ඉදිරිදර්ශන

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් අලුත් අවුරුදු ආයාචනයක්

[මෙය 2022 ජනවාරි 12 වැනි දින A New Year’s appeal from the World Socialist Web Site මැයෙන් පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2022 නව වසර COVID-19 වසංගතයේ තුන්වන වසරේ ආරම්භය සනිටුහන් කරයි. 20 වන සියවසේ මුල් භාගයේ ලෝක යුද්ධ දෙකෙන් පසු මානව වර්ගයා විශාලතම අර්බුදයට මැදිව සිටී. මරන සංඛ්‍යාව නිල වශයෙන්, මිලියන 5.5 ට ආසන්නය. නමුත් මරන සංඛ්‍යාව “අතිරික්ත මරන” වලින් මනිනු ලැබුවහොත්—එනම්, වසංගතයට සම්බන්ධ අවස්ථාවන් සමඟ ගැට ගැසුන, සියලු තත්වයන් තුල මරන සංඛ්‍යාවේ වැඩිවීමක් සහිත— කෝවිඩ්-19ට ගොදුරු වූ සංඛ්‍යාව දල වශයෙන් මිලියන 19 කි. එක්සත් ජනපදය තුල පුද්ගලයන් 850,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත. මෙම සංඛ්‍යාවට වයස අවුරුදු 65 ට වැඩි සෑම ඇමරිකානුවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු ඇතුලත් ය.

බිහිසුනු මරන සංඛ්‍යාව වෛරස් රෝග කාරකයක ජීව විද්‍යාත්මක සම්ප්‍රේෂනය අනුව පමනක් තේරුම් ගත නොහැක. වසංගතයට තුඩු දී ඇති විද්‍යාව, ජීව විද්‍යාඥයින්, වසංගත රෝග විද්‍යාඥයින් සහ වෛරස් විද්‍යාඥයින් විසින් ඉතා හොඳින් වටහාගෙන ඇත. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ, සියවසකට වැඩි කාලයක අත්දැකීම් ලබමින්, වසංගතයක් අවසන් කිරීමට සහ ජීවිත බේරා ගැනීමට කල යුතු දේ දනිති.

එහෙත්, ආර්ථික හා දේශපාලන අවශ්‍යතා සඳහා නිර්දය ලෙස ප්‍රමුඛත්වය දීම මගින් තීන්දු වී ඇති වසංගතයට ලොව පුරා ධනපති ආන්ඩුවල ප්‍රතිචාරය විසින්, විද්‍යාත්මක දැනුම යොදා ගැනීම සහ හෘද සාක්ෂියට එකඟ අවංකව ක්‍රියා කරන මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ ප්‍රයත්නයන් කඩාකප්පල් කරනු ලැබ ඇත.

සාර්ස්-කොව්-2 වසංගතය හට ගෙන ඇති බව සොයා ගැනීමෙන් සති කිහිපයක් ඇතුලත විද්‍යාඥයෝ සහ මහජන සෞඛ්‍ය නිලධාරීයෝ, ලෝකය, ව්‍යසනකාරී පරිමාවන්ගේ තර්ජනයකට මුහුන දී ඇති බව වටහා ගත්හ. සංකීර්න හා තීව්‍ර ලෙස අන්තර් සම්බන්ධිත ගෝලීය ප්‍රජාවක් තුල, වෛරස් සම්ප්‍රේෂනය නැවැත්වීමට හදිසි පියවර නොගතහොත්, බිලියන ගනනකට ආසාදනය වෙමින් කොරෝනා වෛරසය බරපතල ලෙස, මිලියන ගනනක් මිනිසුන් මරා දමමින් ද රෝගී කරමින් ද ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වනු ඇත. සාර්ස්-කොව්-2 වෛරසය තුරන් කිරීම සහ අවසාන වශයෙන් මුලිනුපුටා දැමීම සඳහා යොමු වූ ශුන්‍යය කෝවිඩ් (Zero-COVID) තත්ත්වය සඳහා මූලෝපායක් ක්‍රියාවට දැමීම අවශ්‍ය විය.

චීනය, නවසීලන්තය සහ තවත්, මූලික වශයෙන් ආසියා-පැසිෆික් රටවල් කිහිපයක, ඵලදායී සෞඛ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලදී. එම රටවල ආසාදන සංඛ්‍යාව ඉක්මනින් පහත වැටුන අතර, මරන සංඛ්‍යාව ඉලක්කම් ද්වයේ හෝ තනි ඉලක්කමේ මට්ටම දක්වා පහත වැටුනි. එහෙත් වඩාත්ම බලගතු ධනේශ්වර ආන්ඩු, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ, මෙම විද්‍යාත්මකව තාර්කික හා මානුෂීය ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කලහ.

