කොලඹ දී පැවැත්වුනු සසජාතශි යුද-විරෝධී රැස්වීම ගාසා තීරයට එරෙහි ඊස්‍රායල් යුද්ධය නතර කරන ලෙස බලකර සිටී

[මෙය IYSSE Colombo anti-war meeting demands halt to Israeli war on Gaza යන මැයෙන් 2023 ඔක්තෝබර් 22 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය බ්‍රහස්පතින්දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී “යුක්‍රේන යුද්ධය නවත්වන්නේ කෙසේද” යන මැයෙන් මහජන රැස්වීමක් පැවැත්වීය.

ඔක්තෝබර් 19 දා කොලඹ දී පැවැත්වුනු සසජාතශි යුද විරෝධී රැස්වීම

ඔක්තෝබර් 19 දා කොලඹ දී පැවැත්වුනු සසජාතශි යුද විරෝධී රැස්වීම

රැස්වීමේ දී අවධානය කෙරුනේ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයත්, ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහි එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊස්‍රායල ජනඝාතක යුද්ධයත් පිලිබඳව ය. කථිකයන්, මෙම යුද්ධවල මූලාරම්භය සහ ඇඟවුම් පිලිබඳව ද සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) දේශපාලන මූලෝපාය පිලිබඳව ද පැහැදිලි කලහ.

විශ්වවිද්‍යාල සිසුන් සහ කම්කරුවන් ඇතුලු තරුන තරුනියන් 50 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම රැස්වීමට පෙරාතුව කොලඹ, කැලනිය, මොරටුව සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල සහ කොලඹ වැඩබිම් කිහිපයක සසජාතශි කන්ඩායම් විසින් උද්ඝෝෂන පවත්වන ලදී.

උද්ඝෝෂකයෝ, “නෙතන්‍යාහුගේ ආන්ඩුව භංගවේවා! ගාසා තීරයට එරෙහි අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සියොන්වාදී ප්‍රහාරය නවත්වනු!” යන මැයෙන් පල වූ හජාජාක ප්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් සහ අනෙකුත් ලෝක සමාජවාදී වෙබ් අඩවි ලිපි බෙදා හරින ලදී.

උද්ඝෝෂනය අතරතුර සිසුන් සහ කම්කරුවන්, මාධ්‍ය විසින් ප්‍රචාරය කල ප්‍රහාර ආරම්භ කල හමාස් සංවිධානයට සහ රුසියානු ජනාධිපති පුටින්ට චෝදනා කරන ප්‍රශ්න මතු කලහ. නමුත් ඔවුන් මෙම ප්‍රශ්න පැහැදිලි කර ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූ අතර ඊස්‍රායලයට සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ට එරෙහිව ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කරමින්, පීඩිත පලස්තීනුවන් කෙරෙහි දැඩි සහානුභූතියක් දැක්වූහ.

සකුන්ත

සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුනු අතර තවත් සසජාතශි කථිකයෙකු වන සකුන්ත හිරිමුතුගොඩ සභාව ඇමතීය. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඊස්‍රායලයේ ගාසා යුද්ධය පිලිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කලේය.

එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති බවත්, ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහි ඊස්‍රායල යුද්ධයට වොෂින්ටනය මුලුමනින්ම සහයෝගය දක්වන බවත් ප්‍රනාන්දු පැහැදිලි කලේය.

“ගුවන් යානා සහ නාවික භටයින් දහස් ගනනක් රැගෙන යා හැකි දැවැන්ත යුද නැව් දෙකක් මැද පෙරදිගට යවමින් ඇමරිකාව ඊස්‍රායල ප්‍රහාරය යොදාගෙන ඉරානයට එරෙහි යුද්ධයකට සූදානම් වෙනවා. ගෝලීය ආධිපත්‍යය හඹා යාමේ ප්‍රධාන ඉලක්කය ලෙස එක්සත් ජනපදය චීනයට එරෙහි සිය යුද සැලසුම් ඉදිරියට ගෙන යමින් සිටිනවා,” ප්‍රනාන්දු පැවසීය.

“මෙම තත්වය තුල, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන ඇති මුලපිරීම හදිසි කර්තව්‍යයක්. ජාත්‍යන්තරව මෙම කර්තව්‍යය සඳහා වන සටනේ දී පෙරමුනු බලඇනිය වෙන්නේ සසජාතශියි.”

වොෂින්ටනය ඊස්‍රායලයට පිටුබලය දීම ගෝලීය ආධිපත්‍යය සඳහා වන එහි යුද අරමුනුවල අඛන්ඩතාවයක් නියෝජනය කරන බව පවසමින්, රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය දෙසට හිරිමුතුගොඩ සිය කතාව යොමු කලේය.

