සෞදි අරාබියේ විදේශ කම්කරුවන් සඳහා බලපාන කෆාලා නීතිය සංශෝධනයෙන් එහි සේවයේ නියුතු විදේශීය කම්කරුවන් ට මහත් අස්වැසිල්ලක් සම්පාදනය කෙරෙන බවට, බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය (බීබීසී) පලකල පුවතක් ලංකාවේ මාධ්‍ය තුලද පලකෙරී තිබුනි. කෙසේ නමුත්, 2021 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම සංශෝධනයෙන්, තමාට කවර හෝ සහනයක් නොලැබෙන බව එහි සේවයේ නියුතු ගෘහ සේවිකාවෝ පවසති.
නව සංශෝධනයෙන්, මෙතෙක් ක්‍රියාත්මකවූ කෆාලා නීතිය ඉවත් කෙරෙන බව සෞදි රජය කියා සිටී. මෙම රුදුරු නීතියට අනුව, හාම්පුතෙකු විසින් යම් විදේශීය කම්කරුවෙකු මිලදී ගත්විට, ඔහුගේ හෝ ඇයගේ දෛනික වැඩ කාලය සහ වැටුප් තීරනය කිරීමේ බලය එකී හාම්පුතාට හිමිවෙයි. ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමේ හෝ වෙනත් ස්ථානයකට සංක්‍රමනයවීමේ අයිතිය කම්කරුවාට මුලුමනින්ම අහිමිය.
සෞදි රජය 2016 වසරේ ආරම්භ කල, දේශීය හා විදේශීය ආයෝජන මත පදනම්වන "ආර්ථික විවිධාංගීකරන ක්‍රියාවලියට" අවශ්‍ය ශ්‍රම වෙලඳපොල සඳහා "පුහුනු ශ්‍රමය" ආකර්ෂනය කර ගැනීම මෙම නීති සංශෝධනයේ අරමුනයි. ඉන්දියාව, පිලිපීනය බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි රටවල ලාභ ශ්‍රමයෙන් මෙය සපුරා ගැනීමට සෞදි රජය අපේක්ෂා කරයි. බහරේන්, කුවේට්, ඕමාන්, කටාර් යන මැදපෙරදිග රටවල් ද ලාභ ශ්‍රම වෙලඳපොලවල් නිර්මානය කිරීමේ අරමුනෙන් මෙවැනි නීති සංශෝධන ක්‍රියාවට දමා ඇත.
සෞදි නියෝජ්‍ය කම්කරු අමාත්‍ය අබුතුනේන් මාධ්‍යයට නිකුත්කල නිවේදනයේ ම දක්වා ඇත්තේ මෙම සංශෝධන පුහුනු ශ්‍රමිකයන්ට බලපාන බවයි. සංක්‍රමනික කම්කරුවන් අතරින් සියයට 95 ක් වන නුපුහුනු ගෘහ සේවක සහ ඉදිකිරීම් කම්කරුවන් ගැන ඉඟියක් වත් පලනොවීමේ අදහස වනුයේ, තමන් මුහුන දෙන අති දුෂ්කර සේවා කොන්දේසි වලින් සුලු අස්වැසිල්ලක් පවා මෙයින් නොලැබෙන බවයි.
“හියුමන් රයිට්ස් වොච්” හි මෑත වාර්තාවකින් පෙන්වා දෙන්නේ, සෞදි අරාබිය ඇතුලු මැදපෙරදිග රටවල සේවයේ නියුතු ගෘහ සේවිකාවන් විවිධාකාරයේ හිංසනයන්ට යටත් වන බව සහ ඔවුනගේ මූලික අයිතීන් බහුලව උල්ලංඝනය කෙරෙන බවයි. "සතියට වරක් දෙන නිවාඩුව නො ලැබීම, වැඩ සීමාවක් නොමැති වීම, බලහත්කාරයෙන් වැඩ ගැනීම, ශාරීරික පහරදීම, කෑම නො දීම, ලිංගික හිංසනයන්ට ලක් කිරීම, දුරකථන පහසුකම් නො සැපයීම සහ වැටුප් නොදී වැඩ ගැනීම" ආදී ම්ලේච්ඡ තත්වයන් යටතේ ඔවුනට වැඩ කිරීමට සිදුව ඇතිබව වාර්තාව පෙන්වා දෙයි.