වසර දෙකක් තිස්සේ, මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිවල මූලික අරමුන විය යුතු මිනිස් ජීවිත ආරක්ෂා කිරීම යන පිලිවෙත, කෝටි-ප්‍රකෝටිපතියන් විසින් ව්‍යාපාරික ලාභ හා පුද්ගලික ධන රාශීකරනයට දැනුවත්ව සහ සාපරාධී ලෙස යටත් කර ඇත. ආන්ඩුවල ප්‍රතිපත්තිවල අවධානය යොමු වී ඇත්තේ, මරන සංඛ්‍යාව පහත හෙලීම කෙරෙහි නොව, කොටස් වෙලඳ පොලේ කොටස් මිල ඉහල නැංවීම කෙරෙහි ය.

දුෂ්ට ආත්මාර්ථකාමීත්වය, ජාතික ස්වෝත්තමවාදය සමඟ අන්තර්ක්‍රියාකාරී වී ඇත. වසංගතයට එරෙහි සටනට ගෝලීය මූලෝපායක් අවශ්‍ය වේ. එහෙත් අධිරාජ්‍යවාදී සහ සංගත අවශ්‍යතාවල විසකුරු සන්ධානයක්, විද්‍යාත්මකව මෙහෙයවන ලද ගෝලීය ප්‍රතිචාරයකට විරුද්ධව සිටී. ආරක්ෂිත සහ ඵලදායී එන්නත් ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ඉක්මනින් හා නොමිලේ ලබා දිය යුතුය. එහෙත් යෝධ ඖෂධ සමාගම්වල ලාභ ආරක්ෂාව ඊට එරෙහිව පිහිටා ඇත.

වසර 70කට පමන පෙර, 1950 ගනන්වල මුල් භාගයේදී පෝලියෝ එන්නත නිපදවීමේ ප්‍රධාන භූමිකාවක් ඉටු කල වෛරස් විද්‍යාඥ ජොනස් සල්ක්ගෙන්, ඔහුට පේටන්ට් බලපත්‍රය (ස්වාධිකාරී බලපත්‍රය) හිමි දැයි ජාතික පරිමාන රූපවාහිනියෙන් විමසන ලදී. සල්ක් පිලිතුරු දුන්නේ, “පේටන්ට් බලපත්‍රයක් නැත. ඔබට සූර්යයා පේටන්ට් බලපත්‍රයක් යටතේ තැබිය හැකිද? ” යනුවෙනි.

ඖෂධ කර්මාන්තය, බොහෝ කලකට පෙර මහජන සෞඛ්‍ය පරාර්ථකාමයේ එවැනි ප්‍රකාශනයන් කල නොහැක්කක් බවට පත්කර තිබේ. විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇති අයිතිය වැනි සෑම දෙයකටම මිලක් ඇත. අවශ්‍ය හදිසි ඖෂධ සහ එන්නත් පුද්ගලික දේපලක් බවට පරිවර්තනය කිරීමෙන් එය, බිලියන ගනනක් ජීවිත කප්පම් ගැනීම යටතේ තබා ඇත.

නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු සිදුවීමකදී නොවුන පරිදි ගෝලීය වසංගතය, ධනේශ්වර පද්ධතියේ අසාර්ථකත්වය සහ නින්දිත ලෙස ධනවත්ව සිටින පාලක ප්‍රභූව සහ ලෝක ජනගහනයේ අතිමහත් බහුතර ජනතාව අතර සමනය කල නොහැකි ගැටුම ද හෙලිදරව් කර ඇත.

වසංගතය වෛද්‍යමය ක්‍රියාමාර්ගවලින් පමනක් නතරකල නොහැක. වසංගතය අවසන් කිරීමේ අරගලය, පන්ති අතර අරගලයක රූපය ගෙන ඇත.

