර වැඩ කරා. ඊට පස්සේ ලීනියා ඇකුවා එකට ගියා” යැයි ඔහු කීවේ ය. 'පස්සෙ ගමේ ගිහිල්ල අවුරුදු දෙකක් විතර වගා කටයුතු කරා. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ආයෙත් කලාපෙට ආවා.'
බ්රැන්ඩිස් කම්හලේ ඔහුට ලැබුනු මුලු වැටුප රුපියල් 38,000 ක් පමනි. “බෝඩිං කුලිය කෑම වියදම් අඩු උනහම ඉතිරි වෙන්නේ රුපියල් 5,000 ක් විතරයි. ජොබ් එකක් කරල වැඩක් නැහැ,.“ ලීනියා ඇකුවාහි ඔහුට ලැබුනු මුලු මාසික වැටුප රුපියල් 55,000 ක් පමන බවත් එහෙත් අධික වියදම් නිසා රැකියාව අතහැර ගිය බවත් ඔහු පැවසීය. ජේකේ ගාමන්ට් හි වත්මන් රැකියාවෙන් ඔහු මසකට රුපියල් 65,000 ක් පමන උපයයි.
තම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුන දෙන ප්‍රශ්න ගැන විස්තර කරමින් ඔහු මෙසේ කීවේය: 'ගොවි සහනාධාර දෙනව කියල ආන්ඩුව පම්පෝරි ගැහුවත් කාටවත් එවා හම්බ වුනේ නැහැ.“
ඔහු 2022 මහජන නැගිටීමේ උද්ඝෝෂන වලට සම්බන්ධ වී ඇත. එම නැගිටීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරිය ද, මහජන අභිලාෂයන්ට ප්‍රතිකූල ව, අවසානයේදී රනිල් වික්‍රමසිංහ බලයට පැමිනි අයුරු සහ ජාමූඅ වත්මන් කප්පාදු වැඩපිලිවෙල ආරම්භ කෙරුනු අයුරු සාකච්ඡාවට භාජනය විය.
වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ, ජවිපෙ සහ සමගි ජන බලවේගය යෝජනා කල 'අන්තර්-වාර ආන්ඩු' වැඩපිලිවෙලට යටත්කොට පාවාදුන් අයුරු උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. යලි එවැනි නැගිටීමක් ඇතිවීමේ සෑම ඉඩකඩක්ම පවතින නමුත්, එයට නායකත්වය දියහැකි මහජන විප්ලවවාදී පක්ෂයක් සහ කම්කරු පංතියේ ස්වාධීන වැඩපිලිවෙලක් නොමැතිවුවහොත් එයද නිසැකවම පරාජයට පත්වන බව පැහැදිලි කල සසප සාමාජිකයෝ, එම මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස ආරාධනය කලහ.
සසප තරුන සංවිධානය වන 'සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ' (සසජාතශි), 'ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?' මැයෙන්, ජනවාරි 03 දා, පේරාදෙනිය විශ්වවිද්යාලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීම, ආන්ඩුවේ මෙහෙයවීම යටතේ විශ්වවිද්යාලයේ පාලනාධිකාරය විසින් තහනම් කිරීමට එරෙහිව සසප/සසජාතශි ගෙනයන උද්ඝෝෂනය සමිබන්ධයෙන්, සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.
එමගින් සසජාතශි හි මෙන්ම, ශිෂ්‍යයන් ඇතුලු විශ්වවිද්‍යාල ප්‍රජාවගේ භාෂනයේ නිදහස උල්ලාංඝනය වී ඇති අයුරු උද්ඝෝෂකයන් පෙන්වාදුන්විට ඔහු මෙසේ කීවේය: “අපි වගේ කම්කරුවොයි, ශිෂ්‍යයොයි මේ වගේ දෙයක් සාකච්ඡා කරනවට ආන්ඩුව කැමති නැහැ. ඒ මගින් ඇත්ත දැනගෙන ගෝල්ෆේස් අරගලය වගේ එකක් ඇති වෙයි කියලා ආන්ඩුව බයයි.......ජනතාවට ඇත්ත දැන ගැනීමේ අයිතිය නැති කරනවා කියන්නෙ ආන්ඩුව කාරනාවන් සැඟවීමට උත්සාහ කරන බව නේද?'
.
ත්‍රිකුනාමලයේ සිට පැමිනි අවුරුද්දකට ආසන්න කාලයක් ඉසබෙලා ඇඟලුම් කම්හලේ තත්ත්ව පාලකයෙකු ලෙස සේවයේ නිරත කම්කරුවකු පැවසුවේ තමන් කොලඹ සෞන්දර්ය විශ්ව විද්යාලයේ අධ්යාපනය ලබන අතරේ වියදම් පියවා ගැනීම සඳහා කටුනායක කලාපයේ රැකියාවකට පැමිනි බවයි.
ඔහුගේ මාසික මුලු වැටුප රුපියල් 60,000 ක් වන අතර කාමර කුලිය සහ ජලය සඳහා මසකට රුපියල් 10,000 කට ආසන්න මුදලක් වියදම් වෙයි. බාල සහෝදරයෙකු සහ සහෝදරයෙකු ඇතුලු තම පවුල පියාගේ රැකියාවෙන් ලැබෙන සුලු වැටුපෙන් නඩත්තු කල කොහැකි බැවින් රැකියාවක් සොයා ගැනීමට ඔහුට බලකෙරී ඇත.
