ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම්: ගාසා තීරය තුල පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ ජන සංහාරක යුද්ධය නවත්වනු!

[මෙය Public meetings in Sri Lanka: Stop Israel’s genocidal war against Palestinians in Gaza! යන මැයෙන් 2023 නොවැම්බර් 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) “ගාසා තීරය තුල පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ ජන සංහාරක යුද්ධය නවත්වනු!” යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීම් තුනක් පවත්වයි. පලමු රැස්වීම නොවැම්බර් 15 වැනිදා යාපනයේදීත්, දෙවැනි රැස්වීම නොවැම්බර් 19 වැනිදා ගාල්ලේදීත්, තුන්වැනි රැස්වීම නොවැම්බර් 21 වැනිදා කොලඹදීත් පැවැත්වේ.

ප්‍රසිද්ධ රැස්වීම්

ඊස්රායලයේ දක්ෂිනාංශික සියොන්වාදී ආන්ඩුව ගාසා තීරයේ නිරායුධ පලස්තීනුවන්ට එරෙහිව සිය ජන සංහාරක යුද්ධය දියත් කර මාසයක් ගතව තිබේ. ඊස්රායල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 10,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර අවම වශයෙන් 70,000 ක් පමන බරපතල තුවාල ලබා ඇත. මියගිය හා තුවාල ලැබූවන්ගෙන් හතරෙන් එකකට වඩා කුඩා දරුවන් ය. නෙතන්යාහු තන්ත‍්‍රය එහි “අවසාන විසඳුම” ක්‍රියාවේ යොදවා ඇත— එය නම්, සියලු පලස්තීනුවන් ගාසා තීරයෙන් පලවා හැරීම යි.

එක්සත් ජනපදය සහ අනෙකුත් නැටෝ බලවතුන් මෙම සමූලඝාතන යුද්ධයට මුලුමනින්ම පිටුබලය දෙමින්, විශේෂයෙන් ඉරානය ඉලක්ක කර ගනිමින් මැද පෙරදිග පුලුල් යුද්ධයකට සූදානම් වෙති. මොවුන් රුසියාව පරාජය කර එහි සම්පත් කොල්ලකෑමේ අරමුනෙන්, එයට එරෙහිව යුක්‍රේනය තුල තවත් බිහිසුනු යුද්ධයක මේ වන විට නියැලී සිටිති.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මිලිටරි බලය මගින් සිය ගෝලීය ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ මංමුලා සහගත යුද ධාවනයක යෙදී සිටී. අවසාන ඉලක්කය වන්නේ එහි ප්‍රධාන ආර්ථික ප්‍රතිවාදියා වන චීනය යටත් කර ගැනීමයි. ධනවාදයේ ගෝලීය බිඳවැටීමේ සහ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ පුනර්ජීවනයේ කොටසක් වන මෙය, මනුෂ්‍ය වර්ගයා න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක අන්තරායට අභිමුඛ කරයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ අනෙකුත් බටහිර යුරෝපීය රටවල් ද ඇතුලුව ලොව පුරා, සියලු වාර්ගික හා ආගමික රේඛා කපාගෙන මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් වීදිවලට පැමින, සියොන්වාදී තන්ත‍්‍රයේ ම්ලේච්ඡ ප‍්‍රහාරයන්ට එරෙහිව එක හඬින් සිය කෝපය ප‍්‍රදර්ශනය කරති: 'ජන සංහාරය නවත්වනු!'

ඊස්රායලයේ 75 වසරක මර්දනයට එරෙහිව ඔක්තෝබර් 7 පලස්තීන නැගිටීම හෙලා දැක නෙතන්යාහු පාලනයට පක්ෂ වූ පලමු නායකයින් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විය. විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන සහ සමගි ජන බලවේගය නරුම ලෙස කියා සිටින්නේ තමන්ට හමාස් සහ සියොන්වාදී තන්ත‍්‍රය යන දෙකෙන් එකක් තෝරා ගත නොහැකි බවයි. දෙමල ජාතිකවාදී පක්ෂවල ස්ථාවරය ද එයම ය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සහ එහි සහෝදර පක්ෂ, ඊස්රායලයේ යුද්ධයට එරෙහිව ජාත්‍යන්තරව වීදි බසින මිලියන සංඛ්‍යාත ජනතාව සාදරයෙන් පිලිගනිති. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මාක්ස්වාදී සංවිධානය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) මෙම මහජන ව්‍යාපාරය තීරනාත්මක ලෙස දෛනිකව ආවරනය කරයි.

සියල්ලටත් වඩා, අප ඉදිරියට ගෙන යන්නේ, යුද්ධය අවසන් කිරීමට කම්කරු පන්තියට හා තරුනයින්ට ඇති එකම ශක්‍ය ඉදිරිදර්ශනය වන සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකි.

අපගේ රැස්වීම්වලට සහභාගී වන ලෙසත්, යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර සමාජවාදයේ දේශපාලන වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය පිලිබඳ සාකච්ඡාවට එක්වන ලෙසත් අපි කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයින් උනන්දු කර සිටිමු.

රැස්වීම් පැවැත්වෙන ස්ථාන:

යාපනය

මිලේනියම් ගෙස්ට් හවුස් සහ රෙස්ටෝරන්ට්

ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් පාර (කැම්පස් පාර), කලට්ටි

දිනය සහ වේලාව: නොවැම්බර් 15 සවස 3.30 ට

ගාල්ල

හෝල් ඩි ගෝල් ශ්‍රවනාගාරය (බාලදක්ෂ මාවතේ පැරනි පිවිසුම වන වීඕසී ගේට්ටුව අසල)

දිනය සහ වේලාව: නොවැම්බර් 19 සවස 3.00 ට

කොලඹ

මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

දිනය සහ වේලාව: නොවැම්බර් 21 සවස 4.00 ට

වැඩිදුර කියවන්න

Loading