ධනපති පංතිය වසංගතය දැක ගන්නේ, අන්සියල්ලටමත් වඩා, සිය ධනය වැඩිකර ගැනීමේ අවස්ථාවක් ලෙස යි. වෝල් වීදියේ කොටස් වටිනාකම් වාර්තාගත මට්ටම්වල පවතී. පසුගිය දෙවසර තුල පාලක පන්තිය විසින් ක්‍රියාවට නංවා ඇති ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය වී ඇත්තේ, අපරිමිත ලෝක ජනගහනයෙන් සුලු කොටසක් දැවැන්ත ලෙසින් ධනවත්වීමයි. එම ප්‍රතිපත්ති ම මිලියන ගනනකගේ මරන වලට තුඩු දී ඇත.

පසුගිය දෙවසර පුරාම කෑදර ලෙස ගිල දැමීමෙන් පසුව සංගත-මූල්‍ය ප්‍රභූව සහ ඔවුන් පාලනය කරන ආන්ඩු, සාදය දිගටම පවත්වා ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටිති. වඩා බහුලව බෝවන ඔමික්‍රොන් ප්‍රභේදය මතුවී තිබියදීත්, ආන්ඩු ඉල්ලා සිටින්නේ, ලමුන් පාසල් යවන ලෙස සහ කම්කරුවන්ට රැකියා වලට යන ලෙසයි.

ආසාදිත පන්ති කාමරවලට ලමයින් යවන්නේ අධ්‍යාපනය ලබාදීම සඳහා නොවේ. එය සංගතවලට ශ්‍රම බලකායක් සපායා ගැනීම සඳහාය. එය නොමැතිව ව්‍යාපාරික ආදායම් සහ ලාභ උත්පාදනය කල නොහැක. එහෙත් ගුරුවරු පාසල්වලට වාර්තා කරන ලෙසත් කම්කරුවන් රැකියාවේ රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටීම මඟින් ධනපතියෝ, සමාජයේ ක්‍රියාකාරීත්වයට කම්කරු පන්තිය අත්‍යවශ්‍ය බව පිලිගනිති.

සාර්ස්-කොව්-2 සම්ප්‍රේෂනය නැවැත්වීමේ සියලු මවාපෑම් අත්හැර දමා ඇත. මාධ්‍ය ප්‍රචාරනය සහ නිරීක්ෂනය කල හැකි යතාර්ථය අතර පරතරයක් විවර වී ඇත. ඔමික්‍රොන් ප්‍රභේදයට ව්‍යාපාරික මාධ්‍ය විසින් 'මෘදු' සහ 'අඩු දරුනු' යන වචන වලින් ආශිර්වාද කර තිබේ. පාසල් “ආරක්ෂිතම ස්ථාන” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී ලමුන්, මැජික් බලයෙන් මෙන්, ආසාදනවලින් ආරක්ෂා වේ. නමුත් ජනවාරි 10 වන දින වාර්තා වුනේ, ඇමරිකානුවන් 141,000 ක් කෝවිඩ්-19 වැලඳී රෝහල්ගතව ඇති බවත්, පසුගිය සතියේ පමනක් වයස අවුරුදු 18 ට අඩු ලමුන් 580,000 ට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇති බවත්‍ ය. 'මෘදු' යැයි කියනු ලබන ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් වාර්තාගත ලමුන් සංඛ්‍යාවක් රෝහල් ගත වේ. එක්සත් ජනපදයේ කෝවිඩ්-19 මගින් දැනටමත් ලමුන් 1,000 කට වඩා මියගොස් ඇති අතර, ඔමික්‍රොන් ආසාදන ඉහල යාම හේතුවෙන් ඉදිරි සතිවලදී එය විශ්මය ජනක ලෙස නැඟෙනු ඇත.

නමුත් මාධ්‍ය විසින් නිමක් නැතිව පුනරුච්චාරනය කරන දවසේ සටන් පාඨය වන්නේ සමාජය “කෝවිඩ් සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතුය” යන්නයි. මෙහි අර්ථය කුමක් ද? සති දෙකකට මඳක් වැඩි කාලයකට පෙර නත්තල් දින සිට, ඇමරිකානුවන් 20,000 කට වැඩි පිරිසක් වෛරසයෙන් මිය ගියහ. මෙම වින්දිතයන් වෛරසය සමඟ ජීවත් විය නොහැක. නමුත් මෑතකදී දිවුරුම් දුන් නිව් යෝර්ක් නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් කියා සිටි පරිදි මනුෂ්‍යත්වයේ යහපැවැත්මට ඉහලින් 'මූල්‍ය පරිසර පද්ධතිය' ලෙස හඳුන්වන දෙය තැබීම සඳහා ආන්ඩුව සහ මාධ්‍ය, මරනය සහ දුක් වේදනා සාමාන්‍යකරනය දිගටම කරගෙන යයි.