ගෘහ සේවිකාවන් 66,000ක් පමන, දිනකට පැය 16-21 අතර කාලයක් වැඩ කරන බවද, ඔවුන්ගේ වැටුප පැයකට ඩොලර් ශත15ත් -30ත් අතර වන බවද එහි සඳහන් වෙයි.
"හියුමන් රයිට්ස් වොච්" පලකල වාර්තාවක, මීනා. එස්, නම් ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක් දුන් සම්මුඛ සාකච්ඡාවක් පලකොට තිබුනි. "මගේ මුලු කතාවම කිව්වොත් එය දින දෙකකින්වත් අවසන් වෙන්නෙ නෑ. ආපසු මගේ රටට එන විට, මට කිසිවක් තිබුනෙ නෑ. දවසක් මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 2.30 වනතුරු මගේ හාම්පුතා මට විදුලි රැහැනකින් පහර දුන්නා. අවසානයේ ඇය පැවසුවේ මාව ගෙදර නොයවන බව සහ ඇත්තේ තෝරාගැනීම් දෙකක් පමනක් බවයි: වැටුපක් නොමැතිව වැඩ කිරීම නැතහොත් මියයාම. මැරුනොත්, මා සියදිවි නසාගත් බව පොලිසියට කියන බව ඇය තර්ජනය කලා. වැටුපක් නොමැතිව වැඩ කලත්, පහර දීම් නැවතුනේ නෑ. මම පැන ගියේ ඒ නිසයි. ඇය මට මාසයක් නාන්න පවා ඉඩ දුන්නේ නෑ." (රියාද්, සෞදි අරාබිය, 2008 මාර්තු 12)
සෞදි අරාබියේ සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික කම්කරු තරුනියක වූ රිසානා නෆීක් 2013 දී හිසගසා මරා දැමීම මෙම ම්ලේච්ඡත්වයේ ඉහලම ප්‍රකාශනයකි. ඉසිලිය නොහැකි දරිද්‍රතාවය හේතුවෙන්, තම දූ දරුවන්ට වඩා යහපත් ජීවිතයක් ලබාදීමේ අපේක්ෂාවෙන් මැදපෙරදිග ගෘහසේවයට යන දසදහස් සංඛ්‍යාත කලාපීය ස්ත්‍රීන්ට, විවාහපත් අයට අමතරව, යන්තම් නවයෞවනයේ තරුනියන් පවා අයත් වෙයි.
අදාල අවම වයස පෙන්වනුවස් ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත්කොට රැකියාවට ගිය රිසානාට පැවරුනේ බිලිඳියක රැකබලා ගැනීමයි. අත්දැකීමක් හෝ පලපුරුද්දක් නොමැති මේ නවයොවුන් තරුනිය කිරිපොවමින් සිටියදී උගුරේ කිරි සිරවීමකින් බිලිඳිය මිය ගියාය. මෙම අත්වැරැද්ද සිතාමතා සිදුකල මිනීමැරීමක් ලෙස තීන්දු කල රියාද් අධිකරනයෙන් ඇගේ හිසගසා මරා දැමීමට නියම කෙරුනි.
මෙම රුදුරු කොන්දේසි වලට කම්කරු-පීඩිත මහජනතාව ඇද දැමීම සම්බන්ධයෙන්, මැදපෙරදිග කුරිරු පාලනයන් පමනක් නොව, ශ්‍රී ලංකාව ඇතුලු මෙම කලාපයේ රටවල ධනපති පාලක පන්තිය මුලුමනින්ම වගකිව යුතුය.
සෞදි අරාබියේ සේවය කරන ලංකාවෙන් සංක්‍රමනය වූ කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ, "කටාර් හි දැනටමත් කෆාලා නීතිය ඉවත්කර ඇතත්, ගෘහ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ගත්කල එය නීති පොතට පමනක් සීමාවී" ඇති බවයි. "ඔවුන්ට වෙනදා මෙන්ම වහලුන් සේ සේවය කිරීමට" සිදු වී ඇති බවත් සෞදි අරාබියේ දී එය වෙනස්විය නොහැකි බවත් ඔහු කියා සිටියේය.