“එක්සත් ජනපද-නැටෝ බලවතුන් යුක්‍රේනයේ යුද්ධයට මැදිහත් වූ විට පැවසූ දේ ඔබට මතක ඇති. මෙම බලවතුන් කියා සිටියේ තමන් යුක්‍රේනයේ 'ප්‍රජාතන්ත්‍රවාදය' සහ 'ස්වෛරීත්වය' ආරක්ෂා කරන බවයි. යුද්ධයේ පසුගිය මාස 18 මේ බොරුව බිඳ දමලා තියෙනවා.”

යුක්‍රේනය සහ රුසියාව යන දෙඅංශයේම සොල්දාදුවන් ලක්ෂ ගනනක් මියගොස් ඇති බවත්, කියෙව් පාර්ශවයේ පමනක් 300,000 කට වැඩි පිරිසක් සිටින බවත්හිරිමුතුගොඩ පැවසීය. මිලියනයකට අධික සංඛ්‍යාවක් සරනාගතයන් බවට පත්ව ඇති අතර යුක්‍රේනයේ යටිතල පහසුකම් සහ දේපලවලට මිනිය නොහැකි තරම් හානියක් සිදු වී ඇත. 'ව්‍යසනය කෙතරම් වුවත්, එහි අරමුන රුසියාව යටත් කර ගැනීම බව පෙන්වන වොෂින්ටනයට අවශ්‍ය ව ඇත්තේ යුද්ධය දිගටම කරගෙන යාමයි.'

රුසියාවේ යුක්‍රේන ආක්‍රමනය “අප්‍රකෝපිත යුද්ධයක්” බවට එක්සත් ජනපදය කරන ප්‍රකාශයට කථිකයා විරෝධය ප්‍රකාශ කලේය. 'යුද්ධ ඇතිවන්නේ දිගු කාලීන ක්‍රියාවලීන් නිසා' යයි ඔහු පැවසීය. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු එක්සත් ජනපදය සිය ආධිපත්‍යය සඳහා ලෝකයේ විවිධ ප්‍රදේශවල යුද්ධ මෙහෙයවීය. නැටෝව 1991 සිට රුසියාව මිලිටරිමය ලෙස වැටලීම ශීඝ්‍රයෙන් තීව්‍ර කර ඇත.

2014 දී රුසියානු ගැති ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීම සඳහා වොෂින්ටනය කියෙව්හි පාලන තන්ත්‍ර වෙනසක් උසිගැන්වූ බවත්, රුසියාවට එරෙහි යුද්ධයට සූදානම් වෙමින් ෆැසිස්ට්වාදී පිටුබලය ලත් රූකඩ තන්ත්‍රයක් බලයට පැමිනීමට උදව් කල බවත් හිරිමුතුගොඩ පැහැදිලි කලේය. මෙය එක්සත් ජනපදය විසින් අටවන ලද උගුලට හසුකරමින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමට පුටින් තල්ලු කිරීමකි.

“පුටින් තන්ත්‍රය විසින් සිදුකල ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනයට අපි විරුද්ධයි. කෙසේ වෙතත්, මෙම යුද්ධය නැටෝව විසින් ප්‍රකෝප කරන ලද්දක්. එහි මූලෝපායික අරමුන වන්නේ රුසියාව යටත් විජිතයක් බවට පත් කර එහි අතිවිශාල ස්වභාවික සම්පත් උදුරා ගැනීමයි. එක්සත් ජනපදයේ අවසාන ඉලක්කය වන්නේ චීනය අල්ලා ගැනීමයි. වොෂින්ටනයේ නොසැලකිලිමත් ධාවනය න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් අතර යුද්ධයක් ඇති කරමින්, මානව වර්ගයාට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙනදෙන ගෝලීය වහ්නිජාලයක තර්ජනය මතු කරනවා.”

දීපාල් ජයසේකර

ජයසේකරගේ කතාව ගාසා තීරයේ ඊස්‍රායලයේ ජන සංහාරක යුද්ධය කෙරෙහි කේන්ද්‍රගත කෙරිනි. හජාජාක, එහි අනෙකුත් ශාඛා සහ සසජාතශි සමග සසප, ඊස්‍රායල් යුද්ධය දැඩි ලෙස හෙලා දකින අතර එය වහා නතර කරන ලෙස බලකර සිටින බව ඔහු පැවසීය. ඒ අතරම සසප, එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් මෙම යුද්ධයට දක්වන සක්‍රීය සහයෝගය හෙලා දකී. 'එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයකට සම්බන්ධ වෙමින්, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව කරගෙන යන ඓතිහාසික අපරාධයට සහයෝගීව කටයුතු කර තිබෙනවා.'