ම්ලේච්ඡත්වය වෙත දුවන සමාජ පන්තියක දැක්ම මෙයයි. ධනපති ආන්ඩු පිලිගැනීමට සූදානම් වන මරන සංඛ්‍යාවට සීමාවක් නැත. ජනගහනය පුරා පාලනයකින් තොරව වෛරසය පැතිරීම යන 'රංචු ප්‍රතිශක්තියේ' ප්‍රතිපත්තියට කැපවී සිටින ආන්ඩු, තම රටවල වැඩ කරන ජනතාව මත කුරිරු අත්හදා බැලීමක් කරමින් සිටී. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කල පරිදි, “සිරුරු කඳු ගැසීමට ඉඩ දෙන්න” යන්න කුප්‍රකටය.

මිනිස් ජීවිතය පිලිබඳ මෙම අමානුෂික නොතැකීමට එරෙහිව කම්කරු පන්තිය දැන් සටන අරඹා ඇත. දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත අවදානමට ලක් කරන කොන්දේසි යටතේ පන්ති පැවැත්වීම ප්‍රතික්ෂේප කරන ගුරුවරුන්ගේ අරගලයේ වැදගත්කම මෙයයි. කම්කරු පන්තියේ පුලුල් කොටස් සහ තරුන ශිෂ්‍යයෝ මෙම සටනට එක්වෙමින් සිටිති.

එහෙත් වසංගතයට එරෙහිව බලගතු මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා දේශපාලන, සමාජීය හා ඓතිහාසික ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ: එනම්, ඔවුන් සටන් කරන්නේ කාට එරෙහිව ද ඔවුන් සටන් කරන්නේ කුමක් සඳහා ද යන්න පිලිබඳව කම්කරුවන් අතර පැහැදිලි අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලොව පුරා එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෙම ඉදිරිදර්ශනය සඳහා අරගලයේ අත්‍යවශ්‍ය සහ තීරනාත්මක ආයුධයයි.

ලෝසවෙඅ දිනපතා ප්‍රකාශනයේ විසිපස්වන වසරේ ආරම්භය 2022දී සනිටුහන් කරයි. මෙම වසර ගනනාව තුල, සමාජවාදයේ සහ ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතාවයේ අධිකාරී සහ සම්මුති විරහිත හඬ ලෙස එය තෙමේම ස්ථාපිත වී ඇත.

පසුගිය වසර දෙක පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, වසංගතයේ ස්වභාවය සහ අර්ථභාරය ගැන වාර්තා හා විශ්ලේෂන පල කර ඇත. එය වසංගතයේ විද්‍යාව සහ දේශපාලනය යන දෙකම පැහැදිලි කර තිබේ. 2020 ජනවාරි 24 වන දින නව කොරෝනා වයිරසයේ මතු වීම වාර්තා කරමින් එහි පලමු ලිපිය පල කල දා සිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය, වසංගතය පිලිබඳ ලිපි 4,000 කට වඩා පල කර ඇත.

අර්බුදයේ මුල් අවධියේ සිටම, වසංගතය නැවැත්විය හැක්කේ ගෝලීය මූලෝපායක් ක්‍රියාත්මක කිරීමෙන් පමනක් බව ලෝසවෙඅ අවධාරනය කලේය. 2020 මාර්තු 6 වන දින, තවමත් ගෝලීය මරන සංඛ්‍යාව 3,500 ට වඩා අඩුවෙන් හා එක්සත් ජනපදයේ මුලු මරන 20 ට අඩුවෙන් පැවතියදී ලෝසවෙඅ මෙසේ අනතුරු ඇඟවී ය.

“හදිසි මැදිහත් වීමක් නොමැති වුවහොත්, මෙම වසංගතය පාලනය කල නොහැකි පරිදි ජනගහනය පුරා පැතිරී ඉමහත් ජීවිත හානියක් සිදුවීමේ අනතුරක් පවතී. …

“මේ සමාජ ව්‍යසනය වැලැක්විය යුතුයි. වෛරසය පැතිරීම නැවැත්වීමට සහ රෝගයෙන් ආසාදිත සියල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සියලුම කොටස් ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතුය. මේ සඳහා සමාජ සම්පත් විශාල වශයෙන් යලි බෙදාහැරීමක් අවශ්‍ය වේ.