ඉසබෙලා කම්හලේම යන්ත්‍ර ක්‍රියාකාරිකයෙකු ලෙස වැඩ කරන කම්කරුවෙකු සඳහන් කලේ තමන් රැකියාවක් බලාපොරොත්තුවෙන් කොරියාවට යාමට සිටින බවත් වසරක් කොරියානු භාෂාව ඉගෙන ගැනීම සඳහා යම් මුදලක් සොයා ගැනීම සඳහා කටුනායක කලාපයට ත්‍රිකුනාමලයේ සිට පැමින සිටින බවයි. ඔහුගේ මූලික වැටුප රුපියල් 29,000 ක් වන අතර, අතිකාල සහ නිවාඩු දින දීමනා සමග මුලු මාසික වැටුප රුපියල් 65,000 කි.
කොරියානු භාෂාව සඳහා ආරම්භක ගාස්තුව ලෙස රුපියල් 30,000 ක මුදලක් ගෙවූ ඔහුට, මසකට රුපියල් 5,000 බැගින් ගෙවීමට සිදුව ඇත. පසුගිය මාස කිහිපය පුරා වැඩ අඩුවූ නිසා මාසිකව ලැබ්‍රනේ රුපියල් 42,000 ක් බවත්, සමහර අංශවල අතිකාල නවතා ඇති බවත් ඔහු පැවසීය.
කොග්ගල අපනයන සැකසුම් කලාපයේ සසප උද්ඝෝෂනය
පෙර පාසල් යන කුඩා දරුවෙකුගේ මව වන, 35 වියැති රුක්ෂානි, තම දෙමව්පියන් සමග ජීවත් වන්නීය. එයිට්කන් ස්පෙන්ස් ගාර්මන්ට්හි රැකියාවට ගොස් ඇති ඇය දැන් නිවසේ සිට වැඩ කරන්නීය. “ඒක [කම්හල] ගෙවන පඩියෙන් මට ජීවත්වෙන්න බැරි හින්ද මම සුලු රැකියාවක් ගෙදර ඉදන් කරනවා. අපේ ගෙදර එකම ආදායම් මාර්ගය මේ සුලු රැකියාව. මාසෙකට වැඩ කරල මගේ අතට හම්බෙන්නේ රුපියල් 25,000 ක් 30,000 ක් විතරයි“ ඇය කීවාය.
ආන්ඩුව ගැන කලකිරීමෙන් කතා කල ඇය, “ආන්ඩුව හොරු අල්ලන එක ගැන කියකිය ඉන්නව මිසක් අපිට සහනයක් දෙන්නෙ නැහැ. එක්කො අපේ ආදායම වැඩිවෙන්න ඕන. නැත්නම් බඩු මිල අඩුවෙන්න ඕන” යැයි කීවාය.
යුනිචලා ගාමන්ට්හි වැඩ කරන තිලිනි මෙසේ පැවසුවාය: “මාසෙම වැඩ කලොත් මහන්සි වෙලා අතට රුපියල් 45,000ක් විතර ගන්න පුලුවන්. ඒත් ඉස්සරහට වැඩ තියේවිද කියල කියන්න අමාරුයි කියලා තමයි ෆැක්ටරි එකෙන් කියන්නෙ. දැන් තියෙන වාතාවරනයත් එක්ක මේ ලැබෙන මුදලෙන් අනාගතේ ගැන හිතන්න අමාරුයි.“
“අපි ආන්ඩුව ගෙනියන වැඩපිලිවෙලත් එක්ක එකඟ නැහැ. වෙනද වගේ නෙවෙයි දැන් ලයිට් බිල වැඩිවෙලා. ගෙදර බත් කෑම බීම බඩු වලට වියදම් වැඩිවෙලා. ඒත් අපේ පඩිය වෙනද වගේමයි. ආන්ඩුව පැත්තෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ“ යනුවෙන් ආන්ඩුව විවේචනය කරමින් ඇය කතා කලාය.
කොග්ගල නිදහස් වෙලද කලාපය ආශ්‍රිත ව කම්කරුවන් ජීවත්වන්නේ බොහෝ විට අර්ධ ව නිමකරන ලද හෝ ගරා වැටෙන නිවාසවලය. නිවාස අලුත් වැඩියා කර ගැනීම කෙසේ වෙතත්, තමන්ගේ එදිනෙදා වියහියදම් පියවා ගැනීම සඳහාවත් ලැබෙන වැටුප් ප්රමානවත් නැති බව බොහෝ කම්කරුවෝ පවසති. සෑම කම්කරුවෙක්ම තමන්ගේ වැටුපෙන් අඩකට වඩා නය සහ පොලී වශයෙන් ගෙවති.
බොහෝ කම්කරුවෝ මෙම ආන්ඩුවට ඡන්දය දුන්නද, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හේතුවෙන් එය කෙරෙහි කලකිරී සිටිති. තම ප්‍රශ්න කිසිවක් නොතකා සිටින වෘත්තීය සමිති කෙරෙහි ද ඔවුනට ඇත්තේ කෝපයකි. ආන්ඩුවේ ප්‍රහාර වලට සහ ධනපති සමාගම් වල සූරා කෑමට එරෙහි සටන කම්කරුවන් විසින් තම අතට ගතයුතු බවත්, ඒ සඳහා තම කම්මහල්වල සහ නිවහන් ප්‍රදේශ ආශ්‍රිත ව, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගත යුතු බවත් සසප උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.