එක්සත් ජනපදය, යුරෝපීය බලවතුන් සහ ඔවුන්ගේ කීකරු මාධ්‍ය විසින් ගෙන යන බිය ගැන්වීම් සහ අසත්‍ය ප්‍රචාර නොතකා, ඊස්‍රායලයේ යුද්ධයට එරෙහිව ලොව පුරා මිලියන ගනන් කම්කරුවන් හා තරුනයින් විරෝධතාවල නැගී සිටින බව ජයසේකර පෙන්වා දුන්නේය. “මෙම විරෝධතා සමාජවාදී වැඩපිලිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් සන්නද්ධ විය යුතුයි. ඒවා පදනම් විය යුත්තේ ගාසා යුද්ධය පැන නැගී ඇති පුලුල් සන්දර්භය සහ විශේෂයෙන්ම ඉතිහාසයේ පාඩම් පිලිබඳ අවබෝධයක් මත යි,” ඔහු පැවසීය.

නෙතන්‍යාහු තන්ත්‍රයේ ජන සංහාරක යුද්ධය යුක්තිසහගත කිරීම සඳහාත්, ඊස්‍රායල ආක්‍රමනයට පලස්තීන ප්‍රතිරෝධය 'අතිශයින් නරුම හා සාපරාධී ක්‍රියාවක් මෙන්ම ඉතිහාසය විකෘති කිරීමක්' ලෙස සාපරාධීකරනය කිරීම සඳහාත් අධිරාජ්‍යවාදී රටවල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හීලෑ මාධ්‍ය, හොලෝකෝස්ටයට (සමූලඝාතනයට) සහ 'යුදෙව්-විරෝධයට' ආයාචනා කිරීමට දරන උත්සාහය කථිකයා හෙලා දුටුවේය.

“පලස්තීන ජනතාවත්, ජර්මනියේ හිට්ලර්ගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රයේ යුදෙව් විරෝධී පිලිවෙත් හා එහි සමූල ඝාතනත් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර දැන් ද නැහැ. නෙතන්‍යාහු තන්ත්‍රයට එරෙහි විරෝධය සමස්තයක් ලෙස යුදෙව් ජනතාවට විරුද්ධ වන්නේ නැහැ... ඇත්ත වශයෙන්ම, ජර්මනියේ හිට්ලර්ගේ නාසි තන්ත්‍රයේ සාපරාධී පිලිවෙත්මයි අද අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබන නෙතන්‍යාහු පාලනය විසින් අනුගමනය කරන්නේ.”

නෙතන්‍යාහු තන්ත්‍රය සහ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඊස්‍රායලයේ ගාසා යුද්ධය ඔක්තෝබර් 6 දා රාත්‍රියේ ඊස්‍රායලයේ හමාස් සංවිධානය විසින් එල්ල කර ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස නිරූපනය කිරීමට දැරූ උත්සාහයන්ට ජයසේකර එරෙහි විය. 1948 සියොන්වාදී රාජ්‍යය පිහිටුවීමෙන් පසු ඊස්‍රායල පාලනය විසින් එහි පරම්පරා ගනනාවක් ජීවත් වූ පලස්තීනුවන් පලවා හරිමින් දශක ගනනාවක් පුරා ක්‍රියාත්මක වූ කුරිරු මිලිටරි මර්දනය හේතුවෙන් පලස්තීන නැගිටීම මතු වූ බව ඔහු පැහැදිලි කලේය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, හතරවන ජාත්‍යන්තරය (හජා) ආරම්භයේ සිටම සියොන්වාදී රාජ්‍යය පිහිටුවීමට විරුද්ධ වූ බව පෙන්වා දුන් ජයසේකර, 1948 අප්‍රේල් මාසයේදී පැරිසියේ පැවති එහි දෙවන සම්මේලනය විසින් සම්මත කරන ලද යෝජනාවකින් උපුටා දැක්වීය. එහි 'යුදෙව් ප්‍රශ්නයේ 'සියොන්වාදී විසඳුම' මනෝරාජික හා ප්‍රතිගාමී” ලෙස ප්‍රතික්ෂේප කරයි. 'යුදෙව් කම්කරුවන්ගේ අරගල අරාබි කම්කරුවන්ගේ සමාජ, ජාතික සහ විමුක්තිවාදී අරගල සමග ඒකාබද්ධ කිරීම සඳහා සියොන්වාදය මුලුමනින්ම අත්හැර දැමීම අනිවාර්ය කොන්දේසියක්' බව ද එය ප්‍රකාශ කරයි.”