“ඒ සඳහා වන ප්‍රතිචාරය මෙහෙයවිය යුතු මූලධර්මය නම්, සමාජයේ අවශ්‍යතා වලට ලාභයේ අවශ්‍යතා යටපත් කල යුතුය යන්නයි. කොටස් වටිනාකම් සහ ලාභ පිලිබඳ ධනපති ගනන් බැලීම් වලින්, රෝගයට එරෙහි සටන සීමා කිරීමට, යටපත් කිරීමට හෝ වැලැක්වීමට ඉඩ නොතැබිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාවට සම කිරීමට හැකි කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ප්‍රකාශනයක් නොමැත. ලෝසවෙඅ අනතුරු ඇඟවීම් මෙන්ම එය ඉදිරියට ගෙන යන පිලිවෙත් සනාථ කෙරී ඇත.

එහෙත් ලෝසවෙඅ කටයුතු, වාර්තා කිරීමට සහ අනතුරු ඇඟවීමට සීමා වී තිබුනේ නැත. වසංගතය අවසානයකට ගෙන ඒමටත්, කම්කරු පන්තියේ ක්‍රියාමාර්ග සඳහා අඩිතාලම දැමීම සඳහාත් අපගේ සියලු උත්සාහයන් යොමු වී ඇත.

පසුගිය වසර තුල ලෝසවෙඅ, කම්කරු පන්ති අරගල සංවිධානය කිරීමේ හා දේශපාලනික දිශානතිය සැකසීමේදී වැදගත් ප්‍රගතියක් ලබා ඇත.

2021 මැයි 1 දින නිකුත් කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය පිහිටුවීම සඳහා කරන ලද කැඳවීම, ඉන් පසු මාස කිහිපය තුල, වර්ධනය වූ ප්‍රධාන කාර්මික වැඩ වර්ජන මාලාවක කම්කරුවන්ගේ අරගල දැවැන්ත ලෙස ශක්තිමත් කලේය.

2021 අගෝස්තු සහ ඔක්තෝබර් මාසවලදී ලොසවෙඅ විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර වෙබිනාර් රැස්වීම්, සාර්ස්-කොව්-2 වෛරසය තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීම සඳහා වඩාත් ප්‍රතිපත්තිගරුක විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ සම්බන්ධ වූ කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.

නොවැම්බරයේ දියත් කරන ලද කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ලෝසවෙඅ ගෝලීය කම්කරු පරීක්ෂනය, දැවැන්ත පරිමානයේ මරන සඳහා ධනේශ්වර පද්ධතියේ සාපරාධී වගකීම හෙලිදරව් කිරීමට සාක්ෂි රැස්කරමින් සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අලූත් අවුරුද්දේ සිය වැඩ කටයුතු දිගටම කරගෙන යාමට සහ පුලුල් කිරීමට අධිෂ්ඨානවත් ය.

කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය, අපට අවස්ථාවන් සහ අභියෝගයන් යන දෙකම ඉදිරිපත් කරයි. එම අභියෝග අතර සම්පත් ඉහල නැංවීම ප්‍රධාන වේ.

අද ලෝක සමාජවාදී වෙබ් අඩවියට දිය හැකි විශාලතම පරිත්‍යාගය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ නිසාය. ලෝසවෙඅ වැඩ කරගෙන යාමට පමනක් නොව, මෙම අමානුෂික, විකෘතිරූපී ලෙස අසමානත්වය රජයන, මිලිටරිවාදී සහ සදාචාරාත්මකව බංකොලොත් සමාජයට විකල්පයක් සොයමින් ලොව පුරා සිටින, මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් වෙත අපගේ ප්‍රවේශය විශාල ලෙස පුලුල් කිරීමට ඔබගේ අඛන්ඩ මූල්‍ය සහයෝගය තීරනාත්මක ය.

එහෙත් අරමුදල් සඳහා ඉල්ලීම් කිරීමට අමතරව, පසුගිය දෙවසරේ අත්දැකීම් වලින් අවශ්‍ය නිගමනයට එලඹෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි: සමාජවාදී අනාගතයක් සඳහා සටන් කිරීමට, වසංගතය අවසන් කිරීමට, ධනේශ්වර සූරාකෑම හා අසමානතාවයට, යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමට දැනුවත් තීරනයක් ගන්න. සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බැඳීමට හා එය ගොඩනැගීමට තීරනය කරන්න.