සෞදි අරාබියේ සේවයේ නියුතු තවත් ශ්‍රී ලාංකික කම්කරුවෙකු ලෝසවෙඅ ට කතා කරමින්, "රටෙහි සියලුම ආයතනයන්හි අවම වසයෙන් දේශීය කම්කරුවන් සියයට 20 ක් හෝ සේවයට යොදා ගත යුතු බවට පනවා ඇති නීතියක් නිසා, බැංකු, රෝහල් තැපැල් කාර්යාල ආදියෙහි වැඩ සඳහා, විදේශ කම්කරුවන් ඉවත්කොට ස්වදේශික කම්කරුවන් යොදා ගත් බව" පැවසීය. රටතුල විරැකියාව සියයට 13 ඉක්මවා ඇති තත්වය තුල, මහජන විරෝධය සමහන් කරනුවස් මෙම නියෝගය පනවා ඇතිබව ඔහු කියා සිටියේය.
"නමුත් ස්වදේශික කම්කරුවන් අතර පුහුනු ශ්‍රමිකයන් ඉතා අඩුයි. ඔවුනට විදේශ භාෂා දැනීමක් නෑ. පරිගනක දැනීමද අල්පයි. මෙම නීතිය යටතේ මා රැකියාව කරන ආයතනයට කාන්තාවන් ද ඇතුලුව ස්වදේශීය සේවකයන් 12 දෙනකු යොදා ගත් නමුත් ආයතනයේ සිදුකෙරන කාර්මික වැඩ පිලිබඳව දැනුමක් ඔවුන්ට නෑ. විදේශ කම්කරුවන් මෙන් තුන් ගුනයක පමන වැටුපක් ස්වදේශීය කම්කරුවන්ට ගෙවන්න වෙන නිසා පුහුනු විදේශ කම්කරුවන්ගෙන් යුත් ශ්‍රමවෙලඳපොලක් නිර්මානය කර ගන්න ආයතන හිමියන්ට සහ රටේ පාලකයන්ට අවශ්‍යයි."
ලොව කොතැනක ආයෝජන කලාප ආරම්භ කලද, ප්‍රාග්ධන ආකර්ශනය සඳහා වන අන්තර්-ආයෝජන කලාප තරගය වඩවඩාත් තීව්‍රවීම හේතුවෙන්, අඩුම වැටුපකට උපරිම ශ්‍රමය උකහා දීමට පාලකයන් වෛෂයිකව තල්ලු කෙරේ. පුහුනු ශ්‍රමිකයන් සඳහා කෆාලා නීතිය ඉවත් කලද ඔවුන්ගේ සේවා කොන්දේසි අනෙක් ආයෝජන කලාපයන්හි පවත්නා රුදුරුම තත්වයන්ට වඩා යහපත් නොවනු ඇත.
පසුගිය වසරේ සිට, ඉරානය, ඉරාකය, ලෙබනනය, ඊස්රායලය සහ ජෝර්දානය ඇතුලු කලාපය පුරා වර්ධනය වන කම්කරු පන්ති අරගලවල නව රැල්ල සෞදි අරාබිය ඇතුලු මැදපෙරදිග රටවල දේශීය සහ සංක්‍රමනික කම්කරුවන් ට උත්තේජනය සපයන අතර, ඔවුන් මුහුනදෙන මෙම රුදුරු කොන්දේසි, කම්කරු පන්තිය ජාත්‍යන්තරව ඒකාග්‍ර කිරීමේ ගාමකය සපයනු ඇත.
සියවස් දෙකකටත් පෙරාතුව යුරෝපයේ රාජාන්ඩු පෙරලා දැමූ ධනපති විප්ලවයන් මගින් ස්ථාපිත කෙරුනු ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂනයන් ධනවාදයේ ඓතිහාසික බිඳවැටීම හේතුවෙන් යලි ආපසු හැරවෙන තතු තුල, කම්කරු-පීඩිත මහජනතාවගේ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව තහවුරු කෙරුනු මෙම රාජාන්ඩු මගින් කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් නොගැනෙනු ඇත.
කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අයිතීන් තහවුරු කල හැක්කේ මෙම රාජාන්ඩු පෙරලා දැමෙන සමාජවාදී විප්ලවයෙන් බව ලියොන් ට්‍රොට්ස්කි තම "නොනවතින විප්ලව න්‍යාය" තුල ඉදිරිපත් කලේය. සංක්‍රමන කම්කරුවන්ට ඇති එකම මාවත වන්නේ, ස්වදේශීය කම්කරුවන් සමග එක්ව, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ගල්ෆ් කලාපයේ සමාජවාදී සමුහාන්ඩු සංගමයක් සඳහා සටන් වැදීමයි.