එම යෝජනාවේ සඳහන් වූයේ “පොදුවේ පීඩක ජනයා යටත් විජිත රටවලට සංක්‍රමනය කිරීම සඳහා කැඳවීම ප්‍රතිගාමී වන්නේ යම් සේද, එසේම යුදෙව්වන්​ගෙන් පලස්තීනයට සංක්‍රමනය වන ලෙස ඉල්ලා සිටීම තරයේ ම ප්‍රතිගාමී වේ. සංක්‍රමනික ප්‍රශ්නය මෙන්ම යුදෙව්වන් සහ අරාබිවරුන් අතර සබඳතා යෝග්‍ය ලෙස තීරනය කල හැක්කේ ජාතික සුලුතරයක් ලෙස යුදෙව්වන්ට පූර්න අයිතිවාසිකම් ඇති නිදහසේ තෝරා පත්කර ගත් ව්‍යවස්ථාදායක සභාවක් (Constituent Assembly) මගින් අධිරාජ්‍යවාදය නෙරපා හැරීමෙන් පසුව පමනකි.”

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශ උපුටා දක්වමින්, ඔවුන් ඊස්‍රායලයේ ජනඝාතක ගාසා යුද්ධය සමඟ සම්පුර්නයෙන්ම පෙලගැසී ඇති බව ජයසේකර ප්‍රකාශ කලේය.

ඊස්‍රායල කම්කරු පන්තිය සහ පලස්තීන ජනතාව ඔවුන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා වන අරගලවලදී එකිනෙකා මත යැපෙන බව ඔහු පැහැදිලි කලේය. 'ඒ හා සමානව, ගාසා යුද්ධයට එරෙහිව පලස්තීන ජනතාව ආරක්ෂා කිරීමට සටන් නොකර, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට, විශේෂයෙන්ම ජාමූඅ කප්පාදුවලට සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන අන්තරායට එරෙහි අරගලය ජයගත නොහැක.'

ගාසාවට එරෙහි නෙතන්‍යාහු තන්ත්‍රයේ යුද්ධය නැවැත්වීමට ඉල්ලා සිටි යෝජනාවක් රැස්වීම ඒකමතිකව සම්මත කරගත් අතර, පලස්තීන ජනතාව ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම යෝජනාව, නෙතන්‍යාහු තන්ත්‍රයේ යුද්ධය හෙලා දකිමින්, රෝහල් ඇතුලු යටිතල පහසුකම්වලට බෝම්බ හෙලීම සහ උතුරු ගාසා තීරයෙන් මිලියන 1.1 ක ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටියේය. එය ගාසා තීරයෙන් සහ අනෙකුත් ස්ථානවලින් ඊස්‍රායල හමුදා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. වරාය, ගුවන්තොටුපල සහ අනිකුත් තැන්වලින් ඊස්‍රායලයට මිලිටරි සැපයුම් ප්‍රවාහනය කිරීම නතර කරන ලෙසත්, සියලුම යුදෙව්වන්ට, පලස්තීනුවන්ට සහ අරාබි ජනතාවට එකට ජීවත් වීමට හැකි වන පරිදි එක්සත් සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අරගලයක් සඳහාත් එය ජාත්‍යන්තර කම්කරු පන්තියට කැඳවුම් කරයි.

ප්‍රශ්න සහ උත්තර වාරයේ දී තරුනයෙක්, සසප යුදෙව්වන්, පලස්තීනුවන් සහ අරාබි මහජනතාවගේ එකමුතුව ඉල්ලා සිටින්නේද, සහ එය ද්විත්ව-රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ පලස්තීනුවන් සඳහා වෙනම රාජ්‍යයක් පිලි නොගන්නේ මන්දැයි ඇසීය.

ඊස්‍රායලය පිහිටුවීමේ අත්දැකීමෙන්ම පෙන්නුම් කර ඇති පරිදි, ආගම සහ ජනවාර්ගිකත්වය මත පදනම්ව වෙනම රාජ්‍ය පිහිටුවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කිසිදු ගැටලුවක් විසඳිය නොහැකි බවත් ඒ වෙනුවට විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දෙන බවත් ජයසේකර පැහැදිලි කලේය.

පලස්තීනුවන් ඔවුන්ගේම භූමියෙන් බලහත්කාරයෙන් ඉවත් කර වෙනම භූමියකට කොටු කර,ඊස්‍රායලය ලෙස නම් කරන ලද පලස්තීනයේ කොටසක යුදෙව්වන් පදිංචි කරවමින්, එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ද්විත්ව-රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ ඊස්‍රායලය ස්ථාපිත කෙරුනි. මැදපෙරදිග සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයක කොටසක් ලෙස එක්සත් සමාජවාදී රාජ්‍යයක් තුල ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කරමින් විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් ස්වේච්ඡාවෙන් එක්සත් කල හැකි බව ජයසේකර පෙන්වා දුන්නේය. 1922 දී පිහිටුවන ලද සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ අත්දැකීම් මත පදනම්ව හජාජාක පෙනී සිටින්නේ මේ වෙනුවෙනි.

Loading